මනුස්සකම ගැන කතාකිරීම නිසා අපිට ද්‍රෝහීන් කියනවා නම් ඒක ගෞරවයක් හැටියට භාරගන්න අපි සූදානම් – බ්‍රිටෝ ප්‍රනාන්දු

Nov 1st, 2013 | By | Category: LEAD NEWS, sunday3, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

බ්‍රිටෝ ප්‍රනාන්දු
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති

අතුරුදහන්වීම්වලට විරුද්ධව කතා කරන, එදා මහින්ද රාජපක්ෂ කියපු වචන කියන මිනිස්සුන්ව අද මේ රටේ ආණ්ඩුව සලකන්නේ ද්‍රෝහීන් හැටියට, පාවා දෙන්නන් හැටියට. අද ලංකාවේ බරපතල විදිහට තහනම් කරන වචනය තමයි ‛අතුරුදහන්කරවීම’ කියන එක. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි බලයේ හිටිය හැම ආණ්ඩුවක්ම තමන්ට විරුද්ධව ඉන්න මිනිස්සු මර්දනය කරන්න අතුරුදහන්කරවීම කියන කාරණාව දේශපාලන උපකරණයක් ලෙස පාවිච්චි කරනවා. අතුරුදහන්කරවීම් සිදුකරන ආණ්ඩුවකින් පත් කරන කොමිසමකින් සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා අපට කිසිදු විශ්වාසයක් තියන්න බෑ.

අතුරුදහන්කරවීම නිසා අද මේ සමාජය මුළුමනින්ම වෙලාගෙන යන බියක් තියෙනවා. මොනවා හරි කිව්වොත් එයින් පස්සේ මට මොනවා හරි වෙයිද කියන එක ගැන හිතන්න සමාජ ක්‍රියාකාරීන්ට සිද්ධ වෙනවා. පොලීසියේ නිලධාරින්වත් අද නීතිය ඉෂ්ට කරන්නේ නැහැ. නීතිය ඉෂ්ට කරන්න ඉස්සර වෙලා ඒ වැරැද්ද කරන මිනිහා අත්අඩංගුවට ගත්තොත් කරදරයක් වෙයිද නැද්ද කියලා ඔවුන් හිතන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා මේ මුළු සමාජය තුළම අතුරුදහන්කරවීම්, ඝාතනය කිරීම්, පහරදීම් සිදුකිරීම තුළ මිනිස්සුන්ව බිය ගන්වලා තිබෙන සංස්කෘතියක් මේ රජය විසින් හදලා තියෙනවා. ඒ නිසා මිනිස්සුන්ට යම් අසාධාරණයකට, තමන් අකමැති දෙයකට විරුද්ධ වෙන්න තිබුණු ධෛර්යය අද සිංහල, දෙමළ පමණක් නෙමෙයි සියළුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඇදලා එළියට දාලා තියනවා. ඒ නිසා අද ආණ්ඩුවට ඕන දෙයක් කළ හැකියි. මිනිසුන්ගේ විරුද්ධවීමේ ගතිය, විරුද්ධ වෙලා හිටගන්න තියෙන හයිය මේ ආණ්ඩුව විසින් නැති කරලා තියෙනවා.

මේ ශක්තිය නැවත ගොඩනැගෙන්නේ කොහොමද? මේකයි තියන ප්‍රධාන ප්‍රශ්නය. අතුරුදන්වීම් ගැන කොමිසන් පත් කරන්න පුළුවන්, නමුත් ඒ මොනවා පත් කළත් මේ රටේ ඉන්න මිනිස්සු තමන් එකඟ නැති දේට එකඟ නෑ කියන්න ධෛර්යය හදා ගන්නේ නැත්නම් අපට කිසිදෙයක් කරන්න බෑ. ඒ නිසයි මේ වගේ උත්සවවල වැදගත්කමක් තියෙන්නේ. මේ සැමරුම් තියලා කොයි ආණ්ඩුවට වුණත් අපිට කියන්න තියෙන්නේ අපි අතුරුදහන්වීම්වලට විරුද්ධයි කියන එක.

මෙතන ඉන්න බොහෝ ක්‍රියාකාරිකයන්ට හැදෙන වචනය තමයි පාවාදෙන්නන්, ද්‍රෝහීන් කියන එක. මිනිස්සුන්ගේ ජීවිතය ගැන, මනුස්සකම ගැන කතා කරලා ද්‍රෝහියෙක් වෙනවා නම් ඒක ගෞරවයක් හැටියට භාරගන්න මෙතන ඉන්න බහුතරයක් සූදානම් කියල මම විශ්වාස කරනවා. අපි මේ වගේ උත්සව පවත්වලා අතුරුදහන්වීම පිළිබඳ මේ සමාජයට නැවත නැවත මේ පිළිබඳ මතක් කරන්න ඕනේ.

අපි විවිධ අතුරුදහන්වීම් දැක්කා. 71, 89 අතුරුදහන්වීම් දැක්කා. ඒවගේම යුද්ධයෙන් අතුරුදහන්වීම් අපි දැක්කා. අද ඒක දකුණට එනවා. වෙළඳ කලාපයේ කම්කරුවන්ට එළිපිට වෙඩි තියනවා. හලාවත ධීවරයන්ට වෙඩි තියලා මරලා දානවා. රතුපස්වල තුන් දෙනෙක් වෙඩි තියලා මරලා දැම්මා පරීක්ෂණත් නෑ, වාර්තාත් නෑ.

