පුංචි ආණ්ඩුව, මහ ආණ්ඩුව ආණ්ඩු විරෝධය

Dec 4th, 2013 | By | Category: LEAD NEWS, උත්තර ධ්‍රැවය, උත්තරධ්‍රැවය

[සාමිනාදන් විමල්]

මෙම සටහන ලියන දිනය (2013-10-25) උතුරෙහි පමණක් නොව සමස්ත ලංකාවෙහිම ඓතිහාසික දිනයක්ය යන්න ජනමාධ්‍යවල වාර්තා කර ඇත. එයට හේතුව උතුරු පළාත් සභාවෙහි මංගල සභා වාරය නොවැම්බර් 25 වන දිනයෙහි පැවැත්වීමයි. ඡන්දයට පෙරත් එමෙන්ම එයට පසුවත් මහත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති සැපයූ උතුරු පළාත් සභාව ආරම්භ වන්නේ උතුරෙහි පුංචි ආණ්ඩුව යන නාමය හිමි කර ගනිමින්ය.

මෙම පුංචි ආණ්ඩුව එහි ක්‍රියාකාරීත්වය තුළින් විකල්ප ආණ්ඩුවක් බවට පත් නොවී හුදු පුංචි ආණ්ඩුවක් බවට පමණක්ම වනු ඇතිද යන්න තවම නිශ්චිත පිළිතුරක් දීමට අපහසු පැණයක් වුවද මෙම නිශ්චිත ලාංකේය සන්දර්භය තුළ උතුරු පළාත් සභාව සුවිශේෂ වැදගත්කමක් හිමිකර ගනු ලබන්නේ එය මහ ආණ්ඩුවෙහි බලය දරන දේශපාලන සන්ධානයට අයත් නොවන එකම පළාත් සභාව වන හෙයින්ය. එහෙත් ආධිපත්‍යමය බලය සහිත මතවාදය යන කාරණය සැලකිල්ලට ගෙන අවධානය යොමු කරන විට පැහැදිලිවම දෙකම එකම වර්ගයේ ගර්භාෂයන්ගෙන් ජනිත වූ ඒවාය. සිංහල බෞද්ධ ජාතිකත්වය ගර්භාෂය කර ගෙන උපන් මහ ආණ්ඩුවෙහි දේශපාලන ගතිකත්වය සහ දෙමළ ජාතිකත්වය ගර්භාෂය කරගෙන ජනිත උතුරේ පුංචි ආණ්ඩුවෙහි දේශපාලන ගතිකත්වය නියෝජනය කෙරන අතර එහෙයින් පාලනය පවත්වා ගැනීම යන අභියෝගය හමුවෙහි මෙම දේශපාලන ප්‍රවාහ දෙකටම එකම වර්ගයෙහි ගැටුම්වලට මුහුණ දීමට සිදුවීම අනිවාර්යයකි.

එම අභියෝගයන් අතරින් ප්‍රමුඛතම අභියෝගය වන්නේ තමන්ව බලයට ගෙන එන ලද ජාතිවාදී බලවේග තම අණසක යටතේ දිගටම පවත්වා ගෙන යන්නේ කෙසේද යන්නයි. එනම් ජනප්‍රිය දේශපාලන ව්‍යාපෘතිය තුළ භාවිත වන යෙදුමට අනුව ‛ද්‍රෝහීන්’ බවට පත් නොවී සිටින්නේ කෙසේද යන්නයි. මෙය වඩාත්ම බියකරු අභියෝගයක් වන්නේ මහ ආණ්ඩුව සහ පුංචි ආණ්ඩුව අතර එදිරිවාදිකම් මගහරවා ගෙන එකඟතාත්මක දේශපාලනයකට දරන උත්සාහයන් පහසුවෙන්ම ද්‍රෝහිකම් බවට අර්ථකථනය විය හැකි හෙයින්ය. ඒ අනුව උතුරු පළාත් සභාව සහ මහ ආණ්ඩුව ගැටුම් රහිත තත්ත්වයකින් යුතුව පවත්වා ගෙන යෑමට දරන උත්සාහය වර්දිතව පවතින ජාතිවාදී බලවේගවල උදහසට හේතු වන අතර පළාත් සභාව සහ මහ ආණ්ඩුව අතර ගැටුම් ඇතිවන තත්ත්වයක් නිර්මාණය වීම පළාත් සභාවෙහි ආයු කාලය කෙටි කිරීමටත් උතුර සහ දකුණ අතර දේශපාලන විරසකය තවදුරටත් වර්ධනය කිරීමටත් හේතු වනු ඇත.

