සුද්දන්ට එන්න කියමු, අපේ රට බලන්න කියමු, බලාලා ඉගෙන ගන්න කියමු අපි

Jan 7th, 2014 | By | Category: Today Lead News, දේශපාලන

[හර්ෂ ගුණසේන]

පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව අවසන්වී ඇත. බලාපොරොත්තුවූ පරිදිම බ්‍රිතාන්‍ය අගමැතිවරයා දැඩි සාකච්ඡාවක නිරත විය. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය අගමැතිවරයා විසින් සමුළුව වර්ජනය කළ යුතු බව කියා සිටියත් තමන් එහි යායුතු බවද එහි ගොස් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිලිබඳ ප්‍රශ්න කළ යුතු බවද ඔහු කියා සිටියේය.

බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ක්‍රියා කලාපය මෙරට බොහෝ දෙනෙකු විසින් ප්‍රශ්න කරනු ලැබ ඇත. ඔහු සිතා සිටින්නේ ලංකාව තවමත් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බව යයි අයෙක් කියා සිටියහ. විදුරු ගෙවල්වල සිටින අය අනුන්ට ගල් නොගැසිය යුතු බව ජනාධිපතිවරයා මේ පිළිබඳව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කියා සිටියේය. ඔහුගේ ක්‍රියාවන්ට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් විරුද්ධත්වය දැක්විය යුතු බව තවත් අයකුගේ මතය විය. ඔහුගේ චර්යාව නිසා පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව එහි අභිමතාර්ථවලින් ඔබ්බට ගොස් මානව හිමිකම් සමුළුවක මට්ටමට වැටුණු බව අයෙක් ප්‍රකාශ කළහ. ඔහු සමුළුවේ සැසි වාරවලට සහභාගී නොවී, එනම් තමන් මෙහි පැමිණි කාර්යය අතපසු කොට යාපනයේ සංචාරය කළ බව අයෙක් චෝදනා කළහ. බ්‍රිතාන්‍යයේ ද්විත්ව ප්‍රමිතිය ගැන අයෙක් ප්‍රශ්නකර තිබුණි. බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පතේ පළවූ ලිපියක අගමැතිවරයා ජනාධිපතිවරයාට තේරෙන භාෂාවෙන් කථා කළ බව අවඥා සහගතව සඳහන් කර තිබුණි.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා ජනාධිපතිවරයා සමග කළ ද්වී පාර්ශ්වික සාකච්ඡාවලින් පසුව පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදී ඔහු පලකළ අදහස් සමබර විය. වරෙක ඔහු ජනාධිපතිවරයාට ප්‍රසංශා කළේය. යුද්ධයෙන් පසුව බොහෝ වැඩ කොටසක් කර තිබෙන බව ප්‍රකාශ කළේය. මේ පිළිබඳව ඔහුට අයි.ටී.එන්. නාලිකාව හැර වෙනත් කිසිවකු ප්‍රසංශා කළේ නැත. ප්‍රවෘත්ති සාකච්ඡාවට පසුදින අයි.ටී.එන්. නාලිකාව වාර්තා කළේ ඔහු ආණ්ඩුවට ප්‍රසංශා කළ බව පමණකි. ඔහුගේ ඊනියා දැඩි සාකච්ඡාව සම්පුර්ණයෙන්ම අසාර්ථක වූ බවත් ජනාධිපතිවරයා ඔහු දමනය කළ බවත් එම වාර්තාවෙන් ගම්‍ය විය. බ්‍රිතාන්‍යයේ ද්විත්ව ප්‍රමිතිය ගැන චෝදනා කරන්නේත් චැනල් 4 හි කැලම් මැක්රේ විවේචනය කරන්නේත් මෙවැනි බත් බැල තක්කඩියන් පිරිසකි.

මෙරට දේශපාලනඥයෝ බොහෝවිට පළමුව තමන් ගැනද දෙවනුව රට ගැනද කල්පනා කරති. ඔවුන්ගේ මුලික ප්‍රශ්නය තමන් දිගටම බලයේ සිටින්නේ කෙසේද යන්නයි. තමන්ට බලයේ සිටීමට හැකිනම් ඒ සඳහා රටේ දීර්ඝ කාලීන අනාගතය කැප කිරීමට ඔවුහු පසුබට නොවෙති. මේ සඳහා ආණ්ඩු පක්ෂය, විපක්ෂය හෝ තුන්වන බලවේගය යනුවෙන් වෙනසක් නොමැත. පුරාණයේ රජවරුද නොයෙක් අවස්ථාවලදී ක්‍රියා කර ඇත්තේ රටේ අභිලාෂයන්ට වඩා තමන්ගේ අභිලාෂයන් සාක්ෂ්‍යාත් කර ගැනීමටය. ඉතිහාසයේ එයට බොහෝ උදාහරණ තිබේ.

