සමගි බලවේගය හමුවේ ඇති අභියෝගය

Sep 6th, 2013 | By | Category: LEAD NEWS, sunday1, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

‛‛යුද්ධය අවසන්වූවා විය හැකිය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කොට නීතියේ ආධිපත්‍යය හීන කෙරිණ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසම හා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතනවල පත්වීම් නිර්දේශ කළ ව්‍යවස්ථා සභාව වැනි විධායකයේ බලය පිළිබඳ වූ වැදගත් සංවරණ හා තුලන ක්‍රමය දුර්වල කෙරිණ. මෙම වසරේ මුලදී අගවිනිසුරුවරිය විවාදාත්මක ලෙස ඉවත් කිරීම හා ජේ්‍යෂ්ඨ අධිකරණ පත්වීම් පැහැදිලිවම දේශපාලනීයකරණය වීම අධිකරණයේ ස්වාධීනත්වය ගැන වූ විශ්වාසය පළුදු කරවීය.

යුද්ධය අවසානයේදී නව ගතිකත්වයෙන් පිරි සියල්ලන් ඇතුළත් කර ගන්නා අවස්ථාවක් උදාවුවද ශ්‍රී ලංකාව අධිපතිවාදී පාලනයක් කරා වැඩි වැඩියෙන් යොමුවීමේ ලක්ෂණ පෙන්නුම් කිරීම ගැන මම බෙහෙවින් කණස්සල්ලට පත් වන්නෙමි. ”
ඉහත දක්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය තම සත්දින ශ්‍රී ලංකා සංචාරය නිමවා පෙරළා යාමට පෙර පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී ඇය විසින් කරන ලද දේශනයේ උපුටා ගත් කොටසකි. එහි ඉතාම ප්‍රබල වනුයේ යුද්ධය අවසානයේදී නව ගතිකත්වයෙන් පිරි සියල්ලන් ඇතුළත් කර ගන්නා අවස්ථාවක් උදාවුවද ශ්‍රී ලංකාව අධිපතිවාදී පාලනයක් කරා වැඩි වැඩියෙන් යොමුවීමේ ලක්ෂණ පෙන්නුම් කිරීම ගැන තමා බෙහෙවින් කණස්සල්ලට පත්වන බවට ඇය විසින් කරන ලද ප්‍රකාශයයි. ලංකාවේ ජනාධිපති සහ ආණ්ඩුව ඉතාම තදින් ප්‍රතික්‍රියා කරන ලද්දේද එම ප්‍රකාශයටය. එවන් ප්‍රකාශයක් කිරීම මගින් ඇය තම සීමාව ඉක්මවා ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශනය විසින් සඳහන් කරන ලදී. ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ තරම් මැතිවරණ පවත්වන තමා ඒකාධිපතියෙක් ලෙස හඳුන්වන්නේ කෙසේද යන්නයි.

ආණ්ඩුවේ දිනමිණ වාර්තා කරන ආකාරයට ‛‛කලට වේලාවට මැතිවරණ පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමට කැප වූ තමා ඒකාධිපති නායකයකු වන්නේ කෙසේදැයි” ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කොට ඇත.
ඒකාධිපතියන් යනු මැතිවරණ නොපවත්වා තනි මතේට වැඩ කරන පුද්ගලයන් බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ත්‍රස්තවාදය නිමා කර උතුරේ ජනතාවට මැතිවරණයක් දුන්නා සේම 2005 වසරේ සිට මේ වනවිට මැතිවරණ 11ක් පැවැත්වීමට තමා කටයුතු කර ඇති බවත් මේ තරම් මැතිවරණ තියපු රටක් ආසියාවේම නැති බවත් පෙන්වා දුන්නේය.

