කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහෝසි කරමු

Nov 10th, 2013 | By | Category: LEAD NEWS, sunday1, ඇන්ටිගනී, කාන්තා, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

සමබිම ‛ඇන්ටිගනී’ අතිරේකය හරහා කාන්තාවන් සතු අයිතිවාසිකම්, ඔවුන් මුහුණ දෙන අභියෝග හා ඔවුන්ගේ භූමිකාවන් විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ මේ දක්වා අපි ඔබ සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමු. මෙවර අපගේ විශේෂ අවධානයට යොමු වන්නේ විවිධ සමාජ සංස්ථාවන් තුළ ඍජුව හා වක්‍රාකාරයෙන් කාන්තාව කෙරෙහි යොමු ඇති දුර්මතයන් සහ අගතීන් පිළිබඳව සාකච්ඡා කිරීමයි.

සමාජ සංස්ථාව පුරුෂ මූලිකව නිර්මාණය වී පැවතීම මත පැරණි මෙන්ම නූතන සමාජය තුළද ඇය අඩු වැඩි වශයෙන් පීඩාවට ලක්වේ. මේ තත්ත්වය මත වර්තමාන සමාජය තුළ කාන්තාවට සමාජයේ සම්පත් සඳහා ඇති ප්‍රවේශය, තීරණ ගැනීමේ ක්‍රියාවලි සඳහා සහභාගීවීමට ඇති ඉඩප්‍රස්තා හා පිළිගැනීම ආදිය පිරිමින්ට හා සමාන තත්ත්වයෙන් නොලැබේ. 1979 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇති කරගනු ලැබූ ස්ත්‍රීන්ට එරෙහිව සියළු ආකාර වෙනස්කම් පිටු දැකීමේ සම්මුතියේ 5 වන වගන්තිය මෙම තත්ත්වය පිටු දැකීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි. සම්මුතියේ 5 වන වගන්තියේ දක්වා ඇත්තේ කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහෝසි කරමු යන්නයි.

අගතීන් යනු යම් කෙනෙක් හෝ දෙයක් පිළිබඳ ඉතා සරලව ඇති කරගනු ලබන පොදු අදහසක් වේ. ඒ අනුව යම් තැනැත්තෙකු ඔහු හෝ ඇය සමාජයේ යම් කණ්ඩායමකට අයත් වීම හේතුවෙන් ඇති කරගනු ලබන පොදු පූර්ව නිගමනයන් වේ. Sharon Begley දක්වන පරිදි ස්ථාපිත ආදර්ශ (Stereotypes) යනු බොහෝ දෙනා අසුවිය හැකි උගුලකි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සම්බන්ධ ස්ථාපිත ආදර්ශ (Gender Stereotypes) යනු එලෙස සමාජය තුළ ඇති කරනු ලබන අගතීන් වර්ග අතරින් එක් වර්ගයක් වේ. කාන්තාවන් සම්බන්ධ අගතීන් ඇති වන්නේ ද මෙලෙස ඔවුන් සමාජයේ වෙනම කණ්ඩායමක් ලෙස හඳුනාගැනීම මගින් වෙනස්කමකට ලක්වීම නිසාය.

anti3

ආගමික සංස්ථාව තුළ කාන්තාව අගතියට ලක්වන ආකාරය
වර්තමානය වන විට ආගම විශාල වශයෙන් සමාජයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපෑම් ඇතිකරමින් සිටියද බොහෝ ආගම්, කාන්තාවන් කෙරෙහි දක්වන්නේ අගතිගාමී ආකල්පයකි. මේ පිළිබඳ සොයා බැලීමේදී කාන්තාව සම්බන්ධයෙන් ලොව විවිධ ආගම් දර්ශනයන් හා විවිධ ජන සමාජ දක්වන ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

ලෝක ඉතිහාසය තුළ ග්‍රීකවරුන්ට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. එසේ වුවද ග්‍රීකවරුන් කාන්තාව සම්බන්ධයෙන් දක්වා ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. ග්‍රීක දර්ශනිකයකු වන සොක්‍රටීස් කාන්තාව පිළිබඳ මෙසේ පවසා ඇත.

