මනුතාපය ඇසුරෙන් ප්‍රතිසන්ධානය ගැන අළුතෙන් හිතමු.

Jul 19th, 2012 | By | Category: ප්‍රතිසන්ධානය

ඔබට මතකද ජනවර්ජන? අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල සූරීන්ගේ ‛මනුතාපය’ කියැවූ කෙනෙකුට ජනවර්ජන අමතක විය නොහැකියි. මනුතාපය යනු ප්‍රංශ ලේඛක වික්ටර් හියුගෝගේ ‛ල මිසරාබ්ල’ හෙවත් ‛ද මිසරබල්’ නම් නවකතාවේ සිංහල අනුවර්තනයයි.

එහි ප්‍රධාන චරිතය වන ජෝන් වැල්ජෝන් හෙවත් ජනවර්ජන තම සහෝදරියගේ දරුවන්ගේ කුසගින්න නිවනු පිණිස පාන් ගෙඩියක් හොරකම් කර අසුවී අත්අඩංගුවට පත්වී ටූලෝං ගැලියේ වහල් වැඩකිරීමට දඬුවමට නියම වූ පුද්ගලයෙක්. තමා හොරකම් කිරීමට උත්සාහ කළේ කුසගින්නේ පසුවන අසරණ දරු පවුලකගේ කුසගින්න නිවන්නට බව ජනවර්ජන අධිකරණයට පැවසුවද, ඔහුට ‛සමාවක්’ නොලැබෙන අතර ‛වරදට දඬුවම’ ලැබෙයි. දඬුවම ගෙවා අවසන්ව ජනවර්ජන ආපසු පැමිණෙන්නේ අපරාධකාරයෙකු යන හංවඩුව සහිතවය. ඔහු පසුපස ඔත්තු සේවා ක්‍රියාත්මක වන්නේ ‛හිටපු කොටියෙක්’ සේම ඔහුද භයානක පුද්ගලයෙකු බැවිනි.

ටූලෝං ගැලියෙන් නිදහස්වුවත් ජීවත් වීමට මාර්ගයක් නැතිවූද, සමාජයට වෛර කරන්නාවූද පුද්ගලයෙකු වන ජනවර්ජන රාත්‍රියේ නවාතැන් සොයා යන්නේ ‛බීස්කූන්වහන්සේ’ නමකගේ හෙවත් රදගුරුතුමෙකුගේ මාලිගයටය. එහි තිබුණු රිදී කුසලාන කිහිපයක් සොරකම් කරගන්නා ඔහු රාත්‍රියේ පැන ගියත් නැවතත් අත්අඩංගුවට පත්වෙයි. ‛බඩුත් එක්ක හොරු’ අල්ලා බීස්කූන්වහන්සේ වෙත ගෙන ආ කල එතුමා යුක්තිය ඉෂ්ට කොට මේ භයානක අපරාධකරුවා නැවතත් සිරගෙට යවනු වෙනුවට ඔහුගේ ‛වරදට සමාව’ දෙයි. එම රිදී භාජන සොරකම් කරන ලද ඒවා නොව තමා ඔහුට තෑගි දුන් ඒවා බව පවසා බීස්කූන්වහන්සේ ඒවා රැගෙන නිදහස් වී යාමට ජනවර්ජනට ඉඩ සලසයි.

තමන් වෙත ප්‍රදානය කරනු ලබන මේ අනපේක්ෂිත ක්ෂමාව නිසා සිත් හැරීමකට ලක්වන ජනවර්ජන තම වැරැදි පිළිබඳව පශ්චත්තාප වී වෙනස් මිනිසෙකු බවට පත්වෙයි. පුනරුත්ථාපනය වෙයි. ඈත නගරයකට යන ඔහු රිදී භාජන විකුණා ලත් මුදලින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කොට නගරයට විශාල සේවයක් කරන අතර පසුව නගරයේ නගරාධිපති ධුරයට පවා පත් වෙයි. එහිදී ඔහු ප්‍රසිද්ධ වන්නේ මංජුල යන නමිනි.