පිටරටින් එන අයට කවුරු කුමන කේලාම් කීවත් සත්‍ය කුමක්ද කියා මේ රටේ ජනතාව හොඳින් දන්නා බව අවධාරණය කළ ජනාධිපතිවරයා දේශීය හෝ විදේශීය බලවේගවලට යටවීමට තමා කිසිසේත් සූදානම් නොමැති බවත් පැවැසීය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ සැප්තැම්බර් 2 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 62 වැනි සංවත්සරය සහ එළඹෙන පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ජන රැලියට කුරුණෑගල මාළිගා පිටියේ දී එක්වෙමිනි.
බලය ගැනීමේ අරමුණ ඇති ඇතැමුන් පිටරටට කේලාම් කියමින්, අසත්‍ය ප්‍රචාර පතුරවමින් තමා ඉවත් කර ගැනීමේ මාර්ග සොයමින් සිටින බවත් තමා ඉවත් වුවත් මේ රටේ ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් ඉවත් කරන්නේ නැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙයට පිළිතුරු ලෙස විපක්ෂයේ පක්ෂ දෙකක් තම අදහස් දක්වනු ලැබුවත් ඒ දෙකම සිදු කරන ලද්දේ මහජන රැස්වීම්වලදී නොව මාධ්‍ය හමුවලදීය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එදිනම පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී

‛‛ජනාධිපතිවරයා අහනවා මම ඒකාධිපතියෙක් වෙන්නේ කොහොමද කියලා. අපිට අහන්න තිබෙන්නේ ඒකාධිපතියෙක් නොවෙන්නේ කොහොමද කියලයි. ඡන්දවලින් තමයි පාලකයන් ඒකාධිපතිත්වය ආරම්භ කළේ. මේ රටේ ඇමති මණ්ඩලයක් නැහැ. මාධ්‍යවලට ලියන්න බැහැ. ජනතාවට සාධාරණ හේතුවලට සටන් කරන්න බැහැ. අපරාධවලට එරෙහිව පරීක්ෂණ නැහැ. සියලුම සිවිල් ක්‍රියාකාරකම්වලට හමුදාව මැදිහත් කරනවා. ඒවා තමයි ඒකාධිපති පාලනය කියන්නේ’’ යයි පැවසිය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිචාරයට සමාන ප්‍රතිචාරයක් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා විසින්ද පළ කරන ලදී.

‛‛අප ප්‍රශ්න කරන්නේ හුදෙක් මැතිවරණ පැවැත්වූ පමණින් රටක් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයේ ගමන් කරනවා යැයි කියන්නට පුළුවන්ද යන කාරණයයි. සිම්බාබ්වේ රාජ්‍යයේ මුගාබේ විසින් පැවැත්වූ මැතිවරණ ලෝක ප්‍රජාවගේ දැඩි විවේචනයට ලක් වුණා.

2005 සිට මේ දක්වා පැවැති මැතිවරණ රජයේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මිස නිසි කලට පැවැත්වූ ඒවා නොවන බව ජනතාවට පැහැදිලියි. මෙවැනි මැතිවරණවලදී බොහෝ විට අදාළ ආයතන නිසි කාලය සම්පූර්ණවීමට පෙර විසුරුවා හැරි ආකාරයටත් අපි දුටුවා. එය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක රාජ්‍ය සේවය පොලීසිය ස්වාධීනයි. අධිකරණයට ඇඟිලි ගැසීම් සිදු කෙරෙන්නේ නැහැ. බලයේ සිටින අයටත්, විපක්ෂයේ අයටත් නීතිය සාධාරණව බලපැවැත්වෙනවා. පුරවැසියන්ට තොරතුරු ලබා ගැනීමේ අයිතිය ලැබෙනවා. බලෙන් ලබා ගත් පාර්ලිමේන්තු බහුතරයකට මුවාවී 18 වැන සංශෝධනය වැනි දේ ගෙන එන්නේ නැහැ.

