යුද අපරාධ චෝදනා ඉදිරියේ අපේ වගකීම

Jan 1st, 2014 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS, පුවත්

ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා මානව අයිතිවාසිකම් නීතිය උල්ලංඝනය වන පරිදි ආයුධ සන්නද්ධ අරගලවලදී සිදුකර ඇති අමානුෂික ගණයේ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් හට පෞද්ගලිකවම සහ ප්‍රතිපුරුෂ වගකීම යටතේ එම අපරාධ සඳහා වගකීම පැවරීමට ඇති නීතිය ජාත්‍යන්තර යුද අපරාධ නීතිය ලෙස සලකයි. සිවිල් පුරවැසියන් වාසය කළ ස්‌ථානවලින් නෙරපීම, යුද සිරකරුවන් මැරීම, යටත් වූ විරුද්ධ පාර්ශ්වයේ අය ඝාතනය කිරීම සහ ඔවුන්ට අමානුෂික ලෙස සැලකීම, ආරෝග්‍යශාලා, සිරගෙවල්, ආගමික ස්‌ථාන යනාදියට පහරදීම, ෙච්තනාත්මකව ගම් දනව් නගර විනාශ කිරීම, ස්‌ත්‍රී දූෂණ සිදුකිරීම යනාදී සියල්ල එයට ඇතුළත් ය. ශිෂ්ඨ සම්පන්න සමාජයක්‌ තුළ සිදු නොවිය යුතු අපරාධ මොනවාද යන්න වරින්වර හඳුන්වා දී ඇති අතර එම නීති සියල්ල එක්‌ කොට 1899 සහ 1907 ‘හේග්’ සම්මුතිය මගින් ඒවා සියල්ල සංගෘහිත කරන ලදී. ඒ පිළිබඳ වඩාත් පුළුල් අර්ථ නිරූපණ නියුරම්බර්ග් යුද අපරාධ නඩුqවේදී සහ 1945 අගෝස්‌තු මස 08 වැනි දින ලන්ඩන් චාටර් (ලන්ඩන් අධිකාර පත්‍රය) මගින් තහවුරු කරන ලදී. දෙවැනි ලෝක යුද්ධය අවසන් වී වසර කිහිපයක්‌ ගත වෙත්ම යුද්ධයේදී සිදු වූ සාහසික අපරාධ පිළිබඳව වගකිවයුතු අය හට දඬුවම් දිය යුතු බවට විශාල ජනමතයක්‌ ලොව තුළ නිර්මාණය විය. විශේෂයෙන් ම ජර්මනියේ නාසිවාදීන් විසින් සිදු කරන ලද අපරාධ පිළිබඳ අවධානය යොමු විය. ඩොක්‌ටර් ජෝෂප් මැන්ගේල් හෙවත් ‘මරණයේ දෙවඟන’ වශයෙන් ප්‍රසිද්ධියට පත් වුණු හමුදා කඳවුර තුළ සිදු වූ බරපතළ අපරාධ කෙරෙහි ලොවෙහිම අවධානය යොමු විය. සමහර වෛද්‍යවරුන් සියලුම මානව හිමිකම් සහ වෛද්‍ය සදාචාර ධර්මයන් උල්ලංඝනය කරමින් මිනිසුන් යොදා ගනිමින් වෛද්‍ය පර්යේෂණ සිදුකර තිබුණි. වෛද්‍යවරුන්ගේ හිපොක්‍රටික්‌ දිවුරුම ප්‍රමාණවත් නොමැති බවත්, ඔවුන් වෙනුවෙන් දස පනතක්‌ පැනවිය යුතු බවත් යෝජනා කරන ලදී. එය 1946 දෙසැම්බර් මස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරන ලදී.

