කරුණා සිටියදී මම සමාව ගන්නේ ඇයි?

Jul 17th, 2012 | By | Category: ප්‍රතිසන්ධානය, මානව හිමිකම්

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2010 ජූනි 16 වන දින නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් පිහිට වූ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන  කොමිසන් සභාව සාමාජිකයන් අට දෙනෙකුගෙන් සමන්විතය. පසුගියදා එහි වාර්ථාව නිකුත් වූ අතර එම වාර්තාව ස ඳහා තොරතුරු රැස් කිරීම, සාක්ෂි විමසීම සහ නිර්දේශ නිකුත් කිරීමේදී කොමිසන් සභාවේ වගවීම සහ එහි අධිකාරිය දෝෂ සහිත බව පෙන්වා දෙමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ‘යුක්තිය අද නොවේ හෙට – ශ‍්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසන් සභාවේ අසමත්භාවය’ නමින් වාර්තාවක් නිකුත් කර ඇත. මේ එහි 3 වන පරිච්ජේදය වන ‘උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසන් සභාවේ රාජ්‍ය පාක්ෂිකභාවය පිළිබඳ සාධක’ යන කොටසින් උපුටා ගන්නා ලද්දකි. මෙහිදී කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට පැමිණි නැගෙනහිර පළාතේ මහ ඇමති පිල්ලෙයාන් සම්බන්ධයෙන් කොමිසම කි‍්‍රයා කළ ආකාරය උක්ත පරිච්ජේදයේ තේමාවට කදිම අරුතක් එක් කර ඇති අතර මෙය ‘සමබිම’ ඔබ වෙත ගෙන එන්නේ කොමිසම  සාක්ෂිකරුවන් විභාග කිරීමේදී ආණ්ඩුවේ කටයුතු පිළිබඳ සවිස්තරාත්මකව විමර්ශනය කිරීමට අසමත් වීම පිළිඳව විමසීමට එය පමණක් ප‍්‍රමාණවත් වන බැවිනි.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නැගෙනහිර පළාතේ මහ ඇමතිවරයාය. ළමා සොල්දාදුවෙක් වශයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳුන පිල්ලෙයාන්, පසුව ටී.එම්.වී.පී පක්ෂයේ නියෝජ්‍ය නායකයා බවට පත්වූ අතර කරුණා අම්මාන්ගේ නික්ම යාමෙන් පසු එම පක්ෂයේ නායකයා වූයේය. එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් වශයෙන් මෙන්ම ටී.එම්.වී.පී පක්ෂයේ නායකයා වශයෙන්ද සිවිල් වැසියන්ට සෘජුව ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ. මහ ඇමති පිල්ලෙයාන්ගේ අනුගාමිකයන් විසින් නොකඩවාම කරනු ලබන පැහැර ගෙනයාම්, ඝාතනය කිරීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව චෝදනා කොමිසන් සභාවට ඉදිරිපත් කරන ලදී. මෙම සිද්ධීන් බොහොමයක් ටී.එම්.වී.පී පක්ෂයෙන් කැඩී වෙන්වී ගිය කරුණා පාර්ශ්වයේ ආධාරකරුවන්ට එරෙහිව කරනු ලබන බවද සඳහන් කරන ලදී. සාක්ෂි විමසීමේදී පිල්ලෙයාන් සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසන් සභාව අනුගමනය කළ පිළිවෙත අනෙක් සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙතට වඩා දියාරු එකක් විය. මෙම සාක්ෂිකරු සම්බන්ධයෙන් කොමිසන් සභාව වෙත අන් සියළු සාක්ෂිකරුවන්ට වඩා පැමිණිලි ලැබී තිබුණත් කොමිසන් සභාව එකී චෝදනා සම්බන්ධයෙන් මෙම  සාක්ෂිකරුගෙන් සවිස්තරාත්මකව ප‍්‍රශ්නකිරීමට නොගියේය.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

