ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ගෑනි මිනිහා වීමත්, මිනිහා ගෑනි වීමත්ද?

Oct 3rd, 2013 | By | Category: LEAD NEWS, ඇන්ටිගනී, කාන්තා

කාන්තාව කළ යුත්තේ ගෙදර සිට දරුවන් රැක බලා ගැනීමද? නැතිනම් පිරිමියාට ලිංගික තෘප්තිය ලබාදීමද? කාන්තාවට දේශපාලනය අකැපද? කාන්තාවට අයිතිවාසිකම් අවශ්‍යද? ඔබ මෙවන් සංවාද කොතෙකුත් අසා ඇති බවට සැකයක් නැත. මේ සමඟම බැඳෙන සමහරු කැමති, සමහරු දරුණුව ප්‍රතික්ෂේප කරන ප්‍රමුඛතම සංකල්පයක් ඇත. එනම් ස්ත්‍රී-පුරුෂ සමාජභාවයයි. නැත්නම් ඉංග්‍රීසියෙන් මෙය Gender (ජෙන්ඩර්) කියා හඳුන්වයි. මෙම සංකල්පය ගැන කතා කරන බොහෝදෙනා හුදෙක් මෙය කාන්තාවන්ගේ අයිතිවාසිකම් නගා සිටුවීම සඳහා ගෙන ආ සංකල්පයක් ලෙස නැත්නම් කාන්තාවන්ට පමණක් අදාළ වූවක් ලෙස ඒකපාර්ශ්විකව අර්ථ ගන්වයි.

එලෙසම අතීත කාන්තාව හා වර්තමාන කාන්තාව සැසඳීමේදී ඇගේ කාර්යභාරය කුටුම්භය තුළ දරුවන් වැදීම, හැදීම හා ගෙදරදොර වැඩකටයුතු බලාකියා ගැනීම ආදී සීමාසහිත එකක් විය. එවැනි සමාජ වටපිටාවක් තුළ ඇයට ස්වාධීන වීමටත්, සමාජශීලී වීමටත් අවස්ථාව නොලැබිණි.

නමුත් විවෘත ආර්ථිකයේ ආගමනය හා නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාව අධ්‍යාපනයට නැඹුරු වූ අතර එහිදී ඇය වෘත්තීය පුහුණුවලටද යොමු වූවාය. මේ නිසා ඇයට රැකියා ක්ෂේත්‍රයේ නව මං පෙත් විවර වූ අතර වර්තමාන ධනවාදී ආර්ථිකය තුළ ඇය තවදුරටත් පවුල තුළට කොටු නොවී දේශීය ආර්ථිකයේ ප්‍රධාන උපයන්නා බවට පත්ව ඇත. මෙම ආර්ථික සාධකය නිසාවෙන් කාන්තාව පිළිබඳ නවමු කතිකාවතක් ගොඩනැගෙමින් වර්ධනය විය.

අතීතයේ උගත් කාන්තාවකට කළ හැකි ඉහළම රැකියාව වූයේ ගුරු වෘත්තියයි. ‛දෑඟුල් නුවණක්’ පමණකි කියා බමුණු සමාජය උදම් වැනූ අවධියක සිට වත්මන් අධ්‍යාපනයේ මං පෙත් විවර කරමින් ඇය වෛද්‍ය, නීතිය, පරිපාලන, වෙළඳ, කලාව, ඉංජිනේරු වැනි සෑම ක්ෂේත්‍රයකම පෙරමුණේ සිටී.

වර්තමානයේ ධනවාදී ආර්ථිකයේ කාන්තාව වඩ වඩාත් සමාජකරණය වීම හේතුකොට ගෙන ඇයට ආයතන පරිසරය තුළ, පවුල තුළ, ඇයගේ වෘත්තිය තුළ තම කාර්යභාරය නිසි ලෙස ඉටු කර ගැනීමට යාමේදී උද්ගතවන ගැටලු පවතී. එම ගැටලු කෙරෙහි යම්කිසි සංවේදීභාවයකින් බැලීමට මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන සංකල්පය උපකාරී වේ. ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන්න යම්කිසි සමාජයක් ස්ත්‍රියකගෙන් හෝ පිරිමියෙකුගෙන් අපේක්ෂා කරන දේ ලෙස සරලව දැක්විය හැක. එය තැනින් තැනට, සමාජයෙන් සමාජයට, රටින් රටට වෙනස් වේ. නමුත් ලාංකේය සමාජය තුළ කාන්තාවගේ හැසිරීම්, ඇඳුම් පැළඳුම්, කතා බහ සහ ඇයට තිබිය යුතු යැයි සිතන ගති පැවතුම් පිළිබඳ ආකල්පය විශේෂිත වේ. ලාංකේය අධ්‍යාපන ක්‍රමය තුළ කුඩා කල සිටම දරුවාගේ මනසට ඇතුළු වන්නේ ‛අම්මා බත් උයයි. තාත්තා වැඩට යයි’ යන පාසැල් පෙළ පොතේ වාක්‍යයෙනි. මෙය සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජභාවයයි.

