මිනිසුන් පමණක් නොව සිහිවටනත් අතුරුදහන්කරන රටක් – ප්‍රවීන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර

Nov 1st, 2013 | By | Category: LEAD NEWS, sunday2, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

ලංකාව පුරාම පුද්ගලයන් අතුරුදහන්වීම් කියන සිද්ධිය ලංකාවේ ආරම්භ වුණේ 1980 දශකයේ සිට කියලා කියන්න පුළුවන්. ඒ නව දේශපාලන සංස්කෘතියත් එක්ක ඊළඟට ජනවාර්ගික කියන අර්බුදය ඇවිලවීමත්, ඒවා නිවා දමන්න උත්සාහ නොකිරීමත් සමඟ මේ අතුරුදහන්වීම් වැඩිවෙලා තියෙනවා.

ඒ වුණාට අපි මේ ජීවත් වෙන්නෙ සාමකාමී යැයි කියන, ගුවනින් යන්න පාලම් පාරවල් හදන, ඉතාම අධි මිලට කෙටිම මාර්ග විවෘත කරල තිබෙන කාලෙක, එහෙම සමාජයක තමයි. එතකොට ඒ සමාජයෙන් අපි ඉල්ලා සිටින්නේ මොකක්ද? අපිට ජීවත්වීමේ අයිතිය දෙන්න; සමාජයේ ජීවත් වූ, එකවරටම අතුරුදහන් කරවූ මිනිසා තවම ජීවත් වෙනවාද නැද්දැයි කියන්න කියලයි. ඒ සඳහා ඇවිත් එකතු වන තැනක තමයි අපි ස්මාරකයක් හැදුවේ.

අපිට මේ හැම අවුරුද්දකම ඔක්තෝබර් 27 වෙනිදා මේ සීදූව, රද්දොළුව හන්දියේ රැස්වෙන්න සිද්ධවෙන්නේ තමන්ගේ නැති වූ දරුවන්, සැමියන්, සහෝදර සහෝදරියන් සිහි කරමින් හඬා වැළපෙන, සිහිසුන් වන කඳුළු ඔස්සේ තමයි. මේක සාමූහික කඳුළු හෙළන, විලාප නඟන දිනයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා.

ජීවිතය ලබාගෙන මිය යන තුරු මිනිසුන්ට ඇති ජීවත්වීමේ අයිතිය අපි හැමදෙනාම විසින් ආරක්ෂා කළ යුතුයි. ශිෂ්ටාචාරය ගොඩනැගුණෙ ඒ නිසා තමයි. මිනිසුන් විසින් ගංඟා නිම්න අශ්‍රිත ශිෂ්ටාචාරයන් හදාගන්නකොට සහජීවනය සහ තමන්ගේ ආරක්ෂාව ජීවන පැවැත්ම සඳහා එකට එකතුවීම, වෘත්තියන් සඳහා එකට එකතු වීම සිද්ධ වුණා. ශිෂ්ටාචාරය ආරම්භ වන සලකුණ අපට හම්බ වෙන්නේ ඔවුන් මළවුන්ට කළ ගරු කිරීම ආශ්‍රයෙන්. නමුත් අද මේ අපට සමරන්න වෙලා තියෙන්නේ ජීවත්ව සිටි නමුත් මියගියේ නැති, එහෙම නැත්නම් ඒ පිළිබඳ තොරතුරක් නැති අය පිළිබඳවයි. කෙනෙකු මියගියා නම් ඔවුන්ට සොහොනක් තියෙනවා. ඒත් මිය ගියේ නැති ඔවුන්ට සොහොනක් ඉදි කරන්නේ කොහොමද? එතකොට ඔවුන්ට යන්න තැනක් තියෙනවද?

