විනිසුරු අභිමතය කොයිබටද…?

Jun 27th, 2011 | By | Category: නීතිය

මින් හය වසරකට පෙර එනම් 2003 අගෝස්තු මාසයේ දිනක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කෞෂාල් ලොකුආරච්චි අතින් කඩවතදී රිය අනතුරක් සිදු වී මාර්ගය අයිනේ සිටි මවක් මරණයට පත් වෙලා ඇගේ පුතා දරුණු ලෙස තුවාල වූ බව ඔබට මතක ඇති. ඒත් මේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයා වෙත අධිකරණයේ අනුකම්පාව හිමි වුණා. ඒ කියන්නේ ඔහුට අත්හිටවූ සිර දඬුවමක් ලබා දෙන්න මේ නඩුව විනිශ්චය කළ විනිසුරුතුමා තීරණය කළා. දණ්ඩ නීති සංග්‍රහයේ මේ වගේ වරදවල්වලට ලබා දිය යුතු දඬුවම් දක්වා ඇතත් ඉහත ක්‍රිකට් ක්‍රීඩකයා රටට සේවයක් සිදු කරන අයෙක් සේ සලකා විනිසුරුතුමා ඔහුගේ දඬුවම ලිහිල් කලා. ඉන් පසුව මීට සති කිහිපයකට පෙර ලංකාවේ සුප්‍රසිද්ධ සංගීතඥයෙකු වගේම ගායකයෙකු වන තැනැත්තෙකු එවැනිම ප්‍රසිද්ධ තරුණ නිළියක සමඟ පාර්ලිමේන්තු පාරේ අසභ්‍ය ආකාරයට හැසිරුණා කියලා පොලීසිය විසින් අධිකරණය ඉදිරියට පැමිණූ අවස්ථාවේ ඉහත කී ගායකයා ‛බෞද්ධ ගීත ගයන රටට සේවය කරන සැදැහැවත් බෞද්ධයෙක්’ කියලා නීතිඥයා කරුණු කියනකොට විනිසුරුවරයා ඔවුන් දෙපළ නිදහස් කළ බවට මාධ්‍ය වාර්තා කරල තිබුණා.

රටේ සම්මත නීතියක් පවතින විට දී එම නීතිය නොසලකා හැර නඩුවක විනිසුරුවරයෙකුගේ කැමැත්ත මත විනිශ්චයක් ලබා දෙන්නේ  කෙසේද? ව්‍යවස්ථාදායකය සහ ව්‍යවස්ථාදායකය අවසර ලබා දී ඇති ආයතන නීති සම්පාදනය කිරීම වලංගු වුව ද විනිසුරුවරයෙකුට තමන් කැමති ආකාරයට නීතියක් අර්ථ නිරූපණය කිරීමට ශක්‍යතාවයක් පවතීද?

නීතිය වනාහි පුදුම වියමනකි. මේ වියමන කෙතරම් පුළුල් ද කිවහොත් නීතිය පිළිබඳ විවිධ අදහස් හා මත දරන ගුරුකුල බොහොමයක් බිහි වී තිබෙනවා. නිදසුනක් ලෙස ස්වභාවික නීති විද්‍යා ගුරුකුලය නීතිය සදාචාරාත්මක අයිතිවාසිකම් ඉස්මතු කරන දේහයක් යැයි විශ්වාස කරනවා. යථාදෘෂ්ටිවාදීන් විශ්වාස කරන්නේ නීතිය යනු අධිකාරිය විසින් පනවන නියෝග සමූහයක් බවයි. නමුත් උක්තව අපි කතා කරපු කරුණට පිළිතුරක් ලැබෙන්නේ නීතිය පිළිබඳ තත්වාකාරවාදය තුළයි.

තත්වාකාරවාදීන් විශ්වාස කරන පරිදි නීතිය වනාහි අවිනිශ්චිත ප්‍රපංචයක්. එය විනිසුරුවන්ගේ අර්ථ නිරූපණ මත සංවර්ධනය වන්නක්. තත්වාකාරවාදය විශ්වාස කරන විනිසුරුවෙකු වන ජෝසප් හැචිසන් තමන්ගේ විනිසුරු දිවියෙන් ලබා ගත්ත අත්දැකීම් ගැන මෙහෙම අදහසක් දක්වනවා.