මෙම තත්ත්වය තවත් ගැටලු සහගත බවට පත්වන්නේ ආණ්ඩු විරෝධය යන කාරණය මෙම කරුණත් සමඟ එකට ගැටගැසෙන විටදීය. සමස්තයක් වශයෙන් මධ්‍යම ආණුඩුව කෙරෙහි පවතින විරෝධය පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල අන්තර්ගතයකින් යුක්ත වනවාට වඩා රාජපක්‍ෂ විරෝධය වැනි පටු සීමාවකට හිරව පවතින හෙයින් එයද තවත් එක් අවස්ථාවාදී දේශපාලන ව්‍යාපෘතියක ගොදුරක් බවට පත් වීමට පවතින ඉඩකඩ අධිකය. එවැනි තත්ත්වයකදී උතුරු පළාත් සභාව ආශ්‍රිතව මතුවෙන ජාතිවාදය පදනම් කරගත් ආණ්ඩු විරෝධය පවා දකුණෙහි ආණ්ඩු විරෝධය සමඟ සන්ධානගත විය හැකිය.

අනෙක් අතට උතුරු පළාත් සභාව කෙරෙහි එසේත් නැතිනම් පුංචි ආණ්ඩුව කෙරෙහි දකුණෙහි ජාතිවාදී බලවේගවල පවතින විරෝධය මහ ආණ්ඩුව තුළ පුංචි ආණ්ඩුව කෙරෙහි පවතින විරෝධයන් උත්සන්න කිරීමට හේතු වනු ඇත. දකුණෙහි ජාතිවාදී බලවේගවලට අවස්ථාව සපයා දෙන, උඩගෙඩි දෙන තත්ත්වයක් නිර්මාණය නොකිරීමේ බැරෑරුම් වගකීම ඉටු කිරීමට උතුරු පළාත් සභාව සමත් වේද යන්න මෙම අවස්ථාවෙහි පවතින්නේ ප්‍රශ්නකාරී තත්ත්වයකය. මහ ඇමැතිවරයා ජනාධිපතිතුමා ඉදිරියෙහි දිවුරුම් දීම ආදී ලෙසින් යම් සාධනීය ලක්ෂණ පෙන්නුම් කළද ජාතිවාදී බලවේග පෙරට ගෙන එනු ලබන ජාතිවාදී උසි ගැන්වීම්වලට මග සලසන සමහර ප්‍රකාශ මහත් අභියෝගයන් බවට පත්ව ඇත. උතුරු නැගෙනහිර එක් කිරීම, බුදු පිළිම ඉදිකිරීමට එරෙහිව කෙරෙන උසිගැන්වීම් සහ එල්.ටි.ටි.ඊ. සංවිධානයෙහි සාමාජිකයන්ගේ සොහොන් කොත් ප්‍රතිසංස්කරණය කිරීම වැනි ආවේගාත්මක අවස්ථාවන් උදාහරණයන් ලෙසින් දැක්විය හැකිය. ඇත්තෙන්ම මෙම අවස්ථාව වනාහි උතුරු නැගෙනහිර එක් කිරීමට වඩා උතුර සහ දකුණ අතර එකමුතුවක් සඳහා උත්සාහ දැරිය යුතු සහ පළාත් සභාව යන යාන්ත්‍රණය ඒ සඳහා භාවිත කළ යුතු අවස්ථාවකි. උතුරු පළාතේ සාමාන්‍ය ජනයා මුහුණ දී සිටින බැරෑරුම් ප්‍රශ්නය වනාහි මග දෙපස බුදු පිළිම ඉදිවීම නොව යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි වූවන්ගේ නිවාස සහ අනෙකුත් අත්‍යවශ්‍ය ඉදිකිරීම්වල පවතින ප්‍රමාදයයි. මේ අවස්ථාවෙහි වැදගත්කම දිය යුත්තේ තවමත් සිරගතව සිටින දේශපාලන සිරකරුවන්ව නිදහස් කර ගැනීම සහ අනාථබවට පත්වූවන් ජීවත් කළ හැකි ක්‍රියාමාර්ග වේගවත් කිරීම කෙරෙහිය.

එහෙයින් ජාතිවාදී බලවේගවලට ඉඩක් නොදී උතුරු පළාත් සභාවෙහි කටයුතු කර ගෙන යෑමට අවස්ථාව සලසා දීම මේ වන විට මුහුණ දී ඇති වැදගත් අභියෝගයකි. එහෙයින් මෙවැනි අවස්ථාවක ආණ්ඩු විරෝධය යන්න වෙසෙසින්ම අවධානය යොමු කළ යුතු කරුණකි. උතුරු පළාත් සභාව පවත්වා ගෙන යෑම සඳහා මහ ආණ්ඩුවට ද පුංචි ආණ්ඩුවට ද සහයෝගය දැක්වීම අවශ්‍ය වන අතර එම ආණ්ඩු හිතෛෂීබව ප්‍රතිගාමීත්වය ලෙසින් අර්ථකථනය නොවිය යුතුය∎

Untitled-1

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment