barralism වලින් beautification වලට තේනුවර මාරුවෙයි

Jul 29th, 2013 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS

beautification-thenuwara-21713.450

1997 වසරේ නවමු ආකෘතික රටාවක මූර්ති හා චිත්‍ර ප්‍රදර්ශනයක් හඳුන්වා දෙමින් පැමිණි ගමන් මගේ 08 වන සැතපුම් කණුව අසල සිටින චන්ද්‍රගුප්ත තේනුවර කලා ශිල්පියා සුපුරුදු අයුරින් මෙවර ද නව මාදිලියක චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයක් ඇරඹීමට කටයුතු යොදා ඇති බව සැල විය.

ඔහු කලාකරුවකු ලෙස හඳුන්වන්නට අකමැති ඇතැම් දේශපාලකයෝ ඔහු හඳුන්වන්නේ ‘‘කලහකරුවා’’ යන නමින්. ඒ ඔහු අවි ආයුද අත දරා සටනක නිරත වන නිසා නොව ගිනි අවි පරදවන පින්සල ඔහු අත රැඳී ඇති බැවිනි. බොහෝ රටවල පාලකයන් ගිනි අවියට වඩා පැනට පින්සලට බියක් දක්වති. ඒ ආකාරයෙන් ම මෙරට පාලකයෝ ද ගිනි අවියට නැති බියක් පෑනට, පින්සලට සහ කැමරාවට දක්වති.මෙසේ බිය වන්නේ මන්ද යන්නට පිළිතුරක් සොයාගැනීම මෙවර චන්ද්‍රගුප්ත තේනුවරගේ ‘‘සුන්දරකරණය’’ නමැති චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය තුළින් ඉතා ම පහසු කාර්යයකි.

 

ඒ සුන්දරකරණය හරහා සිදුවන අසුන්දර ක්‍රියාදාමයන් ද ග්‍රහණය කර ගැනීමට ඔහු මෙවර සිය ප්‍රදර්ශනය තුළින් යත්න දරයි. ඔහුගේආරාධනාව වන්නේද සුන්දරකරණයට යට වූ අසුන්දරත්වයේ සිරි නරඹන්නට පැමිණෙන ලෙසි.මෙවර ද ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කොළඹ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේ වන අතර මෙම මස 24 වන දි සිට 30 වන දින දක්වා උදැසන 10.00 සිට සවස 07.00 දක්වා පැවැත්වේ.

 

මතු දැක්වෙන්නේ ඔහු සමග කළ සම්මුඛ සාකච්චඡාව යි.

chandraguptha-thenuwara-21713

2013 වැඩේ මොකක් ද කියන තැනින් ම වැඩේ පටන් ගනිමු.

මේ වැඩේ අලුත් ම කියල කියන්න බැහැ. මොකද මම 1997 සිට හැම අවුරුද්දක ම ජූලි 23 වන දින සිට සතියක් මෙවැනි ප්‍රදර්ශනයක් කළා. මේ එහි තවත් පියවරක්. හැම වසරක ම සමාජ, ආර්ථික සහ දේශපාලන වටපිටාව වෙනස් වන ආකාරය අනුව මගේ ප්‍රදර්ශනයත් වෙනස් වෙනවා. ආරම්භය බැරල්වාදය ඉක්බිති පශ්චාත් බැරල්වාදය ඉනික්බිති නව බැරල්වාදය දක්වා පැමිණ තිබෙනවා. මේ ගෙවි යන්නෙ පශ්චාත් බැරල්වාදි යුගය. මොකද මම එහෙම කියන්නෙ…. දැන් යුද්ධය අවසන්, නමුත් ඒ යුද්ධයේ ඡායාවන් තවමත් තිබෙනවා. ඒව සම්පූර්ණයෙන් ම ඉවත් වෙලා නැහැ. සාමය නමැති නම තිබුණට සැබෑ සාමයක් තවමත් ගොඩනැගිල නැහැ.

