චින්තනය කොම්ප්‍රොමයිස්වීම

Sep 27th, 2013 | By | Category: LEAD NEWS, sunday2, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ජාතික භාෂා සහ සමාජ එකාග්‍රතාව පිළිබඳ අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා සඳහන් කර ඇත්තේ උතුරු පළාත් සභාව සඳහා පැවති මැතිවරණය දෙමළ ජාතික සන්ධානය විසින් ජයග්‍රහණය කරන ලද්දේ වුවද සෙසු පළාත් සභාවලට හිමි බලතල හැර වැඩිමනත් බලතල උතුරට ලබාදීමක් සිදු නොවන බවය.

සිය ප්‍රථම ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ආණ්ඩුව කරගෙන යාම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබා ගැනීමට අපොහොසත් වීමෙන් පසුව පාර්ලිමෙන්තුවේ බහුතරය පවත්වාගැනීම සඳහා මන්ත්‍රීවරුන් සෙවීමට මහින්ද රාජපක්ෂට සිදුවිය. ‛මහින්ද චින්තනය’ නම් ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඉදිරිපත් කළ සිය පොරොන්දුව ප්‍රකාරව ජනාධිපතිවරණයේදී පැහැදිලි බහුතරයක් සහතික කරගන්නට මහින්ද රාජපක්ෂ සමත් වූවද පාර්ලිමේන්තුවේ ඔහුගේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබුණේ මන්ත්‍රී ආසන 57ක් තරම් සුළු ප්‍රමාණයක් බැවින් තම නොනැසී පැවැත්ම උදෙසා ‛මහින්ද චින්තනය’ අමාරුවේ හෙළීම හෙවත් කොම්ප්‍රොමයිස් කිරීම හැර වෙනත් විකල්පයක් ඔහුට නොවීය. පැරණි මාක්ස්වාදී කණ්ඩායම්වල නායකත්වයෙන් සියළුම දැඩි මතධාරී ෆෙඩරල්වාදීහු ජනාධිපතිවරයා වටකරගෙන ඔහුට සහයෝගය දීමට පොරොන්දු වූ අතර ඔහුගේ ‛චින්තනය’ 13 සංශෝධනයෙන් ඔබ්බට යන (13+) දිශාවට යොමු කිරීමට ඔවුහු සමත් වූහ. වාසුදේව වනාහි එල්.ටී.ටී.ඊයට එරෙහි යුද්ධය කිසිලෙසකින් ජයගත නොහැකි බවත්, එබැවින් ඕනෑම විසඳුමක් එල්.ටී.ටී.ඊයට පිළිගතහැකි එකක් විය යුතු බවත් අපට දේශනා කරන ලද අයගෙන් එක් අයෙකි. ආණ්ඩුව තුළ සහ එයින් පිටත සිටින ජාතිකවාදී කණ්ඩායම්වල අනතුරු ඇඟවීම් නොසලකා, කිසිදු සංශෝධනයකින් තොරව දැනට පවත්නා 13 වන සංශෝධනය යටතේම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීමෙන් පසුව වාසුදේව ඇමැතිවරයා වැනි පුද්ගලයෙකු ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක මට්ටමට ඉහළට නැගීම පුදුමයට කරුණක් නොවේ.

එකී අවස්ථාවාදීන්ගේ දුෂ්ට චේතනාව වන්නේ දැනට 13 සංශෝධනයෙන් ආරම්භ කිරීමයි. ඊනියා විසඳුම ලෙස මේ අවස්ථාවේදී කුමන විසඳුමක් ජනාධිපති විසින් ඉදිරිපත් කළද මහජනයා විසින් එය අන්ධ ලෙස පිළිගන්නා බව ඔවුහු දනිති. 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම යනු තිම්පු යෝජනා (මෙකී යෝජනා යටතට දෙමළ ජනයා වෙනම ජාතියක්ය යන්න පිළිගැනීම, දෙමළ ජනයාට සම්ප්‍රදායික නිජභූමි ඇති බව පිළිගැනීම, දෙමළ ජනයාට ස්වයං-නිර්ණය සඳහා අයිතිය තිබිය යුතුය යනාදිය ඇතුළත් වේ) ක්‍රියාත්මක වීමේ ආරම්භය බව වාසුදේව ඇමැතිවරයා මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක්ෂක සී.වී. විග්නේෂ්වරන් ද යන දෙදෙනාම දනිති. මෙකී යෝජනා කවරක්ද යන්න 1987 ජූලි 31 වනදා ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා ඉන්දීය පාර්ලිමේන්තුව හමුවේ ඉන්දු-ලංකා ගිවිසුම පිළිබඳ කළ පහත ප්‍රකාශයෙන්ද පැහැදිලි වේ.

