ජාතිවාදය පැරදෙනවාට ඇත්තටම බය කවුද?

Nov 22nd, 2013 | By | Category: LEAD NEWS, sunday1, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

චෝගම් හෙවත් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වීම මගින් ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය යහපත් කරගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වූ බව පෙනෙන්නට තිබිණි. නමුත් සමුළුව අවසන් වූයේ තිබුණු තත්ත්වයටත් වඩා ජාත්‍යන්තර ප්‍රතිරූපය නරක් වීමෙනි. එසේ වූයේ කාපට් පාරවල් සහ අළුතෙන් රතු ගඩොල් ඇල්ලූ පේමන්ට් දෙස පමණක් නොව ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, යහ පාලනය වැනි මාතෘකා පිළිබඳවද ලංකාවට පැමිණි ප්‍රධාන පෙළේ රටවල රාජ්‍ය නායකයන්ගේ මෙන්ම ජාත්‍යන්තර ජනමාධ්‍යවලද අවධානය යොමු වූ නිසාය.

එහෙත් මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය, ප්‍රතිසන්ධානය වැනි මෙම වචන රටේ තහනම් මාතෘකා බවට පත්ව ඇත. එසේ තහනම් මාතෘකා බවට පත්වී ඇත්තේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය නිසාම පමණක් නොවේ. ඇතැම් විට ආණ්ඩුවටත් වඩා ජාතිවාදී වී ඇති ජනමාධ්‍ය, හමුදා සහ පොලීසියද ඇතුළු රජයේ නිලධාරීන් සහ උදේ පාන්දරට හිනාවෙන්න ඩී. ජේ. අරා සහ පැස්බරා සමඟ ‛මෝර්නින් ෂෝ’ අහන්නේ නැතිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලක්හඬ වැනි චැනල්වලට දුරකථනයෙන් කථාකොට සිත තුළ ඇති වෛරය, ක්‍රෝධය පිටකරගන්නා මිනිසුන්ද ඇතුළු සාමාන්‍ය මිනිසුන් මෙම මාතෘකා ගැන කතා කිරීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් යැයි සිතති. එහෙත් බොහෝ දෙනෙකු අකැමැති මෙම මාතෘකා චෝගම් සමුළුව ආශ්‍රිත කාලයේ ප්‍රධාන මාතෘකා බවට පත්විය.

බොහෝ මාධ්‍යවේදීන් සිතන්නේද මෙම මාතෘකා රටට එරෙහි කුමන්ත්‍රණ බවයි. මාධ්‍ය සාකච්ඡාවලදී එකම ප්‍රශ්නය නැවත නැවත අසන සහ එසේ නැතහොත් ‛චැනල් 4’ නාලිකාවේ මාධ්‍යවේදීන් පසුපස එළවමින් දඟලන දේශීය මාධ්‍යවේදීන් දැකගත හැකිවූයේ මේ නිසාය. මේ බොහෝ මාධ්‍යවේදීන්ට සහ ඇඩ්වර්ටීස්මන්ට්ස් නැතිව වේලි වේලී තිබුණු තමන්ගේ මාධ්‍ය ආයතනවලට චෝගම් කුට්ටියක් දී තමන් රැක බලාගත් ආණ්ඩුව බ්‍රිතාන්‍ය අගමැති සහ විදේශ ඇමැති ඇතුළු රාජ්‍ය නායකයන් සහ විදේශ මාධ්‍ය විසින් මානව හිමිකම් වැනි දරුණු වචන පාවිච්චි කරමින් විවේචනය කරණු දරාගත නොහැකි විය. එම නිසා පසුගිය සතියේ පුවත්පත් සහ විද්‍යූත් මාධ්‍ය ප්‍රවෘත්ති යනු චෝගම් වර්ණනා කිරීම් පමණක්ය.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළු කාල සීමාවේ රජය විසින් සංවිධානය කළ විවිධ දේවල්වලට අමතරව කොළඹදී තවත් වැදගත් ක්‍රියාකාරීත්වයන් දෙකක් සිදුවූ නමුත් විදෙස් මාධ්‍යවල කෙසේ වෙතත් දේශීය මාධ්‍යවල අවධානය ඒවා කෙරෙහි යොමු නොවීය. එම ක්‍රියාකාරීත්වයන් දෙක නම් නොවැම්බර් හත් වනදා කොළඹ නව නගර ශාලාවේ පැවැත්වූ විකල්ප මහජන සමුළුව සහ නොවැම්බර් 13 සහ 14 දිනයන්හි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත ශ්‍රවණාගාරයේදී පැවැති මානව හිමිකම් උළෙල සහ ප්‍රදර්ශනයයි.