සමාජයේ තැතිගැනීම් බියවැද්දීම් ඒ විදියට ම සිදු වෙනවා. යුද බිමේ වෙඩි හඬවල් නැති වුනාට ඒ වෙඩි හඩ ම වෙනත් තැනකින් ඇහෙනවා. ඒ අනුව සමාජයේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ නිසා මේ සියල්ල යම් දෘෂ්‍ය භාෂාවකට ගොඩනගල සාකච්ඡා කරන්න තමයි මම වාර්ෂිකව මේ වගේ ප්‍රදර්ශනයක් කරන්නෙ. ඒ අනුව මෙවර මගේ තේමාව වෙන්නෙ ‘‘සුන්දරකරණය.’’ මේක අලුත් ආකාරයේ දෙයක්. දැන් සියල්ල ම සඟවා තබන්නෙ සුන්දරකරණය හරහා. මේ සුන්දරත්වය කියන මායාව හරහා සියලු සමාජ ව්‍යසනයන් සඟවා තබනවා. යට ගැසිම් කරනවා. මනස සංවිධානය කිරිම් කරනවා. සිවිල් වැසියාගේ හැසිරිම පාලනය කරනවා. ඒ දෙවල් කිසිදු බාධාවකින් තොරව කරගෙන යනවා.

මිනිස්සු මේ සුන්දරත්වයෙන් මුලා වෙලා ඉන්නෙ. ඒ නිසා දැකිය යුතු බොහෝ දේවල් ඒ අයට පේන්නෙ නෑ. අන්න ඒ නිසා ඒ නොපෙනෙන ස්ථාන පෙන්නුම් කරන්න කරන උත්සාහයක් තමයි මෙවර කරන්නෙ. ඒ නිසාමයි බියුටිෆිකේෂන් (beautification ) එහෙමත් නැත්නම් සුන්දරකරණය කියල භාවිතා කරන්නෙ. මේ වචනය මුහුණ සුන්දර කරනවට අමතරව සමාජ, ආර්ථික දේශපාලන ප්‍රවාහයට අලුතෙන් ම එකතු වුන වචනයක්. මේ වචනය සහ එහි අලුත් අර්ථය දෘශ්‍ය කලාව හරහා ඉදිරිපත් කරන්න තමයි මම උත්සාහ කරන්නෙ.

ඔබේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ කලාව විනිවිද ගිය දේශපාලනකර්තවයක් එහි ගැබ්ව තිබෙන බව යි. කලාව විනිවිද යන දේශපාලනික භූමිකාව කුමක් ද?

ඇත්තට ම දේශපාලනයෙන් තොර කලාව පමණක් නොවෙයි, කිසිවක් නැහැ. යම් පුද්ගලයෙක් කියනව නම් මම අදේශපාලනිකයි කියල, ඒක ම තමයි දේශපාලනය. ඒ වගේ ම යම් කලා නිර්මාණයක් හෝ වෙනත් ඕනැම දෙයක් අදේශපාලනිකයි කියනව නම්, ඒක ම තමයි දේශපාලනය. ඒ නිසා හැම මිනිසෙක් ම දේශපාලන සත්වයෙක්. හැම සමාජයක් ම දේශපාලනිකයි.

ඒ නිසා චිත්‍ර ශිල්පියකුට හෝ වෙනත් කිසිම කලාකරුවකුට මෙයින් නිදහස් වෙන්නබැ. යම් කෙනෙක් නිදහස් වෙන් උත්සාහ කරනවානම් ඒක පලා යාමේ හෝ සැඟව සිටීමේ දේශපාලනයක්. එතනින් එහා වෙන කිසිම විකල්පයක් නැහැ. නමුත් දේශපාලනය සැබැ ලෙස තේරුම් අරගෙන එහි වැදගත්කම මතුකරමින් හැම වෙලාවෙම කලාකරුවා ඉන්නෙ ජනතාව සමඟ කියන මතයේ තමයි මම ඉන්නෙ. ජනතාවගෙ කරපිටින් ගිහින් ඔවුන්ගෙන් බලය අරගෙන ජනතාව පෙලන ක්‍රමයක් තමයි මුළු ලෝකයේ ම පවතින්නෙ. ඒ නිසා කලාකරුවාට ඉන්න පුළුවන් එකම පැත්ත: අන්ධ ව, විවිධාකාරයෙන් රවටල ජනතාවගෙන් තාවකාලික ව බලය ඉල්ලා ගත් අය අනතුරු ව අමතක කරන ජනතාවත් සමඟ තමයි අපිට ඉන්න සිද්ධවෙන්නෙ.

