ඉන්නේ ‛අතකොටා’ලයි බැලූ බැලූ අත එනමුත් මගේ රටයි ලෝකේ උතුම් රට

Aug 15th, 2013 | By | Category: LEAD NEWS, දේශපාලන

දැරණියගල ප්‍රදේශයේ වතු අධිකාරීවරයෙකු කපා කොටා මරා දැමීම පිළිබඳ ප්‍රවෘත්තිය තරමක් පිළුණු වුණු ප්‍රවෘත්තියක්. මොකද සති කිහිපයකට ඉස්සර පත්තර ඇති පදම් මේ ගැන කතා කළා. අනිත් එක ලංකාවේ සිද්ධ වෙන මිනී මැරුම් ප්‍රමාණයට අනුව එක් සිද්ධියක් ගැන මාධ්‍යයට අඩුම ගානේ දවස් දෙක තුනකට වඩා කතා කරන්න වෙලාවක් නෑ. මොකද අලුත් අලුත් සිදුවීම් සිදුවන නිසා පරණ සිදුවීම් යට යනවා.

නමුත් මේ සිද්ධිය ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට ඉතා පැහැදිලි පණිවුඩයක් දෙනවා. ඒ නිසා තමයි අපි මේ ගැන කතා කරන්න හිතුවේ. ලංකාවේ ව්‍යාපාරිකයෝ බහුතරයක් දේශපාලනයට හරිම අකැමතියි. ඒක නිසා හැම වෙලාවෙම ව්‍යාපාරිකයෝ උත්සාහ කරන්නේ එකිනෙකාට හොරෙන් දේශපාලන පක්ෂ දෙකේම අපේක්ෂකයන්ට සල්ලි ටිකක් දීලා, බලයට එන පුද්ගලයා ලවා තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටුකර ගන්න උත්සාහ කරන එක. ඔවුන් ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් මානව හිමිකම් වගේ දේවල් ගැන කොහෙත්ම උනන්දුවක් නෑ. පසුගිය කාලය ගැන ආපස්සට හැරිල බලන කොට අපිට පේන්න තියෙන තත්ත්වය එයයි. ව්‍යාපාරිකයෝ විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, යහ පාලනය පිළිබඳ සංකල්ප තමන්ගේ ව්‍යාපාරයට ඉතාමත් පරිබාහිර දේවල් වශයෙන්. කොටින්ම මිලක් නියම කරලා වෙළඳපොළේ විකුණන්න බැරි නිසා ඒ ගැන කල්පනා කරන්න. ඒ වෙනුවෙන් පෙනී සිටින්න, එහෙමත් නැතිනම් ඒවා වෙනුවෙන් වැඩ කරන්න වෙහෙස වෙන එක කාලය අපතේ හැරීමක්, එහෙමත් නැතිනම් සල්ලි හම්බ කරන්න කැපකරන්න තිබුණු කාලය කිසිම තේරුමක් නැති වැඩකට නාස්ති කිරීමක් කියල තමයි විශ්වාස කරන්නෙ. ඒ වුණාට අවිස්සාවේල්ලේ දැරණියගල පැත්තේ සිද්ධ වුණු මේ මිනී මැරුම ඉතාමත් පැහැදිලි පණිවුඩයක් සමාජය වෙත ලබා දෙනවා.