 කොමසාරිස් සිරිපාල පලිහක්කාර

අපිට ඔබට ඉදිරිපත් කිරීමට ප‍්‍රශ්න දෙකක් තියෙනවා. පළමුවෙනි ප‍්‍රශ්නය තමයි අපි මඩකලපුවේ සංචාරය කළ අවස්ථාවේ දී සිවිල් වැසියන් බොහෝ දෙනෙක් එල්.ටී.ටී.ඊ සංවිධානය තුරන් කළත් කප්පම් ගැනීම්, ළමයින් පැහැර ගැනීම්, වධ හිංසා පැමිණවීම් හා අඩන්තේට්ටම් කිරීම් තවදුරටත් එලෙසම සිදුවන බවට පැමිණිලි කළා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද? අපි කුමන පියවරක් ගත යුතුද?

මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්

ඇත්ත වශයෙන්ම යම් යම් සිද්ධීන් වූ බව වාර්තා වුණා. ඔබට සෘජුවම කියන්න පුළුවන් නම් අසවල් සිද්ධිය සම්බන්ධයෙන් කියා මට වඩාත් නිශ්චිත පිළිතුරක් දෙන්න පුළුවන්. ඒ වගේම අනෙකුත් පළාත් වලත් අනෙකුත් ප‍්‍රදේශ වලත් මේ හා සමාන සිද්ධීන් සිදු වෙනවා. එම සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය හා අධිකරණය හරහා නිසි කි‍්‍රයා මාර්ග ගැනීමට අපි කටයුතු කරනවා.

 කොමසාරිස් සිරිපාල පලිහක්කාර

ගත හැකි ක‍්‍රියා මාර්ග මොනවාද?

 මහඇමති පිල්ලෙයාන්

ඔබට සිද්ධීන් පිළිබඳව නිශ්චිතව සඳහන් කළ හැකි නම් මට යමක්  නිශ්චිතව කිව හැකියි. එකක් හෝ දෙකක් නම් සිදුවුණා තමයි.

 කොමසාරිස් සිරිපාල පලිහක්කාර

හොඳයි, මම හිතන්නෙ මම නිශ්චිතව ප‍්‍රශ්නය ඉදිරිපත් කළා කියලයි. මම හිතන්නේ මඩකලපු ජනතාව යම්කිසි දේශපාලන පක්ෂයක නම පවා සඳහන් කළා යැයි කියලයි.

 මහඇමති පිල්ලෙයාන්

මමත් ඒවා පුවත්පත් වල දැක්කා. ඒවා රටේ අනෙකුත් පළාත් වල සිදුවන සිද්ධීන්ට සමානයි. මීට වඩා බොහෝ සිද්ධීන් 2002-2008 අතර කාලයේදී සිදුවී තිබුණා. අපේ පක්ෂයේ ව්‍යුහය ගත්තම එකම පවුලේ අයගෙන් සමහරක් එල්.ටී.ටී.ඊ. අනෙක් අය ටී.එම්.වී.පී. ඉතින් මේ දෙගොල්ල අතරෙ ඇන කොටා ගැනීම් ඇති වෙනවා. ඒ නිසා නීතිමය රාමුවක් සහ නීතිමය පද්ධතියක් අවශ්‍යයි මේ වගේ ප‍්‍රශ්න විසඳන්න.

කොමසාරිස්වරුන් මෙහිදීත් නිශ්චිත ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට අසමත් වෙනවා පමණක් නොව අසන ලද ප‍්‍රශ්න වලට සපයන ලද දියාරු පිළිතුරු හඹා ගොස් වින්දිතයන් වෙනුවෙන් යුක්තිය හා හානිපූර්ණය ඉටු කිරීමට අසමත් වූ බව මැනවින් පෙනී යයි. පසු අවස්ථාවකදී ඉඩම් ප‍්‍රශ්නය පිලිබඳව ඇතිවූ සාකච් ඡාවලදී , සාක්ෂිකරුවන් මහඇමතිවරයාට බියෙන් ඇතැම් කරුණු ඉදිරිපත් කිරීමට අකමැති  බව කොමසාරිස්වරුන්ට ඒත්තු ගිය බව පෙණින.