මෙවන් තත්ත්වයක් තුළ මෙම සංකල්පය සාධනාත්මක ලෙස බිහිවන්නේ බටහිර ලෝකයේ සමාජය තුළයි. සමහරු මෙය කාන්තාව සවිබල ගැන්වීම නැතහොත් Women Empowering යන සංකල්පය NGO හරහා එන සංකල්පයක් බවද පවසයි.

මෙම සංකල්පය තුළින් (මෙය ස්ත්‍රීවාදය ලෙස හෝ අන්තවාදයක් ලෙස සලකන්නන්ට අනුව) පවුල් සබඳතා මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගන්නා බවත් එය කාන්තාවන්ට වැළඳෙන රෝග ලක්ෂණයක් ලෙස සිතමින් පිරිමින් හා නිතර ගැටුම් ඇති කරගන්නා මතයක් බවට පත්ව ඇත.

සරලව දක්වන්නේ නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන්නෙන් අදහස් කරනුයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අන්තගාමී මත දරන කාන්තාවන්ට තෝතැන්නක් ලෙස මෙම ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන සංකල්පය ඇති කිරීම නොවේ. එලෙසම මෙහි අරමුණ ‛ගෑනි මිනිහා වීමත්, මිනිහා ගෑනි වීමත්’ නොවේ. කාන්තාව පුරුෂයාට යටත් වීමට හෝ පුරුෂයා පරයා ගැහැනිය ඉහළට ඒමද නොවේ. ඇයට අවශ්‍ය වන්නේ සම තැන ලබා දීමයි. ඇය පිළිබඳ සමාජය තුළ යම් ධනාත්මක සංවේදීභාවයක් ඇති කිරීමයි. එලෙසම ස්ත්‍රී පුරුෂ සමාජභාවය ස්ත්‍රියට පමණක්ම නොවේ, එය පිරිමින්ටද අයිති සංකල්පයකි. අප සිදුකරනු ලබන සෑම කටයුත්තකදීම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී වූ ඇසකින් බැලීමට යොමු කිරීම මෙම සංකල්පයෙහි මූලික අරමුණයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සම්බන්ධ විය යුතුය. මන්ද සිදු කරනු ලබන සියලුම කාර්යයන් තුළින් ස්ත්‍රීන්ට සහ පුරුෂයින්ට සමාන අවස්ථා, අයිතිවාසිකම් සහ ප්‍රතිලාභ හිමිවන බැවිනි.

රටක සංවර්ධනයේ එක් මිනුම් දණ්ඩක් වනුයේ සියල්ලන්ටම සමානත්වයෙන් සැලකීමයි. ඒ තුළ පිරිමියා මෙන්ම ළමයා හා කාන්තාවද සිටිති. එවැනි පරමාදර්ශී සමාජයක් බිහි කිරීම තුළ කාන්තාවට සුවදායක සහ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම කාගේ්ත් වගකීම වේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සම්බන්ධ විෂයයන් ගණනාවකි. එනම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා මාධ්‍යය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා තීරණ ගැනීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ආර්ථිකය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා හිංසනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා එච්.අයි.වී. ඒඩ්ස් යනුවෙන් එකී නාමාවලිය තව තවත් දිගුකර දැක්විය හැකිය. මෙයට අමතරව ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා බැඳුණු සංකල්පද හඳුනාගත හැකිය. ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවී විශ්ලේෂණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවී මූල ප්‍රවාහකරණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ඵලදායීතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා වෙනස්කම්වලට භාජනය කිරීම ආදී නිදසුන් කිහිපයෙන් ඉස්මතු වන්නේ මෙම සංකල්පයේ වැදගත්කමයි.