පුවත්පත්වල පළවුණු තොරතුරුවලට අනුව මේ සිදුවීම පිළිබඳව කෙටියෙන් විස්තරයක් කළොත්, මේ සිදුවීම සිද්ධ වුණේ දැරණියගල නූරි වතුයායේ. අක්කර 600 ක් විතර විශාල මෙම වතුයාය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් ‛වෝල්ටර්ස් බේ’ කියන ඇමරිකානු සමාගම යටතේ තමයි පරිපාලනය වුණේ. එහෙම වුණාට මේ වතුයාය පසුගිය කාලයේ නිල නොවන විදිහට පාලනය කළේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාත් ඔහුගේ බෑනා සහ ඔවුන්ගේ මැර හමුදාවත් මගින්. ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාත් ඔහුගේ බෑනාත් ඔහුගේ මැර හමුදාවත් ඔවුන්ට අවශ්‍ය ආකාරයට වත්තේ තිබුණු දැවැන්ත ගස් කපාගෙන ගිහිල්ලා තියෙනවා. මාසයකට කිහිප වරක් ඇවිල්ලා වත්තේ ෆැක්ටරියෙන් තේ කොළ තොග පිටින් අරගෙන යනවා. වත්තේ තේ ෆැක්ටරියට දර සැපයීමේ කොන්ත්‍රාත්තුව අරගෙන තියෙන්නෙත් මේ අයමයි. දර යාර 100 ගෙනැවිත් ෆැක්ටරියට බාලා, යාර 130 කට විතර බිලක් දාන එක තමයි මේ අයගේ පුරුද්ද. උදේට වත්තේ පෙරට්ටුවට කම්කරුවන් ඇවිල්ල ඉන්න කොට තමන්ගේ ඉඩම්වල වැඩ කරන්න අවශ්‍ය කම්කරුවන් ප්‍රමාණය බලහත්කාරයෙන් අරගෙන යනවා. වතුයායේ සියලුම ඉදිකිරීම් කොන්ත්‍රාත් වැඩ මේ අයට විතරමයි දෙන්න ඕන. මේ හේතුව නිසා වතුයාය පාඩු ලබන්න වුණා. මේ ගැන හොයල බලන්න වතුයායේ කළමනාකාරීත්වය හිමි සමාගම වතුයායට අධීක්ෂණ කණ්ඩායමක් එව්වා. ඒ කණ්ඩායම එනකොටත් මග රැකලා හිටපු මැරයින් ඔවුන්ට පහර දීලා පන්නගෙන තිබුණා. මෙන්න මේ තත්ත්වය පාලනය කරලා සමාගමට ලාබ උපයලා දෙන්න පුළුවන් කළමනාකාරවරයෙක් විදිහට තමයි මියගිය පුද්ගලයා වතුයායේ කළමනාකාරවරයා විදිහට පාලනයට එකතු වෙන්නෙ.

ඔහු මෙම වතුයායේ සේවයට ආවට පස්සේ මේ මංකොල්ලකෑම්වලට එරෙහිව කටයුතු කරන්න පටන් ගත්තා. දර සැපයීමේ අක්‍රමිකතා හා තේ කොළ කොල්ලකෑම නවත්වලා දාන්න උත්සාහ කළා. නිසි ප්‍රමිතියකට සිදුකර නොතිබුණු ඉදිකිරීම්වලට මුදල් යෙදවීම නවතා දැමුවා. මේවායේ ප්‍රතිඵලයක් ලෙස මෙම මැර පිරිස අවස්ථා දෙකකදී වතු අධිකාරීවරයාට පහරදීම් සිදුකළා. මෙසේ පහරදීමෙන් ඔහුගේ කකුලක් පවා කැඩිලා ගියා. මේ සම්බන්ධව ඔහු දැරණියගල පොලීසියට වගේම වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ මහින්ද සමරසිංහ අමාත්‍යවරයාටත් පැමිණිලි කළා. මෙයින් පස්සෙ අදාළ වතුයායේ කළමනාකාරීත්වය භාර සමාගම ඔහුට ආරක්ෂකයන් දෙදෙනෙකු ලබා දුන්නා. නමුත් පසුගිය දිනක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා ඔහුගේ බෑනා සමඟ පැමිණි මැර පිරිස වතු කළමනාකාරවරයා කපා කොටා මරා දමා එතැනින් නොනැවතී ශරීර ආරක්ෂකයන් දෙදෙනාද කපා කොටා ඔවුන්ට බරපතළ තුවාල සිදු කරනු ලැබුවා.