ජනාධිපතිවරයාද පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව මෙරට පැවැත්වීමට අදහස් කළේ තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමටය. ශ්‍රී ලංකාවේදී තමන් ජනාධිපති වූ විට තමාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ නොහැක්කා සේම, තමන් අගවිනිසුරු වූ විට තමාගේ අවකල් ක්‍රියාවලට තමාට විරුද්ධව නඩු පැවරිය නොහැක්කා සේම, තමන් පොදුරාජ්‍ය මණ්ඩල සභාපතිවූ විට මානව හිමිකම් ගැන තමාට විරුද්ධව එන චෝදනාවල සැර බාල වනු ඇතැයි ඔහු සිතුවා වන්නට පුළුවන. රාජ්‍ය නායකයෝද ඉඳහිට මුග්ධ ක්‍රියා කරති. පුරාණයේ රජවරුද ඉඳහිට එසේ කර ඇත. ඉතිහාසයේ එයට උදාහරණ තිබේ.

dr4රටේ සාමාන්‍ය ජනතාව මෙවැනි උත්සවයක් ගැන කල්පනා කරන විට පළමුව රට ගැනද දෙවනුව තමන් ගැනද කල්පනා කරති. ඔවුන් කල්පනා කරන්නේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා තමාගේ රාජ්‍ය තාන්ත්‍රික නොවන ක්‍රියා කලාපය මගින් රටේ ගෞරවයට හානි කර ඇති බවය. වාර්ෂික අය වැය යෝජනා මගින් තමන්ගේ බඩට වැදී ඇති බව ඔවුන්ට පසක් වන්නේ කල්ගත වූ පසුවය. රාජ්‍ය නායකයන් මෙන් ඉඳහිට නොව මහජනතාව බොහෝවිට මුග්ධ ක්‍රියා කරති. හිටපු ඇමරිකන් ජනාධිපතිවරයකු වූ ඒබ්‍රහම් ලින්කන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැක්වූ “ජනතාවගේ ජනතාව විසින් ජනතාව සඳහා වන ආණ්ඩුව” යන සුප්‍රසිද්ධ අර්ථකතනය ලංකාවට අදාළ වන්නේ තරමක් වෙනස්වය. “ජනතාවගේ ජනතාව විසින් ආණ්ඩු කරවන අය සඳහා සහ ජනතාව සඳහා ද වන ආණ්ඩුව” වශයෙන් එය වෙනස් විය යුතුය. මෙම තත්ත්වය කාලයක් තිස්සේ මෙරට පවතී. මෙය ලින්කන්ගේ අර්ථ කථනය දක්වා පරිණත කර ගැනීමේ වගකීම ජනතාව සතුය.

බ්‍රිතාන්‍යයේ ද්විත්ව ප්‍රමිතිය ගැන බොහෝ විවේචන එල්ල විය. පෘතග්ජන සියලු දෙනාටම ඇත්තේ ද්විත්ව ප්‍රමිතියකි. පෘතක්ජන යන්නෙහි තේරුම තමන් අන් අයගෙන් වෙන්වූ වෙනම ඒකකයක්ය යන හැඟීමයි. තමන්ගේ දරුවාට සලකන්නේ වෙනත් අයකුගේ දරුවකුට සලකන ආකාරයෙන් නොවේ. තමන්ගේ පෑන හෝ කාරය හෝ රැකගන්නේ අන් අයකුගේ පෑන හෝ කාරය හෝ රැකගන්නා අන්දමට නොවේ. ද්විත්ව ප්‍රමිතියේ මූලය මෙයයි. ද්විත්ව ප්‍රමිතිය පුද්ගල මට්ටමින්ද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද ක්‍රියාත්මක වේ. බලධාරීන් තමන් ද ද්විත්ව ප්‍රමිතියක් ක්‍රියාත්මක කරමින් අන් අය ද්විත්ව ප්‍රමිතියක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කිරීම ද්විත්ව ප්‍රමිතියේ ඉහළ අවස්ථාවකි. සාමාන්‍ය ජනයා කළ යුත්තේ බ්‍රිතාන්‍යය ද්විත්ව ප්‍රමිතියක් සහිතව කියන කරන දෙය තමන්ට වාසි සහගත වේ දැයි සලකා බැලීමයි.