මැතිවරණ නීති තම දේශපාලන බලපරාක්‍රමයෙන් යටපත් කර කෙතරම් මැතිවරණ පැවැත්වුවත් එමඟින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නැහැ. මෙවර පළාත් සභා මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදුවෙමින් පවතින්නේ මීට පෙර පැවැති මැතිවරණවලදී මෙන් මැතිවරණ නීති නොසලකා හැරීමයි. ඒ නිසා අපි ආණ්ඩුවට යළිත් වරක් ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාව නගන චෝදනා සම්බන්ධව මෙරට ජනතාව හමුවේ ආවේගශිලී කතා නොකියා නිදහස් සහ සාධාරණ ලෙස එම මැතිවරණය පවත්වා චෝදනාවලට පිළිතුරක් ලබාදෙන ලෙස” යැයි සැප්තැම්බර් 4 වන දා පැවැති එම සාකච්ඡාවේදී කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

නවනීදන් පිල්ලේ මහත්මියගේ ප්‍රකාශය හේතුවෙන් යුද්ධයට නායකත්වය දුන් ජනාධිපතිවරයා අපහසුතාවයට පත්ව ඇති බව පැහැදිලිය. එමෙන්ම එම යුද්ධයට කරගෙනයාම සඳහා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 39 දෙනෙකුගේ සහය කොන්දේසි විරහිතව මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු සමඟ ආණ්ඩුවට එක්වී යුද්ධය සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත ශක්තිමත් කළ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාද එයින් අමන්දානන්දයට පත්වී ඇති බවද පැහැදිලිය.

නවනීදන් පිල්ලේ මහත්මියගේ කැරොල් කරත්තයට ටිල්වින් සිල්වා සහ කරු ජයසූරිය පමණක් නොව දේශපාලන පත්වීමක් ලැබ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් ජිනීවා නුවර තානාපතිකම් කරමින් යුද්ධය වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය දයාන් ජයතිලක මහතාද ගොඩ වී ඇත. මෙවන් තත්ත්වයක් යටතේ ‛බටහිර කුමන්ත්‍රණකරුවන් සහ අධිරාජ්‍යවාදීන්ගේ හෙංචයියන්’ යන නම්බු නාමවල සිට සිංහල කොටින් සහ ඩොලර් කාක්කන් යන අභිවාදන්ද පසුගිය වසර ගණනාවක් තිස්සේ ලබමින් සිටි සිවිල් සමාජයේ අපටද එම කැරොල් කරත්තයටම ගොඩනැගී අගේ ඇති තැනකින් වාඩි වී ‛‛ඕක තමයි අපි කිව්වේ” කියමින් ජනාධිපතිවරයාට කෝචොක් දැමීමට අයිතිවාසිකමක්ද හැකියාවක්ද ඇත.

ඒ පහසු මාර්ගයෙහි ගොස් ජනාධිපතිවරයාගේ කතාව අවඥාවෙන් හෙළා දකිනවා වෙනුවට මෙම ප්‍රශ්නය ගැඹුරට විමසා බලමින් ජනාධිපතිවරයාගේ කථාවෙන් මතුවන හැඟවුම්කාරකය හැඟවුම් කරගැනීමට අප උත්සුක විය යුතුය.
තමා ඡන්ද 11ක් පවත්වා ඇති බව බව ඔහු කියනවිට එය සත්‍යයකි. පළමු ඡන්දය කෙස් ගහෙන් දිනූ ඔහු ඉන්පසු පැවැති ඡන්දවලදී අනුක්‍රමයෙන් වැඩිවන වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. මෙසේ කරන ලද්දේ කෙසේද? එසේ කරන ලද්දේ එක් අතකින් දෙමළ ජනතාවගේ ජාතික අරගලයට එරෙහිව එය යුදමය වශයෙන් පරදවන් බවට පොරොන්දු දී සිංහල ජාතිවාදය බල මුළු ගැන්වීමෙනි. අනෙක් අතින් එකී සිංහල ජනතාවට (සහ මුස්ලිම් සහ කතෝලික ආගමිකයන්ද වතුකරයේ දෙමළ ජනතාවද ඇතුළුව) විශාල වශයෙන් සහන සහ සංවර්ධන ප්‍රතිලාභ ලබා දීමෙනි. පවත්වනු ලබන ඡන්ද ‛සාධාරණ’ නොවුණද ඒවා ‛නිදහස්’ ඡන්ද ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් අවසාන වශයෙන් සහතික කරනු ලබන අතර ඔහු ඒ ඡන්ද ජයග්‍රහණය කරන්නේ සහන සහ ජාතිවාදය එකට අනා සකසා ගත් මිශ්‍රණය යොදා ගැනීමෙනි. මේ මිශ්‍රණය සකසන ලද්දේ 2004 වසරේ බලයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගත් දීගයෙන් උපන් දරුවා වන ‛මහින්ද චින්තනය’ විසිනි.