මෙතෙක් කලක් සමාජය සිතා සිටියේ සංවර්ධන ක්‍රියාවලිය තුළ සැමටම සමානව සලකන බවයි. නමුත් එහි බලපෑම ස්ත්‍රී පුරුෂ සමාජභාවී (Gender Neutral) අර්ථයෙන් උදාසීන බව වර්තමානය වන විට පැහැදිලිය. ස්ත්‍රීන් හා පුරුෂයන් අතර පවතින ජීව විද්‍යාත්මක වෙනස්කම් හා සමාජය විසින් ගොඩනංවන ලද වෙනස්කම් නිසා පවුල තුළ, සමාජයේ සම්පත් පරිහරණය කිරීම තුළ පීතෘ මූලික සමාජය විසින් ගොඩනංවා ඇති යම් යම් සීමා බන්ධන වෙයි. මේ නිසාම ස්ත්‍රීන්ට වෙනස්කොට සැලකීමටත් සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ටත් තවදුරටත් ඇය ගොදුරු වෙයි.
එක්සත් ජාතීන්ගේ තතු විමසුම්වලට අනුව ලෝකයේ සෑම තැන්හිම ගැහැනු ළමයි අඩු සැලකිලිවලට මුහුණ දෙති. බොහෝ විට ඔවුන්ට ආහාර ලැබෙන්නේද පිරිමි දරුවනට වඩා අඩුවෙනි. මේ අනුව එක්සත් ජාතීන් සම්මත කොට ගත් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය (1989) ගැහැනු දරුවනට ඉගැන්වීම සඳහා වැඩිපුර මුදල් වියදම් කරන ලෙස ආණ්ඩුවලින් ඉල්ලා සිටියි. (නමුත් ලංකාවේ නම් අධ්‍යාපනයට මුදල් වෙන් කර සිටින්නේ එය නොකර බැරි නිසා මිස අධ්‍යාපනය ඉහළ දැමීමේ අරමුණින් නම් නොවේ). එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1979 දී සම්මත කොට ගන්නා ලද ‛ස්ත්‍රීන් හට එරෙහි සියලු ආකාර වෙනස්කම් පිටු දැකීමේ සම්මුතිය’ (CEDAW) ස්ත්‍රීන් පිළිබඳ අන්තර්ජාතික අයිතිවාසිකම් පනතක් ලෙස දැක්විය හැක.

වර්තමානයේ කාන්තාවනට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා වසංගතයක මට්ටමින් පැතිර පවතී. එනිසාම එය විශ්ව ගැටලුවක් වන අතරම ඒ වෙනුවෙන් ගෙවන මානව පිරිවැයද අදෘශ්‍යමානය. යටත් පිරිසෙන් ලෝකයේ සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් කාන්තාවක් ඇගේ ජීවිත කාලය තුළ පහර කෑමට, ලිංගික හෝ වෙනත් අපයෝජනයකට ලක්වෙයි. ඒ අනුව වර්තමානයේ ලාංකික කාන්තාවටද ආර්ථික ක්‍රමයේ පවතින ආර්ථික සූරා කෑම, ලිංගික අපයෝජන, දේශපාලනික බැහැර කිරීම් හා නීතිමය වෙනස්කම්වලට මුහුණ දීමට සිදුව ඇත. මේ සියලු හේතු නිසාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සමස්ත රටවල් 193ද තවත් අන්තර්ජාතික සංවිධාන 23කට ආසන්න ප්‍රමාණයක්ද එකතුව වර්ෂ 2015 දී ළඟා කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක අතර ස්ත්‍රී පුරුෂ සමානත්වය ප්‍රධාන කරුණක් ලෙස දක්වා ඇත.

මේ ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ සහශ්‍ර අරමුණු හරහා පසුගිය දශක කිහිපය තුළ ලෝක ආර්ථික හා දේශපාලනය තුළ සිදු වූ වෙනස්වීම් නිසා මෙම කාන්තාවන්ට සිදුවන වෙනස්කොට සැලකීම් යම්තාක් දුරකට යටපත් කිරීමට සමත් වී ඇත. උදාහරණයක් ලෙස බ්‍රසීලයේ 2011 ජනවාරි පළමුවන දින ජනාධිපතිධූරයට පත් ඩිල්මා රූසෙව් එරට පළමු ජනාධිපතිවරිය වන අතර ඇය කාන්තා හිංසනය තදින්ම පිළිකුල් කරන්නියකි. ඇය විසින් බ්‍රසීලයේ පාර්ලිමේන්තුව තුළ කාන්තා හිංසනය කෙරෙහි දැඩි නීතිරීති මාලාවක් සම්මත කළාය. ඒ අතර කාන්තාවක හිංසනයට ලක්කරන පුද්ගලයෙකු හිර ගෙදරට නොයවන නමුත් ඇයට වන්දි දිය යුතුය. ආබාධිත කාන්තාවක හිංසනයට ලක්කරන්නෙකුට ඇය ජීවත්වන තාක් කල් ජීවත් වීමට සරිලන මුදලක් මාස් පතා ගෙවීමට සිදුවීම ආදිය දැක්විය හැකිය.

