නැගී සිටිනු මැන මේ ගැයුමින් – ඔබේ ලොවයි මේ බිහිවන්නේ*

Sep 13th, 2013 | By | Category: LEAD NEWS, sunday1, ඇන්ටිගනී, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

ගෝත්‍රික අවධියේදී පුරුෂයින් සතුන් දඩයම් කිරීමට යොමුවූ නමුත් ගැහැනිය ඒ සඳහා යොමු වීමක් පෙන්වූයේ නැත. පුරුෂයින් විසින් දඩයම් කරගෙන එන සතුන් ආහාරය පිණිස සකස් කිරීම ආදී අවශේෂ කටයුතුවල පමණක් ගැහැනිය නිරත විය. පසුව මිනිසා පරිණාමය වීමත් සමඟ පුරුෂයින් රැකියාවක් කොට මුදල් ඉපැයීම වැනි දේටත් කාන්තාව නිවසේ සිට ගේදොර රැකබලා ගැනීම, දරුවන් හදා වඩා ගැනීම වැනි දේටත් යොමු විය. ඒ සමඟම සමාජය තුළ කාන්තාවට සහ පුරුෂයාට ආවේනික භූමිකාවන් නිර්මාණය වූ අතර ටික කලක් යාමේදී එම අදහස් සමාජය තුළ මුල්බැස ගැනුණි. සමාජය වඩ වඩාත් පරිණාමය වීමත් සමඟ මිනිසාගේ අවශ්‍යතා සංකීර්ණ වීම තුළින් වඩාත් විස්තීරණ ආර්ථික, සමාජයීය, දේශපාලන හා සංස්කෘතික ජීවන රටාවකට ප්‍රවේශවීමත් කාන්තාවට අධ්‍යාපනයේ නව මංපෙත් විවර වීමත් සමඟ පුරුෂයාට පමණක් සීමා වී තිබූ රැකියා ක්ෂේත්‍රයට කාන්තාවගේ ආගමනය සිදුවිය. නමුත් ශ්‍රී ලංකාව වැනි පුරුෂ මූලික සමාජයක් තුළ මුල් බැසගෙන තිබෙන කාන්තාවට ආවේණික භූමිකාව වෙනස් නොවුන අතර ඇයට රැකියාව කිරීමට සිදුවන්නේ ඇයට කාන්තාවක් වීම නිසාම ආරෝපණය වී ඇති භූමිකාව රඟන අතරදීය.

එහිදී පුරුෂ මූලිකව සකස් වී ඇති සමාජ ක්‍රමය තුළදී කාන්තාව වෙනස් කොට සැලකීමකට ලක්වීමටත් ඒ හරහා ඇයට විවිධ අපහසුතාවයන්ට මුහුණ පෑමටත් සිදු විය. කාන්තාව මේ ආකාරයට දිගුකාලීනව විවිධ පීඩාවන්ට හා අසාධාරණයන්ට ලක්වීමෙන් ලැබූ අත්දැකීම් පාදක කොට ගනිමින් ඇය යම් අවස්ථාවක තම අයිතිවාසිකම් පිළිබඳ සංවේදී වීමටත් ඒ වෙනුවෙන් හඬක් නැගීමටත් යොමු වේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු සියලු මිනිසුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සංවේදී වෙමින් පොදුවේ මානව හිමිකම් ප්‍රඥප්තිය බිහිවූ අතර ඉන් පසු කාලීනව කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුවිශේෂී කොට සලකමින් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් බිහිවන්නේ ඇය සමාජය තුළ අනතුරාසන්න (Vulnerable) තැනැත්තියක් ලෙස හඳුනා ගත් බැවිනි. නමුත් පුරුෂ මූලික සමාජයක් තුළ කාන්තා අයිතිවාසිකම් ඒ අයුරින්ම ලබා දීමට කිසිවකු සූදානම් නැත. ඒ අනුව මානව අයිතිවාසිකම් පිළිබඳ අරගලය හා සමානව කාන්තා අයිතිවාසිකම් සඳහා ලෝකයේ විවිධ සමාජ බලවේග නිර්මාණය වී ඇත.

එසේ වුව ද එවැනි කාන්තා අයිතිවාසිකම් පිළිබඳ වූ බලවේගයක් නිර්මාණය කිරීමේදී එල්ලවන අභියෝග හුදු සමාජ ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට යාමේදී ඇතිවන ඒවාට වඩා වෙනස් තත්ත්වයක් ගනී. ඒ අනුව සමබිම ඇන්ටිගනී කණ්ඩායම මෙවර කාන්තා සමාජ ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේ දී මුහුණ පෑමට සිදුවන අභියෝග ඔබ හමුවට ගෙන එයි.

”Woman’s Inhumanity to Woman” ග්‍රන්ථයේ කතුවරිය වන ස්ත්‍රීවාදී මනෝ චිකිත්සකවරියක වන ෆිලිස් චෙස්ලර් තම ග්‍රන්ථය පිළිබඳ කරන ලද සාකච්ඡාවකදී සමාජ සාධාරණත්වය සඳහා වන ව්‍යාපාරයකදී ඇති වන ගැටුම් මෙසේ විග්‍රහ කරයි. මම හිතන්නේ කාන්තාවන් පමණක් සිටින සමාජ ව්‍යාපාරයක ගැටුම් අතිවිශාලයි. පිරිමින් බොහෝ දේ පෞද්ගලික කොට සැලකීම කරන්නේ අඩුවෙන්. කාන්තාවකට තවත් කාන්තාවක් මුණ ගැහෙන ක්ෂණයෙන් එම හමුවූ කාන්තාව ඇයගේ හොඳම යෙහෙළිය වෙයි. ඇයගේ මව වෙයි. නමුත් ඇය එසේ සොඳුරු නොවන බවට වටහා ගන්නා කල්හි ඇය නපුරු කුඩම්මා බවට පත්වෙයි. එසේ වන්නේ ඇයි යන්න අපි විග්‍රහ කර බැලිය යුතුවේ.

කාන්තාවක් සඳහා සමාජයීය පරිසරය තුළ නිසි පිළිගැනීමක් නොලැබෙන කල්හි ඇය සමාජය තුළ අනාරක්ෂිත වේ. එලෙස අනාරක්ෂිත සමාජයක් තුළ තම පැවැත්ම තහවුරු කර ගැනීමෙහිලා විවිධ පියවරයන් අනුගමනය කිරීමට ඇයට සිදුවේ. විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් තුළ ගැහැණිය කාන්තා සමාජ ව්‍යාපාරයක් තුළ ගොනු කළද ඒ තුළද ඇය අනාරක්ෂිත අයුරින් ක්‍රියා කරයි. ඒ අනුව තම හොඳම යෙහෙළිය වුවද ඊළඟ මොහොතේ දී සැක කරන්නේ ඈ තම ස්ථාවරභාවය බිඳදමතියි යන බිය නිසාය. කෙටියෙන්ම පවසතොත් කාන්තා ව්‍යාපාරයක් වුවද එය තවදුරටත් පුරුෂ මූලයක් මත නිර්මාණය වූ කාන්තාව කෙරේ සංවේදී නොවන ව්‍යුහයක් වන කල්හි ඒ තුළින් නිසි අරමුණ කරා ළගා විය නොහැකි වෙයි. අවසානයේ පැවැත්ම තහවුරු කර ගැනීම සදහා වන බල අරගලය සියල්ල පරයා මතු වේ. එවැනි තත්ත්වයක් තුළ කරන අරගලයකින් බොහෝ විට නිර්මාණය වන්නේ කාන්තාවට සංවේදී පරිසරයක් නොව පිරිමින්ගේ ව්‍යුහයට කාන්තාව වඩාත් හොඳින් අනුගත කිරීම සඳහා වන ක්‍රියාදාමයයි. ඒ අනුව වඩාත් හොඳින් තෝරා බේරා ගත යුතු වන්නේ කාන්තා ව්‍යාපාර තුළින් පිරිමි ව්‍යුහය ශක්තිමක් කිරීම වෙනුවට ඇය කාන්තාවක් වීම නිසාම සමාජයේ ඇති අභියෝග ජය ගෙන ඉදිරියට ගෙන ඒම සඳහා අවැසි මාර්ගය තනනවාද යන්නයි.

ඒ අනුව කාන්තා සමාජ ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේ ප්‍රධානතම අභියෝග කිහිපයක් හඳුනාගත හැකිය. ප්‍රධානතම අභියෝගය වන්නේ අභ්‍යන්තර බල අරගලයයි. බල අරගලය ජය ගැනීම සඳහා ගැහැනියක් තවත් ගැහැනියකට ඊර්ෂ්‍යා කරයි. නැතිනම් පිරිමියෙක් මෙන් හැසිරෙයි, තීරණ ගනියි, ක්‍රියා කරයි. එවැනි බල අරගලයක් තුලනය කිරීම සඳහා එවැනි සංස්ථාවක් තුළ ශක්තිමත් ව්‍යුහයක් අවශ්‍ය වේ. විශේෂයෙන්ම එම ව්‍යුහය කාන්තාව කෙරේ සංවේදී විය යුතුය. ඒ තුළ ඉතා නිවැරදි ලෙස එකිනෙකා ඇගයීමට ලක් විය යුතුය. සමාජය තුළ ඇති අගතියක් වන්නේ කාන්තාව ස්ත්‍රීත්ව ගති ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඇයට අනාගතය ගැන අපේක්ෂාවක් නැති තැනැත්තියක් බවත් ඇය පුරුෂ ගති ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඇය නපුරු දැඩි කාන්තාවක් බවත්ය. එමෙන්ම සමාජයට අනුව හොද නායිකාවක් වීමට නම් ඇය පිරිමියෙක් මෙන් ක්‍රියා කළ යුතු වේ. ඒ අනුව කාන්තා ව්‍යාපාරයක ව්‍යුහයට මෙම ඉරණම අත් නොවිය යුතු වේ.

කාන්තා සංවිධානයක් ආරම්භ වන්නේ කාන්තාවන්ටම විශේෂිත වූ පොදු අරමුණක් ඉටු කර ගැනීමට පිරිසක් එකතු වීම තුළිනි. නමුත් මෙම අරමුණ මහ පොළොවේ පැළ කිරීම එතරම් පහසු කාර්යයක් නොවන්නේ පුරුෂ මූලික සමාජය මෙවැනි තත්ත්වයක් භාර ගැනීමට කිසිසේත්ම සූදානම් නොවන බැවිනි. ඔවුන් මෙය දකින්නේ ‛ගැහැනුන්ගේ පිස්සු වැඩක්’ ලෙසය. එවැනි තත්ත්වයක් තුළ කල් ගත වෙත්ම කාන්තාවන්ගේ මේ පොදු අරමුණට ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂයන් එක්වීම සහ එම අභිලාෂයන් ඉටුකර ගැනීමට උත්සාහ කිරීම තුළින් එම පොදු අරමුණට තිබෙන ප්‍රමුඛතාවය බිඳවැටෙන අතර එමඟින් ව්‍යාපාරයද බිඳවැටීමට ලක් වෙයි.

ශ්‍රී ලංකාව වැනි ශක්තිමත් ආර්ථිකයක් නොමැති රටක විශාල වශයෙන් කාන්තා ව්‍යාපාර ගොඩ නැගෙන්නේ විදේශ ආධාර මත යැපෙන ව්‍යාපෘතියක් තුළිනි. මෙම ව්‍යාපෘති යම්කිසි කාලයකට සීමාවන බැවින් බොහෝ සංවිධාන ව්‍යාපෘතියත් සමඟම බිඳවැටීමට ලක්වන්නේ එම අයතනවලට දිගුකාලීන පැවැත්මක් සඳහා අවශ්‍ය වන නිසි මුදල් උත්පාදන ක්‍රමවේදයක් නොමැතිකම නිසාත්, දිගුකාලීනව ක්‍රියාත්මක වීමේදී කාන්තා ව්‍යාපාරයක් වෙත සමාජයෙන් එල්ලවන බලපෑම් සහ කාන්තා සංවිධානයක් තුළම උද්ගතවන ප්‍රතිවිරෝධතාවයන් හේතුවෙන් නිසි ආකාරයකට පාලනය කර ගැනීමට නොහැකි වීමත්ය නිසාය.

තවත් අභියෝගයක් වන්නේ සමාජය විසින් කාන්තා ව්‍යාපාරයක් දකින ආකාරයයි. සමාජ ව්‍යාපාරයක් තුළ වඩවඩාත් ක්‍රියාකාරී වන කාන්තාවක් වෙත සමාජය තුළින් එල්ලවන මතය වන්නේ ඇය ස්ත්‍රීවාදයේ පරතෙරටම ගිය තැනැත්තියක් ලෙසය. එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටක කාන්තා ව්‍යාපාරයක් සඳහා ක්‍රියාකාරී වන කාන්තාවන්ට තම සමාජ ව්‍යාපාරය සමාජගත කිරීම අපහසු වේ. එවැනි තත්ත්වයක් තුළ එම සමාජ ව්‍යාපාරය සඳහා අනෙකුත් කාන්තාවන්ගේ දායකත්වය ලබා ගැනීමට ඇති අවස්ථා අල්ප වේ. මන්ද යත් ලංකාවේ ළිං මැඩි සංස්කෘතිය තුළ ස්ත්‍රීවාදී (Feminist) ලේබලය අලවා ගැනීමට බොහෝ කාන්තාවන් අකමැති බැවිනි. එවිට සිදුවන්නේ අභියෝගය බිඳගනිමින් ඉදිරියට එන කාන්තා ක්‍රියාකාරිනියන් පමණක් එම ව්‍යාපාරය තුළ ඉතිරි වී ඔවුන්ගේ අවසානය ව්‍යාපාරයේද අවසානය වීමය.

