ලක්බිමේ මව්වරු සහ දියණියන් සමඟ ‛ඇන්ටිගනී’ දකුණෙන් උතුරට නෑ ගමනක ගියාය

Oct 12th, 2013 | By | Category: LEAD NEWS, sunday2, ඇන්ටිගනී, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

වසර 30 කට පමණ පසු උතුරු පළාතේ පවත්වනු ලැබූ උතුරු පළාත් සභා මැතිවරණය උතුරේ වෙසෙන දෙමළ ජනතාවට පමණක් නොව දකුණේ සිංහලයින්ටත් විශේෂ වූ සිදුවීමක් ලෙස හැඳින්විය හැක්කේ දශක 3කට ආසන්න කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකින් තොරව සිංහල දෙමළ ජනවාර්ගික අර්බුදයකට මුහුණ දෙමින් අවසානයේ කුරිරු සන්නද්ධ ගැටුමක් අතර මැදි වෙමින් ජීවත් වූ උතුරේ දෙමළ ජනතාවට මෙම මැතිවරණය හරහා තම ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකමක් ද භුක්ති විඳින්නට ලැබුණු බැවිනි.

2009 වන විට මෙම ජනවාර්ගික සන්නද්ධ අරගලය රාජ්‍ය හමුදාව ප්‍රමුඛ සිංහලයාගේ ජයග්‍රහණයක් ලෙසින් අවසන් වූ අතර අද වන විට උතුරු පළාතේ ආර්ථික සංවර්ධනයක් රජය විසින් සිදුකරමින් පවතින ආකාරය අපට දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ අරගලය නිමවී වසර 4 කට වඩා ගත වී ඇතත් පශ්චාත් යුද සමයක රජය විසින් මූලික වී ඇති කළයුතු දෙමළ සහ සිංහල ජනතාව අතර සාමාජයීය වශයෙන් ඇති කරනු ලබන සංහිඳියාව ඇති කිරීමට එතරම් උනන්දුවක් රජයට ඇති බව නොපෙනේ. අවුරුදු ගණනාවක් තිස්සේ ජාතියක් වශයෙන් තමන්ට අහිමි වූ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ ජනතාව අද වන විට ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීම මත ශ්‍රී ලංකාවේ රජය විසින් තම අයිතිවාසිකම් ලබා දෙනු ඇතැයි විශ්වාස කරමින් සිටිති. අපට බහ තෝරන වියේ සිට ඡන්දය හා මැතිවරණය හුරු වුවද, අවුරුදු ගණනාවක් සාමාන්‍ය ජන ජීවිතයෙන් ඈත්ව එදිනෙදා තම ජීවිතය රැක ගැනීමට වෙහෙස වූ උතුරේ ජනතාවට මැතිවරණය සහ ඡන්දය නැමති වචන පවා නුහුරු දෙයක් වන්නට පුළුවන.

ශ්‍රී ලංකාව ඉතා කුඩා රාජ්‍යයක් වුවත් රට තුළ පිහිටා තිබෙන උතුරු පළාත අනෙකුත් පළාත්වලට වඩා වෙනස්ම ප්‍රදේශයක් ලෙස හඳුනාගැනීමට පුළුවන. උතුරු පළාත අනෙක් පළාත්වලට වඩා භූගෝලීය වශයෙන් වෙනස්ව පිහිටා තිබෙන අතර එහි දේශගුණික තත්ත්වය රටේ අනෙකුත් දේශගුණික තත්ත්වයට වඩා වෙනස්ය. අතර එහි පවතින ආර්ථික, සමාජයීය වටපිටාව ද වෙනස් මට්ටමක පවතී. බහුලව දෙමළ ජනතාව ජීවත් වන බැවින් ඔවුනට ආවේනික වූ සංස්කෘතියකින්ද යුක්ත වේ. යුද්ධයෙන් අවුරුදු හතරකට අධික කාලයක් ගත වී ඇතත් ලංකාවේ සුළු ජාතියක් වශයෙන් සිටින දෙමළ ජනතාව තවමත් සිංහලයා විසින් ත්‍රස්තවාදියා යන නාමයෙන් හඳුන්වනු ලැබීමට වැඩි නැඹුරුතාවයක් පවතින අතර මෙම අවිශ්වාසය නිසා දෙමළ ජනතාව තුළද තම අයිතිවාසිකම් ලැබීම පිළිබඳවත් දකුණේ සිංහලයා පිළිබඳවත් යම් ආකාරයකට සැඟවුණු සැකයන් පවතින බව කිව යුතුය. එසේම උතුරු පළාතේ මේ අයුරින් මැතිවරණයක් පැවැත්වීම තුළින් උතුරට වෙනම පාලනයක් ලබා දෙන්නට උත්සාහ ගන්නවාද යන සැකයක් දකුණේ බහුතර සිංහල ජනතාව තුළ පැවතිණි. යුද්ධය අවසන් වුවද ජනවාර්ගික අර්බුදය නැවතත් ඇති සන්නද්ධ ගැටුමක් බවට පත් නොවීමට නම් දෙමළ ජනතාවට දේශපාලනික විසඳුමක් ලබා දිය යුතුය යන්න ජාත්‍යන්තර ප්‍රජාව තරයේ විශ්වාස කරන අතර එවන් විසඳුමක් ලබා දෙන බවට ලංකාවේ ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව වෙත පොරොන්දු වී ඇත. 2013 සැප්තැම්බර් මස 21 වන දින උතුරු පළාතේ පැවති ඡන්දය පිළිබඳවද ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානය යොමු විය.