පසුගිය අවුරුදු 23ක් තිස්සේ මේ අතුරුදහන්වූ අපේ පවුල්වල උදවිය වෙනුවෙන් විවිධ විදිහට එකතුවීම් ඒකරාශිවීම් කළා. මීට අවුරුදු ගණනාවකට කලින් අතුරුදහන්වූවන්ගේ පවුල්වල පුද්ගලයිනුත්, කලාපේ අපි සංවිධානයත්, ආසියානු මානව හිමිකම් කොමිසමත්, ඇවිල්ලා මට ආරාධනයක් කරන්නේ මේ වෙනුවෙන් මෙතැන එනම් ලයනල් සහ රංජිත් අතුරුදහන්වූ තැන අපි කරන මේ සැමරුමට යම් කිසි ස්මාරකයක් නිර්මාණය කරල දෙන්න කියලයි. මේ සම්පූර්ණ ඉදිකිරීම ගැන අදහස සම්පූර්ණ නිර්මාණ අයිතිය ඔවුන් මට පවරල තිබුණා. ඒ නිසා පූර්ණ නිදහසකින් තමයි මම මේක කළේ. මේ නැති වූ මිනිසා, පුද්ගලයා කොහොමද මූර්තිමත් කරන්නෙ කියන කරුණ මම හඳුනාගත්තේ ඒ නිසා තමයි. පළමු වතාවට හිඩැසක් මූර්තියක් බවට පරිවර්තනය වෙන්නේ ඒ නිසා තමයි. ඒ හිඩැස හැමදාම අපට නැති වූ මිනිසා පිළිබඳ මතකයයි. ඒකම පිටිපස්සේ තියෙනවා කඳුළු තාප්පයක්. ඒකෙ අපි රූප එකතු කරමින් ඉන්නෙ. නමුත් ඒ තාප්පේ තවමත් අවසන් වී නැති තාප්පයක්.

ස්මරණය කිරීමට තැනක් තිබීම සංස්කෘතියේ විශේෂ අවස්ථාවක්. ස්මරණය තමයි මේ මිනිස් ජීවිතය ඉදිරියට ගෙනියන්නේ. එය තමයි අපි එකිනෙකා එහෙට මෙහෙට ගෙනියන්නෙ. ඒවා වඩා සුන්දර මතකයන් නම් ඒක හොඳයි. අසුන්දර මතකයක් වුණත් එය යළි සිදු නොවීම සඳහා අපි ස්මාරකයක් තනනවා. දුටුගැමුණු රජු ගැන උදම් අනන සමාජයේ එතුමාගේ පාඩම් ඉගෙන ගත්තායැයි කියන අය ප්‍රධාන පාඩම දුටුගැමුණුගෙන් ඉගෙන ගත්තෙ නැහැ. ඒක දැන් උගන්නන්නෙත් නැහැ. තමාගේ ප්‍රතිවාදියා ද්වන්ධ සටනකින් මිය ගියාට පස්සෙ ඔහු වෙනුවෙන් එළාර සොහොන ඉඳි කරපු දුටුගැමුණු වගේ රජෙක් හිටපු අතීතයක් සහිත අපි තමයි මේ ඒ අතීතය අමතක කරන රජවරුන් යටතේ අද ජීවත් වෙන්නෙ. ඒ නිසා තමයි ඊනියා සුන්දරකරණයන්ගෙන් තොර වූ මිනිසාට ජීවත්වීමට පුළුවන් සමාජයක් ඇති කරන්න අපට අවශ්‍ය වෙන්නෙ.

මේ රජය විශේෂයෙන් ස්මාරක විරෝධි රජයක්. අතුරුදහන්වීමේ ස්මාරකයත් අතුරුදහන් කරවන රජයක් මේක. මිනිසුන් විතරක් නෙමෙයි ස්මාරකත් අතුරුදහන් කරනවා.

