අපිත් කිරට හඬනා දරුවොයි අම්මේ

Dec 13th, 2013 | By | Category: LEAD NEWS, ඇන්ටිගනී, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

HIV ආසාදිතයන් සහ ඒඩ්ස් සමඟ ජීවත් වන්නන් දෙස මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන් බලමු

2013 දෙසැම්බර් මස 01 වනදා ලෝකය පුරා ලෝක ඒඩ්ස් දිනය සමරනු ලැබුවේ “ඒඩ්ස් රෝගීන්ට වෙනස්කොට සලකනු ලැබීම ශූන්‍ය කිරීම, නව HIV ආසාදනයන් ශූන්‍ය කිරීම හා ඒඩ්ස් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීම” (Getting to Zero) තේමාව කර ගනිමිනි. එය 2011 සිට 2015 දක්වා ලෝක ඒඩ්ස් දිනයෙහි පොදු තේමාවයි. මෙම දිනය ඒඩ්ස් රෝගය පිළිබඳ දැනුවත් කිරීම නැංවීම සඳහා කැපකර ඇත.

Human Immunodefciency Virus නොහොත් HIV වෛරසය සිංහල භාෂාවෙන් මානව ප්‍රතිශක්තීකරණ ඌනතා වෛරසය යන නමින් හඳුන්වනු ලබන අතර මෙම HIV වෛරස අනෙකුත් වෛරස සතු සාධනීය ලක්ෂණවලින් වෙනස් නොවේ. HIVආසාදිත පුද්ගලයෙකු HIV Positive කෙනෙකු ලෙස හඳුන්වනු ලබයි.

‛‛ශ්‍රී ලංකාව තුළ HIV වෛරසය සහ ඒඩ්ස් රෝගය නමැති සන්දර්භය තුළ ජීවත්වන ප්‍රධාන ජන කණ්ඩායම් මොනවාද? එම ජන කණ්ඩායම් පිළිබඳව ශ්‍රී ලාංකික සමාජය තුළ වර්තමානයේ පවතින මතවාදය කුමනාකාරද?’’ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව 2013 නොවැම්බර් 07 වනදා ලංකාවේ සිවිල් සමාජ සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලැබූ පවත්වනු ලැබූ විකල්ප මහජන සමුළුව අමතා අදහස් දැක්වූ හෑන්ස් බිලිමෝරියා විසින් ඒ පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

අනතුරාසන්න ජන කණ්ඩායම්

HIV වෛරසය සමඟ ජීවත්වන සහ ඉදිරියේදී HIV වෛරසය ශරීරගතවීමට වැඩි නැඹුරුතාවයක් සහිත ප්‍රධාන ජන කණ්ඩායම් වශයෙන් ඔහු විසින් හඳුන්වා දෙන්නේ

1. සමලිංගික සහ ද්වි ලිංගික පුරුෂයින්
( Gay and Bisexual men)
2’මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්
(People who use drugs)
3ගලිංගික ශ්‍රමිකයන් ( Sex Workers)
4ගසංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් (Transgender)
5ගවෙරළාශ්‍රිතව ලිංගික සේවයේ යෙදෙන්නා වූ පිරිමි ළමුන් (Beach Boys)

යන පුද්ගල කණ්ඩායම් කිහිපයයි. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව 2012 වර්ෂය අග වන විට HIV සම්ප්‍රේෂණය වීම විෂම ලිංගිකයන් අතර ඉහළ සම්භාවිතාවක් ගන්නා අතර එය 80%ක් ලෙසද, ද්විලිංගික සහ සමලිංගිකයන් අතර HIV සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව 14.5%ක් ලෙසද, ඖෂධ ශරීරගත කිරීමෙන් HIV සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව 0.41% ආදි වශයෙන්ද දක්වා ඇත. මෙම දත්තවලින්ද තහවුරු වන්නේ සමලිංගික සහ ද්විලිංගික ජන කණ්ඩායම් ඒඩ්ස් රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි.

ඔබ නැතිව ඔබ එක්ක

2009 වර්ෂයේදී ඒඩ්ස්, ටියුබකියුලෝසිස් සහ මැලේරියා මර්දනය සඳහා වූ ගෝලීය අරමුදල විසින් ඇමරිකානු ඩොලර් මිලියන 12ක් ලංකාවට ලබා දෙන්නේ රජය, රාජ්‍ය නොවන සංවිධාන එකට එක්ව HIVවෛරසයට එරෙහිව මෙම ප්‍රධාන ජන කණ්ඩායම් සමඟ කටයුතු කිරීමේ මූලික අරමුණ පෙරදැරි කරගනිමින් බව හෑන්ස් බිලිමෝරියා පවසයි. නමුත් 2009 සිට අද වන තුරුම සිදු වූයේත් ඉදිරියට සිදුවෙමින් පවතින්නේත් HIV සම්බන්ධයෙන් කතා කිරීමේදී මෙන්ම ක්‍රියා කිරීමේදී සමාජය තුළ ආන්තීකරණයට ලක්වූ මෙම ජන කණ්ඩායම් අමතක කර දමා ඇති තත්ත්වයකි.