“මම විනිසුරුවරයෙකු බවට පත් වූ අලුත ‛නීතිය’ පිළිබඳව විශ්වාස කළේ එය සම්පූර්ණ දේහයක් ලෙසට. ඒ නිසා මම ව්‍යවස්ථාදායකය විසින් පනවා ඇති නීති එලෙසින්ම අර්ථ නිරූපණය කළා. ඒත් විනිසුරුවරයෙකු ලෙස මගේ අත්දැකීම් වර්ධනය වත්ම නීතිය යනු අවිනිශ්චිත දේහයක් බවත් එහි හිදැස් ඇති බවත් අවබෝධ කරගත්තා. ඒ නිසා විනිසුරුවරයෙක්ගේ කාර්යය විය යුත්තේ පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් සංස්ථාපනය වන පරිදි නීතිය අර්ථ නිරූපණය කොට නීතිය සංවර්ධනය කිරීමයි.”

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා රටට සිදු කරන සේවය සලකා ඔහුට අත්හිටවූ සිරදඬුවමක් ලබා දීමට ඒ නඩුව විනිශ්චය කළ විනිසුරුතුමාට පූර්ණ අයිතිය තිබූ බව ඔබට වැටහෙනවා ඇති. විනිසුරුවරයෙකු සිය අභිමතය භාවිත කිරීම නීති විද්‍යාව තුළ පිළිගත් සම්මතයක්. මේ බව දන්න නිසාම තමයි නඩුවලට පෙනී සිටින නීතිඥවරුන් විනිසුරුවා දෙස බලා නඩු මෙහෙයවන්නේ. නිදසුනක් විදිහට සමහර විනිසුරුවන් සිටිනවා ස්ත්‍රීන්ට එරෙහි අපරාධවලදී චූදිත පාර්ශ්වයන්ට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන. ඉතිං ඒ වගේ විනිසුරුවන්ව කෝප නොකර ආරක්ෂණ ඉදිරිපත් කළ යුතුයි.

විනිසුරු අභිමතය පිළිබඳ සම්මතය සාකච්ඡා කරන විට අපට අමතක කළ නොහැකි පුද්ගලයෙක් සිටිනවා. ඒ තමයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්.එල්.ඒ. හාට්. ඔහු පෙන්වා දුන් කරුණක් තමයි විනිසුරු කැමති ආකාරයට නීතිය අර්ථ නිරූපණය කළ හැකියි යන්න. ඒකට හේතුව වශයෙන් ඔහු දැක්වූයේ නීතිය සම්පූර්ණ වියමනක් නොවීමයි. ඒ වියමනේ සිදුරු තිබෙනවා. සමහර වෙලාවට නීතියේ මේ වගේ සිදුරු තිබෙන විට වැරදි කරන උදවිය නීතියෙන් නිදහස් වෙනවා. ඉතිං විනිසුරුවරයා තම අභිමතය භාවිත කර එවැනි සිදුරු වසා දැමීමෙන් වැරදි කරන උදවිය නීතියෙන් පැන යාම වැළකෙනවා.

නිදසුනක් විදිහට මීට දශක කිහිපයකට පෙර පැවති වෛවාහක නීතිය ගනිමු. ඒ දවස්වල මුස්ලිම් නීතියේ හැටියට ස්ත්‍රීන් කිහිප දෙනෙකු සමඟ විවාහ වෙන්නට මුස්ලිම් පුරුෂයෙකුට අවකාශ ලැබුණා. මේක නියම නීතියක්නේ කියලා හිතපු සිංහල මිනිස්සු විවාහ දෙක තුනක් සිදුකර ගන්න හිතාගෙන තමන් මුස්ලිම් ආගමිකයන් බවට පත් වුණා. ද්වි විවාහය වරදක් නොවුණ ඒ කාලෙ නීතියේ පැවති මේ අඩුව දැකපු විනිසුරුවරයෙක් රීඩ් එදිරිව නීතිපති නඩුවේදී අයුතු පරමාර්ථයෙන් ආගම වෙනස් කිරීම තහනම් වන පරිදි නීතිය අර්ථ නිරූපණය කරනු ලැබුවා. ඒක යහපත් දෙයක්.

