වෙනස්කම් රැකගෙන එක්ව සිටීමේ සුන්දරත්වය

Oct 23rd, 2013 | By | Category: LEAD NEWS, දේශපාලන

උතුරු පළාත් සභා මැතිවරණයට අදාළව (හෝ අදාළ නැතිව) දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රසිද්ධ වූ පසු උතුරු පළාත් සභාවේ අනාගතය පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවිය.

මෙරට දෙමළ ජනතාවට බලය බෙදීම පිළිබඳව බහුතර සිංහල ජනතාව දක්වන්නේ අප්‍රමාණ බියකි. දෙමළ ජනතාව පසෙක සිටියේවා, මධ්‍යම ආණ්ඩුවේ බලය සිය පවුලේ සාමාජිකයන් හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් ඇමතිවරුන් අතර බෙදාගැනීමට පවා ජනාධිපතිවරයා අකැමැත්තක් දක්වයි. එබැවින් සිංහල ජනතාවගේ බලය බෙදීමට ඇති බිය වැඩිවන තරමට ජනාධිපතිවරයා සතුටට පත්වේ. මහා ජීවිත විනාශයකින් අවසන් වූ යුද්ධයකින් පසුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති බලතල ලබා ගැනීම සඳහාත් දෙමළ ජනතාවට විශාල අරගලයක් කිරීමට සිදුවී ඇත.

තමිල්නාඩුවේ කලකට පෙර පැවැති වෙනම රාජ්‍යයක් පිළිබඳ සංකල්පයේ නැගීම සහ අනුක්‍රමයෙන් එහි වැටීම පිළිබඳ කෙටි අධ්‍යයනයක් මේ අවස්ථාවේදී කිරීම සුදුසු යැයි සිතමි. මක්නිසාදයත් එම ඓතිහාසික විකාශයෙන් ශ්‍රී ලංකාවේ සිටින අපට බොහෝ පාඩම් උගත හැකි බැවිනි.

වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් හෙවත් ද්‍රවිඩ නාඩුවක් පිළිබඳ අදහසට දේශපාලන අනුග්‍රහයක් ලැබෙන්නේ 1921 දී මැඩ්රාස් ප්‍රාන්තයේ බලයට පැමිණි ජස්ටිස් පක්ෂය මගිනි. මෙම ද්‍රවිඩ නාඩු සංකල්පයට දෙමළ පමණක් නොව තෙලිඟු, මලයාලම් සහ කන්නඩ යන භාෂා කතා කරන සමස්ත ද්‍රවිඩ ජනතාවද ඇතුළත් වූහ. මෙම සංකල්පයේ මූල බීජය වූයේ 19 වන ශතවර්ෂයේ අගභාගයේ සිට බ්‍රාහ්මණයන්ට සහ ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහිව මැඩ්රාස් ප්‍රාන්තයේ ඇතිවූ ව්‍යාපාරයයි. බ්‍රාහ්මණ නොවන ද්‍රවිඩයන් එම ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් බවත් බ්‍රාහ්මණයන්ගේ හෙවත් ආර්යයන්ගේ ආක්‍රමණයෙන් පසුව ද්‍රවිඩ ප්‍රදේශවල මුල් කාලයේ නොතිබුණු සමාජයීය විෂමතා ඇතිවූ බවත් පෙරියාර් නම් දෙමළ නායකයා කියා සිටියේය. මෙම සමාජයීය විෂමතාවලට එරෙහිව ඔහු කටයුතු කළ අතර සාම්ප්‍රදායික හින්දු විවාහයට එරෙහිව අන්තර් කුල සහ ආදර සම්බන්ධතා අනුව වන විවාහවලටද ඔහු අනුබල දුන්නේය. තමිල්නාඩුව අද ලබා ඇති ආර්ථික සමෘද්ධියේ මූලබීජය සමාජයේ සියලුදෙනාම සමාන බවට පෙරියාර් ප්‍රමුඛ දෙමළ නායකයන්ගේ තිබූ සංකල්පය විය හැක. ඉන්දියානු ජාතික කොංග්‍රසයේ “බ්‍රාහ්මණ අධිපත්‍යය”ටද හින්දි භාෂාවටද ඔහු විරුද්ධ විය. රාමායනයෙන් කියැවෙන්නේ රාවණා විසින් පාලනය කළ ද්‍රවිඩයන් ආර්යයන් විසින් පාගා දැමීම යැයිද ඔහු කියා සිටියේය. පාකිස්ථානයේ නිර්මාපකයා වූ මොහමඩ් අලි ජින්නා හා එක්ව ඉන්දියාව හින්දුස්ථානය, පාකිස්ථානය, ද්‍රවිඩස්ථානය සහ බංගලිස්ථානය යනුවෙන් කොටස් හතරකට කැඩිය යුතුයැයි ඔහු කියා සිටියේය. 1947 දී ඉන්දියාව නිදහස ලබන විට එය ඉංග්‍රීසීන් වෙතින් ආර්යයන් වෙතට බලය මාරුවීමක් ලෙස ඔහු අර්ථ දැක්වීය.

