මේක ඩිවලොප් නෙවෙයි දිවලොප් වුණ සමාජයක් – චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර

Jan 5th, 2014 | By | Category: LEAD NEWS, සංවාද

thenuwara

චිත්‍ර ශිල්පියෙක් ඇයි දේශපාලන වේදිකාවට එන්නේ?

මම විශ්වාස කරන විදිහට දේශපාලනයයි කලාවයි වෙන් කරන්න බෑ. මම අඳින දෙයත්, හිතන දෙයත්, කරන දෙයත් එක දෙයක්. ඒක නිසා තමයි සමහර විට දේශපාලනය කරනවා කියල අදහස් කරන්නේ. දේශපාලනයට එන්න තවත් හේතුවක් තියෙනවා. චිත්‍ර ඇඳීමෙන්ම හුදෙක් මිනිස්සුන්ට සුන්දර දේවල් සපයලා හිඳීමට වඩා කිසියම් ආකාරයකින් හිතන විදිහේ කලාවක් කරන්න, මිනිසුන්ට තමන්ට තමන්ව ප්‍රශ්න කරගන්න පුළුවන් විදියේ. මං කියන දේම පිළිගැනීමට විතරක් නෙමෙයි, ඒ ගැන සැකයක් උපදවන්න හැකියාවක් ලැබෙන විදිහට දෙයක් කරන්න, සමහරක් විට ඒකම තමයි දේශපාලනය. කලාව තුළත් ඒකත් දේශපාලනයක් හැටියට තමයි මම කරන්නේ. හුදෙක්ම සුන්දර චිත්‍ර හෝ අසුන්දර චිත්‍ර කියල බේදයක් නැතුව මට අරමුණ වන්නේ සමාජයේ කිසියම් මැදිහත්වීමකට පුරවැසියා නැත්නම් සමාජීය සත්ත්වයාව යොමු කිරීම. සමහර විට අවාසනාවකට සමාජීය සත්ත්වයා රසිකයෙක් වෙනවා වෙනුවට දේශපාලන පාලක බලයට යටත්ව ජීවත් වන යටත්වැසියෙක් බවට පත්වෙලා තියෙනවා. ඔහුට ශක්තියක් තියෙන කෙනෙක්ය කියලා කියන්න පුළුවන් නම් ඒක පහදලා දෙන්න පුළුවන්නම් ඒක තමයි මගේ දේශපාලනය.

ජනප්‍රිය මතයක් තියෙනවා දේශපාලනය කරන්නේ නරක මිනිස්සු කියලා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
සමහර විට දේශපාලනය කරන්නෙත් නරක මිනිස්සු, දේශපාලනය නොකරන්නෙත් නරක මිනිස්සු. දේශපාලනය නොකරන නරක මිනිස්සු නිසා දේශපාලනය කරන නරක මිනිස්සු ඉතිරිවෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපට අවශ්‍ය වෙන්නේ කිසියම් ආකාරයක වෙනසක් කරන, පොදුවේ පිළිගත හැකි, මිනිසාට ගෞරව කරන, මිනිසාගේ ආත්මයට ගෞරව කරන, ඔහුගේ සංස්කෘතියට ගරු කරන, ඔහුගේ භාෂාවට ගරු කරන, ඔහුගේ හැසිරීම්වලට ගරු කරන, ඔහුගේ නිදහසට ගරු කරන, ඔහුගේ ඔබමොබ යෑමේ අයිතියට ගරු කරන එහෙම නැත්නම් තමන් කැමති කෙනෙක් ඇසුරු කිරීමේ අයිතියට ගරු කරන, අනෙකාව පීඩාවට පත් නොකරන මිනිසෙක්. එහෙම මිනිසෙක් අපට අවශ්‍ය වන්නේ මොකද? එහෙම මිනිස්සුන්ට කවදාවත් නරක දේවල් කරන්න අමාරුයි. ඒ නිසා නරක අය දේශපාලනය කරනවට වඩා, දේශපාලනය කියල කරන දෙය දේශපාලනමය නෙමෙයි, ඔය නරකයි කියල කරන අය කරන්නේ බලය පාවිච්චි කරමින් බලය අනිසි ලෙස භාවිතා කරමින් තමාගේ අඩුවක් සපුරා ගැනීම. එකක් ඔවුන් බලය සුන් මිනිසුන්, එය නැති නිසා දේශපාලනය බලයක් කරගන්නවා. ඔවුන්ට ආත්මයක් නැති නිසා දේශපාලනය හරහා ආත්මයක් සකස් කරගන්නවා. ඔවුන්ට කිසිම දෙයක් නෑ. ඔවුන් හිස් ආවරණයක් විතරයි. ඒක නිසයි ඔවුන් මිනිසුන් පීඩාවට පත් කරන්නේ. ඒ හේතුව නිසා තමයි බොහෝ අයට හිතෙනවා ඇත්තේ දේශපාලනය කරන්නේ නරක මිනිස්සු කියල. හොඳ හා නරක සාපේක්ෂයි, ඒ නිසා මම හොඳයි කියලා කියන්නේ අනෙකාට ගරු කරන යහපත් සමාජයක සිටින මිනිසුන්ට විතරයි. ඒකට සාපේක්ෂව යමෙක් පීඩාවට පත් කරන කෙනෙක් ඉන්නවා නම් ඔවුන් හොඳ කෙනෙක් නෙමෙයි.

