වළක වැටීම මොළයට ලාභයකි – ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට පසුවදනක්

Dec 6th, 2013 | By | Category: LEAD NEWS, sunday1, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

[සුදර්ශන ගුණවර්ධන
ප්‍රබෝධ චින්තක රත්නායක]

නොවැම්බර් 25 වනදා සන්ධ්‍යාවේ කොළඹ කාසල් රෝහල අසලින් ආරම්භ වී කනත්ත වටරවුම දක්වා පෙළපාළියෙන් ගමන් කළ සංවිධානගත වූ මෙන්ම සංවිධානගත නොවූ කාන්තාවෝ විශාල පිරිසක් කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට තම විරුද්ධත්වය පෑහ. පොලිස් අණ නොතකා පාරේ වැරැදි පැත්තෙන් මෝටර් බයිසිකල පැදවූ කාන්තාවෝ පොලීසිය සමඟ ගැටෙමින් සිවිල් නීති කඩ කරමින් කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන හිංසනයට තම විරෝධය දැක්වූහ.

සෑම වසරකම නොවැම්බර් 25 වන දින ස්ත්‍රීන්ට එරෙහි හිංසනය තුරන්කිරීම සඳහා වන ජාත්‍යන්තර දිනය ලෙස නම් කරන ලද්දේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසිනි. මෙම දිනය සැමරීමෙන් බලාපොරොත්තු වන්නේ ලොව පුරා ස්ත්‍රී දූෂණයට, ගෘහස්ථ හිංසනයට සහ සෙසු සියළු ආකාරයේ හිංසනයන්ට ලක්වන කාන්තාවන් පිළිබඳව අවධානය ඇති කිරීමයි. සාමාන්‍යයෙන් යටපත්ව පවතින සිදුවීමක් වන කාන්තාවන්ට එරෙහි හිංසනයෙහි ප්‍රමාණය සහ එහි යථා ස්වභාවය පිළිබඳව අවධාරණය කිරීම මෙම දිනය සැමරීමේ තවත් අපේක්ෂාවකි.

නොවැම්බර් 25දා කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ දිනය වශයෙන් නම් කිරීම පසුබිමෙහි ඇත්තේ දේශපාලන අරගලයකි. ලතින් ඇමරිකාවේ ඩොමිනිකන් ජනරජයෙහි දේශපාලන ක්‍රියාකාරිනියන් වූ මිරබල් සහෝදරියන් ඒකාධිපති පාලකයා වූ රෆායෙල් ටෘජිල්ලෝගේ මෙහෙයවීමෙන් ඝාතනය කරනු ලබන්නේ 1960 වසරේ නොවැම්බර් 25 වනදා වීම ඊට හේතුවයි. 1961 සිට මෙම දිනය කාන්තාවන්ට එරෙහි හිංසනයට එරෙහිව දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා ක්‍රියාධරයන් විසින් යොදාගෙන ඇති අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ නිල අනුමැතිය ලැබෙන්නේ 1999 දීය.

පොදුවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා වූ අරගලයෙහි මෙන්ම සුවිශේෂව ගත් කළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරගලයෙහි මුල් තැන ගත් ලාංකීය කාන්තාවන් විෂයෙහි මුලින්ම මතකයට නැගෙන කාන්තාවන් දෙදෙනෙකු වේ. එක් අයෙක් මීට තෙමසකට පෙර අභාවප්‍රාප්ත වූ සුනිලා අබේසේකර වන අතර අනෙක් තැනැත්තිය වන්නේ නිමල්කා ප්‍රනාන්දුය. මේ දෙදෙනාටම පන්ති දේශපාලන මූලයක් පැවැති අතර ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරගත් යෝජනා ද්විත්වය පසුබිමෙහි ඔවුන් දෙදෙනාගේම ශ්‍රමය අඩංගු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවේ මෙන්ම එහි ඇමැතිවරුන්ගේද රාජ්‍ය මාධ්‍යයන්හි මෙන්ම ඊනියා ස්වාධීන මාධ්‍යවලද පෙර නොවූ විරූ ප්‍රහාරයකට ලක්වීමට මොවුන්ට සිදු විය.