නිදහස ලබන විට ඉන්දියානු ප්‍රාන්ත මූලික වශයෙන් බෙදා තිබුණේ ඉංග්‍රීසීන් විසින් බෙදා වෙන් කළ සීමාවන් සහිත ප්‍රාන්ත සහ මහාරාජාවරුන්ගෙන් අත්පත් කරගත් ප්‍රාන්ත වශයෙනි. දකුණු ඉන්දියාව සලකා බැලුවහොත් එය බෙදී තිබුණේ ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ මැඩ්රාස් ප්‍රාන්තය සහ මහාරාජාවරුන්ගෙන් අත්පත් කරගත් මයිසූර් ප්‍රාන්තය, හයිද්‍රාබාද් ප්‍රාන්තය හා ට්‍රවන්කෝ – කොචින් ප්‍රාන්තය වශයෙනි. මේවා ජනවර්ග අනුව බෙදුණු ප්‍රාන්ත නොවීය. නිදහසෙන් පසුව භාෂා අනුව ප්‍රාන්ත බෙදන ලෙසට වූ දේශපාලන ඉල්ලීම්වලට අනුව 1953 දී මැඩ්රාස් ප්‍රාන්තයේ තෙලිඟුරෑ භාෂාව භාවිතා කරන ප්‍රදේශ 16 ක් එකතු කොට ආන්ද්‍ර ප්‍රාන්තය නම් වෙනම ප්‍රාන්තයක් ඇතිකරන ලදී. 1956 ප්‍රාන්ත ප්‍රතිසංවිධානය කිරීමේ පනත මගින් සමස්ත ඉන්දියාවේම ප්‍රාන්ත භාෂා අනුව නැවත බෙදා වෙන් කරන ලදී. දකුණු ඉන්දියාව සලකා බැලුවහොත්, එහි ඇතිවූ වෙනස්කම් මෙසේය. හයිද්‍රාබාද් ප්‍රාන්තය සහ ආන්ද්‍ර ප්‍රාන්තය එකතු කොට තෙලිඟුරෑ භාෂාව භාවිතා කරන ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තය ඇති කරන ලදී. ට්‍රවන්කෝ – කොචින් ප්‍රාන්තය සහ මැඩ්රාස් ප්‍රාන්තයේ මලබාර් ප්‍රදේශ එකතු කොට මලයාලම් භාෂාව භාවිතා කරන කේරල ප්‍රාන්තය ඇතිකරන ලදී. ට්‍රවන්කෝ – කොචින් ප්‍රාන්තයේ දෙමළ භාෂාව භාවිතා කරන දකුණු දිග ප්‍රදේශ මැඩ්රාස් ප්‍රාන්තයට එකතු කරන ලදී. මැඩ්රාස් ප්‍රාන්තය තමිල්නාඩු වශයෙන් 1968 දී නැවත නම් කෙරිණ. හයිද්‍රාබාද් ප්‍රාන්තයේ සහ බටහිර බොම්බේ ප්‍රාන්තයේ කන්නඩ භාෂාව භාවිතා කරන ප්‍රදේශ මයිසූර් ප්‍රාන්තයට එකතු කරන ලදී. මයිසූර් ප්‍රාන්තය 1973 දී කර්ණාටක ප්‍රාන්තය යනුවෙන් නැවත නම් කෙරිණ.

මෙම වෙනස්කම් ඇතිකරන ලෙස ද්‍රවිඩනාඩු ව්‍යාපාරයේ නායකයන්ගෙන් විශාල බලපෑමක් නොවීය. මෙසේ ප්‍රාන්ත වෙන් කළ පසු ආන්ද්‍ර ප්‍රදේශ්, කේරල සහ කර්ණාටක යන ප්‍රාන්තවල ද්‍රවිඩ නාඩුවක් සඳහා අවශ්‍යතාවයක් නොවීය. පෙරියාර්ගෙන් පසුව බලවත්ව සිටි දෙමළ නායකයා වූ අන්නදොරේ ද්‍රවිඩ නාඩුව ද්‍රවිඩයන්ට සහ තමිල්නාඩුව දෙමළුන්ට යන සටන් පාඨය රැගෙන ආවේය. 1962 ඇතිවූ ඉන්දු – චීන යුද්ධයේ සහ 1963 දී ඉන්දීය පාර්ලිමේන්තුව මගින් වෙනම රාජ්‍ය ඉල්ලීම් තහනම් කරමින් පැනවූ 16 වන ව්‍යවස්ථා සංශෝධනයේ බලපෑම හේතුවෙන් දෙමළ නායකයන් විසින් වෙනම රාජ්‍ය ඉල්ලීම අතහැර දමන ලදී. වඩා වැදගත් කාරණය වන්නේ මෙයයි, 1962 දක්වා මැඩ්රාස් ප්‍රාන්තයේ බලයේ සිටියේ කොංග්‍රසයයි. 1962 දී කොංග්‍රසය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා විට ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයට දිනාගත හැකිවූයේ ආසන 50 කි. වෙනම රාජ්‍ය සංකල්පය අතහරිනු ලැබූ පසුව 1967 දී ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය ආසන 138 ක් දිනාගත් අතර කොන්ග්‍රසයට දිනාගත හැකිවූයේ ආසන 50 ක් පමණි. මේ අනුව ප්‍රථම වතාවට මැඩ්රාස් ප්‍රාන්තයේ බලය කොන්ග්‍රසයට අහිමි වූ අතර අන්නදොරේ ප්‍රධාන ඇමතිවරයා ලෙස පත්විය.