ඔබ ජ.වි.පෙ. වේදිකාවල අපට දැක ගන්න පුළුවන්. ඒ වගේම එන්.ජී.ඕ. එහෙමත් නැත්නම් සිවිල් සංවිධාන වේදිකාවල ඉන්නවා. ඒ භාවිතාවන් දෙක අතරේ පරස්පරයක් නැද්ද?
ඉස්සර තිබුණු, 2005 ට කලින් තිබුණු කිසියම් දේශපාලනික බලයන්, මතයන් කැමති අය පමණක් රැස් වුණු, ඒ සඳහා කැමති අය පමණක් ඒ පිටුපස යන ක්‍රමය අද වෙනකොට වෙනස් වෙලා තියෙනවා. මොකද මේ මොහොතේ පවතින පාලකයන් සියලුම දේශපාලන සිතියම වෙනස් කරල තියෙන්නේ, එකිනෙකා කොටවලා බිඳවලා තියෙන්නේ. ඒ නිසා අපි ඉස්සර චිත්‍රයෙන් බලන යූ.එන්.පි.ය හෝ ජ.වි.පෙ. හෝ දැන් එහෙම එකක් නැහැ. දැන් මතයක් අවශ්‍යයි. ඒ මතය තමයි යහපත් තැනකට මේ රජය තල්ලු කිරීම හෝ රජය තල්ලු කරල යහපත් තැනක් ගෙන ඒම. ඒ ක්‍රියාදාමයේදී කවුද? ඒ වෙනුවෙන් සටන් කරන්නේ. ඒ අයත් මහා සටන් කරන අයට සමානයි. එය ජ.වි.පෙ. කරනවද යූ.එන්.පී.ය කරනවද නැත්නම් කොමියුනිස්ට් පක්ෂය කරනවද නැත්නම් සමබිම කරනවද වෙනත් සාමාන්‍ය මිනිහෙක් කරනවද කියන එක ප්‍රශ්නයක් නැහැ. එතන ඉඩක් තියෙනව, මගේ හඬ එතැනට අවශ්‍ය නම් මම එතැනට යනවා. ඒ නිසා අපට පුළුවන් වෙන්න ඕනෙ පැරණි ලෝගුවලින් මිදිලා – ඒ ලෝගුව පැළඳ ගන්නේ නෑ මම, මට ජේ.වී.පී. ලෝගුවත්, යූ.එන්.පී. ලෝගුවත්, සිවිල් සංවිධාන ලෝගුවත් අවශ්‍ය නෑ. මට අවශ්‍ය වෙන්නේ ඕනෑම තැනක ක්‍රියාකාරී වෙන්න පුළුවන් නම් මම ඒ තැන ඉන්නව. ක්‍රියාකාරී වෙන්න අවශ්‍ය වන්නේ අයහපත් යැයි මා විශ්වාස කරන රජයක් පවතින නිසා. එය වෙනස් කිරීමට කවුද සටන් කරන්නේ ඔවුන්ට මගේ සහයෝගය නිතරම තියෙනවා.