විකල්ප මහජන සමුළුව
2011 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේදීය. එයට සමගාමීව පැවැති පොදුරාජ්‍ය මණ්ඩල මහජන සමුළුවේ නිල වාර්තාවට අනුව ‛පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් කාර්යභාරයෙහි මධ්‍ය ලක්ෂය සිවිල් සමාජය වන්නේය’ එහෙත් ලංකාවේදී සිවිල් සමාජය යනු කුණුහරුපයකි. ‛සිවිල් සමාජය’ යන වචනය ඇසෙන විට අයි.ටී.එන් ඇතුළු රාජ්‍ය මාධ්‍යවලට සවන් දෙන, නරඹන, කියවන සාමාන්‍ය ජනයාට සිහිවන්නේ ‛ඩොලර්’ වලට රට පාවාදෙන්නට සැරසී සිටින දේශද්‍රෝහීන් පිරිසකි. කෙසේ වුවත් මහජන සමුළුවක්ද පැවැත්වීම අත්‍යවශ්‍ය වන හෙයින් ඒ සඳහා ආණ්ඩුව විසින් ‛ආණ්ඩුවේම නොවන ආණ්ඩුවේ සිවිල් සමාජයක්’ සාදාගෙන ඇති අතර ඔවුන් එක්වී ජනාධිපතිවරයාගේ මස්සිනාගේ ප්‍රධානත්වයෙන් දැඩි ආරක්ෂක රැකවල් මැද පොදුරාජ්‍ය මණ්ඩල මහජන සමුළුව හික්කඩුවේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබුණි. විමතිකයන් බැහැර කොට ආණ්ඩුවේ හිතවතුන් පිරිසක් එක්ව පවත්වන මේ සමුළුවෙන් ඇසෙන්නේ ආණ්ඩුවේම හඬ බව දන්නා බැවින් විකල්ප මහජන සමුළුවක් පැවැත්වීමේ අවශ්‍යතාවය මතුවිය. සිවිල් සමාජ හරයන් වෙනුවෙන් එදා මෙදා තුර නොවෙනස්ව පෙනී සිටිනා නිදහසේ වේදිකාව ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව කැඳවූ අතර එයට නොසිතූ නොවිරූ ප්‍රතිචාරයක් සමාජයෙන් ලැබිණ. ඒ අනුව උතුර නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ස්වේඡාවෙන් පැමිණි 300කට අධික සිවිල් සමාජ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ආණ්ඩුවේ නිල මහජන සමුළුව පවැත්වීමට පෙර මෙම විකල්ප මහජන සමුළුව පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්, ආර්ථික සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් සහ කාන්තා සහ තරුණ අයිතිවාසිකම් යන ප්‍රධාන තේමාවන් ඔස්සේ මේ වන විට රට තුළ ඇති සැබෑ තත්ත්වය පිළිබඳ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් දැක්වූ අදහස් වලින් මෙම සමුළුව පෝෂණය විය. සහස්‍ර සංවර්ධන ඉලක්ක වැරදියට අර්ථ නිරූපනය කරමින් රටේ ප්‍රතිරූපය ව්‍යාජ ලෙස සකස් කරන ආකාරය, අවතැන්වූවන්ගේ නොවිසඳුණු ගැටළු, අධිකරණය සහ යුක්තිය පසිඳලීම පිළිබඳ ගැටළු, වැවිලි කාර්මාත්න ආශ්‍රිත ජනතාව මුහුණ දෙන ගැටළු, මාධ්‍ය නිදහස, අතුරුදහන්වූවන්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ ගැටළු ආදී අධිපති කතිකාව විසින් වාරණය කරන ලද බොහෝ කරුණු කාරණා මෙම සමුළුවේදී සාකච්ඡාවට ගැණුනි.