ඊනියා කැසිනෝ විවාදය හමුවෙහි ලිංගික ශ්‍රමිකාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව නිමල්කා විසින් කරන ලදැයි කියන ප්‍රකාශයකදී ‛ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි’ නිමල්කා විසින් කියා සිටි බවට පුවත්පත් වාර්තා කිරීමත් සමඟම මේ තත්ත්වය තවත් වර්ධනය වී දෙබරයකට ගල් ගැසුවාක් වැනි තත්ත්වයක් උදා විය. ඒ වනවිට ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල මහජන සමුළුව වෙනුවට විකල්ප මහජන සමුළුව සාර්ථකව සංවිධානය කරන්නට නිමල්කා තමා සම කැඳවුම්කාරියක ලෙස කටයුතු කරන ‛නිදහසේ වේදිකාවේ’ සෙසු සංවිධාන සමඟ ක්‍රියාත්මකව සිටියාය. මෙම මාධ්‍ය ප්‍රහාරය එල්ල කරන ලද්දේ නිසැකවම ‛විකල්ප මහජන සමුළුව’ කඩාකප්පල් කිරීමේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුකූලවය.

මාධ්‍යකරුවන් අවි අමෝරාගෙන නිමල්කා වෙත කඩා පැන්න අතර ඒ අතරින් උච්චතම ප්‍රහාරය දියත් කරන ලද්දේ ආණ්ඩුවට අයත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. එහි සභාපති ධුරයට ආණ්ඩුව විසින් පත්කරන ලද හඩ්සන් සමරසිංහ විසින් මෙහෙයවන ‛රට යන අත’ වැඩසටහන මගින් නිමල්කා ඉලක්ක කොට වෛරී ප්‍රහාරයක් එල්ල කරන ලදී. ඊනියා අසන්නන්ද සම්බන්ධ කරගනිමින් කරන ලද ඒ අන්තර් ක්‍රියාකාරී වැඩසටහනේදී නිමල්කා ප්‍රමුඛ රටට ද්‍රෝහී වී ජාත්‍යන්තරයට ගතු කේළාම් කියන ද්‍රෝහීන් මරා දැමිය යුතු ආකාරය පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී. තමාට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධව මේ වනවිට නිමල්කා විසින් ගුවන් විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහට විරුද්ධව මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිවරයා වෙත පැමිණිලිද යොමු කොට ඇත.

නොවැම්බර් 25 වනදා පාගමන සාර්ථකව සිදුකිරීමට සමත්වීමෙන් කාන්තා ක්‍රියාධාරිනියන්ගේ මොරාල් එක හෙවත් චිත්ත ධෛර්යය වර්ධනය වූ බව මැනවින් පසක් කරමින් ඔවුන් අතර සිටි ‛ලක්බිමේ මව්වරු සහ දියණියෝ’ සංවිධාන ජාලයේ මූලිකත්වයෙන් නිමල්කා ප්‍රනාන්දු මහත්මිය ආණ්ඩුවේ ගුවන්විදුලි සංස්ථා ප්‍රධානියා විසින් වාචික හිංසනයට ලක්කිරීමට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කරන ලදී. දෙසැම්බර් 2 වන දින මෙසේ ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බවට දැනුම්දීම් කරන ලද්දේ ඊ මේල් පණිවිඩ මගින්ය. ප්‍රධාන වශයෙන්ම කාන්තාවන්ගෙන්ම සමන්විත වූ උද්ඝෝෂිකාවන් විසින් විරෝධතා පුවරු රැගෙන ඉදිරියට පැමිණ මහත් ධෛර්යයෙන් යුතුව සටන් පාඨ කී නමුත් ගුවන්විදුලි සංස්ථා සේවකයන් යයි සිතිය හැකි පිරිසක් එයට එරෙහිව ප්‍රතිඋද්ඝෝෂණයක් පවත්වන්නට වූ නිසා තත්ත්වය සංකීර්ණ විය. එහිදී ප්‍රති උද්ඝෝෂකයන්ගේ හූ හඬ මැද්දේ එදා නොවැම්බර් 25 වනදා කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීම සඳහා වූ පාගමනෙහි පැවැති ජවය එලෙසම පවත්වාගැනීමට නොහැකි වූ බැවින් මෙම උද්ඝෝෂණයේදී කාන්තා උද්ඝෝෂිකාවන්ට සිදුවූයේ පසු බැසීමටය.