“කාන්තාවන් සිටීම ලොව පරිහානියට ප්‍රබල හේතුකාරකයක් වේ. තවද කාන්තාව යනු විෂ ගසකට සමානය. එම ගසේ බාහිර ස්වරූපය අලංකාර වේ. නමුත් එහි ඵලය බට්ටිත්තන් කෑ විගසම එම බට්ටිත්තන් මියැදෙති.”

ග්‍රීක සංස්කෘතියට නොදෙවෙනි රෝම සංස්කෘතිය තුළද කාන්තාව “පණ නැති වස්තුවක්” වශයෙන් සලකනු ලැබීම නිසා එම සමාජය තුළ කාන්තාවට කිසිදු ගෞරවයක් හෝ සැලකිල්ලක් හිමි නොවීය. එසේම රෝම නීතිය තුළ ස්ත්‍රියට කිසිසේත්ම ස්වාධීන පැවැත්මක් හිමි නොවුන අතර ඇය සදාකාලිකවම භාරකාරයෙකුගේ පාලනයට යටත් විය.

ඉන්දියාවේ හින්දු වැසියන් අතර පවතින චාරිත්‍රයක් වන “සති පූජාවේදී තම ස්වාමියා මිය ගිය පසු එම මෘත දේහය ආදාහනය කරන මොහොතේ ඔහුගේ බිරිඳ ද එම ගින්නටම පැන මිය යා යුතුය. එනම් තම ස්වාමියාගෙන් තොර ලෝකයක් පිළිබඳ සිතීමට පවා නොහැකි බවට මෙම චාරිත්‍ර මගින් පෙන්වා දෙයි.

චීන ජාතිකයන් කාන්තාව ධනයත්, භාග්‍යයත් අහිමි කරවන දුර්භාග්‍යමත් කාරණයක් ලෙස සලකනු ලැබූ අතර සියල්ලට විපත ගෙන එන ජලයට ඇය සමාන කරන ලදී. එසේම එදා සමාජයේ චීන ජාතිකයන් තම බිරින්දෑවරුන් පණ පිටින්ම වළලන්නටත් විකුණන්නටත් රටේ නීතියෙන්ම සම්පූර්ණ අයිතිය ලබා දී තිබුණි.

ලොව විප්ලවකාරීන් වන යුදෙව්වන් එදා කාන්තාව සැලකුවේ සියලුම ආකාරයේ පාපයන්ට උරුමකම් කියන පිරිසක් වශයෙනි. ඇය ආදම්ව නොමඟ යවා තහනම් ගසේ ගෙඩි කන්නට සැලැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස මිනිස් සමාජය බිහිවී දුක් විඳින්නට සිදුවී ඇති බවත් ඔවුන් විසින් විශ්වාස කරන අතර ඇය ස්වාභාවයෙන්ම අපිරිසිදු මැවීමක් බවත් ඇය සිටින නිවසත් ඇයගේ ස්පර්ශයට හසුවන සියල්ලමත් අපිරිසිදු තත්වයට පත්වන බවත් ඔවුහු විශ්වාස කරති.

ක්‍රිස්තියානිවරුන් කාන්තාව ෂෙයිතාන්ගේ (නපුරෙහි) දොරකඩ ලෙස සලකනු ලැබ ඇත. ක්‍රිස්තියානි විද්වතෙකු වන යුනපෙන්තූරා නැමැත්තා මෙසේ පවසයි.

“නුඹලා කාන්තාවන් දුටුවේ නම් ඇයව මනුෂ්‍ය ඝනයට අයත් කෙනෙකු යැයි නොසිතන්න, එපමණක් නොවේ ඇයව පණ ඇති ජීවියෙකු ලෙසද නොසලකන්න, නුඹලා දකින්නේ සැබවින්ම ෂෙයිතාන්ගේ (නපුරෙහි) රූපයම බවත් නුඹලාගේ සවනට වැටෙන ඇයගේ හඬ විෂ සර්පයන්ගේම ශබ්දයක් යන්නත් අමතක නොකරන්න.”

වර්තමාන බෞද්ධ ආගමික භාවිතාව තුළ රන් වැටකින් වටවී ඉහළ මළුවේ වැජඹෙන බෝධීන් වහන්සේ අසලට පැන් කලයක් රැගෙන යන්නට කාන්තාවන්ට වරම් ලැබෙන්නේ නැත.

තම කෙස් වැටියේ සඟවාගෙන දන්ත ධාතුව ලංකාවට වැඩම කරවූයේ හේමමාලා කුමරිය වුවද උන්වහන්සේ වැඩ සිටින මාළිගය හෙවත් පත්තිරිප්පුවට ගොඩ වීම කාන්තාවන්ට අකැපය. එසේම දළදා පෙරහැරට සහ දළදා මාළිගයේ තේවාවන් සඳහාද කිසිම විටෙක කාන්තාවන් සහභාගී කර නොගනී. මේ සෑම දේකටම හේතුව වශයෙන් දක්වන්නේ ගැහැනිය අපිරිසිදු යැයි පවතින සමාජ අගතිය වේ.

ඉස්ලාම් ආගමික කාන්තාවන්ට තම මුළු සිරුරම කලු ලෝගුවකින් වසාගෙන සිටීමට නියමවී ඇත. එමෙන්ම ඇගේ විවාහය තීන්දු වන්නේ තම පියාට හා වැඩිමහල් සොහොයුරන්ට අවශ්‍ය පරිදිය. ඔවුන් පවසන ඕනෑම අයෙකු සමඟ විවාහවීමට ඉස්ලාම් කාන්තාවන්ට සිදුවේ. එම ආගමට අනුව වයස අවුරුදු 12ට වැඩි ඕනෑම කාන්තාවක් විවාහ කර දීමට අවසර ඇත. පිරිමියා බහු විවාහ සිදු කළත් කාන්තාවට ඒ අයිතිය අහිමිය.

දික්කසාදයේදී සමානත්වයක් නැත. පිරිමියා විසින් “තලාක්” යන වචනය තුන් පාරක් භාවිත කිරීමද දික්කසාදයට හේතු වේ. ඉස්ලාමීය කාන්තාවට පල්ලිය තුළට ඒමට අවසර තිබුණත් ඒ ඇයටම සුවිශේෂී වූ සීමාවක් තුළට පමණි. ඇයගේ ඔසප් දිනයන් තුළදී ඉස්ලාමීය කාන්තාවට යාඥා කිරීමට හෝ නෝම්බි ඇල්ලීමට අවසර නැත.

මෙය හුදෙක් ආගමික වස්තූන්ගෙන් කාන්තාව ඈත් කර තැබීමක් නොව සමාජ සමානාත්මතාව ස්ත්‍රීන්ට නොලැබීමේ ප්‍රතිඵලයකි. “ලෝකය බිහිවී ඇත්තේ හිරුගේ රශ්මියෙන් සහ මවගේ කිරිවලිනි.” යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් ඇත්තේ ලෝකයේ පැවැත්මට සූර්ය කිරණ සේම කාන්තාව ද වටිනා බැවිනි. සෑම මිනිසෙක් සහ ගැහැනියක්ම මෙලොවට බිහි වී ඇත්තේ ගැහැනියකගේ කුස තුළින් වුවත් සමාජය තුළ කාන්තාව පහත් කොට සලකනු ලබන්නේ ආගම හෝ සංස්කෘතිය තුළ තිබෙන දෙයක් නිසා නොව මිනිසාගේ සිතුවිලි සහ ආකල්පයන් හේතු කොටගෙනය.