මෙම විකල්ප මහජන සමුළුවට සහ නිල මහජන සමුළුව යන සමුළු දෙකටම සහභාගී වූ ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා විසින් රාජ්‍ය අනුග්‍රහය ලැබූ අධික වියදමක් දරමින් පැවැත්වූ නිල මහජන සමුළුවට වඩා අවම වියදමකින් පැවැත්වු විකල්ප මහජන සමුළුවෙන් ප්‍රබල පණිවිඩයක් ලැබුණ බව පෙන්වා දෙන ලිපියක් ‛දි අයිලන්ඩ්’ පුවත්පතට ලියන ලද අතර එහි පරිවර්තනය පසුගිය සමබිම ඉරිදා සංග්‍රහයෙහි පළකරන ලදි.

මානව හිමිකම් උළෙළ
මේ අතර ආණ්ඩුවේ එල්.එල්.ආර්.සී. නිර්දේශ ක්‍රියාත්මක කරනු!, පොදුරාජ්‍ය මණ්ඩල සාරධර්මයන්ට ගරු කරනු යන තේමාව යටතේ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිත කාල වකවානුවේදී මානව හිමිකම් උළෙලක් පැවැත්වීමට සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන සහ දේශපාලන පක්ෂවලින් සමන්විත සමගි බලවේගය විසින් සැලසුම් කරන ලදී. කෙසේ වුවද එය පැවැත්වීම සඳහා ස්ථානයක් කොළඹ නගරය ආශ්‍රිතව ලබා ගැනීමට නොහැකි විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ රැස්වීම් ශාලාව ඒ වෙනුවෙන් ලබාදීමට එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා එකඟ විය. ඒ අනුව විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ උතුර, නැගෙනහිර සහ දකුණේ අතුරුදහන්වුවන්ගේ ඥාති හිතවතුන්ගේද සහභාගීත්වයෙන් මෙම මානව හිමිකම් උළෙල සිරිකොතේදී පැවැත්විය. රටපුරාම සිටින ජනතාව වෙනුවෙන් මෙම මානව හිමිකම් උළෙල පිළිබඳ ප්‍රචාරය කිරීම ද්වේශ සහගත පෝස්ටර් ව්‍යාපාරයක් හරහා නොමිලේම ලබාදීමට ආණ්ඩුවට සම්බන්ධ පිරිස් කටයුතු කළේය. මෙම මානව හිමිකම් උළෙල වැදගත් වන්නේ පහත කරුණු නිසාය.

01. සිවිල් සමාජයේ න්‍යාය පත්‍රය අනුව සැකසෙන මානව හිමිකම් උළෙලක් සිය පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නොපැකිළව ඉඩ ලබාදීමෙන් එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ඇති ප්‍රතිරූපය වෙනස් විය.

02.මෙම මානව හිමිකම් උළෙල නිසා සිවිල් සමාජ නියෝජිතයන්ට සිරිකොතට ඇතුළු වීමට අමාරුවෙන් හෝ හිත හදාගැනීමට සිදුවිය.