මේ අතුරුදහන්වීම් දකුණේ තිබුණා, උතුරට ගියා, දැන් ආයිමත් දකුණට එනවා. මේක නවත්වන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට හිතනවා අපේ පවුල්වල අය, අපේ දරුවෝ මේ ප්‍රශ්නයට ගොදුරු නොවන නිසා අපි ඔය ප්‍රශ්නවලට අතගහන්න ඕනේ නෑ කියලා. දකුණේ අතුරුදහන් වෙද්දී උතුරේ අය එහෙම හිතන්න ඇති. උතුරේ එහෙම වෙද්දි දකුණේ අය එහෙම හිතෙන්නත් ඇති. නමුත් අපි ඔක්කොම එකතු වෙලා මේ අතුරුදහන්කරවීම කියන කෲරතර අපරාධය නවත්වන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපට කරන්න තියන දේ අපි අතහරින්නේ නැහැ. මේ සමරුව අවුරුදු 23ක් තිස්සේ අත්නොහැර කරන්නේ ඒ පිළිබඳ අපට යුතුකමක් තිබෙන නිසා. මේ කඳුළු බිත්තියේ තියෙන පින්තූරවල ඉන්න තරුණ තරුණියන් අද අපිත් එක්ක ජීවත් වෙන්න අයිතියක් තිබිච්ච මිනිස්සු. ඒ අයිතිය ඔවුන්ගේ උදුරගෙන තියෙනවා. ඒ නැති වෙච්ච අයිතිය ගැන අපි කතා කරන්නේ නැත්නම් අපි මේ සමාජය පවත්වාගෙන යන්නේ නැහැ.

අතුරුදහන් වෙච්ච අයගේ පින්තූර අතරට අපේ දරුවන්ගේ පින්තූර එකතු වන කාලය වැඩි ඈතක නෙමෙයි කියලා අපට හිතෙනවා. අන්න ඒ නිසා හැම කෙනාටම වගකීමක් තියෙනවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා අතුරුදහන්කරවීම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට ලංකාව වෙනුවෙන් අත්සන් කරන්න, මේ රටේ අතුරුදහන්කරවීම අපරාධයක් කියලා නීතිගත කරන්න කියලා.

මේ රටේ කිසිදු පක්ෂයක් අතුරුදහන්වීම් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. ඔවුන් ඒක උපකරණයක් හැටියට පාවිච්චි කළා පමණයි. මේ දෙමාපියන්ට සත්‍ය දැනගැනීමේ අයිතියක් තියෙනවා. මගේ දරුවාට මොකක්ද වුණේ? කියන ප්‍රශ්නය අහන්න ඕනෑම අම්මා කෙනෙකුට අයිතියක් තියෙනවා, තරුණ බිරින්දෑවරුන්ට අයිතියක් තියනවා. යම් වැරැද්දක් කළා නම් නීති විරෝධී කැරැල්ලක් ගැහුවා නම්, ඒ නීතියේ හැටියට එල්ලලා මැරුවත් සුමානයකින් අඬලා හරි ඉවර කරන්න පුළුවන්. අද මේ අම්මලාගේ කඳුළු සදාකාලිකයි. මේක සදාකාලිකවම හිතට වද දෙන අපරාධයක්.

මේ ආණ්ඩු කරන මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැත්නම් මේක තේරුම් කරවන්නයි මේ උත්සාහය ගන්නේ, මේක ලේසි නැහැ. ඒක වෙනස් කරන්නයි අපි උත්සාහ කරන්නෙ, ඉදිරියේදී අතුරුදහන්වීම් වළක්වා ගන්නයි උත්සහ කරන්නේ.
අපෙන් සමහර අය අහනවා 23 වැනි වතාවට මේ අතුරුදහන්වූවන් සමරලා මොකක්ද ඇති වෙච්ච පලේ කියලා. අපි කියන්නේ දීර්ඝ කාලීනව මේ සමාජයේ අතුරුදහන්වීම්වලට විරුද්ධව මෙතැන යම්කිසි පිරිසක් දිගින් දිගටම පෙනී සිටිනවා නම් ඒ වෙනුවෙන් සිටගන්නවා නම් අපිට මේ රටේ අතුරුදහන්වීම්වලට විරුද්ධව මහජන මතයක් හදන්න ඕනේ, මොනතරම් නීති තිබුණත් ඒවා ඉෂ්ට කරන්න බැහැ මහජනයා විසින් ඒක ප්‍රතික්ෂේප කරනවා නම්. ඒ නිසා මහජන මතය අපට අවශ්‍යයි. මෙතැනට එන හැමදෙනාම අතුරුදහන්වීම්වලට විරුද්ධව කරන අවම කැප වීම හැටියටවත් මේ සඳහා සහභාගී වෙනවා නම් අපිට මේක වෙනස් කරන්න පුළුවන්.

හඩපට පහතින් අසන්න


සබැදි පුවත්

හිඩැසින් පෙනෙන කදුළු බිත්තිය

මිනිසුන් පමණක් නොව  සිහිවටනත් අතුරුදහන්කරන රටක්  – ප්‍රවීන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර

වැඩිපුර ඡායාරූප මෙතනින් බලන්න

photo-radd
brito

Recent Posts

Tags: , , , , , , , , , , , , ,

Leave a Comment