ජාතික ප්‍රතිපත්තියට සංස්කෘතිය හතුරුවීම

ශ්‍රී ලංකාවේ HIV සහ ඒඩ්ස් සම්බන්ධයෙන් පවතින ජාතික ප්‍රතිපත්තියේ HIV අසාදිත පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබඳව සාකච්ඡා කරයි. එහිදී HIV අසාදිත පුද්ගලයන්ගේ ජීවත් වීමේ අයිතිය, වැඩ බිමේදී ඔවුන්ට තිබෙන්නා වූ අයිතීන්, ඔවුන්ගේ නිදහසට සහ ආරක්ෂාවට ඇති අයිතිය, රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට ප්‍රවේශවීමේ අයිතිය, බලහත්කාරයෙන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට බාධා කිරීම්වලට ලක් නොවී සිටීමේ නිදහස ආදි විවිධාකාර මානව අයිතීන් පිළිබඳව සඳහන් වේ. ප්‍රතිපත්තිය එසේ පැවතියත් HIV රෝගයට පහසුවෙන් ගොදුරු වීමේ ප්‍රවණතාවයක් සහිත ඉහත දක්වන ලද සමාජයේ වෙසෙන්නා වූ විශේෂිත වූ ජන කණ්ඩායම්වල මානව හිමිකම් පිළිබඳව විවෘතව කතා කිරීමට යාමේදී ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පෙරට දමා එවැනි ජන කණ්ඩායම්වල අයිතීන් හෙළා දකින්නා වූ තත්ත්වයක ජාතික ප්‍රතිපත්තියේ මූලික අරමුණ වන්නා වූ HIV සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව අවම කිරීම, HIV සමඟ ජීවත්වන පුද්ගලයින්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම ආදිය ඒ අයුරින්ම ඉටු කර ගැනීමට හැකි වේදැයි සැකයක් මතු වේ.

ශෘංගාර සේවාව

ශ්‍රී ලංකාව තුළ ලිංගික සේවාව (Sex Work) නීතිගත කර නොමැත. නමුත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව ශ්‍රී ලංකාව තුළ ලිංගික සේවයේ යෙදෙන කාන්තාවන් 35000 සිට 47000ක ප්‍රමාණයක් ඇතැයි තක්සේරු කර ඇත. එසේම විදේශීය ලිංගික ශ්‍රමිකයන්ද විශාල ප්‍රමාණයක් ලංකාව තුළ තම සේවාවේ නිරත වෙමින් සිටිති. එසේනම් ඔවුන් සියලුදෙනා ලිංගික සේවාවේ යෙදෙන්නේ කිසිදු නියාමනයකට යටත්වීමකින් තොරවය. අනෙක් අතට මෙම සේවාව හා සම්බන්ධ වන්නා වූ අනෙක් පාර්ශ්වයන් වශයෙන් ත්‍රී රෝද රථ රියදුරන්, අතරමැදියන්, විවිධ මුදල් ප්‍රමාණයන්ට ලිංගික සේවාව ලබා ගන්නට පැමිණෙන්නා වූ පුද්ගලයන්, ඔවුන්ට සෙවණ සපයන්නා වූ කුඩා හෝටල් කාමරයේ සිට තරු පහේ හෝටල් සේවකයන්, අයිතිකාරයන්, ලිංගික ශ්‍රමිකයන් සපයනු ලබන්නා වූ නිවාස, එම නිවාස පාලනය කරන්නන් මෙන්ම එම සේවාව සමඟ වක්‍රව සම්බන්ධ වන්නා වූ පොලිස් නිලධාරීන් සහ දේශපාලකයන් යන මේ සියලුදෙනා අතරම ප්‍රසිද්ධ මෙම ලිංගික සේවාව ශ්‍රී ලංකාවේ නීති විරෝධී ලෙස පවත්වාගෙන යන ව්‍යාපාරයක් වශයෙන් ප්‍රසිද්ධ කර ඇත. මේ හේතුවෙන් මෙම ලිංගික සේවාව සපයන්නා වූ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම HIV රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති නමුදු මෙම සේවයේ යෙදෙන පුද්ගලයින් සමාජය තුළ කොන් වීමකට ලක්ව ඇති බැවින් සහ නීතියට ඇති බිය හේතු කොටගෙන HIV සහ අනෙකුත් සමාජ රෝගයන්ට අදාළ වෛද්‍ය පරීක්ෂණවලට හෝ වෛද්‍ය සායනවලට ප්‍රවේශවීමට ඔවුන්ට ඇති හැකියාව අවම මට්ටමක පවතී.