z2ඔබ විශ්වාස කරනවාද ලංකාවේ දේශපාලනයට බලපෑම් කරන්න පුළුවන් සිවිල් සමාජයක් තියෙනවා කියලා?
බලපෑම් කළ හැකි සිවිල් සමාජයක් තියෙනවා. ඒ නිසයි ආණ්ඩුව බය, මහා සෙනඟක් නෙමෙයි පොඩි වුණාට ඒක බලයක්. ඒ නිසා තමයි ලේබල් අලවන්නේ, පසුපස හඹායන්නේ, ඒ මිනිස්සුන්ට තර්ජනය කරන්නේ, සුදු වෑන් එවන්නේ, ටෙලිෆෝන් කෝල් දෙන්නේ, ඒ දුක සැප බලන්නේ ඒක නිසා. ඒ කියන්නේ මෙහි බලයක් තියෙනවා. තනි මිනිහෙක්ට වුණත් පුළුවන් බලයක් බවට පරිවර්තනය වෙන්න. හැමෝම සතුව බලයක් තියෙනවා. ඒ බලයේ ප්‍රමාණය වෙනස් කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. බලයේ ප්‍රමාණය වෙනස් කිරීමට එකම ක්‍රමය තමයි පුළුවන් තරම් ඒකරාශී වන එක. කුඩා බල සංඛ්‍යාවක් එකතුවෙලා ලොකු බලයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. නමුත් දුර්වලයෙක් බලෙන් බලය රඳවාගෙන ඉන්නවා නම් ඔහු අනිවාර්යයෙන්ම බියයි. ඒ නිසා තම මතය නිවැරදි නම් යම්කිසි සාධනීය දෙයක් නම් වර්ගයාගේ යහපතට නම් ඒ දේ සිද්ධ වෙන්නේ එතන බලය කෙහොමත් කේන්ද්‍රගත වෙනවා. ඒ නිසයි අද බුදුන්ට එරෙහිව බුද්ධාගම පවතින්නේ. ඒක හින්දා ඔවුන් ආයතන හදාගෙන බුදුහාමුදුරුවොත් ඉවත් කරලා අලුත් බුදු කෙනෙක් පත්කර ගන්න හදන්නේ. අපිට අදහස් මරා දමන්න බැහැ. හොඳ හෝ නරක හෝ ඒ අදහස අවශ්‍ය නම් එය පාලනය කරන්න අපි මැදිහත් වෙන්න් ඕනේ.

මේ වෙලාවේ කුමක් වෙනුවෙන්ද අපි දේශපාලනික වශයෙන් මූලිකත්වය අරගෙන වැඩ කළ යුත්තේ? ජාතිවාදයට විරුද්ධවද? ආර්ථිකය සම්බන්ධයෙන්ද? දේශපාලන ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන්ද?
ආරක්ෂාව සහ සංස්කෘතිය, ජාතිය, ආගම කියමින් යම් යම් දේවල් කරමින් සමාජය සුද්ද කරන්න හදනවා නම් ඒකට විරුද්ධ වෙන්න වෙනවා. ඒ දේවල්වල හරය මේ වෙද්දී විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා බලය අනිසි ලෙස භාවිතයට එරෙහිවන්න වෙනවා. පළමුවෙන්ම මිනිසා සතු බලය පරමාධිපත්‍ය යළිත් සියතට ගන්න ඕනේ. ඡන්ද දායකයෝ තමයි වැඩිපුර ඉන්නෙ. නිදිගත්ත ඡන්ද දායකයෝ හා හදිස්සියේ ඇහැරිච්ච ඡන්ද දායකයො. ඒ නිසා අවදිවෙනකොට තමා සතුව බලයක් තියෙනවා කියන එක දැන ගන්න පිරිසක් බවට ඔවුන්ව පත්කරන්න ඕනේ. ඒක අපි මෙච්චර ප්‍රතික්ෂේප කරන ව්‍යවස්ථාවෙනුත් දීලා තියෙනවා. එය භාවිතා නොකිරීම තමයි ප්‍රශ්නය තියෙන්නෙ. ඒ නිසා ව්‍යවස්ථාපිත සාධාරණ සමාජයක්, භාෂණයේ නිදහස තියෙනවා, සංචරණයේ නිදහස තියෙනවා. ඒ අදහස ඉස්සෙල්ලම වැදගත්. ඒක වෙනස් කළොත් අපිට අනික් හැමදේම වෙනස් කරන්න පුළුවන්. අපිට පරපීඩකයෙක් නොසිටින සමාජ ක්‍රමයක් ඇති කරගන්න අවශ්‍යයි. නීතියට ගරුකරන සමාජයක්. එවැනි සමාජයක් තුළ ජාතිවාදයට ඉඩක් තියෙන්න හේතුවක් නැහැ.