එවකට වෙනත් ද්‍රවිඩ ප්‍රාන්තවල තිබූ ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය, එනම් ඉංග්‍රීසි, හින්දි සහ ප්‍රාන්ත භාෂාව ව්‍යවහාරය නවත්වා ද්විභාෂා ප්‍රතිපත්තියට එනම් ඉංග්‍රීසි සහ ප්‍රාන්ත භාෂාව – මේ අවස්ථාවේදී දෙමළ – භාවිතයට ගැනීම අන්නදොරේ ලැබූ ජයග්‍රහණයක් විය. භාෂාව සම්බන්ධයෙන් ඉන්දීය නායකයන් දැක්වූයේ පරෙස්සම් සහගත එමෙන්ම සහනශීලි ප්‍රතිපත්තියකි. 1960 දී පමණ හින්දි භාෂා ව්‍යවහාරය ගැන අන්නදොරේ ප්‍රමුඛ දෙමළ නායකයන්ගේ බලවත් විරෝධය හමුවේ එවකට අගමැති ජවහර්ලාල් නේරු විසින් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකාරක භාෂාවක් වශයෙන් තවදුරටත් පවත්වාගෙන යන බවට පාර්ලිමේන්තු ප්‍රකාශයක් කරන ලදී. පසුව ඉන්දිරා ගාන්ධි විසින් හින්දි සහ ඉංග්‍රීසි යන භාෂා දෙකම රාජ්‍ය භාෂා වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ඉන්දිරා ගාන්ධි ඉන්දීය අගමැති වූ පසුවද 1966 දී භාෂා අනුව ප්‍රාන්ත බෙදීම තවදුරටත් පුළුල් කරන ලදී. පන්ජාබයේ අකාලි ඩාල් පක්ෂයේ ඉල්ලීම අනුව පන්ජාබයේ හින්දි භාවිතා කරන ප්‍රදේශ ඇතුළත්ව හර්යානා නමින් නව ප්‍රාන්තයක් ඇතිකරන ලද අතර ශික් නොවන පන්ජාබයේ ඊසාන දිග කොටස් හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයට අනුබද්ධ කරන ලදී. ඉන්දිරා ගාන්ධි අනුගමනය කළේ මධ්‍යය ශක්තිමත් කරන ප්‍රාන්ත දුර්වල කරන ප්‍රතිපත්තියකි. ප්‍රාන්ත බලය කොංග්‍රසය සතුව තිබූ ප්‍රාන්තවල සිටි ප්‍රබල මහ ඇමතිවරුන් සමඟ ගනුදෙනු කිරීමට ජවහර්ලාල් නේරු කැමති වූ අතර ඉන්දිරා ගාන්ධි තමාට පක්ෂපාත මහ ඇමතිවරුන් පත් කිරීමට ප්‍රිය කළාය. එක් වරෙක කොංග්‍රසයට බලය නොතිබූ තමිල්නාඩු සහ ගුජරාට් යන ප්‍රාන්ත ආණ්ඩු විසුරුවා, ඒවා මධ්‍යය ආණ්ඩුව යටතට පත් කිරීමට ඇය ක්‍රියා කළාය. ඉන්දිරා ගාන්ධිට පසුව පත්වූ ඉන්දීය අගමැතිවරු ඇයගේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ නැත. ඒ අනුව වෙන්වීම සඳහා එවකට ඉන්දීය ප්‍රාන්තවල තිබූ ප්‍රවණතා මේ වනවිට බොහෝ සෙයින් අඩුවී ඇත.