මේ වන විට මෙම වතුයාය පාලනය කළ ‛වෝල්ටර්ස් බේ’ නැමති ඇමරිකානු සමාගම මේ අවනීතික වාතාවරණය තුළ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නොහැකි බව අදාළ අමාත්‍යවරයාට දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

පසුගිය කාලයේ අපි මානව හිමිකම් පිළිබඳව පෙනී සිටින කොට අපෙන් සමහර අය ඇහුවා මානව හිමිකම් කන්නද කියල. ඇත්තටම කියනවානම් මානව හිමිකම් කන්න බෑ. හැබැයි කන්න හොයා ගන්නත්, හොයාගත්ත එක කරදරයක් නැතිව කන්නත් මානව හිමිකම් ඕන කියල මේ කතාව කියවල මොළේ කළඳක් හරි තියෙනවානම් තේරෙන්න ඕන. ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේදී බලාපොරොත්තු වෙන ආර්ථික සමෘද්ධිය ලබා ගන්න විදේශ ආයෝජනයන් තමයි බලාපොරොත්තු වෙන්නෙ. මේ ආයෝජන මගින් ව්‍යාපාර, යටිතල පහසුකම් සහ සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර නගා සිටුවන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි පසුගිය කාලේ දැක්කා සංචාරයට ආපු රතු කුරුස සංවිධානයේ සේවකයකු මරලා දාලා ඔහුගේ පෙම්වතිය දූෂණය කරපු ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ක්‍රියා කලාපය. කොටස් වෙළඳපළේ ගනුදෙනු ව්‍යාපාරිකයෙක් හරි වෙනත් කිහිප දෙනෙක් හරි ඔවුන්ට වාසි සහගත විදිහට පාලනය කරනවා නම්, වෙළඳපළේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීම ආගමික අන්තවාදීන් විසින් පාලනය කරනවා නම් වෙළඳපළ තුළ සාධාරණ තරගයක් ඇති වෙන්නේ නෑ. ලංකාවේ තත්ත්වය මේ විදිහට ගියොත් ඉදිරියට ආශ්චර්යය පහළ කිරීමට උදව් කරන්න විදේශ ආයෝජනත් අරගෙන යහපත් සිහි කල්පනාව ඇති ආයෝජකයින් එයිද කියන එක තමයි ප්‍රශ්නෙ. උදාහරණයක් විදිහට ඩොලර් මල්ලක් පුරවගෙන සෝමාලියාවේ කොල්ලකරුවන් ඉන්න ප්‍රදේශයකට ආයෝජනය කරන්න හිතාගෙන ගොඩබහින එක හොඳ සිහිකල්පනාව ඇති පුද්ගලයෙක් කරයිද කියන එක ආයෙමත් කල්පනා කරල බලන්න.

ආයෝජන කරන්න, ව්‍යාපාර ආරම්භ කරන්න, රස්සාවක් කරන්න, අඩුම ගණනේ කරදරයක් නැතිව පාරෙ බැහැල යන්න වුණත් නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් අවම තත්ත්වයකින් හෝ රටක් තුළ පවතින්න ඕන. එහෙම නැතිනම් ජීවිත කාලය පුරාවට කාගෙන් කොයි වෙලාවේ ජීවිතයට, දේපළවලට මොන විදිහේ තර්ජනයක් එල්ල වෙයිද කියල ඉවරයක් වෙන්නෙ නැති සදාකාලික බියකින් අපට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එහෙම සමාජයක අපට ජීවත් වෙන්න වෙන්නේ පුරවැසියන් විදිහට නෙවෙයි යටත්වැසියන් විදිහට∎

ඩේලි මිරර් වීඩියෝව මෙතනින් බලන්න

සමිපත් පුෂ්පකුමාර

ss

Recent Posts

Tags: , , , , , , , , , , , , ,

Leave a Comment