නීතිය තමයි හැම වෙලාවෙම ඉහළින් තියෙන්න ඕනෙ. නීතියට ගරු කරනවා නම්, එක් එක්කෙනාට ඇවිල්ලා නීතිය පාගා දමන්න බැහැ. නීතිය තුළ තියෙනවා අපේ සමානාත්මතාවය. ඒ ගැන ඕනෑ තරම් දේවල් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙන්නැති එකයි ප්‍රශ්නය. ඒක ක්‍රියාත්මක වෙන්න නම් නීතිගරුක සමාජයක් ස්ථාපිත කරන්න ඕනෙ. නීතිගරුකව ස්වාධීනව ක්‍රියා කළ හැකි පුද්ගලයන් සහිත සමාජයක් වෙන්න ඕනෙ. බල අධිකාරීත්වයන් තුළ පූර්ණ නිදහස තියෙන්න ඕනේ දේශපාලන මණ්ඩලයකට හෝ බලයකට, පුද්ගලයෙකුට යටත් නොවී අපිට අයිති බලය පාවිච්චි කරන්න. මැතිවරණ කොමිසන් සභාවට පුළුවන් වෙන්න ඕනෙ ස්වාධීන මැතිවරණ පවත්වන්න. අධිකරණයට පුළුවන් වෙන්න ඕනෙ ස්වාධීන තීන්දු තිරණ ගන්න. ඒ විදිහෙ සියලුම පරිපාලන ක්ෂේත්‍රයේ මාරුකරන මිනිසුන් ගැන තීරණ ගන්න කොට දේශපාලන හිතවත්කම් පොරොන්දු මත නෙමෙයි මිනිසාගේ සුදුසුකම් අනුව වෙනස්කිරීම් කරන පාරිපාලනයකුත් අවශ්‍යයි. ඒ නිසා එබඳු ක්‍රමයක් ස්ථාපිත කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නෙ.
ඒකෙ සුදුපාට තියෙන පක්ෂයක් හිටිය ද රතුපාට පක්ෂයක් හිටිය ද කියන එක නෙමෙයි ප්‍රශ්නය වෙන්නේ. ඒක ස්ථාපිත කරගන්නයි අවශ්‍යය. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය තමයි ප්‍රධානම කරුණ. ප්‍රජාතන්ත්‍රවාදය තුළ තමයි අනෙකාට මතයක් දැරීමට තිබෙන අයිතිය තියෙන්නෙ, සුළුතරයට හා බහුතරයට යන දෙකටම ඉඩ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විතරයි. එතකොට ජාතිවාදයට එන්න ඉඩක් නැහැ. මොකද ජාතිවාදය පැන නඟිනවා නම් ඒ සමාජය තුළ අනෙක් හඬට පුළුවන් නිදහස අවම කරගෙන ඉස්සරහට යන්න. ඒ නිසා ජාතිවාදය පිටුදකින්න බැහැ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොකර. නීතියේ පරමාධිපත්‍ය, නීතියේ බලය ස්ථාපිත නොකොට ජාතිවාදය පිටුදකින්න බැහැ. ජාතිවාදය අවුස්සන්නෙ නීතිය කණපිට පෙරළගෙන බලේ ඉන්න කට්ටිය. එහෙමනම් නීතිය නිසි තැන පවත්වන්න ඕනෙ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ස්ථාපිත කරන්න ඕනේ. එහෙම කළොත් බොහෝ දේවල් අපට විසඳගන්න පුළුවන්.