බොහෝවිට ලිංගික සේවාවේ නිරතව සිටින්නේ කාන්තාවන්ය. තරගකාරී ආර්ථික සමාජයීය වටපිටාවක් තුළ කෙටි කාලයක් තුළ වැඩි මුදලක් ඉපයීම සඳහාත් මෙම සේවාවට සමාජය තුළ ඉල්ලුමක් ඇති බැවිනුත් මෙම සේවාව සඳහා කාන්තාවන් සහ ගම්වලින් නගරවලට විවිධාකාර වූ අඩු ආදායම් මට්ටමක් සහිත රැකියාවන්ට පැමිණෙන තරුණියන් යොමු වන බව සැබෑ කරුණකි. මෙවැනි සේවාවන් සැපයීමට යාමේදී මෙම කාන්තාවන්ට ලිංගික සූරා කෑම්වලටද, මෙම සේවාව හා සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන්ගේ අඩන්තේට්ටම්වලටද ලක්වන්නට සිදුවේ. එසේම මෙම කාන්තාවන් ගණිකාවන් වශයෙන් හඳුන්වමින් ඔවුන්ව සමාජයේ කොන් කිරීමකටද නිරතුරුවම ලක්වෙමින් පවතී. ඔවුන් ලිංගික සේවාව සමඟ සම්බන්ධ වීමට බලපානු ලබන්නා වූ හේතු සහ ඔවුන් නිරත වන එම රැකියාවේ ස්වභාවය නොසලකා පොදුවේ ඔවුන් සියලුදෙනාටම මනුෂ්‍යයින් වශයෙන් සමාජය තුළ ගෞරවයෙන් ජීවත්වීමට හැකියාවක් තිබිය යුතු අතර ඔවුන්ගේ රැකියාව තුළ ඔවුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් වලට අවස්ථාවක් තිබිය යුතුය. (2013 මැයි 26 වන දින සමබිම ‛ඇන්ටිගනී’ අතිරේකය හරහා මනෝරි කලුගම්පිටිය විසින් රචනා කරන ලද ‛ශෘංගාර සේවාව ප්‍රතිරාව නංවා’ නැමති ලිපිය තුළ සාකච්ඡාවට බඳුන් කරන ලද්දේද ලිංගික ශ්‍රමික කාන්තාවන්ට ඔවුන්ගේ රැකියාව තුළ තම අයිතිවාසිකම් ලබා ගැනීමට අවකාශය ලබා දිය යුත්තේ ඇයිද යන්නයි.)

ලිංගික අධ්‍යාපනයට බියවීම

ලංකාව වැනි රටක HIV, ඒඩ්ස් සහ වෙනත් සමාජ රෝග පිළිබඳව මිනිසුන් තුළ ඇති දැනුම අඩු මට්ටමක පවතින්නේ පාසල් අධ්‍යාපනයේ සිට සමාජය තුළ නිසි ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් නොමැති බැවිනි. පෙරදිග සංස්කෘතිය, ආගම, සදාචාරය වැනි දේ ප්‍රමුඛ කොට ගනිමින් විද්‍යාත්මක කාරණා පසෙකට දමා ඇති තත්ත්වයක් තුළ ලිංගික අධ්‍යාපනය ලබා ගැනීමට ක්‍රමවත් මාර්ගයන්, ඒ සඳහා පිහිටවනු ලැබූ විවිධ ආයතන, උපදේශන මධ්‍යස්ථාන අප සමාජය තුළ තිබුණත් එමඟින් සේවාව ලබා ගැනීමට මැලිකමක් දක්වන්නේ සමාජයීය වටපිටාව හේතුවෙනි. ලංකාව වැනි සමාජයක් තුළ පුරුෂ පාර්ශ්වය කාන්තා පාර්ශ්වයට වඩා ලිංගික අධ්‍යාපනය සහ කරුණු පිළිබඳව උනන්දුවක් දක්වන අතර ඔවුන් ලිංගික කාරණාවලදී කාන්තාවට වඩා ඉදිරියෙන් සිටිති.