‛‛මෙම ගිවිසුම දෙමළ ජනතාවගේ අරගලය ආරම්භ කිරීම සඳහා සාධක සැපයූ වෙනම ජාතියක් වශයෙන් පිළිගැනීමක් ලබා ගැනීම සඳහා වන අභිප්‍රාය, ස්වකීය දේශපාලන අනාගතය හැසිරවීම සඳහා අවශ්‍ය වන දේශපාලන ස්වායත්තභාවය අත්පත් කර ගැනීම, එකී අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට ප්‍රමාණවත් වන පරිදි ආණ්ඩුවේ බලතල බෙදා ගැනීම, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ සම්ප්‍රදායික වාසභූමි වශයෙන් පිළිගැනීම, දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවක් වශයෙන් සම්මත කරලීම යන මෙකී මූලික අභිලාෂයන් සංතෘප්ත කෙරෙන පරිදි සකස්ව ඇත.
මෙම ගිවිසුම විසින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් එම පළාත්වාසීන් විසින් තෝරා පත් කරගන්නා පළාත් සභාවකින්ද, මහ ඇමතිවරයෙකුගෙන්ද පාලනය වන තනි පරිපාලන ඒකකයක් බවට පත් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පළාත්වලට පූර්ණ මට්ටමේ ස්වායත්තභාවය තහවුරු කරනු වස් ආණ්ඩුවේ බලතල බෙදා හරිනු ලැබේ.”

1987 අගෝස්තු 2 වනදා මදුරාසියේ මහජන රැස්වීමක් අමතමින් රජීව් ගාන්ධි මෙසේ කියා සිටියේය: ‛‛මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ එක්සත්භාවය බිඳ දැමීම හැරුණු විට දෙමළ ජනයා විසින් ඉල්ලා සිටි සියළු දේ ලබා දී ඇත. ඇත්ත වශයෙන්ම එය ශ්‍රී ලංකා දෙමළ ජනයාගේ ආරම්භක ඉල්ලීම් වලින් සෑහෙන ඔබ්බට ගමන් කොට ඇත. මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 1/3කට ආසන්න ප්‍රදේශයක්, දෙමළ ජනතාවට පැහැදිලි බහුතරයක් ලබා ගත හැකිවන්නාවූ එක් පළාතක් බවට පත් කොට ඇත. ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු සතු බලතල සමඟ සන්සන්දනාත්මකව සමාන වන ප්‍රාදේශීය ස්වායත්තතාවයක් ඔවුන්ට ලැබෙනු ඇත. (13 සංශෝධනයෙන් ඔබ්බට.. විය හැකියාවන් ගැන විමසා බැලීමක් – ඉරිදා අයිලන්ඩ් – 2009 ජූලි 19)

13 සංශෝධනය ආරම්භක ලක්ෂ්‍යයක් වශයෙන් සලකා ඒ වෙනුවෙන් පෙනී සිටින්නන් කුමක් කීවද, කුමක් කළද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සය එම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කිරීමට හේතු කාරක වූ ද්‍රෝහී ගිවිසුම පිළිබඳ ඉහත සඳහන් කළ යථාර්ථය අන් කිසිවකුට වඩා හොඳින් දන්නා පුද්ගලයා විය හැක්කේ ඉන්දීය අගැමැති රජිව් ගාන්ධිය. මක්නිසාද යත් මේ ගිවිසුම කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය තුළ මූලිකත්වය ගත්තෝ ඔහු යටතේ ක්‍රියා කළ ඉන්දීය සිවිල් සේවයේ නිලධාරීහූ බැවිනි.

2009 මැයි 19 වනදා හය වන පාර්ලිමේන්තුවේ 04 වන සැසිවාරය සඳහා රැස්වූ පාර්ලිමේන්තු සභිකයන් අමතමින් කතා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ මෙතැන් සිට රටෙහි සිටින්නේ පුරවැසියන් කණ්ඩායම් දෙකක් පමණක් බවය, ඒ රටට ආදරය කරන්නන් සහ තමන් උපන් රට කෙරෙහි ආදරයක් නොමැති සුළු පිරිස වශයෙනි. ඒ අනුව රටට ආදරය නොකරන්නන් රටේ සුළුතරය බවට පත්විය.

