සංහිඳියාව සඳහා ආගම යොදා ගන්න පුළුවන් – ගල්කන්දේ ධම්මානන්ද හිමි

Sep 25th, 2013 | By | Category: LEAD NEWS, දේශපාලන, විශේෂාංග

ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2013 අගෝස්තු 26 වනදා රාජගිරිය ට්‍රයිකෝන් සංස්කෘතික පදනම ආයතනයේදී පැවති ‘ආගම උපකරණයකි’ සංහිදියාව ඇති කරලීමෙහිලා එය කොතෙක් දුරට භාවිතා කළ හැකිද? සංවාදයෙහි පළ වූ අදහස් පහතින් සමබිම පාඨක ඔබ වෙත ගෙන එන්නෙමු.

බුදු හාමුදුරුවො එක් විශේෂ දේශනාවකදි තමන්ගෙ ධර්මය කෙළින්ම උපකරණයකට නැත්නම් ආධාරකයකට සමාන කරනවා – “මහණෙනි මම මගේ ධර්මය පහුරකට උපමා කරනවා, ඒ පහුර පාවිච්චි කරලා එගොඩ වීම සඳහායි. එය කරතියාගෙන වැළඳගෙන පුද සත්කාර කරලා තියා ගැනීම සඳහා නොවෙයි.” තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් උන්වහන්සේ අහනවා “එගොඩ වෙච්ච පුද්ගලයා ඊට පස්සේ ඒක කර තියාගෙන යන්න ගත්තොත් ඒක බුද්ධිමත් ක්‍රියාවක්ද?” කියලා. අවසානයේ කියන්නේ “එගොඩ වීමට පාවිච්චි කරනවා විනා ඒක කර තබාගෙන යන්න එපා” කියලා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුළ උන්වහන්සේ ධර්මය දිහා බලන්නේ ආධාරකයක් එහෙම නැත්නම් යම් කටයුත්තක් කර ගැනීම සඳහා භාවිතා කරන්නක් හැටියටයි.

සමාජයක් තුළ සම්බන්ධතා කඩවුණු, හිත් රිදීම් සහිත තත්ත්වයක් ඇති වුණාම, එය එයින් ගොඩගැනීම සඳහා සවිඥානිකව බොහොම වගකීම් සහගතව කරන මැදිහත් වීම සංහිඳියාව ඇති කිරීමට දරන උත්සාහයක් හැටියට මම හඳුනා ගන්නවා. වසර 30 ක් තිබුණු යුද්ධයක් නිසා ඊට පෙර බොහොම සහෝදරත්වයෙන් හිටි විශේෂ ජනකොටස් දෙකක් අතර ඇතිවුණු ඒ මහා බිඳවැටීම, ඒ බිඳ වැටීමෙන් පස්සේ දැන් යුද්ධය අවසන් වෙලා, ඊට පස්සේ මේ බිඳ වැටුණු සමාජය ගොඩනගන්න ගන්න උත්සාහයක් ලෙසයි මම සංහිඳියාව කියන දෙය දකින්නේ. ඒ වගේම ඒ සංහිඳියාව ඇති කිරීමට ආගම උපකාරකයක්, ආධාරකයක් හැටියට කොයිතරම් දුරට භාවිතා කරන්න පුළුවන්ද? මොන වගේ සීමාවන්ද එතැන තියෙන්නේ? කියන එක තමයි මම සාකච්ඡා කරන්නේ.

මෙතැනදි ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් මතුවෙන්න පුළුවන්. යුද්ධෙ ඉවර කරලා දැන් අවුරුදු 4 ක්ම ගිහින් තියෙනවා, අපි කතා කරන්න ඕනෙද සංහිඳියාව කියලා එකක් ගැන? ඒක අදාළද? කියලා අහන්න පුළුවන්. ඒ වගේම සංහිඳියාව ඇති කිරීම සඳහා ආගම භාවිතා කළ හැක්කේ කොයි විදියටද කොයි ප්‍රමාණයටද කියලා සාකච්ඡා කරන්න ඉඩ අවකාශ ලැබෙන්නෙ සංහිඳියාව ඇති කිරීම සඳහා වන වැඩපිළිවෙළක් උත්සාහයක් සාකච්ඡාවක් පවතිනවා නම් තමයි.

සංහිඳියාව ඇති කිරීම සඳහා ආගම භාවිතා කළ හැකි ආකාර 2 ක් ගැන මම සාකච්ඡා කරනවා.

1. ආගම තුළ රැස් කරලා තියෙන දැනුම තුළින් සංහිඳියාව දිහාවට යන්න එකතු කරගන්න පුළුවන් මොනවද තියෙන්නෙ කියලා සොයා බලන එක.
2. ආගමික සංස්ථාවේ පූජ්‍ය පූජක පක්ෂය කෙරෙහි ඒ අදාළ ජන පිරිස් දක්වන මහත් වූ ගෞරවය, සැලකිල්ල සහ ඒ අය කරන දේශනාවන්ට ඇහුම්කන් දීමට තිබෙන නැමියාව කොහොමද අපි සංහිඳියාව දිහාවට යන්න පාවිච්චි කරන්නේ? ඒවා යොදලා අපි කොහොමද සමාජය තුළ සංහිඳියාව ඇති කරන්නේ?

ආගම සහ බුදු දහම එකක්. එහෙම නෙමෙයි. ආගම කියන්නෙ ගොඩක්. මේ හැම ආගමක් ගැනම මම අදහස් කරනවා. නමුත් මම නියෝජනය කරන්නෙ බුදු දහම නිසා බුදු දහම පැත්තෙන් තමයි කරුණු කියන්න වෙන්නෙ. නමුත් මම පොදුවේ සියලු ආගම්වල කාර්යභාරයයි අදහස් කරන්නෙ.

සංහිඳියාව ඇති කිරීම සඳහා බුදු දහම තුළ තිබෙන ඉගැන්වීම් මොනවාද? බුදු හාමුදුරුවො ධම්ම පදයේ තියෙන “ජයං වේරං පසවති දුක්ඛංසේති පරාජිතෝ” කියන ගාථාව දේශනා කරන්නෙ කොසොල් රජජුරුවො අජාසත් රජු සමඟ කරන යුද්ධයක් පදනම් කරගෙනයි. මෙහි ජය පරාජය කියන වචනය පාවිච්චි කරන්නෙ සාමාන්‍යයෙන් වෙනත් අර්ථ දෙන්න නෙවෙයි, පැහැදිලිවම යුද්ධයක් සම්බන්ධවයි. යුද්ධයේ ජය සම්බන්ධව කතා කරමින් කියන්නේ ජය අනිවාර්යයෙන්ම වෛරය ඇති කරන්න හේතු වෙනවා, ඒ වගේම පරාජිතයෙක් නිර්මාණය වෙනවා. පරාජිතයා ශෝකයෙන් ඉන්න වැළපෙන පුද්ගලයෙක්, වැළපෙන කොටසක් සමාජයේ ඉතුරු කරනවා. ජය සහ පරාජය තමයි යුද්ධයෙන් ඇතිවන තත්ත්වය. වෛරය නිෂ්පාදනය කරන තත්ත්වයක් ඇති වෙනවා. වැළපෙන ශෝක වෙන පිරිසක් ඇති කරනවා. එතකොට මේකෙන් ගැලවෙන්නේ කොහොමද? ජය පරාජය ඉක්මවා ගිය තත්ත්වයක පමණයි මේ වෛරය සහ වැළපීම නොපවතින තත්ත්වයක් නිර්මාණය කළ හැක්කේ. මේ ඉගැන්වීම බොහොම අදාළයි අපේ සමාජයට.

වාර්ෂිකව කරන යුද ජයග්‍රහණ සැමරුම් උත්සව පවතින තාක් කල් සංහිඳියාව ඇති කිරීම ඉතාමත් අපහසුයි. ඒක කවදා හරි නතර වෙනවා නම් එදාට සංහිඳියාව දිහාවට යන ගමන ශක්තිමත්ව ආරම්භ වෙනවා. ඒක මගේ අදහසක් නෙවෙයි, බුදු හාමුදුරුවන්ගෙ ඉගැන්වීම් මත පිහිටලායි කියන්නෙ. ඒවගේම ලංකාවේ 87-89 කාලයේ අත්දැකීම මත කියන්නෙ. මමත් අවුරුදු 16-17 වගේ වයසෙදි ඒ අත්දැකීම් අත්වින්දා, ඒ වගේම වැඩිහිටි හැම කෙනෙක්ටමත් ඒ අත්දැකීම් තිබුණා. 87-89 ඒ පැවතුණු භීෂණකාරී පරිසරය ජනතා විමුක්ති පෙරමුණේ නායක මට්ටමේ වැඩි පිරිසක් ඝාතනය කිරීමෙන් සහ ඒ කැරැල්ල මර්දනය කිරීමෙන් අවසන් වෙනවා. එහෙම අවසන් වුණු කැරැල්ල සම්බන්ධ ජයග්‍රහණ උත්සව අද වෙනකම්ම මේ සමාජයේ පැවතුණා නම් මම විශ්වාස කරනවා ඒ ඇතිවුණු වෛරී පරිසරය අද වෙනතුරුත් පවතිනවා කියලා. එවැන්නක් නැති නිසා අද මේ වෙනකොට ඒක සමනය වෙලා ගිහිල්ලා. ඒ ඒ තැන්වල හිටිය අයත් වෙනස් වෙලා.

අශෝක සහ දුටුගැමුණු යන චරිත දෙක බෞද්ධ ඉතිහාසය තුළ යුද්ධ කරපු දැවැන්ත චරිත දෙකක් විදියට හඳුනාගන්න පුළුවන්. අශෝක කාලිංග යුද්ධය අවසන් කරාම ඒ සම්බන්ධ උත්සව කිසිවක් නැහැ, තිබෙන්නෙ වැළපීම. ඒවගේම 13 වන අශෝක සෙල් ලිපිය විස්තර කරනවා අශෝක අධිරාජ්‍යයා යුද්ධය සම්බන්ධයෙන් දකින විදිය. අපේ සමාජයේ සාකච්ඡාව තුළ දුටුගැමුණු ඉතාම විශාල වීරයෙක්. නමුත් ඇත්ත වශයෙන්ම මේ රජුගේ විශිෂ්ටත්වය රඳා පවතින්නෙ යුද්ධය මත නොවෙයි, යුද්ධය අවසන් වුණාට පස්සේ ඔහු කටයුතු කරපු ආකාරය තුළයි. ඒ වගේම මම මුලින් කියපු ඉගැන්වීම් ඔස්සේ මේ චරිත දෙක දිහා බැලුවාම වැටහෙන්නේ දිගින් දිගටම ජයග්‍රහණය පවත්වාගෙන යාම නොවෙයි එතැනින් එහාට ඒක අත්හරින එක වැදගත්වන බවයි.

ආගමික ආයතන ඒවායේ සාමාජික භවතුන් කොයි විදිහටද සංහිඳියාව සම්බන්ධ කටයුතුවලට සම්බන්ධ කර ගන්නෙ? මේ කාරණයෙදි මෑත ඉතිහාසයේ ඉතාම වැදගත් ආදර්ශය දකුණු අප්‍රිකාව සපයනවා. අවුරුදු 50 ක් තිස්සේ කළු යැයි සම්මත ජන කොටස විඳපු පීඩා, හැම තැනකදීම ඔවුන්ට වෙන්කොට සැලකීමෙන් එකතුවෙලා තිබුණු වෛරය, ඒ වගේම වේදනාවන්, හැම එකක්ම සහිත පිරිස – ඔවුන් රටේ බහුතරය මිස සුළුතරය නෙවෙයි – ඔවුන් ජයග්‍රාහී තත්ත්වයක සිටියදී කිසිම ලේ ගැලීමක් නැතිව එතෙක් කාලයක් තිස්සේ එකතු වූ ඒ බිඳ වැටීම් අමතක කරලා තනි සම්බන්ධයක් සහ ඒ ප්‍රශ්න අවසන් කරලා දකුණු අප්‍රිකානු ජාතියක් හැටියට ඉස්සරහට යන ගමන ආරම්භ කරන ඒ ක්‍රියාවලියේදී ආගමික ආයතන විශාල වැඩ කොටසක් කළා. ආගම සංහිඳියාව සඳහා යොදා ගන්න පුළුවන් කියලා ඒක අපි හැමදෙනාටම ආදර්ශයක් සපයනවා.

නමුත් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී පාලන සමයේ පැවති ආගමික ආයතන ඉතාම ශුද්ධ වූ ඉතාම යහපත් එකක් නෙමෙයි. Religion and reconciliation of South Africa, the voices of religious leaders  කෘතියේ විස්තර කරනවා වර්ණභේදවාදී පාලනය ශක්තිමත් කරන්න යම් යම් පල්ලි සහ ආගමික ආයතන ක්‍රියා කරපු ආකාරය. විශේෂයෙන්ම දෙවියන් වහන්සේ ලෝකය මවලා තියෙන්නේ කළු සහ සුදු හැටියට බවත් ඒවා මිශ්‍ර කරන එක දෙවියන්ගේ නිර්මාණයට එරෙහිව කරන දෙයක් බවත් බයිබලය පදනම් කරගනිමින් ඔවුන් අර්ථ දක්වනවා. ඒ වගේම ඔවුන් ඒ වර්ණභේදවාදී පාලනයට අනුග්‍රහය දක්වන අතරම සුදු ජාතිකයින්ට, කළු ජාතිකයන්ට, මිශ්‍ර සහ ඉන්දියානු ජාතිකයන්ට වෙන වෙනම පල්ලි නඩත්තු කරනවා. ඒ විදියට ආගමික ආයතනය කෙළින්ම වර්ණභේදවාදී පාලනය දිගටම පවත්වාගෙන යන්න උපකාරී වෙනවා. සමහර ආයතන පමණක් එයට වෙනස්ව ගියා.

දකුණු අප්‍රිකානු ආදර්ශය තුළින් අපිට පේන දේ තමයි ආගම කියන දෙයෙහි මූලික ඉගැන්වීම් වශයෙන් ග්‍රන්ථ වශයෙන් වටිනා දේ තිබුණත් ඒවා ශුද්ධවූ ආයතන ලෙස ක්‍රියාත්මක නොවන බව. ඒ වගේම ඒවා පවතින සමාජ, දේශපාලන, කුල ආදී හැම එකක් එක්කම මිශ්‍රව පවතින බව. ඒ තත්ත්වය තුළ ශුද්ධවූ ග්‍රන්ථ තුළ මොනවා තිබුණත් ඒවාට අතිශය පටහැනි කාරණාවලට යෙදෙන්න පුළුවන් කියන එක පැහැදිලියි. ඒ නිසා ආගම කියන්නෙ අනිවාර්යයෙන්ම ශුද්ධවූ ආයතනයක් නෙවෙයි. තත්ත්වය ඒක නම් අසාධාරණව, සමාජය බෙදා වෙන්කොට පවත්වාගෙන යාම සඳහාත් ආගම භාවිතයට ගන්න පුළුවන්, ඒ වගේම පීඩනයට පත්කිරීම් නිවැරදියි කියලා කියා සිටින්න අවශ්‍ය නම්, ඒ සමාජය භේදභින්න කරන්න, කොටස් වශයෙන් වෙන් කරන්න වගේම අවශ්‍ය නම් යුද්ධ කිරීම සඳහාත් ආගම භාවිතා කළ හැකියි. නැවත ඒක සලකලා බැලුවම පේනවා ආගම උපකරණයක් හැටියට භාවිතා කෙරෙන ආකාරය. මේ ආකාරයට ආගම ආගමේ මූලික ඉගැන්වීම්වලට පටහැනිව යොදා ගත් ආදර්ශ ඕනෑ තරම් ලෝකයේ තියෙනවා.

එහෙම නම් දකුණු අප්‍රිකාවේ ඇතිවුණු වෙනස තුළ ආගමික ආයතන සංහිඳියාව ඇති කිරීම සඳහා සාර්ථක ලෙස භාවිතා කිරීම අපි තේරුම් ගන්නේ කොහොමද? දකුණු අප්‍රිකාවේ සංහිඳියාව සම්බන්ධයෙන් ආගම කරන ලද විශිෂ්ට වූ මැදිහත් වීම ආගම තුළින්ම හෝ ආගමික ආයතන තුළින්ම හෝ ආපු දෙයක් නෙමෙයි. ඒක සිදුවෙන්නේ ලෞකික අවකාශය තුළ, දේශපාලන ක්‍රියාවලිය තුළ, අලුත් ව්‍යවස්ථාවක්, අලුත් ජාතික ගීයක්, අලුත් ජාතික කොඩියක්. ඒ වගේම සංහිඳියාව ඇති කිරීම සඳහා යොදා ගන්න පුළුවන් බලවේග ආගම තුළ තියෙනවා කියන වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා. ඒ වගේම සංහිඳියාව ඇති කිරීම නෙමෙයි නම් ඒ වෙනුවට අවශ්‍යතාවය වෙන්නේ සමාජය බෙදා වෙන්කිරීම නම් ඊට අවශ්‍ය සාධකත් ආගම තුළින් සොයා ගන්න පුළුවන්.

මම මතුකරන කාරණය තමයි ආගම යොදාගන්නේ මොකක් සඳහාද? අන්න එතැනයි ගැටලුව තියෙන්නේ. එහෙම නැතුව ආගම කියන එක පොත්පත් දිහා බලලා, ශුද්ධ ග්‍රන්ථ දිහා බලලා තීරණය කරන්න බැහැ. ලෞකික වශයෙන් සමාජය තුළ දේශපාලනික ව්‍යුහය තුළ ඇතිවන වුවමනාව අවංකව තිබෙනවා නම් සංහිඳියාව සඳහා ආගම භාවිතා කළ හැකියි. බෙදා වෙන් කිරීම සඳහා ආගම භාවිතා කරන කොට ඒකට අලුත් අර්ථකථන දෙන්න ඕනේ. නමුත් ආගම යහසම්බන්ධයක් ගොඩනගන්න පාවිච්චි කරනවා නම් අලුත් අර්ථකථන අවශ්‍ය නැහැ. ගොඩනැගීමට අවශ්‍ය කරන වුවමනා තරම් දේ ඒ තුළ තියෙනවා∎

සැකසුම – ජයනි ප්‍රනාන්දු

galkande-dhammananda-thero

Recent Posts

Tags: , , , , , , ,

2 Comments to “සංහිඳියාව සඳහා ආගම යොදා ගන්න පුළුවන් – ගල්කන්දේ ධම්මානන්ද හිමි”


  1. ලංකාවේ විතරක් නෙමෙයි, මෙල්බර්න් වල තියන පංසල් වලත් ඉන්න චීවරධාරියන්ගෙ ක්‍රියාකලාපය නිසා, චිවරධාරියෝ කියන කොටස මම අත්හැරල ගොඩක් කල්. අවම වශයෙන් මගෙ පාංශකුලයටවත් ඔවුන් සහභාගි කරවගන්න එපා කියල මගේ පවුලේ අයට මම දැණුම් දිල තියෙන්නෙ දැනට අවුරුදු ගණනකට කලින්. මට මතක ඇතිතාක් කල් පංසලකට අඩිය තියල නැහැ. . ඒ වෙන මොකකටවත් නෙමෙයි. පහත් අය ඇසුරින් මිදෙන්න ඕන නිසා. ඒත් මගේ සිත බුදුන්ගෙ අනුගාමිකයන් පිළිබඳව නැවත සිතන්නට පෙළඹුන ලිපියක් මම දැක්ක “සමබිම” වෙබ් අඩවිය තුල. පහත තියෙන්නෙ ඒක සහ ඒකට සබැදියාව.
    ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේට වගේ අය තව කිහිප නමක් හිටියනම් අපිට බුදුදහම ගැන මෙයිට වඩා උනන්දු වෙන්න තිබුනා.
    https://www.facebook.com/karu.heenkendaa?ref=tn_tnmn

Leave a Comment