කෙසේ වෙතත් ජනවර්ජන පසුපස පන්නා යන නීතියේ දීර්ඝ හස්තය නතර නොවේ. ජන්තු නම් නීතිගරුක පොලිස් නිලධාරියාගේ එකම අරමුණ ජනවර්ජන නම් අපරාධකරුවා නැවත අත්අඩංගුවට ගැනීමයි. ජන්තු වනාහි අල්ලසට හෝ දේශපාලන බලපෑමට හෝ යට නොවන සැබෑ අවංක පොලිස් නිලධාරියෙකි. නමුත් ඔහුගේ වෑයම ජනවර්ජන අත්අඩංගුවට ගෙන සඟවා ඇති ආයුධ සොයන්නට යැයි කියා ගෙන ගොස් වෙඩි තබා මරා දැමීම නොවේ. ඔහු නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දී යුක්තිය ඉෂ්ට කිරීමටය. ජනවර්ජන වරදට පෙළඔුණේ දුප්පත්කම නිසා බවත්, දැන් ඔහු තම වැරැදි ගැන පශ්චත්තාප වී හොඳ මිනිසෙකු බවට පත් වී සමාජයට සේවයක් කරන බවත් ජන්තුට අදාළ නොවේ. ඔහු වනාහි ‛වරදට දඬුවම’ දෙන ‛යුක්තියට චණ්ඩියෙකි’.

කෙසේ වුවද ‛මනුතාපය’ කියවන අප සියලු දෙනාම බැඳෙන්නේ ජන්තු නම් නීතිගරුක පොලිස් නිලධාරියා වෙත නොව ජනවර්ජන හෙවත් මංජුල නම් පුනරුත්ථාපනය වූ අපරාධකරුවා සමඟය. හුදෙක් යාන්ත්‍රික ලෙස වරදට දඬුවම් දීමට වඩා වරදට යමෙකු පෙළැඹෙන හේතු විභාග කළ යුතුයැයිද, වරද පිළිගෙන පශ්චත්තාප වී තම ජීවිතය යහපත් අතට වෙනස් කොටගෙන පුනරුත්ථාපනය වූ පුද්ගලයෙකුට සානුකම්පිතව සැලකිය යුතු බවත්, ඔහු සමාව ලැබීමට සුදුස්සෙකු බවත් අපි විශ්වාස කරමු. කතාවේ අවසානයේ දී ජන්තු නමැති පොලිස් නිලධාරියා සිය දිවි නසා ගත් විට අප ඉබේම සැනසුම් සුසුමක් හෙළන්නේ එබැවිනි.

සමාජය වෙතින් අසාධාරණයට හෙවත් ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වයට ලක්වීම නිසා, පෙරළා ආත්මීය ප්‍රචණ්ඩත්වයක් සමාජය වෙත මුදා හළ පුද්ගලයෙකු වෙත සමාජයේ මර්දන යන්ත්‍රය වෙතින් ටූලෝං හි ගැලියේ වහල් වැඩ කිරීම නමැති වාස්තවික ප්‍රචණ්ඩත්වයට ලක් කරනු ලබයි. එයින් නිදහස්ව සමාජයට පැමිණ නැවතත් සමාජය වෙත ප්‍රචණ්ඩත්වය මුදා හැර, පැරණි විෂම චක්‍රය නැවත ආරම්භ කිරීමට තිබූ අවස්ථාව අහිමි වන්නේ සමාජය වෙතින් හෙවත් රදගුරු තුමා වෙතින් ඔහු කළ වැරදිවලට සමාව ලැබීමෙනි. ඉන්පසුව අපට හමුවන්නේ දහසක් ප්‍රකෝප කිරීම් හමුවේ නොසැලී සමාජය සමඟ සංහිඳියාවකට හෙවත් ප්‍රතිසන්ධානයකට යාමට උත්සාහ කරන අප්‍රතිහත ධෛර්යයකින් යුතු මිනිසෙකුගේ කතාවයි∎

Recent Posts

Tags: , , ,

Leave a Comment