ජිනීවා සම්මුතිය ද යුද අපරාධ සම්බන්ධව තීරණාත්මක සාධකයකි. එය සම්මුති 04 කින් සහ අතිරේක ප්‍රොටෝකෝල් තුනකින් සමන්විත ය. එය ද දෙවැනි ලෝක යුද්ධය අවසානයේ වඩාත් අර්ථවත්ව නිර්වචනය කරන ලදී. නමුත් ඊට පෙර ද 1864, 1906 සහ 1929 (පළවැනි ලෝක යුද්ධය අවසාන වූ පසු) ද සම්මුතීන් ඇතිකර ගෙන තිබුණි. 1949 ජිනීවා සම්මුතියට දැනට රටවල් 194 ක්‌ අනුමැතිය ලබා දී ඇත.

මේ අතර ටෝකියෝ යුද අපරාධ නඩුව ද වැදගත් ය. දෙවැනි ලෝක යුද්ධය අවසාන භාගයේ ජපානයේ යුද සහ නාවික හමුදා ඇමරිකන් යුද සිරකරුවන්ගේ මිනී මස්‌වලින් සෑදූ ආහාර සහ සුප් වර්ග සකසා උත්සවාකාරයෙන් භුක්‌ති විඳි බවට කරුණු හෙළිවිය. නඩු විභාගය අවසානයේදී ස්‌ත්‍රී දූෂණ සම්බන්ධව විත්තිකරුවන් දෙදෙනකු ද මිට්‌සුයි නමැත්තා යුද අපරාධ චෝදනා 55 කට වරදකරු කරන ලදී. යුද සමයේ විදේශ ඇමැතිව සිටි හිරෝටා කොකී ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කරන ලදී.

එකී මිට්‌සුයි ජාත්‍යන්තර නීතියේ අර්ථ නිරූපිත යුද අපරාධ සිදුවීම වැළැක්‌වීම සඳහා පියවර නොගැනීම සම්බන්ධව ද වරදකරු කරන ලදී. තවත් 18 දෙනෙකු ද වරදකරුවන් කරන ලද අතර වරදකරුවන් වූ සියලු දෙනා එල්ලා මරණ ලදී. එකී මරණ දඬුවම් ක්‍රියාත්මක නොකරන ලෙසට ලක්‍ෂ 03 ක්‌ ජනතාව අත්සන් කළත් ඉන් පලක්‌ වූයේ නැත. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර එකී මිට්‌සුයි ප්‍රකාශ කර තිබුණේ එකී සිදුවීම් සම්බන්ධව තමා මහත් සේ ලැ-ජාවට සහ කම්පාවට පත්වන බවයි. 1951 සැප්තැම්බර් මස පැවැති සැන් ප්‍රැන්සිස්‌කෝ සාම සමුළුවේදී යුද අපරාධ අධිකරණයේ තීන්දුව ජපානය විසින් පිළිගැනීමට එකඟ විය.

ඉන් පසුව දිගින් දිගටම යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර නීතියට අනුව නඩු විභාග පවත්වා ඇත. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු දළ වශයෙන් එවැනි යුද අපරාධ 35 කට අධික ප්‍රමාණයක්‌ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ජාත්‍යන්තර යුද අපරාධ සිදුකළ ලැයිස්‌තුවට මේ වන විට ශ්‍රී ලංකාව ද එකතු කොට ඇත. පැරැණි යුගෝස්‌ලෝවියාවේ බොස්‌නියා ක්‍රොඒෂියා, කොසෝවෝ හි සිදු වූ යුද අපරාධ පිළිබඳව යුගොස්‌ලෝවියාවේ ජනාධිපතිවරයාව සිටි ස්‌ලොබොඩාන් මෙල්සොවික්‌ට එරෙහිව චෝදනා ඉදිරිපත් වූ අතර ඔහුට එරෙහිව දූෂණය, සොරකම්, බලය අයුතු ලෙස යොදා ගැනීම යනාදිය සම්බන්ධව ජනතාව ද නැගී සිටියහ. ඔහු ජාත්‍යන්තර අධිකරණය විසින් සිරභාරයට ගෙන නඩු විභාගය අවුරුදු 05 ක්‌ තිස්‌සේ පැවතියදී එය අවසන් වීමට පෙර 2006 මාර්තු 11 වැනි දින හේග් නුවර ඔහුගේ සිර මැදිරිය තුළ මිය ගියේය. ඔහුගේ මරණය සම්බන්ධව එකී විනිශ්චය අධිකාරියට එරෙහිව චෝදනා ඉදිරිපත් වුවත් ඔහු වෛද්‍යවරු නියම කරන ලද ඖෂධ නොගැනීම නිසා අධික රුධිර පීඩනයට ලක්‌ වී හදවත් රෝගයකින් මිය ගිය බවට ඔවුන් සහතිකයක්‌ ලෙද ලදී.

ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් වූ අතර ඒ සඳහා නඩු විභාගයක්‌ පැවැත්වීමේ කාර්යභාරය ජාත්‍යන්තරය විසින් එවකට පැවැති ඉරාකයේ අන්තර්කාලීන ආණ්‌ඩුව යොදවා ගන්නා ලදී. ජාත්‍යන්තරයේ ප්‍රබලයන් එය රට අභ්‍යන්තරයටම භාර දී ඔවුන්ට එරෙහිව නැගිය හැකි චෝදනා අවම කර ගත්තේය. ජාත්‍යන්තරයට එය පහසු ක්‍රියාවක්‌ වූයේ සදාම්ට එරෙහිව රට තුළ ද දැඩි විරෝධයක්‌ තිබුණු නිසාය. අවසානයේ 2006 දෙසැම්බර් 30 වැනි දින සදාම් හුසේන් සමඟ ඔහුගේ ඥාතියකු වූ බාසන් සහ බුද්ධි අංශ ප්‍රධානී හමීඩ් අල් බන්සාර් එල්ලා මරා දමන ලද අතර සදාම් කාලයේ සිටි උප ජනාධිපති යසීන් රාමදාන් හට ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම කරන ලදී.

වසර ගණනාවක්‌ දිගහැරුණු යුද්ධයක්‌ සුඩානයේ පැවතිණි. එයට මුල් වූයේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ කොලනියක්‌ව පැවතිය ද බ්‍රිතාන්‍ය පාලකයන් ජනතාව බෙදා වෙන් කර පාලනය කිරීමේ ප්‍රතිපත්තියයි. සුඩානය නිදහස ලැබූවත් එකී ජනවාර්ගික විරසකය දිගින් දිගටම පැවතුණි. එහි උතුරු කොටසේ ජනතාව බහුතරයක්‌ මුස්‌ලිම් ජාතිකයන් ද දකුණු කොටසේ බහුතරය කිතුනු ආගමිකයන් වූ අතර දීර්ඝ කාලයක්‌ පැවැති යුද්ධය නිමා වූයේ රට දෙකට කැඩීමෙනි. ඒ 2011 ජූලි මස 09 වැනි දින ය.

අප රටට එරෙහිව ඉදිරිපත් වී ඇති යුද අපරාධ චෝදනා ඉතා බරපතළ වේ. එක්‌සත් ජාතීන් ඉතා සූක්‍ෂම ලෙස දරුස්‌මාන් කමිටුව හරහා වාර්තාවක්‌ සකස්‌ කොට ගෙන මහ ලේකම් බෑන් කී මූන් ගේ අධිකාරිය යටතේ නිකුත් කිරීම තුළ එයට සුජාත භාවයක්‌ ලැබී ඇති බවට ජාත්‍යන්තරය තුළ පිළිගැනීමක්‌ පවතී. එයට සමගාමීව බ්‍රිතාන්‍ය චැනල් 4 මිනීමරු දේශය වශයෙන් නම් කොට චිත්‍රපට පවා නිර්මාණය කොට ඇත. ඒවා බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව වැනි රටවල පාර්ලිමේන්තු තුළ පවා ප්‍රදර්ශනය වී ඇත. එම නිසා කොයි අතින් ගත්තත් ජාත්‍යන්තරය තුළ අපට ඇති ප්‍රතිරූපය අපට අවාසි සහගතය.