 කොමසාරිස් මනෝහාරී රාමනාදන්

අපි මඩකලපුවේ සංචාරය කොට ආපසු පැමිණියේ ඉතාමත් කණගාටුවෙන්. මඩකලපුවේ බොහෝ දෙනෙක් කැමරාව ඉදිරියේ සාක්ෂි දීමට  ඉදිරිපත් වුණා. යුද්ධයෙන් අවතැන් වූ නිසා තමන්ට තමන්ගේ ඉඩම්වල යළි පදිංචි වීමට හෝ ඒවා විකිණීමට නොහැකි තත්වයක් උදාවී ඇති බව ඔවුන් ප‍්‍රකාශ කළා. අපි ඔවුන්ගෙන් ඇහුවා ඇයි ඔබට බයද කියලා?

 මහඇමති පිල්ලෙයාන්

මට බොහොම කණගාටුයි. එහේ තත්වය ඒක නම්, මට ඔවුන් ගැන ඉතාමත් කණගාටුයි.

 කොමසාරිස් මනෝහාරී රාමනාදන්

ඔවුන් ඔබට බයයි කියන එක සත්‍යයක්ද? කට කතාවක් ද?

 මහඇමති පිල්ලෙයාන්

ඔවුන් බිය විය යුතු නෑ. තමන්ගේ අයිතිවාසිකම් ආපසු ලබා ගන්නට හෝ අයිතිවාසිකම් භුක්ති විඳීමට පසුබට වීමට ඔවුන්ට හේතුවක් නැහැ. මෙබඳු ප‍්‍රශ්න ඇතිවූ වහාම මම ඒ ස්ථානයට ගොස් එම ප‍්‍රශ්න විසඳීමට වෑයම් කරනවා. ඔබට පුළුවන් නම්, ඔබට මා ගැන සහතික විය හැකි නම් හා විශ්වාස කරනවා එම පැමිණිලි මට කියන්න මම ඒවා අධ්‍යයනය කරලා විසඳන්නම්.

 කොමසාරිස් මනෝහාරී රාමනාදන්

ඔවුන් අපට කීවා ඔබට බයයි කියලා.

පුදුමයකට මෙන් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසන් සභාව පිල්ලෙයාන් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් විසින් පළකරන ලද භීතියට තුඩු දුන් හේතු වටහා ගැනීමට අසමත් වූවා පමණක් නොව හිටපු (සහ වර්තමාන) ආයුධ සන්නද්ධ කණ්ඩායම් නායකයෙකුට සහාය දැක්වූ බව හැඟී යයි.

මහඇමති පිල්ලෙයාන්ගේ සාක්ෂි විභාගයේදී කොමිසන් සභාවේ සභාපතිවරයා නැවත වරක් 1990 නැගෙනහිර පළාතේ පොලිස් නිළධාරීන් 600 දෙනා ගේ ඝාතනය සම්බන්ධ ප‍්‍රශ්නය සාකච්ඡා කරන්නට උත්සාහ කරමින් යටත් වූ පොලිස් නිළධාරීන් සාක්ෂිකරු යටතේ සිටි බව සඳහන් කරමින් එම සමූහ ඝාතනයට ඔහු සම්බන්ධ බවට චෝදනා තිබෙන බව පෙන්වා දුන්නේය. නමුත් එම ඝාතනය සිදුවූ ආකාරය පැහැදිළි කර ගැනීමක් හෝ වගකිව යුතු පුද්ගලයන් හඳුනා ගැනීමට උපකාර වන ආකාරයේ ප‍්‍රශ්න කිරීමකින් තොරව කොමිසන් සභාව උත්සාහ කළේ ප‍්‍රසිද්ධ සමාවක් ගැනීම පිළිබඳව සාක්ෂිකරුගේ ස්ථාවරයයි.

ව්‍යාකූලත්වයක් ඇති කරමින් කොමිසන් සභාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකීම බාරගැනීමට යොමු නොකොට මෙම සිද්ධියත් තිස් අවුරුදු යුද්ධයේ තවත් එක් බරපතළ සිදුවීමක් ලෙසට වාර්තා කිරීමට සීමා කළේය.