මහජන උද්ඝෝෂණවලට ප්‍රතිපක්ෂව සංවිධානාත්මක පිරිස් යොදවා ප්‍රති උද්ඝෝෂණ සංවිධානය කිරීම ලංකාවේ සුලබ අත්දැකීමක් වන අතර එහිදී පොලීසිය කරන්නේ සාමය ආරක්ෂා කරන්නාගේ භූමිකාවට පණ පොවමින් ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා ආරම්භක උද්ඝෝෂකයන් පිරිස ඉවත් කිරීමට කටයුතු කිරීමයි.

මෙහිදී කාන්තාවන්ට එරෙහි හිංසනයට විරුද්ධව වියුක්ත සටන් පාඨ තුළ පමණක් සිර වී නොසිට තම සහෝදර කාන්තා නායිකාවක වෙනුවෙන් ගුවන් විදුලි සංස්ථා සභාපති පිරිමියාට අභියෝග කරන්නට පෙරට ආ කාන්තාවන්ට ඔවුන් දැක්වූ නිර්භීත භාවය වෙනුවෙන් අපගේ ආචාරය පිරිනැමිය යුතුවේ. නමුත් උද්ඝෝෂණය අසාර්ථක වූයේ මන්ද යන්න පිළිබඳව විවෘත සහ සහෝදරාත්මක විවේචනයක් කිරීමට ඔවුන්ගේ ක්‍රියාව පිළිබඳව අපගේ ඇති ගරුත්වය හේතුවක් නොවිය යුතුය.

උද්ඝෝෂණය අවසානයේ සංවිධායිකාවන් ප්‍රකාශ කොට තිබුණේ මේ අවස්ථාවේදී පොලීසිය අපක්ෂපාතීව ක්‍රියා නොකළ බවයි. ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ ප්‍රකාශිකාවක වන නීතිඥ ශාමිලා දළුවත්ත ප්‍රකාශ කොට තිබුණේ තමන් විසින් සිදු කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇති සමාගමයේ නිදහසට, සාමකාමීව රැස්වීම නිදහසට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති අයිතිවාසිකම් භුක්ති විඳීම පමණක් බවයි. එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින ආණ්ඩුවේ පොලීසිය විසින් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවට තම උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සඳහා පැමිණි ගුවන් විදුලි සංස්ථාවේ ‛හූ’ බලකායට ආරක්ෂාව සපයමින් තම උද්ඝෝෂණය කඩාකප්පල් කළ බවයි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ‛විකල්ප’ වෙබ් අඩවිය මෙම සිද්ධිය සම්බන්ධව වාර්තා කරමින් ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රණගල විසින් සිනාසෙමින් විරෝධතා පුවරුවක් ඉරා දමන ආකාරයත්, ප්‍රති උද්ඝෝෂකයන් විසින් පොලීසිය බලා සිටියදීම කාන්තාවන්ගේ අත රැඳි විරෝධතා පුවරු ඉරා දමන සැටිත් ඡායාරූප සහ වීඩියෝ මගින් වාර්තා කොට තිබුණේ ශාමිලාගේ ප්‍රකාශය මොනවට සනාථ කරමිනි.

1උද්ඝෝෂකයින්ට අනුව ප්‍රති උද්ඝෝෂකයන් යනු ආණ්ඩුවේ හෙංචයියන්ය. එසේත් නැත්නම් හඩ්ඩාගේ ගෝලයන්ය. ඔවුන් හූ කියමින්, පෝස්ටර් ඉරමින් උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට කටයුතු කරන විට පොලීසිය උද්ඝෝෂකයන් ආරක්ෂා කොට ප්‍රති උද්ඝෝෂකයන් පළවා හැරිය යුතුය. නමුත් ප්‍රති උද්ඝෝෂකයන්ගේ ඇසින් බැලූ විට උද්ඝෝෂකයන් යනු තම සභාපතිවරයා මෙන්ම ආණ්ඩුව වෙනුවෙන් මරාගෙන මැරෙන්නට පවා සූදානම් ඊනියා දේශප්‍රේමියෙකු වන හඩ්සන් මහත්තයාට ගේමක් දෙන්නට පැමිණි මාර දූවරුන් පිරිසකි. ‛ඩොලර් වලට රට පාවා දෙන’ කාන්තාවක් වෙනුවෙන් බය නැතිව ඉදිරියට පැමිණි මේ පිරිසද හොර නැතුවම ඩොලර් කාක්කන් විය යුතුය. එබැවින් පොලීසිය කළ යුත්තේ ඔවුන් හුරතල් කිරීම නොව ඔවුන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමයි.

