හඳුනා ගත්තොත් ඔබ මා..

Sep 9th, 2013 | By | Category: LEAD NEWS, පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රවීනතම මානව හිමිකම් ක්‍රියාධරිනියක් වූ සුනිලා අබේසේකර මහත්මිය මීට සුළු වේලාවකට ප්‍රථම දැයෙන් සමුගත් බව ‘සමබිම’ සාතිශය සංවේගයෙන් යුතුව වාර්තා කරයි.

පසුගිය කාලයේ අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය හදිසියේ රෝහල ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාවප්‍රාප්ත වූ බව ප්‍රකාශකයෙකු පැවසීය.

88-89 භීෂණ සමය තුළ අතුරුදහන්වූවන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ මානව හිමිකම් ආරක්ෂා කරගැනීම සඳහා ඇය අමිල සේවයක් කළ අතර ඇගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්ෆෝම් මානව හිමිකම් දත්ත කේන්ද්‍රය ඒ පිළිබඳ තොරතුරු එකතු කිරීමේදී වැදගත් වැඩ කොටසක් කළාය. විශේෂයෙන්ම ‘මවුවරුන්ගේ පෙරමුණ’ සහ ‘අතුරුදහන්වූවන්ගේ මාපිය දූදරු සංවිධානය’ සමග සමීපව කටයුතු කළ ඇය එම සංවිධාන නියෝජනය කරමින් එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව සිටි මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර මහත්වරු ජිනීවාහි මානව හිමිකම් කොමිසම වෙත ගිය අවස්ථාවේදී ඒ කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වැඩ කොටසක් කළාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට 50 වසරක් පිරීම නිමිත්තෙන් 1998 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් කොෆී අන්නන් මහතා විසින් ප්‍රදානය කරන ලද ජාත්‍යන්තර මානව හිමිකම් සම්මනයෙන්ද සුනිලා අබේසේකර මහත්මිය පිදුම් ලැබුවාය.

ජනතා විමුක්ති පෙරමුණ හරහා දේශපාලනය ආරම්භ කළ ඇය පසුව ඉන් ඉවත්වුවද ප්‍රගතිශීලි වාමාංශික දේශපාලන බලවේග සමග එක්ව කටයුතු කළාය. ලංකාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ සමාරම්භිකාව ලෙසද ඇය සලකනු ලැබේ. දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් නොසැලී පෙනී සිටි ඇය ජාතීන් අතර යුක්තිය හා සමානත්වය පිළිබඳ ව්‍යාපාරයේ ලේකම්වරිය ලෙසද කලක් කටයුතු කළාය.

ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් චිත්‍රපටයේ එන ‘හඳුනාගත්තොත් ඔබ මා..’ යන සදානුස්මරණීය ගීතය ගායනා කළ ඇය ගායිකාවක් ලෙසද නොමැකෙන නමක් තබා ඇත.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් සමග ඇතිවූ මර්දනකාරී තත්ත්වය තුළ ව්මතික ක්‍රියාකාරීනට එල්ලවූ තර්ජන හමුවේ ඉන් බැහැරවූ ඇය පසුගිය කාලය තුළ ජීවත්වූයේ විගාමිකවය.

‘සමබිම’ පළකරන රයිට්ස් නව් සංවිධානය පිහිටුවීමේදී එයට විශාල දායකත්වයක් දැක්වූ සුනිලා අබේසේකර මහත්මිය එහි ආරම්භක සාමාජිකාවක්ද වූවාය.

සුනිලා අබේසේකර මහත්මියගේ හදිසි අභාවය ලංකාවේ මානව අයිතිවසිකම් ව්‍යාපාරයට පමණක් නොව ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරයට ඇතිකරන ලද්දේ පිරිමසාලිය නොහෙන පාඩුවකි.

‘සමබිම’ ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරයි.

sunila-abeysekara1

Recent Posts

Tags: , , ,

Leave a Comment