හොරොව්පතාන කඳවුරේ සෙබළෙක් නිවාඩුවට ගමට ගියවිට ඇතිවන තත්ත්වය

Aug 28th, 2013 | By | Category: LEAD NEWS, පුවත්

හොරොව්පතාන ප්‍රදේශයේ නිවසකට කඩාවැදී දාහත් හැවිරිදි පිරිමි දරුවා බලා සිටියදී ඔහුගේ මවට අමානුෂික ලෙස අතවර කර නිවසේ තිබූ වටිනා දේපොළ කොල්ලකාගෙන පලා ගිය හොරොව්පතාන ප්‍රදේශයේම හමුදා කඳවුරක රාජකාරී කරමින් සිටි සෙබළුන් සිව්දෙනකු පොලිසිය මගින් ඊයේ (27 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලද බව හේමන්ත රන්දුණු මහතා 28 වන දා දිවයින පුවත්පතට වාර්තා කොට ඇත.

මෙහිදී සිදුවීමට මුහුණ පා ඇත්තේ හොරොව්පතාන ප්‍රදේශයේ ජීවත්වන සිංහල කාන්තාවකි. ඇගේ පුත්‍රයා මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ සාක්කිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇත්තේ හොරොව්පතාන ප්‍රදේශයේම හමුදා කඳවුරක සේවය කරන කෝප්‍රල්වරයෙකු සහ සෙබළුන් තිදෙනෙකි.

මේ අවස්ථාවේ අදාල කාන්තාව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසියට ගත හැක්කිව තිබූ ක්‍රියාමාර්ග කිහිපයකි. පළමුවැන්න 88, 98 සමයේ පුද්ගලයන් අතුරුදහන් කිරීමට ලක්වූ විට ඒ පිළිබඳ ඉදිරිපත් කළ පැමිණිලි භාර නොගෙන සිටි ආකාරයට පැමිණිලි භාර නොගැනීමය. දෙවැන්න මෙම සිදුවීම ගොතන ලද සිදුවීමක් බවත් නවනීදම් පිල්ලේ මහත්මිය ලංකාවේ සංචාරය කරන අතර තුර සිදුවූ බවට ප්‍රචාරය කරන මෙම සිදුවීම ලංකාවේ ආණ්ඩුවත්, රණවිරුවනුත් අපහසුතාවයට පත්කිරීම සඳහා කරන ලද එන්. ජී. ඕ. කුමන්ත්‍රණයක් බවය. තෙවැන්න සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අදාල සැකකරුවන් අත් අඩංගුවට ගෙන නීතියේ ප්‍රකාරව කටයුතු කිරීමය. මෙහිදී පොලිසිය කටයුතු කර තිබෙන බව පෙනෙන්නේ තුන්වන ආකාරයටය. ඒ සම්බන්ධයෙන් පොලිසියට අමුතුවෙන් ස්තුති කළ යුතු නැත්තේ හරිනම් මහජන බදු මුදලින් නඩත්තු වෙන ආයතනයක් වශයෙන් එය ඒ ආකාරයට ක්‍රියාකිරීමට වගකීමෙන් බැඳී සිටින නිසාය. එහෙත් මේ විපරීත කාලයේ තමන් නීතියට ඉහළින් සිටින්නේ යයි සිතා සිටින ‘යුනිෆෝම්’ කාරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීමේ සිදුවීමක් අසන්නට ලැබෙන්නේ කලාතුරකින් බැවින් පොලිසියේ ක්‍රියාව අගය කළාට පාඩුවක් වන්නේ නැත.

මෙහිදී අපරාධයක් කළ බවට චෝදනා ලද හමුදා සෙබළුන් අත් අඩංගුවට ගැනීමෙන් අදාල විපතට පත්වූ මවට යුක්තිය ඉටු වීම ආරම්භ වන අතර හමුදාවේ කීර්ති නාමය එයින් විනාශ වෙනවා වෙනුවට ආරක්ෂා වන්නේය. මන්ද යත් හමුදාව නැමැති ආයතනය තුළ සිටින විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියා කරන්නන් ඉවත් කොට එය පිරිපහදු කිරීමට එයින් ඉඩක් ලැබෙන බැවිනි. හොරොව්පතාන ප්‍රදේශයේ සේවය කොට නිවාඩුවට ගෙදර එන හමුදා සෙබළෙකුට තම මව, භාර්යාව, නැගණිය හෝ දියණිය හමුවේ හිස කෙළින් කරගෙන ‘ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් ආදී ඉහත ආකාරයේ ජරා වැඩ කරන එවුන්ට හමුදාවේ ඉඩ නැති බවත්, උන් හතර දෙනාම දැන් පොලිස් අත් අඩංගුවේ බවත්’ ප්‍රකාශ කළ හැකිය. 