රුසියාව සහ චීනය සිය වෙළෙඳ ගනුදෙනුවලින් 70% කටත් වඩා සිදු කරන්නේ ඇමෙරිකාව සහ යුරෝපීය ප්‍රජාව සමගය. එම නිසා රුසියාව සහ චීනය තව කොතෙක්‌ දුරට, කොපමණ කලක්‌ අප වෙනුවෙන් නිශේධ බලය පාවිච්චි කරයිද යන කාරණය ඉතාමත් අවිනිශ්චිතය. අප රට චීනය සමඟ වඩාත් ළංවත්ම චීනය විසින් මෙරට ඉඩම් අත්පත් කර ගනිද්දී සහ මහා පරිමාණ කොන්ත්‍රාත් ක්‍රියාත්මක කරද්දී ඉන්දියාව අප සමඟ විරසක වීම වැළැක්‌විය නොහැකිය. ලෝකයේ ඉදිරියට එන මහා බලවතුන් දෙදෙනා වන චීනය සහ ඉන්දියාව වෛරක්‌කාර රටවල් ය. 1963 හිමාලයේ දේශ සීමා පිළිබඳ ඇවිලෙන්නට ගිය යුද්ධය නිරාකරණය කිරීමට ඉදිරිපත් වූයේ එවකට අගමැති වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියයි. ඇයගේ යෝජනාවන් පිළිගැනීමට ඉන්දියාවේ ලාල් බහදුර් ශ්‍රාස්‌ති අගමැතිතුමා සහ චීනයේ මා ඕ සේතුං එකඟ විය. ලෝකය තුළ තුන්වැනි ලෝක යුද්ධයක්‌ ඇතිවීමට තිබූ ඉඩකඩ ඉන් අසුරාලනු ලැබීය. ඒ වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය සිරිමාවෝ මැතිනියට ලබා දෙන මෙන් මහා දාර්ශනික බර්ට්‍රම් රසල් විසින් යෝජනාවක්‌ ද කරන ලදී. කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකාව මානව අයිතීන් ආරක්‍ෂා නොකරන රටක්‌ බව පවසන ඇමෙරිකාවේ සහ යුරෝපයේ මතයට දැන් චීනය සහ ඉන්දියාව යන රටවල් දෙකම එකතු වී ඇත.

වර්තමානයේ අප මුහුණ දී ඇති මෙම බරපතළ ගැටලුවට මුහුණ දීම සඳහා ඉතා ශක්‌තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක අවශ්‍යතාව කවරදාටත් වඩා අද අපට දැනෙමින් පවතී. එහෙත් පසුගිය කාල වකවානුව තුළ දිගින් දිගටම රජයක්‌ වශයෙන් අප රටට රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රතාවන් ගොඩනැඟීම වෙනුවට සිදු කරනු ලැබුවේ ලොව සියලු ප්‍රබල රාජ්‍යය හා ආයතන සතුරන් බවට පත් කර ගැනීමය. විශේෂයෙන් යුද සමයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් පරාජය කිරීම සඳහා නොයෙකුත් උදව් උපකාර කළ ඇමෙරිකාවට තමන්ගේ වැඩක්‌ බලා හිඳින ලෙසට මෙරට නිලධාරීන් පවා අභියෝග කළහ. එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය ලේකම්වරුන් වශයෙන් ලංකාවට පැමිණි ජෝන් හෝම්ස්‌, විජය නම්බියාර්, නවනීදන් පිල්ලේ වැනි සියලුම නිලධාරීන්ට ආණ්‌ඩුවේ අමාත්‍යවරුන් සහ නිලධාරින් කොටි ලේබලය ඇලවූහ. ජෝන් හෝම්ස්‌ ඇමරිකානු රාජ්‍ය ලේකම්ව සිටි හිලරි ක්‌ලින්ටන්, මහා බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ටෝනි බ්ලේයාර් වැන්නවුන්ගේ ඡායාරූප යොදාගෙන ඔවුන් කොටින් වශයෙන් හඳුන්වා රට පුරා පත්‍රිකා ඇලවුහ. ඒ ක්‍රියාදාමය තුළ කොටින්ගේ හතුරන් වුවත් කොටින්ගේ මිතුරා බවට පත් කිරීමේ අමනෝඥ ක්‍රියාදාමය සිදුÊකළේ දේශප්‍රේමී ලේබලය අලවාගෙන ඇති අවස්‌ථාවාදී සහ දූෂිත නිලධාරින් ය. එම හේතුව නිසාම එක්‌සත් ජාතීන්ගේ සංගමය සහ ඇමෙරිකාව, යුරෝපය සහ ඉන්දියාව මෙරට පාලකයන්ට පාඩමක්‌ උගන්වන්නට අධිෂ්ඨාන කරගෙන තිබූ බව පැහැදිලි වන්නේ යුද්ධය අවසන් වී දින 2 ක්‌ ඇතුළත එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මූන් ශ්‍රී ලංකාවට පැමිණ කිළිනොච්චිය ප්‍රදේශය නිරීක්‍ෂණය කොට 2009 මැයි මස 23 වැනි දින ශ්‍රී ලංකාව සමඟ අවබෝධතා ගිවිසුමක්‌ ඇතිකර ගැනීම නිසා ය.

