35 වන විවාහ සංවත්සරය

Oct 22nd, 2013 | By | Category: OTHER NEWS, යාන් හෑලි

අවුරුදු හැට ගණනක් වයසැති විවාහක යුවළක් සුන්දර, නිහඬ, රොමෑන්ටික් රෙස්ටුරන්ට් එකකදී තම විවාහ දිවියේ තිස් පස් වන සංවත්සරය සැමරූහ.

හදිස්සියේම සිඟිති නමුත් සුන්දර සුරංගනාවක් ඔවුන් දෙදෙනා ආහාර ගන්නා මේසය අසල පහළ වූවාය. “ඔබ දෙදෙනා මේ තරම් දීර්ඝ කාලයක් එකිනෙකා කෙරෙහි ආදරයෙන් සහ විශ්වාසවන්තව ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කිරීම පිළිබඳව මම අතිශයින් ප්‍රසන්න වූයෙමි. ඔබ එකිනෙකා කැමැති ඕනෑම වරයක් මම ඔබ දෙදෙනාට ලබා දෙන්නෙමි.”සුරංගනාව කීවාය.
මෙතැනදී ජෝඩුවම පුදුමයට පත්වූ බව මෙන්ම වරය ඉල්ලීමේදී භාර්යාව ඉස්සර වූ බවත් අපේ පාඨකයන්ට අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.

“මම කැමැතියි මගේ ඩාලිං හස්බන්ඩ් එක්ක ලෝකෙ වටේම රවුමක් ඇවිදින්න.” භාර්යාව කීවාය. සුරංගනාව ඇගේ මැජික් යෂ්ටිය සෙලවූ අතර එක්වරම විශාල ආලෝකයක් පතිත විය. එසැණෙහිම ක්වීන් මේරි නම් සුඛෝපභෝගී කෲස් යාත්‍රාවේ පළමු පන්තියේ ටිකට්පත් දෙකක් භාර්යාවගේ අතේ පහළ විය.

ඊළඟට පැමිණියේ ස්වාමි පුරුෂයාගේ වාරයයි. මොහොතක් කල්පනා කළ ඔහු මෙසේ කීය: “හොඳයි, මේ ඔක්කොම හරිම රොමෑන්ටික්. ඒ වුණාට ඉතින් මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නෙ ජීවිත කාලෙටම එක වතාවයි. සොරි ඩාලිං, මම ප්‍රාර්ථනා කරනව මට වඩා අවුරුදු 30 ක් බාල වයිෆ් කෙනෙක් ලැබෙන්න කියල.”

භාර්යාව පමණක් නොව සුරංගනාවත් ස්වාමි පුරුෂයාගේ ඉල්ලීම නිසා බොහෝ කලකිරීමට පත් වූහ. නමුත් පොරොන්දුවක් වුවහොත් එය ඉටු කළ යුතුමය. සුරංගනාව තම අත ඇති මැජික් යෂ්ටිය දිගු කර අහසේ රවුමක් ඇන්දාය. ඇස් නිලංකාර කරවන ආලෝකයක් පහළ විය. ස්වාමි පුරුෂයා අවුරුදු 92 ක මහල්ලෙක් බවට පත් විය.

ආදර්ශය:
පිරිමි වනාහි කෙළෙහි ගුණ නොදත් මෝඩයන් පිරිසක් බව හැබෑය. එහෙත් සුරංගනාවන් . . . කාන්තාවන්ය.

wed

Recent Posts

Tags: , , , , ,

Leave a Comment