කාන්තාව කෙරෙහි සමාජයේ වපර ඇස යොමු වීම කාන්තා ව්‍යාපාරවලට පමණක් සුවිශේෂී නොවේ. ආර්ථික අරගලයට උරදෙමින් ඇගේ රැකියා ස්ථානයේදීද ඇයට යොමු වන්නේ සමාජයේ වපර ඇසය. ආයතනික ගැටුම් කළමණාකරණය කිරීම පිළිබදව වූ පුහුණු වැඩමුළුවකදී සහභාගීකරුවන් වෙත අධ්‍යයනය සඳහා ඉදිරිපත් කළ භූමිකා රංගන අවස්ථා තුනකදීම ආයතනයක් තුළ ගැටුම් ඇති කිරීමට හේතුව නැතහොත් මූල බීජය කාන්තාව වටා ගොතා තිබුණි. ඒ අනුව එක් භූමිකා රංගනයකට අනුව ආයතනික ප්‍රධානියා එක් කාන්තාවක විශේෂ කොට සැලකීම නිසා තවත් පිරිමි නිලධාරියෙකුට හිමි වියයුතු උසස්වීම නවතා එම තනතුර තමාට හිතවත් කාන්තාව වෙත ලබා දීමට කටයුතු කර ඇත. තවත් භූමිකා රංගනයකදී දරුවන් සිටින කාන්තාවකට තමන්ට ඇති ප්‍රායෝගික ගැටලුවක් වූයේ තම සේවය නිසි ලෙස ඉටු කර ගත නොහැකිව ගැටුම් ඇති කරගන්නා ආකාරයයි. තෙවන භූමිකා රංගනයට අනුව ආයතනයේ ගිණුම්කරණ නිලධාරිනිය හා ප්‍රධානියා අතර ඇති වන විශේෂ සබදතාව මත ඇතිවන මුදල් අයතා පාලනය හමුවේ ගැටුම් රැසක් උද්ගත වේ. මෙම භූමිකා රංගන තුනෙන්ම දැක්වීමට උත්සාහ කළේ සමාජය තුළ කාන්තාව කෙරෙහි මුල් බැස ගෙන ඇති දෘෂ්ටිය සහ ඇයට සිදුවන අසාධාරණයයි. මෙම භූමිකා රංගනයන් දෙස බලා සිටි ඇතැම් පාර්ශ්වයන් ඒ දෙස උපහාසාත්මකව බැලුවේ ඔවුන්ගේ ආයතන තුළ එවැනි ප්‍රායෝගික අත්දැකීම් ඇති බැවින් විය හැක. එසේ වුවද ආයතන තුළ එවැනි තත්ත්වයන් උද්ගත වන්නේ පුරුෂ මූලික ආයතනයක කාන්තාවකට එම ආයතනික ව්‍යුහය තුළ විනිවිදභාවයකින් යුතුව ඉදිරියට යාමට අවස්ථාවක් හා නිසි ක්‍රමවේදයක් නොමැති බැවිනි. එවැනි තත්ත්වයක් තුළ කාන්තාව තම රැකියාවේ ස්ථාවර බව තහවුරු කර ගැනීමටත් ආයතනික ධූරාවලියේ ඉදිරියට යාමටත් ඉහත භූමිකා රංගනවල පරිදි විවිධ උපාය මාර්ග භාවිත කරන අතර කල්යාමේදී එය නිරායාසයෙන්ම ආයතනය තුළට අනුගත විය හැකිය. ඒ අනුව දේශීය වශයෙන් බිහිවන සමාජ ව්‍යාපාරයක් හෝ ආයතනයක් මගින් සමාජයට හා කාන්තාවන්ට නිසි සේවාවක් ලබා දීම සඳහා ඔවුන් තුළ පොදු එකඟතාවයක් නැතහොත් සම්මුතියක් තිබීම වැදගත් වේ. ඒ අනුව පුරුෂ මූලික ආයතනයක් තුළ කාන්තාවන්ට සමානාත්මතාවය හා සාධාරණත්වය හිමි කරදෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ගොඩනැගුණු ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ මේ නිසාය.

සමබිම ‛ඇන්ටිගනී’ කණ්ඩායම

* මේ රචනයේ මාතෘකාව ජනතා විමුක්ති පෙරමුණේ ‘විමුක්ති ගී’ ප්‍රසංගයෙනි. ඒ බව අපට සිහිපත් කළ ජයවර්ධන පාඨක හිතවතාට ස්තුතියි.- සංස්කාරක

 

women

Recent Posts

Tags: , , , , , , , , , , ,

2 Comments to “නැගී සිටිනු මැන මේ ගැයුමින් – ඔබේ ලොවයි මේ බිහිවන්නේ*”

  1. ජයවර්ධන says:

    රචනයෙ මාතෘකාව ජවිපෙ විමුක්ති ගී වල එන සිංදුවකි. ඒ බව සදහන් කරන්නේ නම් මැනැවි.

  2. suda says:

    මේ රචනයේ මාතෘකාව ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී ප්‍රසංගයෙනි. ඒ බව අපට දන්වා එවූ ජයවර්ධන පාඨක හිතවතාට ස්තුතියි.- සංස්කාරක

Leave a Comment