ඡන්ද පැවැත්වූ නිසාම ඒකාධිපති නෑ කියන්න බෑ- රොබට් මුගාබෙත් ඡන්ද පවත්වනවා- කරු ජයසූරිය

Sep 4th, 2013 | By | Category: OTHER NEWS, පුවත්

උතුරේ ජනතාවට මැතිවරණයක් ලබා දුන්නා සේම 2005 වසරේ සිට මේ වන විට මැතිවරණ 11 ක් පැවැත්වීමට තමා කටයුතු කර ඇති බව මේ තරම් මැතිවරණ තියාපු රටක් ආසියාවේම නැති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. නමුත් අප ප්‍රශ්න කරන්නේ හුදෙක් මැතිවරණ පැවැත්වූ පමණින් රටක් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයේ ගමන් කරනවා යැයි කියන්නට පුළුවන් ද යන කාරණයයි. සිම්බාබ්වේ රාජ්‍යයේ මුගාබේ විසින් පැවැත්වූ මැතිවරණ ලෝක ප්‍රජාවගේ දැඩි විවේචනයට ලක් වුණා.

2013-09-04 දින කොළඹ රාජගිරිය ජාතික වතුකම්කරු සමංගම් ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

2005 සිට මේ දක්වා පැවැති මැතිවරණ රජයේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මිස නිසි කලට පැවැත්වූ ඒවා නොවන බව ජනතාවට පැහැදිලියි. මෙවැනි මැතිවරණවලදී බොහෝ විට අදාළ ආයතන නිසි කාලය සම්පූර්ණවීමට පෙර විසුරුවා හැරි ආකාරයටත් අපි දුටුවා. එය ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණයක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක රාජ්‍ය සේවය පොලීසිය ස්වාධීනයි. අධිකරණයට ඇඟිලි ගැසීම් සිදු කෙරෙන්නේ නැහැ. බලයේ සිටින අයටත්, විපක්‍ෂයේ අයටත් නීතිය සාධාරණව බලපැවැත්වෙනවා. පුරවැසියන්ට තොරතුරු ලබා ගැනීමේ අයිතිය ලැබෙනවා. බලෙන් ලබා ගත් පාර්ලිමේන්තු බහුතරයකට මුවාවී 18 වැන සංශෝධනය වැනි දේ ගෙන එන්නේ නැහැ. නවනීදන් පිල්ලේට අවි ලබා දුන්නේ වත්මන් ආණ්ඩුවයි. රජය නෙලන්නේ තමන් වැපුරූ දේවල්වල අස්වැන්න බව ද අමු වපුරා කුරහන් නෙලා ගත නොහැකි බවට අපගේ ජන වහරයේ කියමනක් තිබෙනවා.

නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවට එරෙහිව නගන චෝදනා දේශපාලන වාසි සඳහා යොදා ගෙන ඉන් සතුටක් ලැබීමට අපි සූදානම් නැහැ. එහෙත් ලංකාව සම්බන්ධව චෝදනා නැගෙනවිට අපට විශාල වේදනාවක් ඇති වනවා. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම්වලට ගරු කරමින් අපි ලෝකයට ආදර්ශයක් ලබා දිය යුතුයි. ඉදිරියේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙන් පසුව හෝ ලැබෙන නායකත්වය සමග මේ රටේ ගෞරවය ආරක්‍ෂා කර ගැනීමට එම නායකයන් කටයුතු කළ යුතුයි.

මැතිවරණ නීති තම දේශපාලන බලපරාක්‍රමයෙන් යටපත් කර කෙතරම් මැතිවරණ පැවැත්වුවත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නැහැ. මෙවර පළාත් සභා මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු වෙමින් පවතින්නේ මීට පෙර පැවැති මැතිවරණවලදී මෙන් මැතිවරණ නීති නොසලකා හැරීමයි. ඒ නිසා අපි ආණ්ඩුවට යළිත් වරක් ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාව නගන චෝදනා සම්බන්ධව මෙරට ජනතාව හමුවේ ආවේගශිලී කතා නොකියා නිදහස් සහ සාධාරණ ලෙස එම මැතිවරණය පවත්වා චෝදනාවලට පිළිතුරක් ලබා දෙන ලෙස යැයි ද කරූ ජයසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

karu

Recent Posts

Tags: , , , , , , , , , , ,

Leave a Comment