එවිට පොලීසිය ගනු ලබන්නේ කාගේ පැත්තද? අපගේ උද්ඝෝෂකයන් පොලීසියේ පන්ති, ලිංග සහ වාර්ගික පක්ෂපාතිත්වය පිළිබඳ මිථ්‍යා විශ්වාසයක සිටිත් නම් ඔවුන් විසින් කළ යුතු දෙයක් ඇත. ඒ හෙන්රි පීරිස් විසින් ලියන ලද ‛දේශපාලන අ’ යන්න නම් පොත් පිංච සොයාගෙන කියවීමයි. කලකට ඉහත පන්ති දෘෂ්ටිකෝණයෙන් ලියන ලද ඒ පොතේ පොලීසියේ පන්ති පක්ෂපාතීත්වය පිළිබඳව පාඩමක් කියාදී ඇති අතර එය අද රාජ්‍ය ජාතිවාදය හමුවේ පොලීසියේ වාර්ගික පක්ෂපාතීත්වය ගැන හැදෑරීමටද යොදාගත හැකිය. ඒ අනුව පොලීසිය ගන්නේ අපගේ පැත්ත නොවන බව පැහැදිලිය.

‛දේශපාලන අ’ – හෙන්රි පීරිස් – 25 පිටුව

I වැනි ජවනිකාව
වැඩපලක කම්කරුවෝ ස්ට්‍රයික් කළහ. එහි වැඩපල අවට ඔවුහු රැස්වී ඇත. පොලීසිය පැමිණෙති. කලබලය මොකදැයි පොලිස් නායකයා විමසයි. කලබලයක් නැති බවත්, ඔවුන්ට ලැබෙන පඩිය රුපියලක් පමණක් බවත්, ඔවුන් පවුල්කාරයින් බවත්, තම අඹු දරුවන් හාමතේ සිටින බවත්, ගෙවල් කුලී නොගෙවා සිටීම නිසා ගෙවල් කාරයාගෙන් බේරීමට නොහැකි බවත්, එම නිසා පඩි වැඩිකරන ලෙස ඉල්ලූ බවත්, එසේ නොදුන් නිසා පඩි වැඩි කර ගැනීමට මේ ස්ට්‍රයිකය කරන බවත්, කම්කරුවෝ පොලිස් නායකයාට කියති. පොලිස් නායකයාගේ මුහුණින් ඔහුගේ අනුකම්පාව ප්‍රකාශ වේ. එම අනුකම්පාව මඳ කෝපයකට පරිවර්තනය වී ‛‛මේ තරම් හිඟන පඩි ගෙවීම් හෙණ ගහන වැඩක්ය’’ යි කියමින් කර්මාන්ත ශාලාව දෙසට ගමන් කරයි. ඔහු ඒ තුළට යයි. කර්මාන්ත ශාලාව අයිති ධනපතියා මුණ ගැසෙයි. ‛‛ උඹගේ සේවකයින්ට දවසකට රුපියලක් පමණක් ගෙවන උඹට මොලයක් හෙම තිබේ ද? උඹේ මොලේ බල්ලෝ කාලා ද? අර මිනිසුන්ගේ පවුල් හාමත් වෙනවා. උඹ ක්‍රිමිනල් අපරාධ කරුවෙකි. මිනිසුන් හාමත් කරන වරදට උඹව ‛ඇරෙස්ට්’ කරන්න ඕනෑ. සිරභාරයට ගන්න ඕනෑ. මේ රටේ අනාගත පරම්පරාව වූ ළමයින් හාමත් කිරීමේ වරදට උඹව ‛චාජ්’ කරනවා. එක්කො උඹ මේ කම්කරුවන්ට වැඩිපුර පඩි ගෙවාපන්, නැත්නම් නැගපන් පොලිස් වෑන් එකට. උඹව ‛ලොකප්’ කරනවා. ’’ යනාදී වශයෙන් පොලිස් නායකයා ධනපතියාට කියයි.