anti1

දැන්වීම්කරණය තුළ කාන්තාව
දැන්වීම්කරණය තුළ කාන්තාව යනු ගසට පොත්තත්, පොත්තට ගසත් මෙනි. ඒ තරමටම කාන්තාව නොමැතිව දැන්වීමක් ප්‍රචාරණය වනවා දැකගත නොහැක. ස්ත්‍රී ලාලිත්‍ය සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොමැති භාණ්ඩ විකිණීමට පවා කාන්තාව යොදා ගන්නේ එබැවිනි. වර්තමානය වන විට වෙළඳ දැන්වීම් අපේ ජීවිතවල අංගයක් බවට පත්ව ඇත. කාන්තාවගේ හිසේ සිට දෙපතුල දක්වා වර්ණනා කරමින් නිර්මාණය කරන්නාවූ වෙළඳ දැන්වීම් හරහා බොහෝ විට උත්සාහ කරන්නේ වාහනයක ටයරයක්, එසේත් නැතිනම් තේ කොළ පැකට් එකක්, නැත්නම් බෙහෙත් වර්ගයක් විකිණීමටය. වර්තමානයේ කාන්තාව හරහා මෙම නිෂ්පාදන අලෙවි කර ගැනීමට පෙළඹී ඇත. කාන්තාව ප්‍රචාරණයට යොදා ගැනීම තුළින් එය කාන්තාවගේ සමාජයීය ප්‍රතිරූපය ගොඩනැංවීමට උත්සාහ දරයි. කාන්තාව වෙළඳ දැන්වීම් තුළ මවක්, බිරිඳක්, සහෝදරියක්, පෙම්වතියක් යනාදී භූමිකා රඟදක්වයි.

මෙම දිනවල රූපවාහිනියෙහි විකාශනය වන වෙළඳ දැන්වීමක් මීට කදිම නිදසුනක් සපයයි. එහි විස්තර වන්නේ නිවසක අම්මා අසනීප වීම (ඇයට කොන්දේ අමාරුව සෑදීම) නිසා ඉස්කෝලේ යන්නට සැරසී සිටින කුඩා දියණියට තම කොණ්ඩය නිසි ලෙස ගොතා ගැනීමට නොහැකි වීමත්, පුංචි පිරිමි දරුවා අත් වැඩට සාදන පුංචි නිවස නිර්මාණය කර ගැනීමට නොහැකිව කරදර වීමත්, ඒ සමඟම කුස්සියට වී බිත්තර ඔම්ලට් එකක් සාදා ගැනීමට වෙර දරන පියාගේ එම බිත්තරය බඳුනෙන් බිමට වැටී ගෙදර සිටින බලු පැටියා එය කටින් ඩැහැගෙන යන ආකාරයේ සිද්ධි මාලාවකි. මේ සියලුම සිද්ධීන් වැලක් මෙන් ගෙතී ඇත්තේ ගෙදර මවට කොන්දේ අමාරුව සැදී වැඩපළ කර ගැනීමට නොහැකි වීම යන්න මුල්කර ගනිමිනි.

නමුත් මෙහි අවසානයේ කොන්දේ වේදනාවට අදාළ බෙහෙත් වර්ගය නිසා කොන්දේ අමාරුව සුව වෙයි. මේ ප්‍රචාරණය හරහා කාන්තාව යනුවෙන් සමාජය අර්ථ දක්වන ස්ත්‍රිය මෙවැන්නියක්ද යන්න විමසා බැලිය යුතුය. එනම් කාන්තාව යනු මෙහෙකාරියක්ද? නැතිනම් ඇයද පිරිමින් හා සමව වැඩෙහි නිරත වන්නියක්ද යන්න අප පැහැදිලි කර ගත යුතුය. කාන්තාව නිවසේ නොමැති විට හෝ ඇය අසනීප වූ විට තම කාර්යයන් නිසි පරිදි ඉටු කර ගැනීමට නොහැකි පිරිමින් මේ සමාජයේ කොතෙකුත් ඇතිද? ඒ අය මේ රූප රාමුවෙහි වෙනසක් නොදකී. නමුත් ස්ත්‍රිය පිළිබඳ සංවේදී, ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ අවබෝධය ඇත්තෙකුට නම් මෙහි ඇති ආකල්පමය අරුත වටහා ගත හැකිය. මෙවන් ප්‍රචාරණයන් හරහා සමාජගත කිරීමට උත්සාහ දරණ වැරදි අර්ථ කතනයන් නිසා නිවසේ සිට රූපවාහිනිය නරඹන පුංචි දරුවාගේ මනසට ඇතුළු වන්නේද ගෙදර මව නිවසේ සියලු කටයුතු ඇගේ අත් දෙකින් ම කළ යුතු බවයි. නමුත් අප දැන් එම ආකල්ප වෙනස් කළ යුතුය. පිරිමියාද නිවසේ කාර්යයන් සඳහා සහාය දිය යුතුය යන ආකල්පය සමාජ ගත කළ යුතුය. නමුත් ඉහත විස්තර කරන ලද සිද්ධි මාලාවට කාන්තාව වෙනුවට පිරිමියකු ආදේශ කළේ නම් එය සියල්ලන්ගේම හාස්‍යයට ලක් වෙනු ඇත. මේ මිනිහට පිස්සු යැයි කෙනෙකු කියන්නට වුවද පුළුවන.