2003 වසරේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යුද අපරාධ පිළිබඳව අධිකරණ බලය ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ලබා දුන් අතර එයට අත්සන් තැබූ සාමාජික රටවලට එරෙහිව නැගෙන යුද අපරාධ විමර්ශනය කිරීමේ බලය ඊට නිල වශයෙන් ලැබුණි. එහෙත් එවකට ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ එම ගිවිසුමට අත්සන් කොට නොතිබූ නිසා වක්‍ර ආකාරයෙන් ශ්‍රී ලංකාව කොටුකර ගැනීමේ පළමුවැනි ප්‍රයත්නය එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් සාර්ථකව ඉටුකර ගත්තේය. එය ඒකාබද්ධ නිවේදනයක්‌ ලෙස නම් කොට තිබුණත් සත්‍ය ලෙසින් එය නිවේදනයක්‌ නොව ගිවිසුමකි. ඔහු එසේ කරන ලද්දේ සාමාජික නොවන රටක්‌ සම්බන්ධව එවැනි අපරාධ නඩුවක්‌ ආරම්භ කිරීමට හැකිවන්නේ එම රටේ කැමැත්ත ලබා ගැනීමෙන් පසුව පමණක්‌ වන නිසා ය. එම නිවේදනය නම් වූ ලේඛනය නීතිමය ගිවිසුමක්‌ වශයෙන් සැලකෙන බව එහි අන්තර්ගතයෙහි සඳහන් වුවත් ශ්‍රී ලංකා නියෝජිතයන්ට එය තේරී නොමැති බව ගිවිසුම දෙස බලන ඕනෑම අයෙකුට තේරුම් ගත හැකිය. එම ගිවිසුමට ලංකාව වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ එවකට විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම ය.

මේ වන විට ඇමරිකාව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පත් කළ යෝජනාව සම්මත වීම නිසා 2014 මාර්තු මස දක්‌වා අප රට පරිවාස තත්ත්වයේ තබා ඇත. එහි තිබෙන බරපතළකම ආණ්‌ඩුව තේරුම් ගෙන ඇත්දැයි යන්න තවමත් සැක සහිතයි. මෙම අවදානම් සහගත තත්ත්වය උග්‍ර වීමට හේතු වූයේ ශ්‍රී ලංකාවට විදේශ ප්‍රතිපත්තියක්‌ නොතිබීම සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය නොතේරීම යන කරුණු දෙක නිසා ය. කලක්‌ ආසියාවේ හොඳම විදේශ සේවය ශ්‍රී ලංකාවේ පැවතියේ වුවද මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන් විනාශ වී ගොස්‌ ඇත. ඊට හේතුව වූයේ විදේශ සේවය ඥාතීභාවයට සහ දේශපාලනීකරණයට ලක්‌වීම ය. ශ්‍රී ලංකාව විදේශ සේවය පවත්වා ගෙන යන්නේ රට වෙනුවෙන් විදේශීය සම්බන්ධතා තර කිරීමට නොව සිය පවුල්වල ඥාති මිත්‍රයන්ට, දේශපාලනයෙන් විසි වූ දේශපාලන නෂ්ටාවශේෂයන්ට සහ අධිකරණ සහ රජයේ සේවයේ දී පාලකයන්ට බැලමෙහෙවරකම් කළ නිලධාරීන්ට රැකියාවක්‌ සහ සැප සම්පත් ලබාදීමේ අරමුණ ඇතිවය.

