හිඩැසින් පෙනෙන කදුළු බිත්තිය

Nov 1st, 2013 | By | Category: LEAD NEWS, sunday1, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

1989 ඔක්තෝබර් 27 වනදා ගම්පහ දිස්ත්‍රික්කයේ, කටාන ආසනයට අයත් සීදූව රද්දොළුව මංසන්ධියේදී ප්‍රදේශවාසීන්ට දකින්නට ලැබුණේ හඳුනාගත නොහැකි, බාගෙට පිළිස්සුණු මිනිස් මළ සිරුරු දෙකකි. මහ මග අසල පුළුස්සා දැමුණු හෝ ගංඟා දිය කඩිතිවල උඩු බැලි අතට පාවෙන නාඳුනන මිනිස් මළ සිරුරු හමුවීම වනාහි ඒ කාලයේ නැගෙනහිරින් ඉර උදාවීම වැනි සාමාන්‍ය සිදුවීමක් විය. ඒ මළ සිරුරු අයත්වූයේ තම නිවෙස්වලින් හෝ රාජකාරි ස්ථානවලින් සලකුණක්වත් ඉතිරි නොකොට පැහැරගෙන ගොස් දෑස්, දෑත දෙපා බැඳ විලංගු ලා දස වධදී, අවසානයේදී බියකරු මරණයට පත් කරනු ලැබ සමාජයෙන් අතුරුදහන්කරනු ලැබූ මිනිසුන්ට සහ ගැහැණුන්හටය.

රද්දොළුවේ හමුවූ මළ සිරුරු දෙක වනාහි කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරු නායකයෙකු වූ රංජිත්ගේ සහ කටුනායක ප්‍රදේශයේ ක්‍රියාකාරී කම්කරු නීති උපදේශකයකු වූ ලයනල්ගේ බව හඳුනාගන්නා ලද අතර එවකට නව සමසමාජ පක්ෂයේ මීගමුව දිසා ලේකම්වරයා මෙන්ම අතුරුදහන්වූවන්ගේ මා පිය දූදරු සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් නායකයා වූ බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයා සහ අතුරුදහන් වූ රංජිත්ගේ සහකාරිය ජයන්ති දන්දෙණිය සහෝදරිය ඇතුළු පිරිසක් විසින් 1991 වසරේ ඔක්තෝබර් 27 වනදා රංජිත්ගේ සහ ලයනල්ගේ යැයි සැක කෙරෙන මළ සිරුරු හමුවූ රද්දොළුව හන්දියේදී ඔවුන් සිහිකිරීම පිණිස සමරු උත්සවයක් පවත්වන ලදී.

එතැන් සිට පුරා වසර 23ක් අඛණ්ඩව රංජිත් සහ ලයනල් පමණක් නොව සකල දේශය පුරා අතුරුදහන් වූ සියළුදෙනා වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ උනන්දුමත් පුරවැසියන් විසින් රද්දොළුව මංසන්ධියේදී අතුරුදහන්වූවන් පිළිබඳ සමරු උත්සවයක් පවත්වමින් සිටිති. අද ඒ කටයුත්ත සංවිධානය කරන්නේ ‛අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව’ විසිනි.
මෙම සමරු උත්සවයට නව පනක් ලැබීම සිදුවන්නේ 2000 වසරේදී එම ස්ථානයේ මහමග අයිනේ අතුරුදහන්වූවන් වෙනුවෙන් සොහොනක් හෙවත් සිහිවටනයක් ඉදිවීමෙනි. ආසියානු මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීමෙන් කලාපේ අපි සංවිධානය විසින් ඉදිකරන ලද මෙම සිහිවටනය නිර්මාණය කරන ලද්දේ ප්‍රවීන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර විසිනි.2000 ඔක්තෝබර් 27 වනදා එම සිහිවටනය සහ අතුරුදහන්වූවන්ගේ ඡායාරූප රැගත් කඳුළු බිත්තිය විවෘත කරන ලදී.
එහි පාමුල මෙසේ සටහන් කොට ඇත: ‛‛අතුරුදහන්කිරීම මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධයකි. එය යළි සිදුවීමට ඉඩ නොදෙමු.”

2013 ඔක්තෝබර් 27 වනදා 23වන වරටත් පවත්වන ලද අතුරුදහන්වූවන්ගේ ජාතික දින උත්සවයේදී එම සමරු උත්සවයේ නිර්මාතෘ අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු සහ අතුරුදහන්වූවන්ගේ සිහිවටනයේ නිර්මාතෘ චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර විසින් පවත්වන ලද දේශන ඇසුරෙන් සකස් කරන ලද විශේෂාංගයක් මෙවර ‛සමබිම’ ඉරිදා සංග්‍රහය ඔබ වෙත ගෙන එයි.

හඩපට මෙතනින් අසන්න


සබැදි පුවත්
මනුස්සකම ගැන කතාකිරීම නිසා අපිට ද්‍රෝහීන් කියනවා නම් ඒක ගෞරවයක් හැටියට භාරගන්න අපි සූදානම් – බ්‍රිටෝ ප්‍රනාන්දු
මිනිසුන් පමණක් නොව සිහිවටනත් අතුරුදහන්කරන රටක් – ප්‍රවීන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර

වැඩිපුර ඡායාරූප මෙතනින් බලන්න

photo-radd
sta

Recent Posts

Tags: , , , , , , , , , , , , , ,

Leave a Comment