මෙහිදී නවනීදන් පිල්ලේ මහත්මියගේ දේශනයෙහි හෝ මාධ්‍ය සංවිධාන හෝ සිවිල් සමාජ සංවිධාන විසින් ඇය වෙත ඉදිරිපත් කරන වාර්තාවන්හි හෝ සාකච්ඡා නොවන්නේ ජාතිවාදය දේශපාලන බලවේගයක් ලෙස සංවිධානය කිරීම පිළිබඳ කාරණයයි. ඒ කාරණය අමතක කොට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳව පමණක් කථා කිරීම වනාහි නරුමකමකි. එවන් උත්සාහයක් නැවතත් නිමාවිය හැක්කේ 2001දී එවකට පැවැති පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ලවා 17 වන සංශෝධනය සම්මත කර ගැනීමට අනුරූප වූ තත්ත්වයකි. එම ප්‍රතිසංස්කරණයෙන් දිනා ගත් ප්‍රතිසංස්කරණ වසර හතරක් ගතවීමට පෙරාතුව විනාශ කර දමන ලද්දේ 2/3 ක පාර්ලිමේන්තු බලයක් සහිත අධිකාරවාදී දිශාවකට ගමන් කරන ජනාධිපති වීසින් තනි මතයට ගෙන ආ 18 වන සංශෝධනයෙන් නොව ව්‍යවස්ථාදායකය, අධිකරණය, බුද්ධිමතුන්, ජනමාධ්‍ය ඇතුළු සියළුදෙනාගේ ආශීර්වාදය ලත් එවකට පාර්ලිමේන්තුවේ 1/3 ක බලයක් පමණක් තිබූ ජනාධිපති විසින් බව මතක තබා ගත යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇතිකිරීම ජාත්‍යන්තර ප්‍රජාවට හෝ ආණ්ඩුවට පමණක් සිදුකළ හැක්කක් නොවේ. එය කළ හැක්කේ එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අවංකව, ප්‍රසිද්ධියේ පෙනී සිටින මහජන බලවේගයක්ද අවශ්‍යය. ආණ්ඩුව ජාතිවාදය යොදාගෙන තම ආධිපත්‍යය පවත්වා ගන්නා විට ප්‍රතිසංස්කරණ ඇති කරගත හැක්කේ ආණ්ඩුව ජාතිවාදයෙන් ඉවතට තල්ලු කිරීමෙනි. එය කළ හැක්කේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින මහජන ව්‍යාපාරය සුළුතර ජනකොටස්වල දේශපාලන අයිතිවාසිකම් පිළිගනිමින් ජාතිවාදයට එරෙහිව ස්ථාවරයක් ගැනීම මගිනි. අද ඉදිරියට පැමිණ ඇති ‛සමගි’ බලවේගය හමුවේ ඇති අභියෝගය එයයි.

සුදර්ශන ගුණවර්ධන

 

Recent Posts

Tags: , , , , , , , , , , , , , , , , , ,

Leave a Comment