මහජනතාවද දේශපාලනඥයන් මෙන් රටට පෙර තමන් ගැන කල්පනා කිරීමට ඉගෙන ගත යුතුය. ඔවුන්ගේ අභිමතාර්ථ සාධනය සඳහා එය හේතුවනු ඇත. බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙහිදී කථා කළේ බ්‍රිතාන්‍ය ජනයාගේ මානව හිමිකම් ගැන නොවේ, ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ගැනය. දෙමළ ජනතාවද ශ්‍රී ලාංකිකයෝ වෙති. රජය සමග සන්නද්ධ අරගලයක යෙදුනේ කොටි සංවිධානයයි. සමස්ත දෙමළ ජනතාව නොවේ. කොටි සංවිධානයේ මානව හිමිකම් උල්ලංඝනය ඉතා ඉහළය. රජයක් සන්නද්ධ කැරලිකරුවන් පිරිසක් සමග සම තත්ත්වයේ නොසිටී. කොටි සංවිධානය රජය සමඟ කළ සාකච්ඡාවලින් ඉවත්වීමට එක් හේතුවක් වුයේ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා රජයත් කොටි සංවිධානයත් සම තත්ත්වයේ ලා නොසැලකීමය. එබැවින් රජයකට සිය පුරවැසියන් කෙරෙහි ඇති වගකීම කැරලිකරුවන් පිරිසක් එම පුරවැසියන් කෙරෙහි ඇති වගකීමට වඩා බොහෝ සෙයින් විශාලය. එබැවින් දෙමළ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි චෝදනා ඇත්නම් එය සොයා බැලීම රජයේ යුතුකමකි. මක්නිසාද යත් මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි සැලකෙන පිරිස බ්‍රිතාන්‍යයේ පුරවැසියන් නොව මෙරට පුරවැසියන් නිසාය. මෙරට දෙවන පන්තියේ පුරවැසියන් නොව පළමු පන්තියේ පුරවැසියන් නිසාය. දෙමළ ජනතාවගේ මානව හිමිකම් නොරැකෙන විට සිංහල ජනතාවගේද මානව හිමිකම් නොරැකේ. සියල්ලටම බෙදෙන්නේ එකම හැන්දෙනි. එබැවින් මෙරට ජනතාවගේ මානව හිමිකම් ගැන උනන්දුවන බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ක්‍රියා කලාපය මෙරට ජනතාව විසින් අගය කළ යුතුය. තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ජනතාව පළමු කොට කල්පනා කළ යුතුය. පාලකයන් විසින් ජනතාවගේ මානව හිමිකම් රැකීමට ක්‍රියා කරන්නේ නම් ජනතාවගේ ගෞරවය ද රටේ ගෞරවයද සුරැකෙනු ඇත.

මෙරට නීතිය ක්‍රියාත්මක වන්නේද ජාත්‍යන්තර බලපෑම උඩය. දේශපාලන බැලයකු විසින් මරා දැමුණු බ්‍රිතාන්‍ය ජාතිකයාගේ මරණය සහ ඔහුගේ පෙම්වතිය දුෂණය කිරීම සම්බන්ධ නඩුව අධිකරණයේ පැවරෙන්නේ චාල්ස් කුමරු ඒ ගැන උනන්දු වන බව වාර්තා වූ පසුවය. දේශපාලන බැලයන් විසින් අසාධාරණයට ලක් කරනු ලබන මෙරට සාමාන්‍ය ජනතාවට ජාත්‍යන්තර බලපෑම් නොමැති නිසා සාධාරණය ඉෂ්ට නොවේ. මෙය කෙතරම් සාහසික ක්‍රියාවක් දැයි ජනතාව විසින් කල්පනා කර බැලිය යුතුය. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ක්‍රියා කලාපය සාර්ථක වුවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට නීතියේ අධිපත්‍යය ස්ථාපිත වනු ඇත. මෙරට ජනතාවට ඒ මගින් ලැබෙන ඍජු ප්‍රතිලාභයට අමතරව ඔවුන්ට අනියම් ප්‍රතිලාභයක් ද ලැබේ. එනම් රජය බොහෝ සෙයින් වෙහෙසවී මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කරන ජාත්‍යන්තර ආයෝජකයන් ද නීතියේ අධිපත්‍යය ඇති නිසා තමන්ගේ ආයෝජන සුරැකෙන බැවින් මෙරටට පැමිණීමට ඉඩ ඇති නිසාය. මෙය රටේ ආර්ථික වෘද්ධියට විශාල බලපෑමක් කරනු ඇත.

එබැවින් කැනඩා අගමැතිවරයා මෙන් සමුළුව වර්ජනය නොකර බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ යෝජනාවලට පටහැනිව මෙරටට පැමිණ රට පුරා සංචාරය කර විවිධ පුද්ගලයන් මුණගැසී සාකච්ඡා කළ අපේ දුක සැප බැලූ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ක්‍රියා කලාපය ප්‍රශංසා කළ යුතු එමෙන්ම සහයෝගය දිය යුතු ක්‍රියා කලාපයකි. එය විවේචනය කළ යුතු හෝ හෙළා දැකිය යුතු එකක් නොවන්නේය∎

dk

Recent Posts

Tags: , , , , , , , , , , ,

Leave a Comment