කෙටියෙන් කිවහොත් ලෝකයේ කිසිදු රාජ්‍යයක්‌ සිදු නොකළ දෙයක්‌ ද ශ්‍රී ලංකාව සිදු කොට ඇත. එනම් වෙනත් රටවල පුරවැසිභාවය හෝ ස්‌ථිර පදිංචි වීසා ලබා ගෙන ඇති අය විදේශ සේවයේ ඉහළම තනතුරුවලට පත් කිරීමය. උදාහරණ ලෙස එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා මහා බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්‌ සහ උප කොමසාරිස්‌, ඇමරිකා එක්‌සත් ජනපදයේ, බ්‍රසීලයේ තානාපතිවරු යනාදීන් දැක්‌විය හැක. අනෙක්‌ අතට මෙරටට වැදගත් වන්නා වූ රටවල් 18 ක මහ කොමසාරිස්‌, තානාපතිවරුන් ලෙස කටයුතු කරන්නේ හමුදාවල විශ්‍රාමිකයන්ය. මෙම විෂය පිළිබඳව දැනීමක්‌ ඇතිකරගත හැකි කිහිපදෙනකු සිටිය හැකි වුවත්, බහුතරය අසාර්ථක වී ඇති බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ ඉපදුණු අයකු වුවත්, පුරවැසිභාවය ලබා වෙනත් රටක ජීවත්වන විට අප රට වෙනුවෙන් තානාපති/ මහ කොමසාරිස්‌ ලෙස පත් කිරීම තුළින් සිදුවන්නේ ශ්‍රී ලංකාව සහ වෙනත් රටක්‌ අතර ප්‍රතිවිරුද්ධ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්‌ ඇති වූ විට ඔවුන් නිරායාසයෙන් ම වැඩි ප්‍රවණතාවක්‌ වඔහු පුරවැසිභාවය දරන රටේ අයිතිවාසිකම් රැකීම වෙනුවෙන් කටයුතු කිරීමය. එසේ නොවුවහොත් ඔවුනට සහ ඔවුන්ගේ දරුමල්ලන්ට අත්වන ඉරණම ගැන ඔවුන්ට අවබෝධයක්‌ ඇත.

ශ්‍රී ලාංකේය දේශපාලනඥයන්ගේ අවස්‌ථාවාදී සහ අමනෝඥ ප්‍රතිපත්ති හේතුවෙන් අප රට ඉතා භයානක තත්ත්වයකට ඇදවැටී ඇත. විදේශිකයන්ට කුණුහරුපයෙන් දෙස්‌ දෙවොල් තබන මුග්ධ දේශපාලනඥයන් වීරයන් ලෙස සලකන ජන කොටසක්‌ මෙරට සිටින බව දන්නා නිසා අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීම පිණිස සහ තාවකාලික දේශපාලන බලය තහවුරු කර ගැනීම පිණිස ඔවුන් කරන්නේ ජාත්‍යන්තරයට මැදියත්වීමට ඉඩ සලසා මෙරට විනාශ කිරීමට බව දේශපාලනඥයන්ට නොතේරුනත් ජනතාවට නොතේරෙනනේ මන්දැයි යන ප්‍රහේලිකාව තවමත් විසඳී නැති ප්‍රශ්නයක්‌ බවට පත්ව ඇත. ඉහත සඳහන් පරිදි ජාත්‍යන්තර බලවතුන්ට මෙරට පාවා දුන් දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට ජනතාව විසින් කවදා දඬුවම් ලබා දේවිද යන ප්‍රශ්නය ද අනාගතයට බාර කොට ඇත.

* විජයදාස රාජපක්‍ෂ
ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී

උපුටා ගැනීම දිවයින වෙබ් අඩවියෙනි

www.divaina.com

er4

Recent Posts

Tags: , , , ,

Leave a Comment