II වැනි ජවනිකාව
වැඩපලක කම්කරුවෝ ස්ට්‍රයික් කළහ. එහි වැඩපල අවට ඔවුහු රැස්වී ඇත. පොලිසිය පැමිණෙති. අවි ආයුධ ගත් ඔවුහු වෑන් රථයෙන් බසිති. ඔවුහු පෝලිම් වෙති. එක්කෙනෙක් වමට හැරී සපත්තු දෙක ශබ්ද වනසේ අඩි හප්පා වැඩපලේ එක ගේට්ටුවක් ලඟටම ගමන් කරයි. තවත් කොස්තාපල් කෙනෙක් අනික් ගේට්ටුව ලඟට ගමන් කරයි. පොලිස් නායකයා තම පොඩි බැටන් පොල්ල කර කවා කවා කම්කරුවන් අතරට එයි. ‛‛උඹලා ස්ට්‍රයික් එකක් නේද? ඒකට කාරියක් නෑ. හැබැයි මෙතන කල කොලොප්පන් බැහැ, කෑගහන්න බෑ, හූ කියන්න බැහැ, මෙතන නිකම් හිටින්ඩත් බෑ, ‛මූව් ඕන්’ බයිලෝ එක දන්නවා නෙවේද? අපිට ධනපතියනුත් එකයි. සේවකයනුත් එකයි. අපි මධ්‍යස්ථයි. අපට ඕනෑ සාමය ආරක්ෂා වෙන්ටයි. කර්මාන්ත ශාලාව අයිතිකාරයා කලබල කරන්නේ නැහැ. උඹලත් කලබල නොකර සිටින්න ඕනෑ. කැමති කෙනෙක් සිටිනවා නම් වැඩ පලයන්. නැත්නම් ගෙදර පලයන්. කොස්තාපල්, මේ මිනිස්සුන්ට පාරේ ඉන්ඩ දෙන්න එපා. ඔවුන් ‛මූව් ඕන්’ කරපන්’’ යනාදී වශයෙන් පොලිස් නායකයා කියයි. කොස්තාපල් වරුද, ‛‛හා දැන් ඉතින් යනවා, පලයන්, පලයන්’’ කියමින් කම්කරුවන් විසුරුවා හරිති.
දෙවෙනි ජවනිකාව දුටුවන් එමටය. එය නුදුටු එක් කම්කරුවෙක්වත් සොයාගැනීම දුෂ්කරය. පළමු ජවනිකාව දුටුවෙත් ඇත්ද? එවැනි සිද්ධියක් ගැන අසාවත් තිබේද? ලංකාවේ හෝ ලෝකයේ කවදාවත් දෙවියන්ගේ නාමයට එක වතාවක් පළවෙනි ජවනිකාවට සමාන සිද්ධියක් ඇති වූයේද නැත.

අපට අවශ්‍ය නම් මෙහිදී පොලීසිය ක්‍රියාත්මක වුණ ආකාරය වැරදියි කියමින් හෝ ප්‍රති උද්ඝෝෂකයන් ක්‍රියා කළ ආකාරය වැරදියි යනුවෙන් කියමින් උද්ඝෝෂණය කඩාකප්පල්වීමේ වැරැද්ද පිටතට පැවැරිය හැකි නමුත් ඉන් කිසිවක් සිදු නොවේ. රාජ්‍යය මර්දන උපකරණයක් වන පොලීසිය මෙන්ම රාජ්‍ය මතවාදී උපකරණයක් වන ගුවන් විදුලි සංස්ථාවද පසුගිය දශකය තුළදී ජාතිවාදී වී ඇති අතර එම ආයතන දෙකටම හමුවනුයේ තමන් නඩත්තු කිරීමට බදු මුදල් ගෙවන ‛ජනතාව’ නොව අයිතිවාසිකම් හිමි මිනිසුන් පිරිසක් සහ අයිතිවාසිකම් අහිමි නොමිනිසුන් පිරිසකි. මිනිසුන් හෙවත් හෝමෝ සාපියන්ස් යනු ‛රටට ආදරය කරන බහුතරයට’ අයත් පිරිසයි. නොමිනිසුන් හෙවත් ජෝර්ජියෝ අගම්බෙන්ගේ වචනයකින් කීවොත් ‛හෝමෝ සාකර්’ (Homo Sacer – ශාපලත් මිනිසා) වරු යනු ‛රටට ආදරය නොකරන සුළුතරයයි’. නිමල්කාට එරෙහිව ගුවන් විදුලි සංස්ථාව විසින් හිංසනය වපුරන්නේද, එම හිංසනයට විරෝධය පළකරන්නට ආ උද්ඝෝෂකයන්ට පොලීසිය විසින් බාධා කරන්නේද ඔවුන් ‛හෝමෝ සාකර්වරුන්’ වීම නිසා මිස ඔවුන් කාන්තාවන් වීම නිසා නොවේ. හඩ්සන් විසින් රනිල්ට, මංගලට, වික්‍රමබාහුට හෝ බ්‍රිටෝට බණින්නෙත් මේ ආකාරයෙන්මය.