වර්තමානයේ කාන්තාව ආර්ථික හා සමාජ තත්ත්වය දියුණු වීම වැනි කාරණා තුළදී ඇයට මෙම ආර්ථික ක්‍රමයේ පවතින ආර්ථික සූරා කෑම, ලිංගික අපයෝජන හා දේශපාලනික බැහැර කිරීම්, නීතිමය වෙනස්කම්වලට මෙන්ම ගෘහය තුළද යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව ඇත. මෙවැනි තත්ත්ව මඟ හරවා ගැනීමට නම් ආකල්පමය, ආර්ථික අතින් මෙන්ම දේශපානික හා නීතිමය වශයෙන්ද ඇය බලගැන්වීමක් කළ යුතු බව පැහැදිලිය. ස්ත්‍රී පුරුෂ සමානත්වය ඇති කිරීමේදී යුක්තිය හා සාධාරණත්වය මත පදනම් වූ ආර්ථික හා දේශපාලන ක්‍රමයක් ඇතිවීම ස්ත්‍රී පුරුෂ සමාජභාවයේදී ප්‍රයෝජනවත්ය.

එපමණක් නොව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී කාන්තා දායකත්වය ඉහළ දැමීමට පියවර ගත යුතුය. ඒ හරහා ඇයගේ මානසික තත්ත්වය ශක්තිමත් වීමද සිදු වන අතර පවුල තුළ ඇයට අවශ්‍ය පිළිගැනීම, ගෞරවය, ආදරය නිසි තැන ලැබෙයි. එමඟින් ඇය සුරක්ෂිත කිරීමේ සාමූහික ප්‍රයත්නයට අඩිතාලම නිවස තුළම වර්ධනය කරගත හැක. එසේම කාන්තාවගේ අයිතිවාසිකම්, පූර්ණ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සහභාගීත්වය තහවුරු කෙරෙන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම, පසු විපරම සහ ඇගයීම තුළින් මෙම සංකල්පය නිවැරදිව සමාජගත කිරීමටද හැකිවනු ඇත. ස්ව ශක්තියෙන් අභියෝගයන්ට මුහුණ දෙමින් සිය ශක්තිය සහ බුද්ධිය උපරිම ලෙසත් නිවැරදි ලෙසත් යොදා ගනිමින් කාර්යයන්හි නිරත වීමට ඇයව පුරුදු පුහුණු කිරීම හා නිවැරදි සංවිධාන රාමුවක් තුළ සැලසුම් සහගත දැනුවත්භාවයක් ලබාදෙමින් සමාජයීය හා ආර්ථික අතින් බල ගැන්වීම තුළ ඇයගේ අභිවෘද්ධිය සාක්ෂාත් කරගත හැක.

පිරිමියාට මෙන්ම කාන්තාවටද සුවදායක සහ සුරක්ෂිත පරිසරය ලැබීමේ අයිතිය ඇත. කාන්තාව යනු තවත් මිනිස් වර්ගයක් මිස විශේෂ අනුකම්පාවක් හෝ ආරක්ෂාවක් තවත් කෙනෙකුගෙන් ඇයදිය යුතු තැනැත්තියක් නොවන බව අප සැම අවධාරණය කර ගත යුතු කරුණකි. අවසාන වශයෙන් මහත්මා ගාන්ධි කළ ප්‍රකාශයක් මෙසේ සටහන් කරමි. “ගැහැනියගේ සේවය පිරිමියාගේ සේවය තරමටම අගය නොකරන සමාජයේ සමබර දියුණුවක් ඇත්තේ නැත.” ∎

දිල්රුක්ෂි වාරියප්පෙරුම 

tt

Recent Posts

Tags: , , , , , , , , , ,

One Comment to “ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ගෑනි මිනිහා වීමත්, මිනිහා ගෑනි වීමත්ද?”

  1. priyantha says:

    ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා මාධ්‍ය ගැන කතා කරන එම ලිංගික අන්තවාදීන් මව සහ දරුවා එකට සිටින වෙළද දැන්වීම් ස්ත්‍රී පුරුෂ සමජ භාවීය හිංසනයන් හා කාන්තාව නිවසට කර තැබීමේ සමාජ ආකල්ප ලෙස හදුන්වා තිබුනි.මම මෙය කියවූවේ කැළැනිය විශ්ව විද්‍යාලයේ එන් ජී ඕ කථිකාචාර්යවරයෙකු විසින් ලියන ලද පොතකිනි

Leave a Comment