03.රාජ්‍ය ජාතිවාදීන් (මෙය ඉසත් හුසේන් මහතාගේ යෙදුමකි. මෙයින් අදහස් වන්නේ ජාතිවාදී අදහස් දරන සාමාන්‍ය මනුෂ්‍යයන් නොව රාජ්‍යයේ මතවාදී සහ මර්දන උපකරණවල පිටුබලය ලබමින් ජාතිවාදී සටන් පාඨ සමඟ ඉදිරියට එන කලහකාරී පිරිස්ය. 1983 කලු ජූලිය මෙහෙයවන ලද්දේද එවැනි රාජ්‍ය ජාතිවාදීන් විසිනි. රාජ්‍ය බලයේ පිටුබලය අහිමි වූ විගස මොවුන්ගේ හුළං බසියි.) සිරිකොතට ඇතුළු වී මානව හිමිකම් උළෙල කඩා කප්පල් කිරීමට උත්සාහ කරද්දී සාමාන්‍ය එක්සත් ජාතික පාක්ෂිකයන් ඉදිරියට පැමිණ එය වළක්වන ලදී.

04. බොදු බල සේනාවට ප්‍රථම වරට පැමිණි කාර්යය කරගැනීමට නොහැකි වී පසු බැසීමට සිදුවිය.

05.මානව හිමිකම් උළෙලට එරෙහිව සංවිධානය කෙරුණු විරෝධතාවය ‛ඊනියා’ මහජන විරෝධතාවයක් නොව ආණ්ඩුවේ විසින් සංවිධානය කළ ක්‍රියාවක් ලෙස නිවැරදිව හඳුනාගත් එක්සත් ජාතික පක්ෂයේ අභිනව නායකත්ව මණ්ඩලය එයට විරෝධය පළ කිරීම පිණිස චෝගම් සමුළුවේ ආරම්භක අවස්ථාව වර්ජනය කරන්නට තීරණය කරමින් විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ එක පෙළට සිටගැනීමට තීරණය කළේය. මෙයින් නන්නත්තාර වූයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට ඉදිරිපත්ව සිටින ‛සිරස- මව්බිම’ කණ්ඩායමයි. පක්ෂය චෝගම් උළෙලට සහභාගී විය යුතුයැයි කියන තරමට ඔවුන් බංකොළොත් විය.

එහෙත් මෙම මානව හිමිකම් උළෙලෙන් දින පහකට පසුව තමාට සිදුවූ පරාජයේ ලැජ්ජාව වසා ගැනීම සඳහා ‛බොදු බල සේනාව’ සිරිකොත අසලට පැමිණි අතර, ආරාධනාවක් මත මානව හිමිකම් උළෙල නැරඹීමට පැමිණි භික්ෂූන් වහන්සේලාට හිරිහැර සහ අතවර සිදුවූ බව ඔවුන් විසින් ප්‍රකාශ කරන ලද විට නායකත්ව මණ්ඩලයේ රවී කරුණානායක සහ ජාතික සංවිධායක දයා ගමගේ යන මහත්වරුන් සිදුවූ අපාසුතාවය පිළිබඳව ‛සමාව ඉල්ලා’ සිටියහ. ඉන් පසු කිසිදු කලබලයක් නැතිව සභා තොමෝ සතුටින් විසිර ගියහ. මෙම සිද්ධිය පදනම් කරගෙන එක්සත් ජතික පක්ෂය බොදු බල සේනාවෙන් සමාව ගත් බව පැවසීමට ප්‍රමුඛස්ථානය ලබාදෙන ප්‍රධාන ධාරාවේ ‛බත් බැළ’ මාධ්‍යවල සිටින ‛කාලකණ්ණි’ මාධ්‍යවේදී ‛හැතිකරය’ (මෙම වචනවල පේටන්ට් අයිතිය ඇත්තේ බොදුබල සේනාවට පමණක් නොවේ. අපද මෙම වචන පාවිච්චි කිරීමට බිය නැත.) පමණක් නොව ඊනියා විකල්ප මාධ්‍යයන් විසින් ස්වේඡාවෙන්ම වාරණය කරන්නේ ඉහත දැක්වූ කාරණාවන්ය.
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුවේදී සිදුවූ සිදුවීම් වලින් රටේ තිබෙන ජාතිවාදී චින්තනයට එරෙහි ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් සාරධර්ම තහවුරු වූ අතර මෙම විකල්ප මහජන සමුළුවෙන් සහ මානව හිමිකම් උළෙලෙන් තහවුරු වූයේ ජාතිවාදයට එරෙහි රට අභ්‍යන්තරයේ ශක්තිමත් බලවේගයකට නැගී සිටීමයි. එහෙත් බොහෝ දෙනෙක් මේ ගැන නිහඬ අතර යම් හෝ ප්‍රචාරයක් ලබා ගැනීමට උදව් වූයේ බොදු බල සේනා සංවිධානයයි. ඒ නිසා අප කළ යුත්තේ ‛බොදු බල සේනා’ සංවිධානය සමඟ කෝන්තර සාදාගෙන එයට පහරදීම නොව මේ පිළිබඳව මහජන අවධානය ලබාදීමට උපකාරී වීම පිළිබඳව ඔවුන්ට ස්තුතිවන්ත වීමයි.