අනෙක් අතට අඩ නිරුවත් කාන්තාව පැද්දි පැද්දී යන්නේ ටයරයෙහි ඇති වටිනාකම පෙන්වීමටය. තවත් අවස්ථාවක මෙට්ටයක් උඩ තරුණියක අඩ නිරුවතින් වැතිරී සිටින්නේ මෙට්ටයේ පවතින සිනිඳු පහස ඉස්මතු කිරීමටය. පිරිමියාගේ සුවඳ විලවුන් වර්ගයේ සුවඳට ඇදී එන තරුණිය පිරිමියාගේ සුවඳට වශී වී ඔහුව ස්පර්ශ කරන්නේ ඉතා සරාගී ආකාරයෙනි. මෙවැනි වෙළඳ දැන්වීම් හරහා පාඨකයන්ට විඳින්න ලැබෙන්නේ ලිංගික තෘප්තිය මිස වෙන කුමක්ද? ඉහත ප්‍රචාරණයන් හරහා සමාජයට දෙනු ලබන්නේ කාන්තාව ළඳ බොළඳ, මට සිලුටු, මෘදු,සමාජය පිළිබඳ නිසි අවබොධයක් නොමැති තැනැත්තියක් බවයි. කාන්තාව එබඳුද? නැතිනම් ඇයත් පිරිමියා මෙන් ම සමාන හැකියාවන් ඇති, කුසලතාවන්ගෙන් පිරිපුන් තැනැත්තියක් නොවන්නේද? මේ පිළිබඳ අප විමසිය යුත්තේ මෙවන් අදහස් සමාජය වෙත පොම්ප කරන වෙළඳ දැන්වීම් කරුවාගෙන්ය. සමාජය කාන්තාව දකින්නේ එබඳු ඇසකින්නම් අප කුමක් කරන්නද යන්න ඔහුගේ පිළිතුරයි. නමුත් එය වෙනස් කිරීමේ භාරදූර වගකීමෙන් වැඩි කොටසක් පැටවෙන්නේද ඔහුටමය. මන්ද යත් විද්‍යුත් මාධ්‍යය වර්තමානයේ මිනිස් ජීවිතවලට සමීප වී ඇත්තේ ප්‍රධාන අහාර වේල් තුන හා සමානවය.

කාන්තාව භාණ්ඩයක් ලෙස වෙළඳපළ තුළට ඉදිරිපත් කිරීම පුරුෂයාට සාපේක්ෂව බහුලව දැකිය හැකිය. පිරිමින් සම්බන්ධිත රූපරාමු වලදී ඔවුන් ඉතා කඩිසර, නිර්භීත, උසස් චරිත ලක්ෂණ වලින් හෙබි අය ලෙස පෙන්වීමට උත්සාහ දරන අතර ගැහැනියගේ මෘදු මොලොක් බව, සියුමැලි කම, රූමත්කම පමණක් ඉස්මතු කිරීමට උත්සාහ දරයි. පුරුෂයා තුළ පවතින කඩිසරකම පෙන්වීමට වේගවත් සංගීත රිද්මයක් යොදා ගැනීමත්, කාන්තාවගේ මන්දගාමී බව පෙන්වීමට ඒ හා සමාන සංගීත රටාවක් උපකාර කර ගනී. මේ ක්‍රමය තුළින් වෙළඳ භාණ්ඩය විකුණා ගැනීමට පාරිභෝගිකයා තුළ උනන්දුවක් ඇති කරනවා මෙන් ම කාන්තාව කෙරෙහි ඇති සමාජ මතය තහවුරු කිරීමද සිදුවේ.

තරගකාරී වෙළඳපොළ තුළ ලාභය පසු පස හඹා යෑමේ තරගයෙන් ජය ගැනීමට ස්ත්‍රීත්වය පාවිච්චි කිරීම අද යුහුසුලුව සිදු වන්නකි. ස්වභාවයෙන්ම ස්ත්‍රීයට හිමි ලාලිත්‍ය අද සුලභ අලෙවි භාණ්ඩයකි. අද සමාජය තුළ ස්ත්‍රිය පිළිබඳ ආකල්පය ඉතා පහත් මට්ටමකට ඇද දැමීමට මෙය හේතුවකි. ලොව සුන්දරම වස්තුවක් වන ගැහැණිය, ඇය පිළිබඳ වන සමාජ ආකල්පය හරහා මෙවන් පහත් අඩියකට ඇද දැමීමට වර්තමාන වෙළඳ දැන්වීම්කරුවා උත්සාහ ගැනීම සමස්ථ සමාජයේම පිරිහීම සනිටුහන් කරන්නකි.

anti2

ආයතනික වැඩ පරිසරය තුළ ඇති අගතීන්
කාන්තාවන් පිළිබඳ බොහෝ අගතීන් හදුනාගත හැකි අනෙක් සමාජ සංස්ථාව වන්නේ ආයතනික වැඩ පරිසරයයි. බොහෝ ආයතනවලට කාන්තාවන් ඇතුළත් වුවත් ඔවුන්ට එහි නිසි ස්ථානයක් ලබා ගත නොහැකි අවස්ථා අපට දැකගත හැකිය.

ආයතනික වැඩ පරිසරය තුළදී සමහර රැකියාවන් සඳහා කාන්තාවන් වඩාත් සුදුසු බවට සහ තවත් රැකියාවන් සඳහා සුදුසු නොවන්නේ මේ පසුබිම තුළයි. මේ අනුව ආයතනයන් ආශ්‍රිතව කාන්තාවන් සම්බන්ධව ඇති බොහෝ අගතීන් හඳුනාගත හැක. කාන්තාවන් හැගීම් අතින් දුර්වල යන්නත් ඔවුන් ඉතා සුමට වැඩ කළ යුතුය යන්නත් එවැනි අගතීන් කිහිපයක් වේ. ඒ අනුව ආයතනයන්හි දී පිරිමි වඩාත් හැගීම් අතින් ශක්තිමත් හා ස්ථිර තැනැත්තන් ලෙස පිළිගනියි. ඒ අනුව ගැහැනුන් හා පිරිමින් ආයතනය තුළ හැසිරිය යුතු යැයි පිළිගත් අගතීන් නිර්මාණය වී පවතියි.

එමෙන්ම බොහෝ ආයතනයන්ගේ ඇදුම් පිළිබඳ සම්මතයන් මගින්ද මෙම අගතීන් පිළිබිඹු කරයි. ආයතනයන්හිදී පිරිමි බොහෝ විට සරල කමිස හා කලිසම් ඇදීම සම්මතය ලෙස පිළිගන්නා අතර කාන්තාවන්ට සාරි හෝ වෙනත් ඇඳුමක් ඇඳීමට සිදුවේ. බොහෝවිට එම කාන්තා ඇඳුම මගින් ආයතනික ප්‍රතිරූපය සමාජයට ඉදිරිපත් කිරීමට උත්සහ දරයි. නැතිනම් වාණිජ අරමුණ මුදුන් පමුණුවාලීම සඳහා කාන්තාවන්ගේ අකමැත්ත මත ආයතනය විසින් නියම කරන ලද ඇදුම් ආයිත්තම් වලින් සැරසීමට සිදුවේ.

