පිල්ලේගේ ඇඟේ එල්ලී ගොඩ යාම

Sep 6th, 2013 | By | Category: LEAD NEWS, sunday2, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

දේවල් කෙළින් නොපැවැසීම සිංහලයාගේ උරුමයයි. අනිත් දේවල් කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුවද තමන් කරන දේ කෙළින්ම නොපැවසීමෙන් එම දේශීය උරුමය රැකගෙන තිබේ. ආණ්ඩුවට සමහර දේවල් සම්බන්ධයෙන් කෙළින්ම යමක් පැවසීමට නොහැකිවී ඇත්තේ එසේ පැවසූ වහාම අසීරුවෙන් තබාගෙන ඇති සමතුලිතභාවය බිඳ වැටෙන නිසාය. ඒ තරමටම මේ ආණ්ඩුව දුර්වලය.

උදාහරණ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස් සහ ඉඩම් බලතල සමඟ උතුරු පළාත් සභාව සඳහා ඡන්දය පවත්වන බව කෙළින්ම කියන්නට බිය වූ නිසා පළාත් සභා පිළිබඳ මහා කාල ගෝට්ටියක් නිර්මාණය කළ ආණ්ඩුව හෙමින් සැරේ කිසි කප්පාදුවකින් තොරව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැන් සූදානම්ව සිටී. නවනීදන් පිල්ලේට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට පලුයන්න සිංහලෙන් බණින ගමන් ආණ්ඩුව ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කරයි.

ආණ්ඩුවට සිදුව ඇත්තේ තමන් මෙතෙක් කල් පිටමත නැගී හැල්මේ දිව ආ ජාතිවාදී අශ්වයාගෙන් බැස ගැනීමට බිය වීමයි. එසේ බිය වන්නේ අන් කිසිවකට නොව තමන් බිමට බැස්සොත් වෙන අයෙකු ඒ මත නැගී ඊටත් වඩා වේගයෙන් යන බව ආණ්ඩුව දන්නා නිසාය. එමනිසා අශ්වයාගේ පිටමත යන අතරම යම් යම් වෙනස්කම් කරන්නට ආණ්ඩුව කටයුතු කරන බව පෙනේ. නවනීදන් පිල්ලේට ආරාධනා කළේ ආණ්ඩුව විසින්ම වන අතර ඇයට එරෙහිව යම් යම් විරෝධතා සංවිධානය කළේ විපක්ෂ බලවේග නොවන බවද පැහැදිලිය.

වාස්තවික යථාර්ථය මගින් ආණ්ඩුව මෙවැනි තත්ත්වයකට තල්ලු වන බව සුදර්ශන විසින් මෙම වසරේ පෙබරවාරි මස සමබිම පුවත්පතට ලබාදුන් සාකච්ඡාවකින් පැහැදිලි කළ අතර එහි කොටස් කිහිපයක් නැවත කියවා බැලීමෙන් මේ මොහොතේ පැන නැගී ඇති තත්ත්වය සංයුක්තව තේරුම් ගත හැකි වනු ඇත.

….ජාත්‍යන්තරයෙන් මුකුත් කරයි කියලා අපි නිකන් බලාගෙන ඉඳීම එච්චරම සාධාරණ නැහැ. අපි නම් විශ්වාස කළේ තම හිසට තම අතමය සෙවනැල්ල වගේ මේක මේ රටේ මිනිස්සු විසඳාගත යුතු ප්‍රශ්නයක් කියලයි. ජාත්‍යන්තර බලපෑම යම් ප්‍රමාණයකට ඇති කරන්න පුළුවන්. නමුත් එයින් එහාට මේ ප්‍රශ්නය මහජනයා අතට ගන්න ඕන. ජාත්‍යන්තරයෙන් ඇතැම් ප්‍රබල බලපෑම් සිදුවුණා. මානව අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වුණ රටවලට දෙන GSP+ සහනය ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පරීක්ෂා කිරීමට යම් අවස්ථාවක් ලබා නොදීම නිසා අයින් කළා. ප්‍රතිඵලය වශයෙන් ඒ කර්මාන්ත ශාලා වැසෙමින් තිබෙනවා. ආර්ථිකයේ යම්කිසි බැස්මක් ඇතිවෙලා තියෙනවා. පසුගිය කාලයේ ණය ගත්තේ මානව හිමිකම්-ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිදු තැකීමක් නැති චීනයෙන්. දැන් ණය පොලී ගෙවන්න වෙලා තිබෙනවා. ඒ අමාරුකම් එනකොට එක්කෝ ආණ්ඩුවට සිය ගමන් මග වෙනස් කරන්න වෙනවා. මේක කරන්න ක්‍රම 2යි තියෙන්නේ. එක ක්‍රමයක් තමයි ආණ්ඩුවේ හිත වෙනස් කිරීම, නැත්නම් ආණ්ඩුව වෙනස් කිරීම. මේ ආණ්ඩුවට සහාය දීලා-මේ ආණ්ඩුව යුද මාවතේ ගමන් කරවලා-ආණ්ඩුව බොරු වළකට තල්ලු කරපු බලවේග දැන් කියනවා මේ ආණ්ඩුව පෙරළන්න ඕනෙ කියලා. හැබැයි ඒ අය පෙරළන්න ඕන කියන්නේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නෙවෙයි, මේ ආණ්ඩුවයි. මහජන බලවේගය මත ආණ්ඩුවක් වෙනස් වෙනවා නම් ඒ ආණ්ඩුවට ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන්. අධිකරණ ප්‍රශ්නය වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල ප්‍රශ්නය වෙන්න පුළුවන් මේ ප්‍රශ්න සියල්ලෙම යට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. අපි කිව්වා ජාතික ප්‍රශ්නය විසඳන්න අපොහොසත් වීම නිසා ඇතිවන ගැටලු තමයි මේ විදිහට වෙන තැන්වලින් මතු වෙන්නේ කියලා.