මෙවැනි සංකීර්ණ වට පිටාවක් තුළ උතුරේ මැතිවරණ ක්‍රියාවලිය ඉතා පහසු කටයුත්තක් නොවූ බව අප විසින් වටහා ගත යුතුය. මෙවැනි තත්ත්වයක් තුළ ඡන්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීම, මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම, ඡන්දය පාවිච්චි කිරීම, මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය යනාදි මැතිවරණය ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම ඉතා දුෂ්කර කටයුත්තකි. සිංහල බෞද්ධකම කර පින්නාගෙන සිටින රටක් තුළ ප්‍රධාන වශයෙන්ම ඡන්ද අපේක්ෂකයකු වශයෙන් උතුරු පළාත නියෝජනය කරමින් දෙමළ ජාතිකයෙක් මැතිවරණයට ඉදිරිපත් වීම ම එක්තරා අභියෝගයකි.

කාන්තාවන් ඡන්දය සඳහා ඉදිරිපත් වීම උතුරේ පමණක් නොව දකුණේද අභියෝගාත්මක කටයුත්තකි. විශේෂයෙන්ම ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනයට ආදාළ සංඛ්‍යා ලේඛන බැලූවිට මේ බව තහවුරු වේ. එසේ වුවද ඒ අභියෝගයට ඒ අයුරින්ම මුහුණ දෙමින් උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වූ කාන්තා අපේක්ෂිකාවන්ද සිටින බව මෙහිදී පවසන්නට අපි කැමැත්තෙමු. අප සැවොම දන්නා පරිදි යුද්ධයකදී අන් සියල්ලන්ටම වඩා අසරණ වන්නේ කාන්තාවන් හා ළමුන්ය. එය අමුතුවෙන් තහවුරු කළ යුතු සත්‍යයක් නොවේ. විශේෂයෙන්ම වැඩිම ඡන්දදායකයින් පිරිසක් කාන්තාවන් වීම මගින්ම ඒ කටුක සත්‍ය නැවත වරක් තහවුරු කරනු ලබයි.

උතුරු පළාතේ දෙමළ හින්දු සංස්කෘතිය යනු ප්‍රධාන වශයෙන්ම පුරුෂ මූලික කුටුම්භයන් පවතින සමාජයක් වන අතර එම සමාජයේ කාන්තාවන් අතිශය සම්ප්‍රදායික ආකල්ප මත ජීවත් වන අය බව කිව යුතුය. යුද්ධය නිසා පවුලේ පිරිමි සමාජිකයින් අහිමි වූ තත්ත්වයක් යටතේ උතුරේ කාන්තාවෝ පවුලේ බර කරට ගත්ත ද ඇය වඩාත් තම කුටුම්භය තුළට යොමු වු තැනැත්තකි. මෙවැනි සංස්කෘතියක් සහ වටපිටාවක් තුළ මැතිවරණයක් සඳහා අපේක්ෂිකාවක් වශයෙන් කාන්තාවක් ඉදිරිපත් වීමම ඇය කාන්තාවක් වීම නිසා මුහුණ දීමට සිදුවන සියලු අභියෝගයන්ට සූදානමින් ඉදිරිපත් වීමකි. නමුත් මෙලෙස නොබියව සමාජ කාර්යයක් වෙනුවෙන් ඉදිරිපත්වීමට තරම් ශක්තිය ලැබීමට නම් ඇය සතුව සුවිශේෂී වූ ආකල්ප, අත්දැකීම් මෙන්ම විශ්වාසයන්ද පැවතිය යුතු බව අපගේ අදහසයි.

mm

Recent Posts

Tags: , , , , , , , , , , , ,

Leave a Comment