ලංකාව තුළ ලිංගික සේවාව ලබා ගැනීමට බොහෝ විට යොමුවන්නේ පිරිමින් ය. ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසා ඇති පරිදි ලංකාවේ දිනකට පිරිමි පුද්ගලයන් 160000ක් පමණ ප්‍රමාණයක් ලිංගික ශ්‍රමික කාන්තාවන් සමඟ සම්බන්ධතාවන් පවත්වනු ලබන අතර මෙවැනි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන පුද්ගලයන් HIV අසාදනයට ලක්වීමේ ඉහළ ප්‍රවණතාවක් ඇත. එමෙන්ම ඔහු පවසන පරිදි ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

භාර්යාවෝ

ලංකාව වැනි රටක ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමට යාමේදී පිරිමින්ට වඩා ගැහැනිය පසුගාමී තත්ත්වයක පසු වන්නේ සමාජය තුළ පවතින්නා වූ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් බාධාවන් නිසා බව පෙනෙන්නට තිබේ. ප්‍රජනක මාර්ගයේ කායිකමය වශයෙන් පවතින වෙනස්කම් හේතුකොට ගෙන පිරිමියාට වඩා කාන්තාවන්ට HIV සහ වෙනත් සමාජ රෝග ආසාදනය වීමේ වැඩි හැකියාවක් ඇත. නමුත් බොහෝ කාන්තාවන් රැකියාවක් නොකර නිවසේ වගකීම් සමඟ රැඳී සිටීම, ගමනා ගමනයේ යෙදීමට ඇති නොහැකියාව, රැකියාවක නිරත නොවන කාන්තාවක් නම් ඇයට ප්‍රතිකාර ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් තරම් මුදල් නොමැතිකම යන කාරණා මත ඇයට තම ශරීරය සම්බන්ධයෙන් තීරණ ගැනීමට සහ තමාට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වීම ආදියට ප්‍රවේශ වීමේ හැකියාවක් නොමැත. කරුණු මෙසේ වන කළ සමාජය තුළ කොන්වීමකට ලක් වූ HIV වෛරසය පිළිබඳ උනන්දු වීම කෙසේවත් සිදු කිරීමේ හැකියාවක් නොමැත්තේ එවැනි කාන්තාවන් බොහෝ විට තම ස්වාමිපුරුෂයා යටතේ යැපෙන බැවිනි. ඉහත දැක්වූ පරිදි දිනකට පිරිමි විශාල ප්‍රමාණයක් අනාරක්ෂිත ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ ඇසුර ලබන්නේ නම් එම පුද්ගලයා මෙන්ම ඔහු විවාහක නම් ඔහුගේ භාර්යාවද HIV ආසාදනයට ලක්වීමේ අවදානමකට ලක් වන බව කිව හැකිය. එමෙන්ම HIV ආසාදිත මවකගෙන් තමන් බිහි කරන දරුවාටද HIV ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතී. ඒ මොහොතේදී සමාජය තුළ පීඩාවට සහ කොන්වීමකට ලක් වන්නේ ඍජුවම කාන්තාව විය හැකිය.

මේ ආකාරයට කරුණු පැහැදිලි කිරීමේදී අපට වැටහෙන කාරණය ඉහත දැක්වූ කුමන ආකාරයකට හෝ HIV වෛරසයෙන් පීඩාවට පත්වන පුද්ගලයින්ගෙන් බහුතරයක් කාන්තාවන් වන බවයි. සමාජය තුළ ආර්ථික, සමාජයීය හෝ සංස්කෘතික වශයෙන් විවිධ කාරණා සාකච්ඡා කිරීමේදී ඒ සෑම අවස්ථාවකම පහසුවෙන් පීඩාවන්ට ගොදුරු වීමේ හැකියාවක් ඇති ස්ත්‍රිය HIV වෛරස පිළිබඳව සාකච්ඡා කිරීමේදීත් HIV ආසාදනයට පහසුවෙන් ගොදුරු විය හැකි පුද්ගලයා වන බව පෙනේ. එබැවින් ජාතික ප්‍රතිපත්ති සෑදීමේදී සංස්කෘතිය සදාචාරය මුල් කර නොගනිමින් සමාජයේ පවතින තත්ත්වය විවෘතව සාකච්ඡා කරන්නේ නම් සහ මෙවැනි රෝග තත්ත්වයන් වැළදීම අවම කිරීමට අවශ්‍ය විද්‍යාත්මක සහ සමාජයීය පියවරයන් ගන්නේ නම් පවතින සමාජමය තත්ත්වයට වඩා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් සංවේදී වූත් සෑම පුද්ගලයකුගේම මිනිස් අයිතිවාසිකම්වලට ගරු කරන්නා වූත් සමාජයක් ඇති කළ හැකි වනු ඇත.

රසිකා ප්‍රියානි ගමගේ

aids

Recent Posts

Tags: , , , , , , , , , , , , , , , , , , ,

Comments are closed.