රාජ්‍යයේ මර්දන උපකරණ මෙන්ම මතවාදී උපකරණද ජාතිවාදී වී ඇති මෙවන් තත්ත්වයක් යටතේ පොලීසිය හෝ ගුවන්විදුලි සංස්ථා සේවකයින් මීට වඩා හොඳින් හැසිරිය යුතුව තිබුණා යැයි අපේක්ෂා කිරීම විහිළුවකි. එසේ ඔවුන් නිවරදිව ක්‍රියා කරයි නම් මේ වැනි ප්‍රශ්න හමුවේ උද්ඝෝෂණ කිරීමට තරම් දෙයක් අපට ඉතිරි නොවන අතර කළ යුත්තේ තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම පමණි. එම නිසා අප යෝජනා කරන්නේ මෙහිදී අසාර්ථකත්වයට වගකිවයුතු යැයි අප ඇඟිල්ල දිගු කරගත යුත්තේ මෙම උද්ඝොෂණ මාදිලිය වෙත බවය. අප ජීවත්වන යථාර්ථය තේරුම් ගැනීමට තරම් නොමේරූ මෙම උද්ඝෝෂණ මාදිලිය එක් අතකින් අසංවිධානාත්මක වන අතර අනෙක් පැත්තෙන් පසමිතුරුතාවයන් හඳුනාගැනීමට අපොහොසත් වන නිසා අදේශපාලනිකය. ආණ්ඩුවේ ජාතිවාදී ව්‍යාපෘතියෙහි ප්‍රධාන ප්‍රකාශකයෙකුට එම ප්‍රකාශකයාගේ මූලස්ථානය අසලටම පැමිණ පාට් දැමීමට ආණ්ඩුව මෙන්ම ජාතිවාදී වී ඇති ඊනියා ජනතාවද ඉඩ නොදෙන බව වටහා ගැනීමට විශාල දේශපාලන ඥානයක් අවශ්‍ය නොවේ.

යුද්ධයෙන් පසුව ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම බහුතරයක් තනි පුද්ගලයන්ද ජාතිවාදී වී ඇති බව නැවත නැවත ප්‍රකාශ කළ යුතු නැති අතර පොලීසිය පමණක් නොව හඩ්සන් ඇතුළු ගුවන් විදුලි සංස්ථා සේවකයන් නියෝජනය කරන්නේද එම මතයයි. ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ මෙම ජාතිවාදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයයි.