beautification-thenuwara-21713.2

ඔබ මොනවා කිව්වත් කලාකරුවාත් අනෙකු පුද්ගලයන් වගේ සාපේක්ෂ තැනකනෙ ඉන්නෙ. ඇතැම් කලාකරුවො ඉන්නවනෙ ජනතාව මත කුමනාකාරයේ පීඩනයක් ආවත් ඒ වෙනුවෙන් පෙනී නොසිටින සහ ජනතාවට එරෙහි ව සටන් මෙහෙය වන. මොකක් ද මේ පරස්පරය?

දැන් ඔබ ඔය කියපු කලාකරුවා කියන වචනයත් සුන්දර වෙලා තියෙන්නෙ. මට කලාකරුවා කියන වචනය වැදගත් නැහැ. ඇතැම් අය මාව හඳුන්වන්නෙ කලහකරුවා කියල. ඇත්තට ම මම ඒ වචනයට කැමතියි. දෘශ්‍ය කලහකරුවා කියල කියනවට මම කැමතියි. හැබැයි මේක මේ ආයුධ සන්නද්ධව කිසියම් පිඩාවක් කරන කලහයක් නොවෙයි. යම් මානසික කලහයක් නිර්මාණය කිරිම තමයි මගේ නිර්මාණ හරහා කෙරෙන්නෙ. ඒනිසා මට හැම වෙලාවෙ ම හිටගන්න වෙන්නෙ අනික් පැත්තෙ. එතකොට මගේ අනෙක් පාර්ශවයේ කලාකරුවො සුන්දර කලාකරුවො. ඒ අයට රටේ ප්‍රශ්න අදාළ නැහැ.

තමන්ගෙ ප්‍රශ්න ටික කොහොම හරි විසඳ ගත්තම ඒ අයට හොඳටම ඇති. ඒ අය යම් බලසම්පන්න කණ්ඩායමක් එක්ක එකතු වෙලා තමන්ගෙ වැඩක්-පලක් කරගෙන ඉන්න තමයි වැඩිය කැමති. ඒගොල්ලො හරියට වළං තනන්නො වගේ. වළං තනන්නො වළං හදන්නඕන, වළං බිඳෙනව, ඒ නිසා නැවත වළං හදනව, නැවත බිඳෙනව, නැවත හදනව. මෙන්න මේ වගේ පිරිසකුත් ඉන්නව. ඒ වගේ අයත් සමාජයට අවශ්‍යයිනෙ. ඒ නිසා ඒ අයත් ඔහේ හිටපුවාවෙ. ඔය කියන කලාකරුවොත් ඒවගේ පිරිසක් තමයි.

 මට මතකයි රැගුම් පාලක මණ්ඩලයේ සිටි එක්තරා සභාපතිවරයෙක්මට කිව්ව කලාකරුවාගේ කාර්යය විය යුත්තේ මිනිසුන්ගේ භාවයන් ප්‍රකෝප කිරිම නොව භාවයන් සන්සුන් කිරිමය කියල. ඔබේ නිර්මාණ සහ ප්‍රකාශ දෙස අවධානය යොමු කළාම දැනෙන්නෙ ඔබ ඒ කියු පළමු කණ්ඩායමට අයත් බව යි?

මම දන්නව ඔබ ඔය කියන සභාපතිවරයා. එතුමාට සිද්ධ වෙලා තියෙන්නෙ භාව වැරදිමක්. භාවය නමැති වචනය හැම තැනට ම අපිට ඕන ඕන විදියට භාවිතා කරන්න බැහැ. භාවයන් අනුව තමයි අපි වැඩ කරන්නෙ. භාවයන් යම්කිසි ඉහළ තලයකට ගෙන යාමක් අපි කළ යුතුයි. අපි එය කරනවා. මෙය සබුද්ධිමත් භාවයකට පෙරළන්නෙ කොහොම ද? විචක්ෂණශීලි පුද්ගලයෙක් කරන්නෙ කොහොම ද? ප්‍රඥාවන්තයෙක් බවට පරිවර්තනය කරන්නෙ කොහොම ද? ඒ සඳහා අවශ්‍ය වෙන්නෙ මානසික සෞන්දර්යාත්මක ආනන්ද ජනක ඇවිස්සිම්. ඒක ප්‍රකෝප කිරිම නෙවෙයි. අපි කරන්නෙ මෙන්න මේ අවදිවිම් සදහා යම් ඉඟියක් සැපයිම.

 කලාකරුවා යම් නිර්මාණයක් කරන්තෙමන්ට ලැබෙන අත් දැකිම් අනුවනෙ. එහි දි සමාජයේ සිදුවන අකටයුතුකම්, දූෂණ, වංචා ආදිය සිය නිර්මාණයට ග්‍රහණය කරගැනීම ඔබ දකින්නෙ කොහොම ද?

ඕනැම නිර්මාණයකට අප අවට සිදුවන සියල්ල ඒ කියන්නෙ හොඳ, නරක, යුතු, අයුතු සියල්ල වස්තු විෂය වෙන්න පුළුවන්. එය කියන විලාශය, කියන භාෂාව කොයි තරම් දුරට ඍජුව කියනව ද, වක්‍ර ව කියනව ද කියන එක තමයි කලාකරුවගෙ භාවිතාව විය යුත්තේ. එය තීරණය වෙන්නේ අදාළ කලාකරුවාගේ දෘෂ්ටිය සහ ඔහු දරන මතය අනුව වෙන්නත් පුළුවන්. නමුත් අපිට කිසිම අයිතියක් නැහැ කලාකරුවා එය පැවසිය යුත්තේ කෙසේද කියල බලකරන්න. ඇතැම් කලාකරුවො ඉන්න පුළුවන් විකිණෙන දේවල් කරන, විකිණෙන දේවල් කියන…. කමක් නැ ඔවුන් ඒ දේවල් කරපුවාවෙ. අපිට ඒක නවත්තන්නත් බැහැ. නවත්තන්න අවශ්‍යත් නැහැ. අපිට පුළුවන් එය විචාරය කිරිම පමණයි.

නමුත් මේක කරන්න එපා. ඒක එහෙම කරන්න. ආදි දේ අපිට කියන්න බෑ. ඒ නිසා ඒ සම්මුතින් සියල්ල තමන් විසින්මයි කර ගත යුත්තේ. කලාකරුවා තමන්ගෙ නිර්මාණ ඔහේ නිකම්ම නිකන් කරනවාට වඩා ඉතාම විචක්ෂණශීලි ව තමන් විසින් ම කල්පනා කරන්න ඕන. නමුත් බාහිර ඉන්න කෙනාට එය කරන්න එපා. කරන්න හොඳ නෑ වැනි දේ කියන්න බෑ. හැම මිනිහෙකුට ම හැම දෙයක් ම අයිති වගේ ම කලාකරුවට කිසිම දෙයක් අයිති නොවී තියෙන්න බැ.

beautification-thenuwara-21713.1

ඔබගේ නවමු ප්‍රෙව්ශ වීමත් සමග බැරල්වාදය වියැකී යනවා ද? එහෙමත් නැත්නම් මේ සියල්ල එකම දම්වැලක පුරුක් ද?

 මම මා ගැන ම විශ්ලේෂණයක් කළොත්, 1997 සිට 2005 දක්වා තමයි බැරල්වාදය ඉදිරිපත් කළේ. 2006 පසුව ආයෙත් අර කහ පොලු එහෙම පේන්න පටන් ගත්තනෙ. ඒ අලුත් ආකාරයකින් අපේ සිවිල් අවකාශය පාලනය වෙන්න පටන්ගන්නවා. එතනදි මම පරණ බැරල්වාදය වෙනුවට නව්‍ය බැරල්වාදය කියල භාවිතා කරනවා. මේ නව්‍ය බැරල්වාදය 2009 මැයි 19 වනතුරු තිබෙනවා. මෙය මේ දිනයෙන් පසුව අවසන් වෙනවා. අනතුරු වතාවකාලික අලුත් අවධියකට ඇවිත් තිබෙනවා. මේක මම නම් කරන්නෙ පශ්චාත් බැරල් වාදය කියල. මේ ඉන්නෙ පශ්චාත් බැරල්වාදි යුගයෙ.