නමුත් මහාචාර්ය හාට් අවධාරණය කළා විනිසුරුවරයන්ට පනවා ඇති නීතියට 100%ක් පටහැනි අර්ථ නිරූපණයක් ලබා දිය නොහැකි බව. විනිසුරුවරයෙක් ලබා දෙන අර්ථ නිරූපණයට රටේ සාමාන්‍ය නීතිය, අන්තර්ජාතික නීතිය, පැරණි නඩු තීන්දු, පවතින සම්මතයන් හා චාරිත්‍ර ආදිය බලපාන බව. ඒ නිසා විනිසුරුවන්ගේ අභිමතය පරිදි ලබා දෙන නඩු තීන්දුවක් පවා නීතියට අනුකූලව ලබා දෙන්නක් බව ඔහු දක්වනවා.

මහාචාර්ය හාට්ගෙන් පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා බවට පත් වුණේ ඔහුගේම ශිෂ්‍යයෙකු වූ මහාචාර්ය රොනල්ඩ් ඩ්වෝකින්. ඩ්වෝකින් තමන්ගේ ගුරුවරයා විවේචනය කොට කියා සිටියේ විනිසුරුගේ අභිමතය කියා දෙයක් නොමැති බවත් පාර්ශ්වකරුවන්ගේ අයිතිවාසිකම් උද්දීපනය වන පරිදි ගැටුමක් අරුත් ගැන්වීම විනිසුරුවන්ගේ කාර්යය බවත් කියලයි. හැබැයි අද වෙනකොට නීතිවේදීන් පෙන්වා දෙනවා මහාචාර්ය ඩ්වෝකින් දක්වන්නෙත් විනිසුරු අභිමතයේම වැඩි දියුණු වූ සංකල්පයක් බව. මොකද විනිසුරුවරයෙකු අභිමතය භාවිතා කරන්නේ පවතින නීතිය හරහා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ඉස්මතු නොවන අවස්ථාවලදී වන නිසා.

කෙසේ වෙතත් අද වන විට විනිසුරුවන්ගේ අභිමතයට දේශපාලනය හරහා ප්‍රබල තර්ජනයක් එල්ල වී තිබෙනවා. ඇත්තම කියනවා නම් විනිසුරුවරයාත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්නෙ. ඔහුගේ හෝ ඇයගේ කළු ලෝගුවට යටින් ගැහෙන හදවතක් තිබෙනවා. ඇමරිකානු තත්වාකාරවාදීන් පෙන්වා දෙන්නේ විනිසුරුවරයෙකුගේ තීන්දුවකට තීන්දුව ලබා දෙන දින උදයේ ඔහු හෝ ඇය ලබා ගත් උදෑසන ආහාරය ද බලපෑමක් එල්ල කරන බවයි. ඒ නිසා දේශපාලනය වැනි ප්‍රබල අවියකින් විනිසුරු අභිමතයට බරපතළ තර්ජනයක් එල්ල වීම නොවැළැක්විය හැකි බව අප තේරුම් ගත යුතුයි.

නිදසුනක් විදිහට මෑතකදී විභාග වූ සරත් ෆොන්සේකා නඩුව ගනිමු. මේ නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පස් දෙනාම විධායකය විසින් පත් කළ විනිසුරුවරුන්. විධායකයේම තවත් ආයතනයක් වන යුද අධිකරණයේ පැවැත්ම විභාග කිරීමට විධායකය විසින්ම පත් කළ විනිසුරු මඩුල්ලකින් අපක්ෂපාතී තීන්දුවක් අපේක්ෂා කිරීම කළ නොහැකියි. මොකද එහෙම අපක්ෂපාතී වුවහොත් එම විනිසුරුවරුන්ගේ වෘත්තීය ජීවිතය බරපතළ තර්ජනයකට ලක්වෙනවා. ඇමරිකානු තත්වාකාරවාදීන් මේ වගේ තීන්දුවලට කියන්නේ විනිසුරු දඩයම (Judicial Hunt) කියලයි. ඒ කියන්නේ විනිසුරුවරයා තමන් ලබා දෙන තීන්දුව කුමක්දැයි හොඳාකාරවම දැනගෙන එකී තීන්දුව සාධාරණීකරණය කිරීමට කුමන හෝ තර්කයක් සොයා ගැනීමයි.

ඇත්තටම රටක නීතිය හා අධිකරණ පද්ධතිය පැවතිය යුත්තේ එහි පාලන තන්ත්‍රයට ඉහළින්. තවත් පැහැදිලි කරනවා නම් ලංකාවේ විධායකයේ, ව්‍යවස්ථාදායකයේ ඇඟිලි ගැසීම්වලින් හා බලපෑම්වලින් තොරව අධිකරණ පද්ධතිය පැවතිය යුතුයි. එහෙම වුණොත් තමයි නීතියේ ආධිපත්‍යය ආරක්ෂා වන්නේත්, සියලු දෙනාටම එක හා සමානව සලකන්නට නීතියට හැකියාව ලැබෙන්නේත්. එසේ නොවී යුක්තිය පසිඳලන ආයතනවලට බලපෑම් එල්ල වෙනවා නම් ඒ රටේ හොඳ බලතල බෙදීමක් නැහැ. රට තුළ යුක්තිය ඉටුවීමකුත් නැහැ. කෙටියෙන්ම කිවහොත් ඒ රට දූෂිත රාජ්‍යයක්.

ලංකාව දූෂිත රාජ්‍යයක්. ඒක අපි හංගන්න අවශ්‍ය නැහැ. විධායකයේ බලපෑම් වැඩි නිසාම අපේ රටේ විනිසුරුවන් ඉල්ලා අස් වූ අවස්ථා බොහොමයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සරත් අඹේපිටිය විනිසුරුතුමා ඝාතනය කිරීම ලංකාවේ යුක්තිය පසිඳලන ආයතනවලට ඇති බලපෑම් පිළිබඳ කදිම නිදසුනක්. ඒක මහා අවාසනාවන්ත සිදුවීමක් වුණත් අපේ ක්‍රමයේ පවතින නිරුවත තමයි ඉන් පිළිබිඹු වන්නේ.

කුමන බලපෑම්වලට මුහුණ දීමට සිදුවුවත් ලංකාවේ විනිසුරුවන් අතිශය සාධනීය නඩු තීන්දු ලබා දුන් අවස්ථා ද බොහෝමයි. එප්පාවල පොස්පේට් නඩු තීන්දුව, වෝටර්ස් එජ් නඩු තීන්දුව, ඉන්ධන මිල පාලනය කළ නඩු තීන්දුව, මාර්ග බාධක ඉවත් කිරීමේ නඩු තීන්දුව ඒ වගේ නඩු තීන්දුවලින් කිහිපයක්.

මේ නඩු බොහොමයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මූලික අයිතිවාසිකම් නඩු. රජය විසින් තම පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩ කළ පසු ඊට විරුද්ධව පුරවැසියෙක් පැමිණිලි කළාම ඔහුට සාධාරණත්වයක් ලබා දීම සුළුපටු කරුණක් නෙවෙයි. රජය පොස්පේට් නිධිය සමාගමකට දෙන්න තීරණය කළා නම් ඒක ප්‍රශ්න කරන්න අධිකරණයට ශක්තියක් නැහැ. රජය පෙට්‍රල් විකුණන්නෙ 150/= ට නම් 100/= ට පෙට්‍රල් විකුණන්න කියලා කියන්න අධිකරණයට ශක්තියක් නැහැ. නමුත් අධිකරණයේ සිටින විනිසුරුවරු නීතිය අර්ථ නිරූපණයේදී මේ ශක්තිය පෙන්වා දී සිටිනවා. විනිසුරු අභිමතය කියන්නේ එයයි. ඒ කියන්නෙ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උද්දීපනය වන පරිදි නඩු තීන්දු ලබා දීමයි.

හිටපු ජනාධිපතිනි රාජගිරියේ ඉඩම් කුණු කොල්ලයට තමන්ට හිතවත් ව්‍යාපාරිකයෙකුට විකිණීම ප්‍රශ්නගත වූ වෝටර්ස් එජ් නඩු තීන්දුව අධිකරණය විසින් විධායකයට කළ බරපතළ අනතුරු ඇඟවීමක්. මොකද මේ නඩු තීන්දුව ලබා දෙන තෙක් අපේ රටේ ජනාධිපතිවරුන්ගේ ක්‍රියා ප්‍රශ්න කළ නොහැකි නීති තත්වයක් තිබුණේ. හැබැයි මේ නඩුවේදී අධිකරණය පැහැදිලිව දක්වා සිටියා ජනාධිපතිවරයෙක් යනු රටේ තාවකාලික භාරකරුවෙක් පමණක් බවත් රටේ සියලු දේපළ ජනතාවට අයත් බැවින් ඒවා භාරයක් ලෙස රැක ගැනීම ජනාධිපතිවරුන්ගේ කාර්යභාරය බවත්. මේ සංකල්පයට අපි කියනවා “මහජන භාර සංකල්පය” කියලා.

විනිසුරුවන් විසින් “මහජන සුබසාධක නඩුකර” නම් සංකල්පයක් ද සංවර්ධනය කොට තිබෙනවා. විශේෂයෙන්ම මෙය ඉන්දීය සුපිරි විනිසුරුවන් වන බගවතී, ක්‍රිෂ්ණ අයියර් වැනි විනිසුරුවන් අතින් සංවර්ධනය වූවක්. මේ හරහා අසාධාරණයකට ලක් වූ පාර්ශ්වය වෙනුවෙන් ඕනෑම අයෙක්ට නඩු පැවරීමේ හැකියාව වර්ධනය කොට තිබෙනවා. බොහෝ විට හානි වන පාර්ශ්වය දුප්පත් නම්, අසාධාරණය පිළිබඳ අවබෝධයක් නොමැති නම්, හානියට පත් වන පාර්ශ්වය හඳුනාගත නොහැකි නම් ද එකී අසාධාරණය සම්බන්ධව උනන්දු වෙනත් අයෙකුට ඒ සම්බන්ධයෙන් නඩුකරයක් පැවරිය හැකියි. විනිසුරුවන් විසින් නඩුකර පැවරීමේ ශක්‍යතාව පුළුල් කිරීමත් සමඟ ඉන්දියාවේ පරිසර දූෂණයෙන් බැට කන ජනතාව වෙනුවෙන් බොහෝ නීතිඥයන්, මාධ්‍යවේදීන් පෙනී සිට ඔවුන්ට සාධාරණයක් ලබා ගැනීමට උපකාර කරනවා.

ශ්‍රී ලංකා නීතිය ඉන්දීය නීතිය තරම් පුළුල් වී නොමැති වුවත්, ක්‍රමානුකූලව තනි පුද්ගල හා සාමූහික අයිතිවාසිකම් ඉස්මතු වන විනිශ්චක ක්‍රමයකට සංක්‍රමණය වෙමින් පවතිනවා. විනිසුරුවන් විසින් තවදුරටත් සමාජ ශෝධනයට සහ පුද්ගල අයිතිවාසිකම්වලට පුළුල් අරුත් ගැන්වීම් ලබා දීම නිරන්තරයෙන්ම කළ යුතුයි. ඒත් අපේ රටේ අධිකරණයට ප්‍රවේශ වීම යන ක්‍රියාවලිය සකස් වෙලා තියෙන ආකාරය අනුව නඩු කීම ධනවත් පුද්ගලයෙක්ගේ අයිතියක් පමණක්ව ඇති යුගයක යුක්තිය පසිඳලීම හුදෙක් මිරිඟුවක් බවට පත්වෙලා තියෙනවා. අනෙක් අතින් කෙසේ හෝ නඩු මගට පිවිසුණ ද යුක්තිය පසිඳලන ආයතනවලට එල්ල වන බාහිර බලපෑම්වල අඩුවක් නොමැති හෙයින් යුක්තිය ඉටු වීම යනු ඉටු නොවන සිහිනයක් වැනියි. දේශපාලනය නපුරු සිහිනයක්. නීතිය එම නපුරු සිහිනයේ ආවතේවකරුවෙකු පමණි∎

ධනුද්දර දිසානායක

Recent Posts

4 Comments to “විනිසුරු අභිමතය කොයිබටද…?”

  1. Dini says:

    Thank you

  2. Dini says:

    Thank you so much

  3. Dini fernando says:

    Thank you so much

  4. Pavithrani Dissanayake says:

    ඉතා සරලව ඉතා මනරම්ව අවශ්‍ය කරුණු දක්වා තිබිණි .⁣ොොම ස්තුතියි

Leave a Comment