මේ ආණ්ඩුව තරම් මිනිසුන්ව අන්දවන රවටන ආණ්ඩුවක් මීට පෙර බිහිවෙලා නැහැ. මේක ගිනස් වාර්තාවක්. එක බිඳින්න කිසිම ආණ්ඩුවකට ඉස්සරහට සිද්ධවෙන එකකුත් නැහැ. ඒක තමයි අපි නැති කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ අතුරුදහන්වීම සම්පූර්ණයෙන්ම තුරන් කරන, ඒ වගේම වගකියන ආණ්ඩුවක් තියන සමාජයක් අපිට අවශ්‍ය වන්නේ. ඊළඟට අවුරුද්දේ මැතිවරණ වර්ෂය එනවා, තවත් හොරු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවනවා ද, පලාත් සභාවලට යවනවාද කියන ප්‍රශ්නය අපට ඉදිරිපත් වෙලා තියනවා. ඒ අතුරුදහන්කරවන්නන්ගේ සංගමයේ අය තමයි එතකොට අපි යවලා තියෙන්නේ. ඒ හොරු, වංචනිකයෝ, දූෂකයෝ, ස්ත්‍රී දූෂකයො සම්මාන ලබන අවධියක තමයි අපි ජීවත්වෙන්නේ. කාන්තාවකට පාරේ බැහැලා යන්න බැහැ, පිරිමියෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. එතකොට මේ සමාජයේ වෙනස් කරගන්න අපි ප්‍රමුඛ විය යුතුය. ඒ සඳහා එක්රැස්වීම අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි මේ රැවටුම්කාර සමාජය, මේ ඊනියා සුන්දරකමකින් අපිව වශී කරලා, අපේ ඇස් අන්ධ කරලා, අපේ මතකයන් ඉරා දමලා විනාශ කරන සමාජයක් නෙවෙයි. මිනිසුන් විසින් සමාජය තමාගේ වටපිටාව සකස් කරන සමාජය ඉඩදෙන ඒ මිනිස්සුන්ට ජීවත්වීමේ අයිතිය උදාකරලා දෙන ඒ වගකීම දරන ආණ්ඩු සහිත පාලන ක්‍රමයක් සහිත රටක් වෙනුවෙන් අපි මේ කඳුළු ධාරාව හැරවිය යුතුයි. එසේ නොවුණහොත් අපිට ඉන්න සිද්ධ වෙන්නේ දිගටම යළි යළිත් හඬමින් තමයි.

ඒ හැඬුම් නවතාගන්නත් ඒ ජීවිත රැකගන්නත් මා හිතනව අපට ඒ වගකීම් තියනවා. ඒ නිසා කලාකරුවන් හැටියට විශේෂයෙන්ම මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කරන අපිට ඒ කවදාකවත් තාමත් සුන්දර චිත්‍ර අඳින්න හම්බවෙලා නැහැ. විශේෂයෙන්ම මම ජීවිතයේම වැඩිපුර අඳින්නේ ඛේදවාචකයන්ම තමයි. අතුරුදහන් කරවීම, මිනිසුන්ව ඝාතනය කරවීම, බලය, දූෂණය මේ සමාජයේ උපරිමව මිනිසුන් අන්ධ කරවීම ගැන, ඒවා තමයි අපිට මාතෘකා හැටියට කතා කරන්න තියෙන්නේ. ඒ නිසා තාම මට බැරිවෙලා තියෙනව කාමරය සුන්දර කරගන්න එහෙම නැත්නම් වීදි අලංකරණය කරන දේවල් කරගන්න. ඒ වෙනුවට මිනිසුන්ගේ හඬ වෙනුවෙන් අපි කතා කරන්නෙ. ඒක නිසා තමයි මම මේ ස්මාරකය භාරගත්තෙ. ඒක නිසා තමයි මම ඒකට නිර්මාණාත්මක ශ්‍රමය සම්පූර්ණයෙන්ම නොමිලේ දුන්නේ. එම නිසා අපි එබඳු කැපවීම් එක්ක තමයි මේ වගේ වැඩ කරන්න ඕනෙ. ඒ නිසා ඒකෙන් ඵලයක් ලබන්න නම් අපි ඉදිරියේ, හෙට දවසේ දේශපාලන තීරණයන්වලට සබුද්ධිමත්ව පා තබන්නැයි කියන එක තමයි මගේ ඉල්ලීම.

හඩපට පහතින් අසන්න


සබැදි පුවත්

හිඩැසින් පෙනෙන කදුළු බිත්තිය
මනුස්සකම ගැන කතාකිරීම නිසා අපිට ද්‍රෝහීන් කියනවා නම් ඒක ගෞරවයක් හැටියට භාරගන්න අපි සූදානම් – බ්‍රිටෝ ප්‍රනාන්දු

වැඩිපුර ඡායාරූප මෙතනින් බලන්න

photo-radd
thenua

Recent Posts

Tags: , , , , , , , , , , , , ,

One Comment to “මිනිසුන් පමණක් නොව සිහිවටනත් අතුරුදහන්කරන රටක් – ප්‍රවීන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර”

Leave a Comment