මහඇමති පිල්ලෙයාන් මෙම ඝාතනය පිළිබඳ සම්බන්ධතාවය ප‍්‍රතික්ෂේප කළ අතර තමාගේ වර්තමාන එදිරිවාදියා වන නියෝජ්‍ය අමාත්‍ය මුරලිදරන් (කරුණා අම්මාන්) යෝජනා කළ ප‍්‍රසිද්ධියේ කණගාටුව පළ කිරීම වඩා සුදුසු යැයි යෝජනා කළේය.

 කොමිසමේ සභාපති සී.ආර්. ද සිල්වා

චන්ද්‍රකාන්තන් මැතිතුමනි, ඔබ දන්නවා 600 කට ආසන්න පොලිස් නිළධාරීන් සංඛ්‍යාවකට යටත් වන ලෙස දැනුම් දී ඔවුන් පෙළ ගස්වා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔබේ කණ්ඩායමේ සාමාජිකයන් මැදිහත් වූ බව. දැන් ඔබ හිතන්නෙ නැද්ද වාර්ගික සංහිඳියාව ඇති කිරීම අරමුණු කොට ගෙන ඔබේ කණ්ඩායම විසින් එම රජයේ නිළධාරීන් ගේ පවුල් වල සාමාජිකයන්ගෙන් ප‍්‍රසිද්ධියේ කණගාටුව පළ කිරීමක් කළ යුතුයි කියා.

 මහඇමති පිල්ලෙයාන්

ඔබ ඉතාම වැදගත් ප‍්‍රශ්නයක් මතු කළේ. ඒ කියන්නේ අපිට සමාවක් ඉල්ලන්න කියන්නේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හැටියටද?

 කොමිසමේ සභාපති සී.ආර්. ද සිල්වා

සමාව ඉල්ලීමක් නෙවේ, කණගාටුව පළ කිරීමක්.

 මහඇමති පිල්ලෙයාන්

කලින් සාක්ෂි වලදිත් මම කියා හිටියා 1990 ජුනි 11 වන දින මම පාසැල් ශිෂ්‍යයෙක් කියලා. ඒ දවස් වල එල්.ටී.ටී.ඊ ය බොහෝ පළාත් අල්ලා ගෙනයි හිටියේ. මම එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳුනේ 1991 පෙබරවාරි 01 වනදා. මට මතකයි මිනිස්සු කිවුවා එල්.ටී.ටී.ඊ විසින් වට කරන ලද පොලිස් නිළධාරීන් පසුව එල්.ටී.ටී.ඊ ය විසින් ගෙන ගොස් සති දෙක තුනකට පසු ඝාතනය කළා කියලා. ඔබ කියනවා නම් අපි ඒ අයගේ පවුල් වලින් ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතුයි කියලා මම හිතන්නේ එයට වඩාත්ම සුදුසුම පුද්ගලයා එවකට නායකයාව සිටි කරුණා මහත්මයා.

පහත උපුටා දක්වන අදහස් හුවමාරුවද සිත් කළඹයි. මහඇමති පිල්ලෙයාන්ගෙන් ඔහු ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්හි නිරතවන බව දුටුවේ දැයි විමසූ කළ ඔහුගේ පිළිතුර වූයේ තරුණයෙක් ලෙසට 1990 ගණන් වල එබඳු සිද්ධීන් තමාම දුටු බවය. නමුත් කොමසාරිස්වරුන් ගේ ප‍්‍රශ්න කිරීම් තුළින් ව්‍යංගයෙන් ධ්වනිත කරන ලද්දේ එබඳු සිද්ධීන් යුද්ධයක කොටසක් බවයි. නැවත වරක් සාක්ෂිකරුගෙන් තමා දුටු සිද්ධීන් සිදුවූයේ කොහෙද, කවදාද යන්න සහතික කර ගැනීමට අවශ්‍ය ප‍්‍රශ්න විචාරීමක් සිදු නොවීය. කොමසාරිස්වරුන්ගේ නිගමනය වූයේ වඩාත්ම සුදුසු ප‍්‍රතිචාරය වන්නේ ප‍්‍රසිද්ධ සමාවක් ඉල්ලා සිටීම බවයි.