මේ අනුව ජනතාව ව්‍යවහාර කරන භාෂාව සහ ඔවුන් අයත් ජනවර්ගය අනුව ප්‍රාන්ත වෙන් කිරීම සහ බලතල බෙදාහැරීම එම ජනවර්ගවලට වෙනම රාජ්‍යයක් බවට පත්වීම සඳහා වන අවශ්‍යතාව නැති කරන හෝ අවම කරන බව අපට පෙනීයයි. ජනතා විමුක්ති පෙරමුණේ ජනවර්ග අනුව පළාත් සභා ඇතිකිරීමත් ඒවාට බලය බෙදීමටත් විරුද්ධ ස්ථාවරය මෙම ප්‍රායෝගික අත්දැකීම් මගින් ප්‍රශ්න කෙරේ. ඉන්දියාව අත්දැක ඇති මෙම ප්‍රායෝගික සත්‍යයන් දෙමළ ජනතාවට බලය බෙදීම වෙනම දෙමළ රාජ්‍යයක් මෙරට ඇතිවීමට හේතු වන බවට වන මෙරට සිංහල අන්තවාදීන්ගේ මතයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධය. සිංහල අන්තවාදීන්ගේ මෙම මතවාදයන් ලෙහෙසියෙන්ම කුප්පනු ලැබියහැකි, සිය ජනවර්ගය සහ සිය ආගම උපාදාන කොටගෙන වෙසෙන ඊනියා සිංහල බෞද්ධයන්ගේ සිතුම් පැතුම් කෙරෙහි බලපායි. ආගම මතුනොව ධර්මයද ඇත්තේ දැඩිව අල්ලා ගැනීමට හෙවත් උපාදාන කිරීමට නොව පහුරක් සේ සංසාරය නමැති ගංගාවෙන් එතෙර වීමට පාවිච්චි කිරීමටත් ඉන් පසුව අතහැර දැමීමටත් බව අලගද්දුපම සුත්‍රයේදී බුදුහු දේශනා කළහ. පුද්ගලික වශයෙන් වන උපාදානය අතහැර දැමීම පුද්ගලික විමුක්තියට හේතුවන අතර දේශපාලන වශයෙන් වන උපාදානය අතහැර දැමීම දේශපාලන විමුක්තියට හේතු වේ. මෙම අවස්ථා දෙකෙහිදීම ක්‍රියාත්මක වන්නේ එකම ධර්මතාවයකි. එමෙන්ම පසුකාලීනව භාෂාව අනුව ප්‍රාන්ත බෙදූ පසු තමිල්නාඩුවේ වෙනම රාජ්‍ය සංකල්පය ප්‍රධාන වශයෙන් ජනතාවගේ නොව දේශපාලනඥයන්ගේ ඉල්ලීමක් බවට ලඝු වී ගිය බවත් ඉන්පසුව දේශපාලනඥයන් ද එය අතහැර දැමූ බවත් 1962 සහ 1967 තමිල්නාඩුවේ මැතිවරණ ප්‍රතිඵල සංසන්දනය කිරීමෙන් පෙනී යයි.

උතුරු පළාත් සභා මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය ආසන 38 කින් ආසන 30 ක් දිනාගෙන ඇති බව මෙම ලිපිය ලියන අවස්ථාවේ වාර්තා විය. මෙය 2/3 කට එහාගිය විශාල බලයකි. එමෙන්ම ඉංග්‍රීසි බසින් ලියන ස්ථාපිත දේශපාලන විචාරකයකුවූ ඩී.බී.එස්. ජෙයරාජ් අනියමාර්ථයෙන් කළ පුරෝකථනවලට පටහැනිව සී.වී. විග්නේශ්වරන් යාපනය දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබාගෙන ඇත. ලංකාණ්ඩුව මේ අවස්ථාවේදී ද බොහෝ විට කටයුතු කරන්නා සේ අනුවණ ලෙස ආණ්ඩුව තුළ ස්ථානගත වී ඇති සිංහල අන්තවාදීන්ගේ පෙළඹවීම් මත කටයුතු කළහොත් මෑත කාලයේදී එක්සත් ජාතීන්ගේ මැදහත්වීමෙන් වෙනම රාජ්‍ය ඇතිවූ කොසෝවෝ, නැගෙනහිර ටිමෝරය හෝ දකුණු සුඩානය වැනි තත්ත්වයක් මෙරටද ඇතිවිය හැක. එසේ නොමැතිව ඉන්දීය අත්දැකීම්ද සැලකිල්ලට ගෙන ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කළහොත් බලය විමධ්‍යගත කළ ප්‍රබල හා අදීන, නිශ්චිතව කිවහොත් වර්තමානයේදී මෙන් ජාත්‍යන්තර ප්‍රජාව විසින් පාලනය කරනු නොලබන ජාතික රාජ්‍යයක් මෙරට ඇති කිරීමේ අගනා අවස්ථාවක් තිබේ∎

හර්ෂ ගුණසේන

mma

Recent Posts

Tags: , , , , , , , , , , , , , , ,

Leave a Comment