ඔබ දිගින් දිගටම යුද්ධයට විරුද්ධව නිර්මාණකරණයේ යෙදුණා. තවත් පිරිසක් යුදවාදී නිර්මාණ කරා. මේ ගැන ඔබේ අදහස මොකද්ද?
එදා යුද්ධයට පක්ෂපාති වෙච්ච කලාකාරයන්ටම තමයි අද යුද්ධ කරපු අය බේර ගන්න වෙලා තියෙන්නේ. ඒ අය හැමෝම අද අමාරුවේ වැටිලා ඉන්නේ. අඩුම ගානේ යුද සෙන්පතියෙක් වන ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන දේ ඇහුවානම් ‛යුද්ධය අවසාන විසඳුම නෙමෙයි’ කියලා. සරත් ෆොන්සේකා පවා වරෙක කියලා තියෙනවා යුද්ධයක කිසියම් ක්‍රියාදාමයක අවසානය පමණයි කියලා. ඉන් පස්සේ එය සම්පූර්ණයෙන්ම වෙනස් කරන එක දේශපාලන ක්‍රියාදාමයක්, පරිවර්තනයක්. ඒක මේ රටේ සිද්ධවෙන්නේ නැහැ. ඒ දේශපාලන ක්‍රියාදාමය සිද්ධකරන්න අපට නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ, අනෙකා පිළිබඳ ගෞරවයක් තියෙන්න ඕනේ, අනෙක් සංස්කෘතියට ගරු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ, ඉවසීමේ හැකියාව තියෙන්න ඕනේ මිථ්‍යාවෙන් ඉවත් වෙලා සාපේක්ෂ සත්‍යවත් දකින්න. එහෙම වුණාමයි අපට මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් හැමදාම ප්‍රශස්ති සමඟ බොරු කියමින් කට්ටියක් මහජන මුදල් අරගෙන ඒවායින් චිත්‍රපටි හදයි, වේදිකාවට නගියි, සින්දු කියයි, ඒවාට මහජනතාව තමයි ගෙවන්නේ. මහජනතාව එබඳු අයට බදු ගෙවීම නවත්තන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ, ඒ ක්‍රමය වෙනස් කරලා වගකීමක් සහිත වෙන්න ඕනේ.

හැම වෙලාවෙම යම් අයෙක් කලාකාරයෙක් විදිහට කිසියම් මොහොතක දේශපාලන බලවේගවලට උදව් කරන්න ඉඩකඩ තියෙනවා. නමුත් ඔහු යහපත් අයෙක් නම් බලය පිහිටුවාට පස්සේ ඒ ක්ෂණයෙන්ම ඔහු ජනතාවගේ පැත්තේ ඉන්න ඕනෙ. එසේ නොසිටින කෙනා කලාකරුවෙක් නෙමෙයි. මා පත්කරපු රජයකට වුණත් මට විරුද්ධ වෙන්න අයිතිය තියෙනවා. එතකොට තමයි අනෙක් අදහස් උපදින්නේ. වරදක් කරනකොට පෙන්වා දිය හැක්කේ, කලාකරුවා සංවේදීව පෙන්වා දෙනව කියන්නේ ඒක. ප්‍රශස්ති ගායනාවලින් ඕනෑම පවුලක් අවසානයක් දක්වා ගෙන යන්න පුළුවන්. ඉතා ඉක්මනින් ස්වකැමැත්තෙන් ඒ ස්ථානයට යනවා නම් අපට කරන්න දෙයක් නැහැ. ඒ නිසා එවැනි පාලකයන්ට වන්දිභට්ටයන් අවශ්‍යයි. ඔවුන් මතක තියාගන්න ඕනෙ මළමිනී හැටියට එම්බාම් කරලා බලය තියාගන්න හැදුවට ඒවටත් තියෙන්නේ සීමිත කාලයක් බව. පැරණි මිසරයෙන් වුණත් පාඩම් ඉගෙන ගන්න පුළුවන්.

z3මෑතකදී සිරිකොත එජාප මූලස්ථානයේදී සමගි බලවේගය විසින් පවත්වපු වැඩසටහනකදී ඔබගේ නිර්මාණයකුත් ප්‍රදර්ශනය වුණා. ඒ වගේ දෙයක් නිර්මාණය කරන්න පසුබිම් වුණේ කුමක්ද? ඔබ Barrelism කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවති සමයේ ඒ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට විරුද්ධව. නමුත් අද වනවිට ඔබ සිරිකොත පක්ෂ මූලස්ථානය ඇතුළේ ඔබගේ නිර්මාණ ප්‍රදර්ශනය කරනවා, මේ තත්ත්වය ඔබ කොහොමද පැහැදිලි කරන්නේ?
එක්සත් ජාතික පක්ෂයට වුණත් දැන් හිතන්න කාලය ඇවිත් තියෙනවා. පැරණි ක්‍රමවේදයන් දැන් හරියන්නෙ නෑ මේ සමාජයට. එක්සත් ජාතික පක්ෂයත් වගකියන්න ඕනේ අතුරුදහන්වීම්වලට. 88-89 කාලයේ දේවල් සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂය බලයෙ ඉන්න කාලෙ. ඒ ගැන ඔවුන් නැවත කතා කළ යුතු වෙනවා. ඒක ඔවුන්ට පවා ඇස් අරවා ගන්න සිද්ධ වෙනවා අපි ඒ නිර්මාණ ඒ තුළ කරනකොට.
ඒය නිර්මාණය කළේ යුද්ධය නිසා. 2009 යුද්ධය අවසන් වුණා කියලා කිව්වට, වෙඩි හඬ නොනැඟුණාට මිනිසුන්ගේ වේදනාව එසේම ඇසෙමින් පවතිනවා. තමන්ගෙ ප්‍රියතමයා අහිමි වූ මිනිසුන් තවම ඉන්නවා, අහිමි වූ බව දන්නවා නමුත් ඒ පිළිබඳ හෝඩුවාවක්වත් නැහැ. ඒ මිනිසුන්ගේ මිනියවත් ලැබුණොත් සහනයක් වෙනවා. එහෙම නැතිවුණොත් ඒ මළමිනිය සමාජයේ ඇවිදිනවා. ඒ නිසා තමයි අපිට ඔවුන්ව හොයාගන්න ඕනේ, අතුරුදහන්වීම් සිදු නොවෙන්න ඕනේ. ඒ වෙනුවෙන් කතා කරපු මළවුන්ගේ තාප්පය තමයි ඒ හැදුවේ. එය 2011 දී කරපු කෘතියක්, එය නැවත යළි යළිත් හදන්න වෙනවා. එය යම් තැනක ස්ථිරව තියෙනවා නම් අපිට අපි ගැනම හිතන්න පුළුවන්. එතැන අම්මලා, හාමුදුරුවරු, මිනිස්සු, ස්වාමිවරු, සොල්දාදුවො හැමෝම ඒ තුළ ඉන්නවා. ශ්‍රී ලාංකිකයෝ කියන හැමෝම ඉන්නවා, එතන ප්‍රේමදාසත් ඉන්නවා, නීලන් තිරුචෙල්වම් ඉන්නවා, විජය කුමාරතුංග ඉන්නවා, අරංතලාවේ හාමුදුරුවරු ඉන්නවා, ප්‍රභාකරන්ගේ මහාවිරුවනුත් ඉන්නවා, රණවිරුවොත් ඉන්නවා ඒ සියල්ලම ශ්‍රී ලාංකික පුරවැසියෝ. ඔවුන් තමයි මේ හිඩැස නිර්මාණය කරලා තියෙන්නෙ, එයට පිළිතුරක් සපයපු සමාජයම තමයි වඩාත් නිවැරදිව ඉස්සරහට ගමන් කරන්න පුළුවන්. බයෙන් නිදහස් වෙන්න ඕනෙ, ඒක ලොකු වගකීමක් මේ අතුරුදහන්වීම් නවත්වන එක බැරෑරුම් දෙයක්. ඒ නිසා එය කළ යුතුයි. එවිටයි සමාජයක් විදිහට ඉදිරියට යන්න පුළුවන්. ඒ මළවුන්ගේ තාප්පය කිසියම් තැනක ස්ථාපිත කරලා තියන්න පුළුවන් නම් ඒ පණිවුඩය මේ සමාජයට හැමදාම ඇසේවි.