එසේම කාන්තාවන් ආයතනයන් තුළ අගතියට පත්වන්නේ වැඩ හා වගකීම් පැවරීමේදීය. ඒ අනුව ඇතම් රාජකාරී පැවරෙන්නේ කාන්තාවන්ට පමණි. උදාහරණ ලෙස පිරිමි පිළිගැනීමේ නිළධාරියකු එක්වර ඔබට සිතින් මවා ගැනීමට දුෂ්කර වන්නේ මේ හේතුවෙනි. එමෙන්ම කාන්තාවන්ගේ නායකත්ව ගති ලක්ෂණ පිළිබඳ ඇති සමහර අගතීන් හේතුවෙන් කළමණාකරණ තලයේ රැකියා අවස්ථාවන් ලබා ගැනීමට දුෂ්කර වේ. කාන්තාවක් පාලනය කරන ආයතනයන්හි වැඩ කිරීමට දුෂ්කර බවද, කාන්තාවන් පිරිසකට එක්ව වැඩ කිරීමට නොහැකි අගතියක් වේ.

ආයතන තුළ වෙනත් නිල නොලත් කාර්යයන්හිදී ද මෙම අගතීන් අනුව වැඩ බෙදීම සිදුවන බව දැකගත හැකිය. ඒ අනුව යම් උත්සවයකදී කෑම බෙදීම, තෑගි පාර්සල් කිරීම වැනි කාර්යයන් ගැහැනුන්ට පැවරෙන අතර පිරිමින් සංවිධානය කිරීම හා නායකත්වය ලබාදීම වැනි කාර්යන්හි නිරත වේ.

කාන්තාවන් ආයතනික වැඩ පරිසරය තුළ කටයුතු කිරීමේදී ප්‍රධානතම බාධාවක් වන්නේ ඔවුන් සම්බන්ධයෙන් ඇති අගතීන් වේ. රැකියාව, තනතුරු හා බලය සම්බන්ධ කාරණාවන් සැලකීමේදී කාන්තාවන් හා පිරිමින් පිළිබඳව සමාජයේ වෙනස් අපේක්ෂාවන් ඇත. සම්ප්‍රදායික වශයෙන් පාලනය කරනු ලැබ ඇති පිරිමින් විසින් වන අතර ප්‍රධානීන් අගනාකම් හා සංස්කෘතිය නිර්මාණය වී ඇත්තේ ඔවුන්ට වාසිදායක වන ආකාරයට වේ.

ඒ අනුව කාන්තාවන් මෙම ආයතනික ව්‍යුහයට ඇතුළත් වනවිට ඇයට අති විශාල අර්බුද ගණනාවකට මුහුණ පෑමට සිදුවේ. මේ ආකාර වූ විවිධ සමාජ සංස්ථාවන්හිදී කාන්තාව මෙම සමාජ අගතීන් හමුවේ දැඩි ලෙස අසාධාරණයට හා අපහසුතාවයට පත් වන බව මේ අනුව ප්‍රත්‍යක්ෂ වේ.

මෙසේ ස්ත්‍රීත්වය හෝ ලිංග භේදය පදනම් කොට ගනිමින් සමාජයේ නිර්මාණය වූ හැඩ රටාවන් මත පදනම් වූ දුර්මත, චාරිත්‍ර හා ආකල්පයන්, වෙනස් කිරීමට කටයුතු කළ යුතුය. එසේම සමාජ හා සංස්කෘතිය විසින් පවරා ඇති කාර්යභාරයන් අනුව එකිනෙක පාර්ශ්වයන්ගේ උසස් පහත් බව රඳා පවතීය යන සමාජීය අදහස ද වෙනස් කළ යුතුය.

ඇන්ටිගනී කණ්ඩායම

Recent Posts

Tags: , , , , , , , , , , , , , , , , , , , ,

2 Comments to “කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහෝසි කරමු”

  1. අනුෂ්ක says:

    කාන්තාවට සමාජය තුල පිරිමින් හා සමාන තැනක් නොලැබීම ට හේතුව ලෙස නැතිනම් කාන්තාවගේ නිදහසේ සතුරා ලෙස පුරුෂ වාදී සමාජ දුෂ්ටිය, පුරුෂයා හෝ ආගමික විශ්වාස හදුනා ගැනීම සහ ඒවා විවේචනය කිරීම වෙනස් කිරීමට, අරගල කිරීමට පෙර හෝ ඊට සමගාමීව, ලංකාවේ කාන්තාවගේ ජීවන රටාව විවේචනය කිරීම සහ වෙනස් කිරීමට අරගල කිරීම කල යුතු බව මා සිතමි. උදාහරණයකට කාන්තාවන් (විකල්ප)දේශපාලනයේ යෙදීම, පොත පත කියවීම, කලාව රස විදීම, ජීවිතය රස විදීම ආදී දේවල් සදහා යොමු වන්නේ සහ ඒවාට කැමති වන්නේ ඉතාම අඩුවෙනි.විවාහ ජීවිතයකින් පසු බොහෝ කාන්තාවන් තමන්ගේ පවුල ආරක්ෂා කර ගෙන ජීවත් වීමට සිතනවා ඇරෙන්නට සමාජය වෙනස් කිරීමට යොමු වන්නෙම නැත. මේ තත්වය විවේචනය කර සමාජය තුල ගැහැණු පිරිමි වෙනසකින් තොරව දැනුම සමාජගත කිරීම තුලින් මීට වඩා සමබර සමාජයක් ඇති කල හැක. යුරෝපයේ මෙන් දියුණු නිදහස් සංවාදශීලී බුද්දිමත් ගැහැනියක් සමග ජීවත් වන්නට පෞද්ගලිකව මා ද කැමතිය.


  2. මේ ලිපිය තුල ලාංකිය කාන්තාව මුහුන දෙන සැබෑ ගැටළු නිරූපනය නොවේ. හුදෙක් වෙළඳ දැන්වීමක චරිතයක් තුල කාන්තාවට ලැබෙන තැන කතාකරනවාට වඩා සමාජිය වශයෙන් කාන්තාවන් මුහුන දෙන දේශපාලනික අගතීන් බොහොමයක් සමාජයේ ඇත.
    ලංකාවේ පොල් කඩන, කොන්දොස්තර වැඩෙහි නිරත,කාර්මික අංශයේ සේවයේ නිරත, ගොවිතැනහි නිරතවන කාන්තාවන් නැත. සමාජ ක්‍රමය තුල කාන්තාවන්ට කල හැකි රැකියාවන් ලැයිස්තුවක් අප සමාජයෙන් හඳුන්වා දී ඇති අතර ඒ නිසාම කාන්තාවන් අතර රැකියා විරහිත භාවය වැඩි වී ඇත.
    රැකියාවක් රහිත කාන්තාවක් රැකියාවක් වෙනුවට ගණිකා වෘත්තිය තෝරාගැන්ම හෛා් රැකියාවක්වෙනුවෙන් ලිංගිකත්වය පාවා දීම සිදුවිය හැක. එය එසේ වන්නේ අප සමාජය තුල කාන්තාවන්ට ඇති රැකියා සීමා වීම හේතුවෙනි. අපේ රටේ කාන්තා මේසන් බාස්ලා වඩු කාර්මිකයින් සහ බොහෝ රැකියා නොමැති අතර ඇති සීමිත රැකියා ප්‍රමාණය දැනට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පිරී ඇත.
    මේ තත්වය තුල කාන්තාවන් උපාධි ඩිප්ලෝමා සහ වෙනත් සුදුසුකම් රැසක් සහිතවම ගාමන්ට් සහ විදෙස් ගෘහ සේවිකාවන් ලෙස රැකියාගත වෙයි. එසේම ආර්ථිකව කාන්තාව ශක්තිමත් නොවන කල කාන්තාව රුපියල් පන්සීයට ලිංගිකව විකිනෙන මට්ටමට පත් වෙයි..

    අද දින කාන්තාව මුහුන දෙන පස්නය යනු සිරි මහ බෝධිය ලගට යන්නට බැරි වීමවත්, වෙළඳ දැන්වීමකදී සේවිකාවක වීමවත් නොවේ. කාන්තාවන්ට ආදායම් ලැබිය හැකි සමාජ වටපිටාව සීමා වීමයි.. එසේ කාන්තාවන් මුහුන පාන ආර්ථික ගැටලුව විසඳීමෙන් තොරව කාන්තා සංවිධාන විසින් විවිධ කෝළම් රඟදැක්වීම මගින් ලාංකීය පීඩිත කාන්තාවන්ට වන සෙතක් නැත.

Leave a Comment