විසම්මුතික මතධාරීන් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමට එරෙහිව මෙවැනි ආකාරයේ උද්ඝෝෂණ සංවිධානය කර ජාතිවාදීන් හමුවේ එය අසාර්ථක වූ විට නැවත ප්‍රජාතන්ත්‍රවාදය නැති බව ඔප්පු වන බව පවසා සිටීමේ විහිළුව නවතා දැමිය යුතු අතර කළ යුත්තේ ජාතිවාදීන්ට එරෙහිව ඊට වඩා ශක්තිමත් හඬක් අනෙක් පසින් ගොඩනගා ඒ බලවේගයත් පෙරදැරි කරගෙන සටනට යාමයි. ඒ සඳහා හුදකලා සිවිල් සමාජ මානසිකත්වයෙන් එළියට බැසිය යුතුය. සිවිල් සමාජ සංවිධාන සහ සමගි බලවේගය එක්ව පසුගියදා පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව කෝට්ටේ සිරිකොත පරිශ්‍රයේදී පැවැත්වූ මානව හිමිකම් උලෙළ එවැනි අවස්ථාවකි. උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ පවුල්වල ඥාති හිතවතුන්ගේද සහභාගීත්වය ලබාගෙන දකුණේ ජාතිවාදීන් ඉතා සංවේදීවන වන මාතෘකා කතාබහ කිරීමට එහිදී අවස්ථාව උදාවිය. එදා බුදුන් දවස තීර්ථකයන් විසින් නාලාගිරි ඇතාට රා පොවා එව්වාක් මෙන් ආණ්ඩුව විසින් සංවිධානාත්මකව එවන ලද ප්‍රති උද්ඝෝෂකයන් පිරිසක් එය වටලා සිටින තත්ත්වයක යටතේ පවා මෙම උලෙළ සාර්ථකව පවත්වා ගැනීමට හැකිවිය. එසේම මෙතෙක් කල් තමන් යන යන තැන අනභිභවනීය වීරයන් වූද පරාජය කිරීමට නොහැකි යැයි සැලකූවා වූද අන්ත ජාතිවාදීන් මෙම උලෙළ කඩාකප්පල් කිරීමට පැමිණියත් ඔවුන්ට අමතක නොවන පාඩමක් උගන්වා ඔවුන් පරාජය කිරීමට සිවිල් සමාජ බලවේගයට මෙහිදී හැකි විය. මානව හිමිකම් උලෙළට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉහළම මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණු අතර එය රට තුළ කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත් විය.

3එදා සමගි බලවේගය විසින් පෙන්වා දුන්නේ තම තමන්ගේ දූපත් වලින් එළියට පැමිණ, පුළුල් ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බහුවිධ බලවේගයන් සමඟ එක්ව කටයුතු කළ හොත් සමාජයට දැනෙන පණිවිඩක් ලබා දිය හැකි බවය. නමුත් අවාසනාවට කරුණ වන්නේ තවමත් ‛අදිසි පවුරු’ වලින් තමන්ව වටකරගෙන සිටින සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එම යථාර්ථය පිළිගැනීමට අකමැති වීමයි. සිවිල් සමාජය සිය ව්‍යාපෘතින් තමන්ගේ අනන්‍යතාවය රැකෙන පරිදි සිදුකර ගත යුතු බවට තර්කයක් නැති වුවත් ජාතිවාදයට එරෙහි මෙවැනි පුළුල් සටන් තම ව්‍යාපෘති සීමාවෙන් ජයගත නොහැකි බව තේරුම් ගත යුතුය. රාජ්‍ය අනුග්‍රහය ලබන දැවැන්ත ජාතිවාදී බලවේගයක් පරාජය කිරීමට සුපිරිසිදු සිවිල් සමාජ ව්‍යාපෘතියකට කළ නොහැක. එවැනි හුදෙකලා වැඩ මගින් සිදුවනුයේ ජාතිවාදයට එරෙහි සටන දියාරු කිරීම පමණි. එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් සිරිකොත මූලස්ථාන පරිශ්‍රයෙහි මානව හිමිකම් උලෙළක් පැවැත්වීමට අවකාශ ලබාදී, එයට ආරක්ෂාවද ලබාදී අවසානයේ ආණ්ඩුවේ මූලිකත්වයෙන් එයට එල්ල කරන ලද බාධා කිරීම හේතුවෙන් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවය වර්ජනය කිරීමට පවා තීරණය කරන ලද විට ඒ පිළිබඳව මුවින් නොබැණ තුෂ්ණිම්භූත වූ විකල්ප මාධ්‍යවේදීන් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ රවි කරුණනායක සහ ජාතික සංවිධායක දයා ගමගේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් සමාව ගැනීම පිළිබඳව උඩ පැන පැන ලියන්නේ එම අකමැත්ත නිසාය.