යුද්ධයෙන් පස්සේ දකුණට ලැබුණු දේ සහ පොදුවේ සමාජය අත්පත් කරගෙන තිබෙන සන්දර්භය ඔබ දකින්නේ කොහොමද?
අපේ සමාජයට මම දැන් කියන්නෙ දිවලොප් වූ සමාජය ඉංග්‍රීසියෙන් කියන්නෙ ඩිවලොප් (Develop) කියලා. සිංහලෙන් කියන්න තියෙන්නෙ දිවලොප් වෙලා කියලා. මිනිස්සු කතා කරන්නෙ නැති තරමට ඇවිල්ලා. ඒක වුණේ ඇයි කියන එකයි ප්‍රශ්නය තියෙන්නේ. එතැනින් මිනිසා වෙනස් කරන්නෙ කොහොමද, දිව අවදි කරගන්නෙ කොහොමද, ඒ මොහොතේදී පුළුවන් අපට ඒ වෙනස කරගන්න. ඉතින් ඒ නිසා අපි හැමෝටම තියෙනවා බැරෑරුම් දෙයක් කලාකරුවන්ට විතරක් නෙමෙයි, කලාකරුවා වුණත් අවසානයේ මේ ජනකොටසේ එක් සාමාජිකයෙක් පමණයි. කලාකරුවා කියලා සුවිශේෂී දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ. හැමෝටම සමාන නම් හැමෝටම සමානව තියෙන්න ඕනෙ, කට්ටියකට විතරක් විශේෂයෙන් තියෙන්න බැහැ. අන්න එහෙම සමාජයකට තල්ලු කරන්න පුළුවන්නම් ඝාතනය පිටුදකින, බලහත්කාරකම් පිටුදකින, වාචික ත්‍රස්තවාදය පිටුදකින ලේබල් ඇලවීමෙන් තොර සමාජයකට යන්න පුළුවන් නම්, එතනට තල්ලුවෙන සමාජය තමයි අවශ්‍ය. එ තුළ විවිධ මත දරන අය සිටිය යුතුයි. ඒ නිසා යම්කිසි අදහසක් සමාජයේ ඉපදුණානම් එය යටපත් කරන්න අමාරුයි. මූලයන් තුළ අපේ නොදැමුණු ආශාවන් තියෙනවා, ප්‍රචණ්ඩත්වය, වෛරය, ක්‍රෝධය, කාමශක්ත බව. ඒක තමයි ශිෂ්ටාචාරය විසින් පාලනයට අරගෙන හික්මීමකට යන්නෙ. හික්මුණු සමාජය කියන්නෙ අවබෝධයෙන් ගමන් කරන සමාජය. එතනට තමයි යා යුත්තේ.