ඒ නිසා පූර්ව බැරල් යුගයේ සහ නව්‍ය බැරල් යුගයෙ තිබුණ සලකුණු තවම තිබෙනවා. ඒ සලකුණු ඉවත් වෙලා නැ. එහි තිබුණු ප්‍රශ්න කිසිවක් නිසියාකාරයෙන් විසඳිලා නැහැ. විසඳුනේ නිතර රත්වෙලා තිබුණ ආයුදය උතුරේ ටිකක් නිවිල තිබිම. නමුත් දැන් ඒ ආයුදය ම දකුණෙ රත්වෙමින් යනවා. මෙතනදි මට මතක් වෙනවා අසු ගණන්වල කුට්ටමනි කියපු කතාව. ඔහු කියපු කතාව දැන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිවුණ ආයුද යළි රත්කරන්න වේවි. හැබැයි එතකොට සතුරා කොටියෙක් නොවෙයි සිංහයාම වෙන්න පුළුවන්.

ඔබ අර්ථකථනය කරන සුන්දරකරණය කොළඹ සහ තදාන්න ප්‍රෙද්ශවල මෙන් ම යාපනයෙත් පවතිනවා. නමුත් සමස්ථ රටේ තත්ත්වය අරගෙන බැලුවොත් ඔය සුන්දරකරණය බාහිරවත් නැ. එතනදි ඔබේ අර්ථකථනය?

සුන්දරකරය හැම විට ම සිද්ධ වෙන්නෙ බල කේන්ද්‍රයන්වල. රෝම අධිරාජ්‍යය පවා තමන්ගෙ සුන්දරකරණය කළේ ඒ ආකාරයට. පාරාවෝ තමන්ගෙ බලය ස්ථාපිත කළෙත් මේ ආකාරයෙන් ම යි.හැම තැනකම වුණේ පළමුවෙන් මෙට්‍රොෙපාලිටන් සහ දෙවනුව අනෙක් අග නගරවල්සහ සුළු නුවරවල් සුන්දරකරණය කිරිම.අනෙක් කරුණ තමයි මේ සුන්දරකරණයට ගොදුරු වෙන්නෙ තමන්ගේ පාලනයට නතුකරගතයුතු යැයි සිතෙන වඩාත් ම සුදුසු ස්ථාන වීම. පළමුවෙන් අරගෙන එන්නෙ කුරුසය. දෙවනුව තමයි අපි කඩුව දකින්නෙ. කුරුසිය කියන්නේ මිනිසුන්ගේ හෘද සංවේදිත්වය අවදි කරවන යම් ආගමික සංඛේතයක්. ඒ කුරුසියට නතු වෙන්නෙ නැත්නම් ඒක ම අනෙක් පැත්තට කඩුවක් කරගන්න වැඩි කාලයක් අවශ්‍යය වෙන්නෙ නැහැ.

සුන්දරකරණයත් ඒ වගේ ම යි. එනිසා සුන්දරකරණය හරහා සිදු වෙන්නෙ කිසියම් ආකාරයකින් මනස පාලනය කරවිමක්. අපි ඒක හොඳට ම දන්නව. මම චත්‍ර ශිල්පියෙක් විදියට දන්නව. තවත් කෙනෙක් වෙනත් මාධ්‍යයක් තුළින් මෙය ඉදිරිපත් කරන්න පුළුවන්. නරඹන්නාගේ මනස පාලනය කිරිම සඳහා තමයි කලාව තුළ මේ සුන්දර සුන්දර සියලු දෑ කරන්නෙ. ඒ නිසයි මම කියන්නෙ අපි තරම් මිනිස්සුන්ගෙ මනස පාලනය කළ කිසිවෙක් නැති බව. එහෙම ඉන්නව නම්, ඒ කියන්නෙ තාවකාලික දේශපාලන වාසි සඳහා මනස පාලනය කරන අය. අන්න ඒ අය පිළබඳ තමයි ජනතාව අවදිනේ ඉන්න ඕන.

මෙවැනි දෘශ්‍ය කලා නිර්මාණයක් කොළඹ කේන්ද්‍ර කරගෙන පැවත්වීමෙන් පමණක් ඔබ ඔය කියන මනස පාලනය කිරිමේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන් ද? එය කෙතරම් දුරට සාර්ථක ද?

 ඇත්තට ම මගේ කලා කෘති විකුණන්නත් බැහැනෙ. ඒව ලාංකිකයකුට ගන්නත් බැහැ. ඒ තරමට ම ඒවට වියදම් අධිකයි. ඊළඟට මෙවැනි ප්‍රදර්ශනක් වාර්ෂික ව පවත්වන්න මට ලක්ෂ දහයක් පළොවක් වියදම් වෙනවා. රසිකයන්ගෙන් කිසිඳු මුදලක් අය කරන්නෙත් නැහැ. මේ සියල්ල බැර වෙන්නෙ මගේ ක්ෂය වීමේ ගිණුමෙ. නමුත් මෙය නැවත නැවතත් වෙනත් ස්ථානවල කරන්න සංවිධාන නැහැ. සංස්කෘතික අමාත්‍යශයේ ඉන්නෙත් පිත්තල පොලිෂ් කරන අය පමණයි. ඒ අය මෙවැනි දැ සඳහා අනුග්‍රහයක් දක්වන්නෙ නැහැ. ඒ අය කරන්නෙ තියන කලා භවනත් ‘බලා කවන’ තැනක් කරන එක.

ඒ හැරුණම ඒ අයට කරන්න වෙන දෙයක් නැහැ. සංස්කෘතික අමාත්‍යංශයට තිබෙන ප්‍රශ්නය තමයි ලැබෙන මුදල් විදම් කරන්නෙ කොහොම ද කියන එක. ඒ නිසා ලැබෙන මුදල කොහොමහරි විණාශ කරනවා. මොකද විනාශ නො කළොත් ලබන වසරේ ඒ මුදලත් නොලැබී යනවා. ඒ හැර වෙනත් කිසිම සංස්කෘතියක් ඔවුන් දියුණු කරල නැහැ. අපි තමයි සංස්කාතිය දියුණු කරන්නෙ. ඒ අපේ ම මුදල්වලින්. ලේඛකයො, මාධ්‍යයවේදින්, චිත්‍ර ශිල්පියො, නාට්‍යයකරුවො වගේ විවිධ අය ඉන්නව. ඔවුන් ඒ හැම දෙයක් ම කරන්නෙ තමන්ගෙ කාලය, ශ්‍රමය සහ මුදල් වැය කරගෙන. ඒව වෙනත් තැන්වලට ගෙන යාමේ, එහෙමත් නැත්නම් ජංගම කලාවක් කිරිමේ ප්‍රශ්නය අපිට තිබෙනවා.

මට මාස තුනක් විතර මේ ප්‍රදර්ශනය පවත්වන්න පුළුවන් නම් ඉතා ම හොඳයි. හොඳ ම උදාහරණය ගනිමු ඩාවින්චිගෙ අවසාන භෝජන සංග්‍රහය: ඒ නිර්මාණය සුරුවමක් වගේ හැමතනට ම ගෙනියන්නෙ නැහැනෙ. අපිට ඒ නිර්මාණය බලල රස විඳින්න අවශ්‍යය නම් අපි ඉතාලියේ එය පිහිටුවා තිබෙන ස්ථානයට යා යුතු යි. නමුත් එහි අදහස අපිට හැම තැනට ම ගෙනියන්න පුළුවන්. ඒක තමයි විශිෂ්ට කලා කෘතියක තිබෙන විශේෂත්වය. කලා කෘතිය නොගියට ඉන් ගම්‍ය කළ අදහසට විවිධ ස්ථානයන්ට ගමන් කළ හැකියි. අන්න ඒ නිසා තමයි ජතාව රවටන අය කලාවට බය.

කෘතියේ අදහස සමාජ ගතවෙන්න කෘතිය දකින්න ම අවශ්‍යය නැහැ. නමුත් කෘතිය විඳින්න හෝ කෘතිය කියවන පුද්ගලයා එය දැකිය යුතුම යි. ඒ කොහොම වුනත් කෘතිය දකින්න පුළුවන් නම් තමයි වඩාත් වටින්නෙ. දැන් අපි වේදිකාවෙ නළුවෙක්ගෙ කාර්යය ගත්තොත් එය ඒ මොහොතෙන් පස්සෙ නැවත සිද්ධ වෙන්නෙ නෑ. නැවතත් සිදු වෙනව නම් එය අලුත් ම දෙයක්. දෘශ්‍ය කලා මාධ්‍යය ආරක්ෂිත ව නැවත නැවතත් ගෙනියන්න පුළුවන්. නමුත් ඒ සඳහා යන විය-හියදම්, ඊට සුදුසු ශාලා තිබෙනව ද වගේ ප්‍රශ්න තිබෙනවා. ඒ දුෂ්කරතා මගහරින්න තමයි අවම දවස් අටක්වත් මේ ප්‍රදර්ශනය පවත්වන්නෙ.

බැරල්වාදයේ සිට මෙතෙක් පැමිණි ගමනේ දී සිදු වු වෙනස කුමක් ද යන්න යමෙක් විමසුවොත්?

ඇත්තට ම ඒක මට අයිති කාරණයන් නෙවෙයි. ඒ කාරණය අයිති සමාජයට. වසරක් පුරා මගේ සිතේ පැසවන අදස් තමයි මම සමාජ ගත කරන්නෙ. මොකද මම මෙය වාර්ෂික ව ම පවත්වන ප්‍රදර්ශනයක්. සමාජයේ ප්‍රශ්න සාකච්ඡා කිරිම. ඇයි මේ මනුස්සය මෙය නැවත නැවතත් කරන්නෙ කියන ප්‍රශ්නය, මනුස්සයෙක් යමක් නැවත නැවතත් කියනව නම් එයට සවන් දිය යුතු ද කියන ප්‍රශ්නය, තමයි තියෙන්නෙ.

නමුත් මම හිතන්නෙ නැහැ බුද්ධිමත් රසිකයන් ට මගේ කලාව නොතේරෙනව කියල මම හිතන්නෙ නැහැ. ඔවුන් කිසියම් විපරිනාමයකට ලක්වෙනවා. නමුත් ඒ දේශපාලන වෙනස කිරිමට අවශ්‍යය කරන සමාජය තවම සූදානමක් නැහ. එයයි මෙතන තිබෙන ප්‍රශ්නය. එතනට ජතාව පෙළගස්වන දේ කරන්න ඕන මගෙන් බාහිර බලවේග. ඔවුන් සංවිධානය වෙමින් ජනතාවට අවශ්‍යය බලවේගය සැපයිය යුතු යි. එහෙමත් නැත්ම් මේ සියල්ල පෙරළගෙන තමන්ගෙ ගුහාවෙන් මිනිස්සු එළියට ඒවි. මම කරන්නෙ ඒ මොහොත වෙන තුරු ඔවුන්ගේ කල්පනාවට යමක් ලබා දීම.

කලාව මර්දනය කිරිම බුද්ධිමය දනුවත් භාවයට බාධා කිරිමක් ද?