මෙකී දෙපිරිසට අයත් වන්නේ කවුදැයි යන්න පසුගිය ජනාධිපතිවරණය අතරතුරු පැහැදිලිවම දෘශ්‍යමාන විය. ඒ අනුව රටට ආදරය කරන්නන් පිරිස ජනාධිපතිවරණයෙදී පැහැදිලිවම සිට ගත්තේ මහින්ද රාජපක්ෂගේ අපේක්ෂකත්වය වටාය. රටට ආදරය නොකරන සෙස්සන් එක්කෝ මහින්ද රාජපක්ෂ සමඟ සිටිනු දක්නට නොසිටියේය, නැතහොත් විපක්ෂ අපේක්ෂකයන් සමඟ සිටිනු දක්නට හැකි විය.

තමන් උපන් රටට ආදරයක් නොදක්වන, දැන හෝ නොදැන කිසියම් ජනවර්ගයකට සම්ප්‍රදායික නිජභූමියක් දිනා දෙන්නට වෙහෙසෙන ඒ හරහා ජන වාර්ගික විෂමතා පදනම් කරගෙන රට සදහටම දෙකට කර දමන්නට කටයුතු කරන සුළුතර කණ්ඩායම්වල බලපෑම නිසාවෙන් රටට ආදරය කරන බහුතරය විසින් තෝරා පත් කරගත් නායකයා අදෘශ්‍යමාන තුන්වන පාර්ශ්වයක බලයට නතුව ඇත්නම් එය අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති ඉහත කී මාධ්‍ය හමුව පිළිබඳ මාධ්‍ය විසින් වැඩිදුරටත් වාර්තා කර තිබූ ආකාරයට වයඹ සහ මධ්‍යම පළාත් මැතිවරණ පහසුවෙන් ජයගන්නට පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි මුත් උතුරේ ඡන්දයේ ප්‍රතිඵලය කුමක් වේදැයි තමාට සහතික නැතැයි වාසුදේව නානායක්කාර ඇමතිවරයා ප්‍රකාශ කර ඇත. දෙමළ ජාතික සන්ධානය උතුරෙන් ඔවුන් ලබන කවර ජයග්‍රහණයක් වුවත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ලැබුණු ජනවරමක් වශයෙන් පෙන්වා සිටිනු ඇති බව ස්ථිරය. එලෙසම ස්ථිර කර කියා සිටිය හැකි තවත් කරුණක් නම් වයඹින් සහ මධ්‍යම පළාතින් පාලක සන්ධානය ලබන ඕනෑම ජයග්‍රහණයක් පළාත් සභා අහෝසි නොකරන්නැයි දකුණේ ජනතාවගෙන් ලද පණිවුඩයක් වශයෙන් හුවා දක්වා 13 වන සංශෝධනය අහෝසි කරන කවර හෝ පියවරකට යොමුවීමෙන් ජනාධිපතිවරයා වළක්වාලන්නට ආණ්ඩුව තුළම සිටින කූට අවස්ථාවාදීන් කටයුතු කරනු ඇත යන්නයි.

මෙකී අවස්ථාවාදීන්ගේ දුෂ්ට සැලසුම් යම් හෙයකින් හෝ සාර්ථක වුවහොත් එහි වන්දිය ගෙවන්නට සිදුවනු ඇත්තේ තවත් දශකයකින් හෝ දෙකකින් පැමිණෙන අනාගත පරම්පරාවන්ටය. මන්ද එවන් දුෂ්ට සැලසුමක ප්‍රතිඵලයක් හරහා ඇති කළ තත්ත්වයක් ආපසු හැරවීමට යත්න දැරීම තවත් මහා විනාශයක ආරම්භයක් බවට පත්වීම සහතික නිසාවෙනි.

එස්. අකුරුගොඩ

‛2013 සැප්තැම්බර් 21 වෙනිදා දි අයිලන්ඩ්’ පුවත්පතේ පළ වු ‘Chinthanaya Compromised’  ලිපිය ඇසුරෙනි. සිංහල පරිවර්තනය – ප්‍රගීත් ලියානාරච්චි

සබැදි පුවත්

ඡන්දෙන් ඇත්තටම දිනුවේ කවුද?

compra

 

Recent Posts

Tags: , , , , , , , , , , , , , , , , , , ,

Leave a Comment