ඒකෙන් කියන්නේ නැහැ කලාකරුවා දුක හිතෙන, කඳුළු සලන, වේදනාව දනවන කෘති පමණක් නිර්මාණය කළ යුතුයි කියලා. අනෙක් කෘතීන් පවතින්න පුළුවන් නමුත් හුදෙක්ම මෙවැනි ව්‍යසනයන් සිද්ධ වෙද්දි සතුටින් ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. මිනිසුන් සටන් කළ හැටි ඉගෙනගන්න පුළුවන් අපේ වන්දිභට්ට කලාකාරයන්ට, ජෝන් ලෙනන්ගෙන් ඉගෙන ගන්න පුළුවන්, වික්ට හාරයා වාමාංශික නම් එයාගෙන් ඉගෙන ගන්න බැරිනම්, සමාජවාදී අදහස් දැරූ ධනවාදී සමාජයක ජීවත් වෙච්ච පුද්ගලයෙකු වන ජෝන් ලෙනන්ගෙන් ගන්න පුළුවන්, එහෙමත් නැත්නම් බොබ් මාලේගෙන් ඉගෙන ගන්න පුළුවන්, කොහොමද මේ කතා කරන්නෙ කියලා මිනිසුන් අවදි කිරීමට, එහෙම නැත්නම් බර්ටෝල් බ්‍රෙස්ට්ගෙන් ඔහු බර වැඩි නම්, ඊට වඩා සැහැල්ලු කලාකරුවෝ ඉන්නවා, ඒක ගිටාරයෙන් සටන් කරන ජේන් බයස් වගේ ගායිකාවෝ එහෙම අය තමයි අපිට අඩු, කෝ සත්‍යයේ ගීතය, කෝ පවන, දැන් ප්‍රශ්නයක් ඒකයි. ඒ නිසයි දිව ලොප් වූ සමාජයට දිවක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ නිසා සංගීතකරුවො, සංගීතය, නළු නිළියන්ට විශේෂ භූමිකාවක් තියෙනවා, ඒක ආකර්ෂණීය භූමිකාවක්. ඔවුන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ අය බොහොම පරිස්සමෙන් හැසිරෙන්න ඕනෙ. ඒ අයට වැඩි වගකීමක් තියෙනවා, මොකද චිත්‍ර ශිල්පය කියන දේ නැවත පරීක්ෂා කරන්න පුළුවන් මොහොතක් තියෙනවා. ඒ නිසා හඬ පිටවුණාට පස්සෙ ඒ කියපු හඬ නිවැරදිද බලන්න ඕනේ. වගකීමෙන් යුතුව අපි දේශපාලකයන්ගෙන් වගවීම සහ වගකීම ඉල්ලා සිටිනවා නම්, කලාකරුවාගෙන් නොඅසා සිටින්න බෑ ඒ වගවීම සහ වගකීම. නිදහස් කලාකරුවා වන්නේ සැබෑ වගකීමෙන් හා වගවීමෙන් වැඩකරන පුද්ගලයාට පමණයි. ඒ නිසා තමයි එබඳු කලාකරුවන් කිසි දිනෙක මියයන්නෙ නැත්තේ. ඒ නිසයි බ්‍රෙස්ට් තවමත් ජීවතුන් අතර ඉන්නෙ, ඒ නිසා තමයි ජෝන් ලෙනන් ඉන්නේ, ඒ නිසා තමයි බොබ් මාලේ ගැන තවමත් කතා කරන්නෙ, ඇඟිලි කපා දැමුවත්, සම්පූර්ණ ජීවිතය නැතිවුණත් වික්ට හාරාගේ හඬ තවමත් මිනිසුන්ට ජීවය දෙන්නෙ. එවැනි ලේඛකයෝ ඉන්නව. හැම ක්ෂේත්‍රයකම එවැනි මිනිසුන් ඉන්නව. ඒ නිශ්චිත දේශපාලනිකත්වයකින් වැඩ කරන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම පැහැදිලි සවිඥානිකත්වයක වැඩ කළ යුතුයි. සෞන්දර්යාත්මක නිෂ්පාදන කිරීම පමණක් නෙමෙයි. ඒ අයට දේශපාලන ඥානය ලැබෙනවා නම් දේශපාලනයත් සමඟ සෞන්දර්යය වපුරුවාවේ නමුත් යම්කිසි අදහසකින් මිනිසුන් අවදි කරන්න නිද්‍රාවෙන් මුදව ගන්න පුළුවන් නම් අඩුම තරමේ එයත් ඇති∎

සාකච්ඡා කළේ තුෂාරා විතාරණ

thenu

Recent Posts

Tags: , , , , , , , , , , ,

One Comment to “මේක ඩිවලොප් නෙවෙයි දිවලොප් වුණ සමාජයක් – චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර”

  1. Janak Kumarasinghe says:

    Hope you could contribute more Sir Hats off to your contributions…

Leave a Comment