ජාතික ප්‍රශ්නය ප්‍රාග්ධන හිඟකමත් එක්ක එකට ගැට ගැහිලයි තියෙන්නේ. ප්‍රාග්ධනය සපයාගන්න වෙන්නේ ප්‍රාග්ධනය තියෙන තැන්වලින්. ඒ කියන්නේ බටහිර රටවල්වලින්. ඒ අය මේකට ප්‍රාග්ධනය යොදවන්න සූදානම්. මොකද මෙහේ යහපාලනය තිබුණේ නැත්නම් ඒ අයට කරදරයි. නමුත් එයාලට මෙහෙ යහපාලනය නැත්නම් ව්‍යාපාර සඳහා ආයෝජනය කරන්න බැහැ. ඇමරිකාවේ කාටහරි මෙහෙට ආයෝජන ගේන්න ඕන නම් ඔවුන්ට මෙහෙ යහපාලනයක් ක්‍රියාත්මක වීම, ස්වාධීන අධිකරණයක් පැවතීම අත්‍යවශයි. අනෙක් පැත්තෙන් අනවශ්‍ය සංක්‍රමණිකයන් ඔවුන්ගේ රටවලට පැමිණීම වළක්වන්න නම් මෙහේ සාපේක්ෂව යහපාලනයක් තියෙන්න ඕන. ඔවුන් අපට සම්පත් ලබාදෙන්න කැමතියි. හැබැයි ඒකට හිලව් වෙන්න මෙහේ යහපාලනය ස්ථාපිත කරන්න ඕන කියලයි ඔවුන් ඉල්ලන්නේ. මම එහෙම කියන්නේ හුදු විශ්වාසයක් නිසා නෙවෙයි, සංවර්ධන උපාය මාර්ගයක් වශයෙන් බටහිර එක්ක බැඳිලා වැඩ කරගෙන යනවා නම් ඒක සඳහා ඔවුන් කියන වෙනස්කම් ටික කරන්න ඕන. හැබැයි වැඩේ එතැනින් ඉවර වෙන්නේ නැහැ. ආයතන වෙනස් කළාට වැඩක් නැහැ, සමස්තයක් වශයෙන් මහජනතාව ප්‍රතිසංස්කරණ විරෝධීන් නම්, මහජනතාව ඒ නව ප්‍රතිසංස්කරණවලට විරුද්ධව එළියට බහිනවා. එතකොට ඒ කට්ටිය ආයෙත් මර්දනය කරන්න වෙනවා. නැත්නම් රටේ යහපත උදෙසා කරන මේ ප්‍රතිසංස්කරණ බිඳ වැටෙනවා. බලයට එන නව ආණ්ඩුවක් දෙමළ ජනතාවට බලය බෙදන්න ක්‍රියා කළොත්, ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියෙන් එහාට ගිහින් ඒකට විරුද්ධව කවුරු හරි පෙළපාලි යනවා නම්, ඒ මගින් ආණ්ඩුවේ කටයුතුවලට බාධා වෙනවා නම් ඒක මර්දනය කරන්න ඕන. එතකොට ආපහු ඒ නව ආණ්ඩුව මර්දනකාරී ආණ්ඩුවක් බවට පත් වෙන්න නියමිතයි. ඒක වළක්වන්න නම් මහජනයා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරවලට පක්ෂපාතී පිරිසක් බවට පත්කිරීම සඳහා මතවාදීව අරගලයක් අපි ඇතිකළ යුතුයි. එතකොට පෙළපාලි යන්නේ බලය බෙදීමට විරුද්ධව නෙවෙයි, බලය බෙදලා රට සංවර්ධනය කරන්න කියන පැත්තෙන්.