යුද සමයේ මෙන්ම ඉන් අනතුරුවද හමුදාව සහ පොලිසිය අතින් පුරවැසියන්හට සිදුවූ අකටයුතුකම් ගැන චෝදනා එල්ල වී තිබේ. හමුදාවට භාර වූ පුද්ගලයන් ඉන් අනතුරුව අතුරුදහන්වීම ඒ අතරින් එකකි. ආනන්දි මහත්මිය පවසන්නේ තම සැමියා ඇතුළු පිරිසක් යුද්ධය අවසානයේදී හමුදාවට භාර දුන් බවත් ඉන් පසු ඔහු ගැන කිසිදු ආරංචියක් නැති බවත්ය. ඇය මේ බව ආණ්ඩුව විසින් පත් කළ එල්.එල්.ආර්.සී කොමිසමටද පැමිණිලි කොට ඇත. එහෙත් කීර්ති වර්ණකුලසූරිය වැනි අය කියන්නේ ආනන්දිගේ සැමියාවන එලිලන් දරුණු ත්‍රස්ත නායකයකු බවයි. එලිලන් යනු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හිටපු එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායකයාය. ඔහු දරුණු ත්‍රස්තයෑකු නම් ඔහු භාර වූ පසු ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකිය. නමුත් ඔහුට සිදුවූයේ කුමක්දැයි භාරගත් හමුදා නායකයා වගවිය යුතුය. එවිට එලිලන්ගේ අතුරුදහන්වීම ගැන ආනන්දි ආණ්ඩුව වෙත චෝදනා කරන විට අදාල වගකිවයුතු හමුදා නිලධරීන්ගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරන බවත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ආණ්ඩුවට ප්‍රකාශ කළ හැකිය. එයින් එලිලන්ගේ බිරිය වන ආනන්දිට තම ස්වාමි පුරුෂයා ආපසු නොලැබෙන නමුත් යුක්තිය ඉටුවීම සහ වගවීම සහතික වීම සිදු වේ. හරියටම හොරොව්පතානේදී දූෂණයට සහ මංකොල්ලකෑමට ලක්වූ අම්මාට සාධාරණය ඉෂ්ඨ වූවාක් වැනිය. 

දිවයිනේ පළවූ සම්පූර්ණ වාර්තාව කියවන්න.

හොරොව්පතාන ප්‍රදේශයේ නිවසකට කඩාවැදී දාහත් හැවිරිදි පිරිමි දරුවා බලා සිටියදී ඔහුගේ මවට අමානුෂික ලෙස අතවර කර නිවසේ තිබූ වටිනා දේපොළ කොල්ලකාගෙන පලා ගිය හොරොව්පතාන ප්‍රදේශයේම හමුදා කඳවුරක රාජකාරී කරමින් සිටි සෙබළුන් සිව්දෙනකු පොලිසිය මගින් ඊයේ (27 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සිද්ධිය වී ඇත්තේ ඉකුත් 08 වැනිදා හොරොව්පතාන නබඩාව ප්‍රදේශයේ දීය.

මෙසේ අතවරයට ලක්‌වූ මව සිය දරුවා සමග නබඩාව ප්‍රදේශයේ නිවසක ජීවත් වී ඇත.

එදින රාත්‍රි අධික ලෙස බීමත්ව මෙම නිවසට පැමිණ ඇති සැකකරුවන් එහි දොරවල් කඩාගෙන ඇතුළු වී තිබේ. ඒ අවස්‌ථාවේ මව සහ දරුවා නිවසේ සිට ඇති අතර සැකකරුවන් දරුවා පසෙකට ඇද තමා ඔහුට තර්ජනය කර ඔහුගේ මවට වරින්වර අතවර කර ඇත.

පැය තුනකට ආසන්න කාලයක්‌ නිවසේ ගතකර ඇති සැකකරුවන් ඇය කනේ පැළඳ සිටි කරාබු ජෝඩුවක්‌ ජංගම දුරකථනයක්‌ සහ නිවසේ තිබූ මුදල්ද කොල්ලකාගෙන පලාගොස්‌ තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ හොරොව්පතාන පොලිසිය සැකකරුවන් කොල්ලකාගෙන ගිය ජංගම දුරකථනය ඔස්‌සේ කළ වැටලීමක දී අදාළ සැකකරුවන් කොටුකර ගෙන ඇත.

මෙම සැකකරුවන් සිව්දෙනාගෙන් එක්‌ අයකු හමුදා කෝප්‍රල්වරයකු වන අතර සෙසු තිදෙනාම සාමාන්‍ය සෙබළු වෙති. ඔවුන් හොරොව්පතාන ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසේ රාත්‍රි සාදයකට ගොස්‌ අධික ලෙස බීමත්ව එන අතරතුර මෙම අපරාධය සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

සැකකාර හමුදා සෙබළුන් හොරොව්පතාන ප්‍රදේශයේ කඳවුරක සේවය කරන අතර ඔවුන් රාජකාරි වේලාවෙන් පසු මෙම අපරාධය සිදුකර ඇති බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරි, පොලිස්‌ අධිකාරී ඒ. සේනාරත්න, සහකාර පොලිස්‌ අධිකාරී උපුල් චන්දන මහත්වරුන්ගේ උපදෙස්‌ මත හොරොව්පතාන පොලිස්‌ ස්‌ථානාධිපති එච්. එම්. කේ. හේරත් මහතාගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන (53911) මුණසිංහ (48456) නන්දන (62059) සංජය, (35909) විඡේතුංග, (2288) ලක්‌මාල් ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

[හේමන්ත රන්දුණු]

Recent Posts

Tags: , , , , , , , ,

One Comment to “හොරොව්පතාන කඳවුරේ සෙබළෙක් නිවාඩුවට ගමට ගියවිට ඇතිවන තත්ත්වය”

  1. නුවන් says:

    අපරාදෙ.. ඔකනෙ යුද්දෙ තිබුනනම් වැඩ ටික ඒහෙදිම කරගන්නවනෙ… දැන් මෙහෙ කට්ටිය ලෑස්තියෙන් ඉමු ඹවට….

Leave a Comment