සමුගන්නට අවසරයි!

Sep 12th, 2013 | By | Category: LEAD NEWS, පුවත්

පුරා වසර තුනක උත්සාහයකින් අනතුරුව අන්තිමේදී පරාජය භාරගත් අපි රාජගිරියේ, කෝට්ටේ පාරේ පිහිටි MDDR ආයතනය හෙවත් ‛ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය’ එහි මුල් අයිතිකරුවන් වෙත භාරදී මහපාරට බැස්සෙමු. අපට එරෙහිව ඒකාබද්ධ වූ සතුරු බලවේග විසින් එක මොහොතකින් සියල්ල අපට අහිමි කරන ලද අතර ඉතිරිව තිබුණේ අධිෂ්ඨානය පමණකි.

එම මොහොතේ අපට හිසට වහළක් සහ සිතට නිවනක් දෙන්නට එක් ගැහැණියක් ඉදිරිපත් වූවාය. තැනින් තැන ගොස් ගත කළ අහිගුන්ඨික ජීවිතයට නැවතීමේ තිත තබමින් අපි එකොළොස්දෙනා කොළඹ, විජය කුමාරතුංග මාවතේ කෙළවරක පිහිටි ඇගේ කාර්යාලයේ කොරිඩෝරය අපගේ කාර්යාලයද, සම්මන්ත්‍රණ ශාලාවද බවට පත් කරගත්තෙමු. ඒ 2006 වසරේ අගභාගයේදීය. ගින්නෙන් දැවී ගිය අළු මතින් නැවත ඉපැදුණු ෆීනික්ස් පක්ෂියා මෙන් අප ‛රයිට්ස් නව්’ සංවිධානය නමින් නැවත උපත ලදුයේ ඇයගේ කොරිඩෝරය සෙවනේදීය. එදා එසේ ඇය අපට ඉඩ කඩ ලබා නොදුන්නා නම් ‛රයිට්ස් නව්’ සංවිධානය සමහරවිට බිහි නොවන්නට පවා ඉඩ තිබිණි.

2007 වසරේදී වෙනත් නිවහනකට ගිය අපි 2008 වසරේදී ‛සමබිම’ ඉරිදා සංග්‍රහය ආරම්භ කළෙමු. එහි දෙවන කලාපය සැරසුණේ ඇය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකිනි.

ඒ කාන්තාව සුනිලා අබේසේකර නම් වෙයි. පිළිකා රෝගය සමඟ කළ දීර්ඝ සටනකින් පසුව සැප්තැම්බර් 9 වනදා සන්ධ්‍යා භාගයේ ඇය දිවි ගමනින් සමුගත්තාය. මේ කෙටි සටහන ඇය කළ සේවය අගැයීමට නොවේ. මේ සටහන ඇය අප වෙනුවෙන් කළ මැදිහත්වීම සහ අපට දැක්වූ ආදරය පිළිබඳව කෘතවේදීව සිහිපත් කරන්නටය.

‛සමබිම’ තුළ සුනිලාගේ උරුමයද ඇත. ඇගේ වියෝවෙන් අප කම්පා වුවද ඇගේ උරුමය අප දිගටම ඉදිරියට රැගෙන යන බව මෙසේ සටහන් කරමු. ‛සමබිම’ වනාහි එක් ආකාරයකින් ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර සමානාත්මතාව සහ වෙනස්කොට නොසැලකීම උදෙසා ඈ ලංකාව තුළ ගෙන ගිය පුරෝගාමී කාර්යභාරය 21 වන සියවසේ දෙවන දශකයේ යථාර්ථයන්ට අනුව ගලපවා ගැනීමට ‛රයිට්ස් නව්’ සංවිධානය දරනු ලබන වෑයමක්ද වන්නේය.
සුනිලා, අපි නැවත හමුවෙමු, එතෙක් සුන්දර සිහින දකින්න !

රයිට්ස් නව් සාමුහිකයේ අපි

සුනිලා අබේසේකර මහත්මියගේ අවසන් කටයුතු මෙතනින් බලන්න  (වීඩියෝ)



Recent Posts

Tags: , , , , , , , , , , ,

Leave a Comment