1977 වෙනකන් ආණ්ඩු ප්‍රාග්ධන හිඟය මගහරවා ගන්න උත්සාහ කළේ විදේශීය වත්කම් ජනසතු කිරීම හරහා දේශීය වශයෙන් ප්‍රාග්ධනය ජනනය කිරීමෙනුයි. 1977න් පස්සේ ආණ්ඩු උත්සාහ කළේ විදේශීය වත්කම් රටට ඇද ගැනීම හරහා මේ දේ කරන්නයි. ඒ ඒ අවශ්‍යතා අනුවයි මේ අවස්ථා දෙකේදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් හැදුවේ. නමුත් මතුවුණ විරෝධතා සහ ඒවා දැඩි ලෙස මර්දනය කිරීම් නිසා ඒ ප්‍රතිසංස්කරණ හරහා ප්‍රාග්ධන හිඟය මගහරවා ගන්න බැරි වුණාම මේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් වශයෙන් පැන නැගුණා. එතකොට මහජන මතවාදය හැදුවේ අපට දියුණු වෙන්න බැරි ත්‍රස්තවාදීන් කරදර කරන නිසා කියලයි. ඒ නිසා ත්‍රස්තවාදය පරාජය කරන්න ඕන කියලා කිව්වා. 2013 වෙනකොට දැන් ත්‍රස්තවාදය පරාජය කරලා ඉවරයි. නමුත් ආයෙමත් අපි ණයයි. දියුණු වෙන්න බැහැ. මොකද ආයෙමත් අපිට ප්‍රාග්ධනය හිඟයි. දැන් ප්‍රාග්ධනය නැවත ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ යහපාලනය ඇති කිරීමෙන්. මොකද ජේගආර් හදපු ප්‍රතිසංස්කරණවලට එදා තිබුණු විරෝධය අද නැහැනේ. අද තිබෙන ප්‍රශ්නය තමයි අද ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රාග්ධනයේ හිඟයක් තිබෙනවා. මම කියන්නේ ප්‍රාග්ධන හිඟය තමයි ප්‍රශ්නය.ඒ ප්‍රාග්ධන හිඟයට ඇට වවලා, පැළ වවලා උත්තර හොයන්න බැහැ.එළියෙන් ප්‍රාග්ධනය ගේන්න ඕන. එළියෙන් ප්‍රාග්ධනය පැමිණීමත් එක්කම අයිතිවාසිකම් අහිමිවීමක් සිදුවෙනවා. එතකොට අපි යුද්ධය කරනකොට මානව හිමිකම් කඩ නොවන ආකාරයට යුද්ධය කරන්න ඕන වගේම ප්‍රාග්ධනය ඇවිල්ලා, ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වයක් ඇති වෙද්දීත් මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමිතීන් රැකෙන ආකාරයට කරන්න ඕන.

පසුගිය කාලයේ රජය බලාපොරොත්තු වුණේ චීනයේ හයිය පෙන්නුවම යුරෝපය යහපාලනය, මානව අයිතිවාසිකම් ආදී කොන්දේසි විරහිතව ආධාර දෙයි කියලයි. නමුත් එහෙම වුණේ නැහැ. දැන් කරන්න තියෙන්නේ නැවත වතාවක් රට විවෘත කරලා, ජාත්‍යන්තරයේ රටවල් සමඟ සම්බන්ධ කරලා ශිෂ්ට සම්පන්න සමාජයේ පිළිගන්නාවූ ප්‍රමිතීන් මේ රටේ ඇති කිරීමයි. ඒ තුළයි යුරෝපයේ ප්‍රාග්ධනය ඇදගන්න පුළුවන් වෙන්නේ. නැතුව ආයෝජකයෙක් මෙහෙට ආවම එයාගෙන් පගාවක් ඉල්ලනවා නම්, අධිකරණය ඉදිරියේ යුක්තිය ඉටු වෙන්නේ නැත්නම් එතකොට එයා මෙහේ ආයෝජනය කරන්නේ නැහැනේ.

ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටනක් ඉස්සරහට පැමිණෙනවා…

‛සමබිම පුවත්පත 2013 පෙබරවාරි කලාපය 08 පිටුව’

මේ අනුව සිය දේශපාලන බලය වෙනුවෙන් ජාතිවාදයත් ආර්ථිකය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණත් යන එකිනෙකට නොගැලපෙන පීලි මත ආණ්ඩුවට ගමන් කිරීමට සිදුවී ඇත. ආණ්ඩු හිතවාදී මාධ්‍ය, සිවිල් සමාජ බලවේග මෙන්ම ආණ්ඩු විරෝධී මාධ්‍ය සහ සිවිල් සමාජ බලවේගයන්ද මේ තත්වය හමුවේ ව්‍යාකූල වී ඇති බව පෙනේ. නවනීදන් පිල්ලේ යනු මේ අර්බුදයේ එක් ප්‍රකාශනයක් මිස විසඳුම නොවේ. විසඳුම ඇත්තේ දේශීයව අප ජාතිවාදය පැරදවීම මතය.

ප්‍රබෝධ චින්තක රත්නායක 

mervin

Recent Posts

Tags: , , , , , , , , , , , , , ,

Leave a Comment