ආණ්ඩුව ජාතිවාදයෙන් ඉවත්වීමේදී මෙන්ම විපක්ෂය ජාතිවාදීන් සමඟ එක් නොවීමේදීත් අර්බුදයට යන්නේ බොදු බල සේනා සංවිධානය පමණක් නොවේ. පසුගිය කාලයේදී බොහෝමයක් වාමාංශිකයන් මෙන්ම ලිබරල්වාදීන්ද, කිලුටු කමිස හැඳගෙන, සෙරෙප්පු දමාගෙන ඇවිදින සත්‍යවාදීන්ද කිසිවක් නොකර නිකං සිටි පිරිස්ද මේ නිසා අර්බුදයට ගමන් කරයි. පසුගිය කාලයේ චෝගම් මන්තරයක් සේ මතුරන ලද්දේ ‛මේ ආණ්ඩුව කොහොමත් ජාතිවාදී නිසා මොකුත් කරල වැඩක් නැහැ යන්න සහ ඔය කිව්වට විපක්ෂයත් ජාතිවාදී තමයි ඒ නිසා විපක්ෂය එක්කත් මොකුත් කරල වැඩක් නැහැ’ යන්නයි. එම නිසා මේ රටේ තිබෙන්නේ ජාතිවාදය බව පවසා එය නැවත නැවතත් තහවුරු කිරීමට ලිපි ලිවීම මේ මොහොතේ අවශ්‍ය නොවන අතර අවශ්‍ය වන්නේ අපගේ ක්‍රියාකාරීත්වයන් නිසා ක්‍රම ක්‍රමයෙන් ජාතිවාදය රටෙන් අවසන් වන බව පෙන්වාදීමයි. පසුගියදා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාවද මේ අතින් වැදගත් වේ. එම සමීක්ෂණ වාර්තාවෙන් පෙනෙන්නේද බහුතරයේ ජාතිවාදී මානසිකත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වන බවයි. අසීරු තත්ත්වයන් යටත් සංවිධානය කර එහෙත් හොඳ ප්‍රතිඵල පෙන්වූ ඉහත ක්‍රියාකාරීත්වයන් දෙකෙන්ම තහවුරු වන්නේද එයයි. ඇතැමුන් පවසන්නේ චෝගම් වලින් පසුව ලංකාවට ඉතිරිවුණේ පාට පාට රූං පෙත්ත පමණක් බවයි. එසේනම් එම රූං පෙත්තෙන් පවා වැඩ ගත යුතු කාලය එළැඹ තිබේ.

නීතිඥ ප්‍රබෝධ චින්තක රත්නායක

GT

Recent Posts

Tags: , , , , , , , , , , , , , , , , , ,

Leave a Comment