හඩ්සන් රස්තියාදු භාෂාව පාවිච්චි කරමින් වෛරය පතුරුවන විට, ඥානසාර හිමි බත්බැලයන් සහ පාහරයන් ලෙස සිවිල් සමාජ ක්‍රියාධරයන්ට මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ අපහාස කර කැලෑ හමුදාව මගින් සිවිල් සමාජය අවසන් කළ යුතු බව පවසන විට, ගුවන් විදුලි සංස්ථාවේ රාජ්‍ය ජාතිවාදීන් හූ කියන විට එය පරාජය කිරීමට නම් ඊටත් වඩා හඬින් හූ කිව හැකි අවශ්‍ය නම් කුණුහරුපද කිව හැකි ‛රස්තියාදුකාර’ සිවිල් බලවේගයක් අද අවශ්‍ය වී ඇත. එසේ නොමැතිව හැමදේටම සොරි කියන, තාප්ප සහ බිත්ති සමඟ පවා සිනාසෙන ඉතා වැදගත් මධ්‍යම පාන්තික නෝනාවරුන් සහ මහත්වරුන් ලෙස කටයුතු කරමින් රාජ්‍ය අනුග්‍රහය මත ක්‍රියාත්මක වන ජාතිවාදී බලවේගය පරාජය කළ නොහැකිය. විපක්ෂ දේශපාලනයත් සමඟ සිටින සාමාන්‍ය මිනිසුන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් තරම් වැදගත් අය නොවිය හැකි වුවත් ජාතිවාදීන් හමුවේ කිච නොවන බව පෙන්වා දී ඇත. එදා සිරිකොත ඇතුළේ සිටි සාමාන්‍ය දෙමළ මිනිසුන්ව ආරක්ෂා කරගත්තේ මෙම සාමාන්‍ය සිංහල මිනිසුන්ය. එමනිසා ජාතිවාදයට විරුද්ධ ප්‍රගතිශීලී බලවේග අතර ප්‍රතිපත්ති මත පදනම් වූ පුළුල්ම සමගියක් ගොඩ නැගීමෙන් තොරව හුදකලා අරගල හරහා ඉදිරියට යාමට අවකාශ නොපවතින බව ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිටදී අසාර්ථක වූ උද්ඝෝෂණය විසින් පෙන්වා දෙන පාඩම මොළයට ලාභයක් කර ගත යුතුය.

“a fall into the pit, a gain in your wit”.
– Mao Zedong

2

Recent Posts

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

One Comment to “වළක වැටීම මොළයට ලාභයකි – ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට පසුවදනක්”


  1. සිරිකොතදි වුන වැඩෙන් සිවිල් සංවිධාන උඩ ගිහින් එක්සත් ජාතික පක්ෂය සිය මූනේ දැලි ගාගත්තා..එන් ජී ඕ කාරයින් සිරිකොතට වැද්ද ගත්තා කියන කතාව තව අවුරුදු දහයක් විතර රාජ්‍ය මාධ්‍ය විසින් පට්ට ගහවි. එතනදි රනිල් වික්‍රමසිංහට ලංකාවෙ පොදු මිනිසාගේ මනෝභාවය වටහාගන් බැරිවුනා.
    කවුරු මොන විදියට කිව්වත් අන්තර්ජාලය පරිහරණය නොකරන අය දකින්නෙ රනිල් සිරිකොතේ එන්ජී ඕ නඩේකට නටන්න දීල ඒක බලන්න ආපු සාදුලාටත් ගහන්න අවස්ථාව දුන්න ාකියලා..
    මිනිස්සු එකතුකරගන්න විදිය ගැන හොදින්ම ඉගනගන්න පුලුවන් මැන්ඩෙලාගෙන්.. මැන්ඩෙලා කියන්නෙ හොදම ජාතියෙ කපටියෙක්. මැන්ඩෙලා එක වතාවක දැඩි ජාතිවාදින් සමග සමුලු තියෙනවා ඒ වගේමට ඊට පැයකට විතර පස්සෙ ගිහින් ක්ලාක් එක්ක සාකච්චා කරනවා..

    ඒ වගේ දැඩි ලෙස සමාජය හා බද්ධ වුනු සිස්ටම් එක උඩ නැගපු සෙට් එකක් වෙන්න ඕනි සිස්ටම් එකට විරුද්ධව සටන් කරන්න. එහෙම නැතුව සිස්ටම් එකට පිටින් දාන පැලැස්තර හුදෙක් පැලැස්තර විතරයි.

Leave a Comment