කොමසාරිස් පරාක‍්‍රම පරණගම
සභාපතිවරයා ඔබෙන් විමසූ ප‍්‍රශ්නය නිසා ඔබ සිතන්න පුළුවන් අපි සෑම විටම එල්.ටී.ටී.ඊ.ය කළ වැරදි පමණක් අසනවාය කියලා. ඔබටත් සාධාරණයක් වන්නට ඔබට කියන්න පුළුවන්ද අපේ ආරක්ෂක හමුදා යම්කිසි බරපතළ අපරාධ කළ අවස්ථාවන් තිබෙනවාද කියලා?

මහඇමති පිල්ලෙයාන්
මම එබඳු සිද්ධීන් රාශියක් 1990 දී ඇසින් දුටුවා.

කොමසාරිස් පරාක‍්‍රම පරණගම
සිද්ධීන් කීයක් විතරද?

මහඇමති පිල්ලෙයාන්
මගේ අසල්වැසියෙක් වූ සින්න තම්බි නමැත්තා ආරක්ෂක හමුදා විසින් ඝාතනය කළා. පාරවල්වල හැම තැනම බාගෙට පිළිස්සූ මළ කඳන් විසිරී තිබුණා. වෙට්ටු පාටි හෙවත් කපා කොටා දමන කණ්ඩායම ලෙස හැඳින්වූ විශේෂ කණ්ඩායමක් අපේ ගමට ආවා. මම දැකලා තියෙනවා මිනිස්සුන්ව ඇදගෙන ගිහින් එක්කෝ කපලා එහෙම නැත්නම් වෙඩි තියලා ග`ගට වීසි කරනවා. මගේ අසල් වැසියන් දෙදෙනෙක් සහ තව රාසා කියලා කෙනෙක් මහ ? ආමි එකෙන් ඇවිත් අරගෙන ගිහින් දණ ගස්සලා ආමි එකට වඳින්න කියලා ඊට පස්සේ එතනම වෙඩි තියලා දැම්මා. මගේ වයස එතකොට 16 යි. මටත් ආමි එකෙන් ගහලා තියෙනවා.

කොමසාරිස් පරාක‍්‍රම පරණගම
නමුත් ඒවා ඒ කාලයේ තිබුණ යුද්ධයේ කොටසක් නේද?

මහඇමති පිල්ලෙයාන්
ඔව්, අනිවාර්යෙන්ම. මෙම සිද්ධීන් පිටුපස ඇති දේශපාලන පසුබිම දිහා අපි බලන්න  ඕන සහ මෙබඳු සිද්ධීන්ට අනුබල හා ආශිර්වාද කළ සියළුම දේශපාලන නායකයින් ප‍්‍රසිද්ධියේ පොදු කණගාටුවක් ප‍්‍රකාශ කරන්න  ඕනෑ.

කොමිසමේ සභාපති සී.ආර්. ද සිල්වා
මහාමාත්‍ය චන්ද්‍රකාන්තන් මැතිතුමනි, මම හිතනවා රජයත් ප‍්‍රසිද්ධ කණගාටුවක් පළ කළ යුතුයි කියලා. මම මේ අවස්ථාවේ දී මෙහි පැමිණ අවංකවම තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබ ඉදිරිපත් කළ ඇතැම් අදහස් ඉතාමත් ප‍්‍රයෝජනවත්. අපි ඒවා අපගේ නිර්දේශයන් සකස් කිරීමේදී සලකා බලන්නම්.

⋆ සිරිපාල පලිහක්කාර, සභාපති      (සී. ආර්. ද. සිල්වා), පරාක‍්‍රම පරණගම, මනෝහාරි රාමනාදන් කොමිසම වෙනුවෙන් මහ ඇමති පිල්ලෙයාන්ගෙන් සාක්ෂි විමසූ සාමාජිකයන්ය.

Recent Posts

Tags: , ,

Leave a Comment