කලාව මර්දනය කරන මර්දකයා ඉතා ඉක්මනින් ම තමන්ගේ අවසානය ළං කර ගන්නවා. ලෝකයේ කවදාවත් කලාව මර්දනය කළ කෙනෙක් යහතින් ජිවත් වෙලා හෝ යහතින් මිය ගිහින් නැහ. ශාරිරිකව ජිවත් වෙන්න පුළුවන්. නමුත් ඔවුන් බලයෙන් පහ වෙනවා. බලයෙන් පහ වීමේ මූලික ලක්ෂණය තමයි කලාවට වාරණය පැමණවීම. කලාවට යමෙක් වාරණ පනවනව නම්, ඔහු/ඇය ඉතා ඉක්මණින් ම බලයෙන් පහවීමට සුදුසු කෙනෙක්. කලාව වාරණය කරන්නෙ එහි තිබෙන බලය දන්න නිසා. වෙඩි උන්ඩයටත් වඩා කලාවට බය ඒ නිසයි. යමෙක් කියනව නම් පාලකයන් යම් යම් කලා නිර්මාණ වාරණය කරන්නෙ නොතේරුම්කමට කියල, ඒක බොරුවක්. ඔවුන් ඒ කලා නිර්මාණය වාරණය කරන්නෙ ම එහි ගැඹුර හොඳින් අවබෝධ කරගෙන.

beautification-thenuwara-21713.3

මෙය අභිභවා යන්න කලාකරුවාට බැරිද?

මොකද බැරි? පුළුවන්. කලාකරුවන් විදියට අපි මෙය අභිභවා යා යුතුයි. කලාකරුවා තරම් තමන්ගෙ කලාව දන්න කෙනෙක් තවත් නැ. එක පාරක් වැහුවොත් වෙනත් පාරකින් යනවා. තමන් යන්න ඕන. පාරවල් වහල නම් අලුත් පාරවල් හදාගෙන හරි යන්න ඕන. සිරිපාදෙට යන්න තියෙන්නෙ එක පාරක් නෙවෙයිනෙ. තියන පාරවල් සියල්ල ම අබලන් වෙලා නම් අලුත් පාරක් හදාගෙන හරි යන්න ඕන. ඒක තමයි කලාකරුවාගේ දක්ෂකම. ඔහු ඒ සඳහා දක්ෂ විය යුතුයි. සැබැ කලාකරුවා මාවත හොයාගන්නවා ම යි.

අනික වාරණයෙන් කලාව නවත්වන්න බැ. යම් පාලකයෙක් හිතනව නම් වාරණයෙන් කලාව නවත්වන්න පුළුවන් කියල, ඔහු/ඇය තේරුම් ගන්න ඕන වාරණය කරන කලාව ම තමයි තව දුරටත් වර්ධනය වෙනනෙ කියල. වාරණය පනවන්න පනවන්න කලාව මුවහත් වෙනවා. යම් අකාරයකින් වාරණයට බයේ තමන්ගෙ කලා හැකියාවන් හකුළුවා ගන්නවා නම් ඔහු/ඇය කලාකරුවෙක් වෙන්න බැ. කලාකරුවා හඳුනා ගැනිමට තිබෙන හොඳ ම මාර්ගයත් වාරණයට ලක්විම. එතකොට තමයි කලාකරුවටත් තමන් ව හොඳට ම හදුනා ගන්න පුළුවන් වෙන්නෙ. යම් විදියකින් මට කිව්වොත් මරණය ගැන කතාකරන් එපා කියල…. මම එතන ඉඳල සුන්දරකරණය ගැන කතකරනවා. පෙරමග ගමන් කරන කලාකරුවා අනුගාමිකයෙක් නොවී පෙරමග ම ගමන් කළ යුතු යි.

ප්‍රේක්ෂකයට යම් පණිවිඩයක් දෙන්න තිබෙනව ද?

මගේ කලා නිර්මාණ එක් එක් පුද්ගලයා එක් එක් විදිට බලන්න පුළුවන්. දේශපාලනිකව. සමාජමය වශයෙන් හෝ සංස්කාතික වශයෙන්. කවුරු කොහොම බලුවත් මම කියන්නෙ බලන්න; බලල වටහා ගන්න; ප්‍රශ්න කරන්න; විචාරාත්මක වෙන්න; මෙය කලාවද නැද්ද කියල තිරණය කරන්න; ඒ තීරණය කුමක් වුවත් මට ඒ පිළිබඳ ව දන්වන්න.

සටහන – ජයසිරි අලවත්ත 

(theindependent )

උපුටා ගැනීම මීරර් ගර්ල් වෙබ් අඩවියෙනි

www.mirrorgirl.lk

Recent Posts

Tags: , , ,

Leave a Comment