එල්.ටී.ටී.ඊ. කෝදුවෙන් දෙමළ ජාතික සන්ධානය මැනීම

Jan 12th, 2014 | By | Category: LEAD NEWS, උත්තර ධ්‍රැවය, උත්තරධ්‍රැවය

මෙවර උතුරෙහි නොවැම්බරය වෙන වසරවල්වලට වඩා වෙසෙස් තැනක් ගනු ඇතැයි යන විශ්වාසය උතුරේ ජනයා අතරෙහි මෙන්ම දකුණෙහි මාධ්‍යවලද පැවැති විශ්වාසය විය. එයට හේතුව වූයේ සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලන පක්‍ෂ නායකත්වය හිමි ප්‍රධාන දේශපාලන ධාරාව වන දෙමළ ජාතික සන්ධානයට පළාත් සභාවෙහි බලය හිමි වීමයි. ඒ අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් තම මියගිය සාමාජිකයන්ව සිහි කරන මහවිරු සමරුව පළාත් සභාවෙහි බලය හිමිව ඇති වූත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය දියත් කළ අරගලයෙහි සුජාත උරුමය ඉල්ලා සිටින්නාවූත්, දෙමළ ජාතික සන්ධානය පළාත් සභාවෙහි නිල මට්ටමින් සමරනු ඇතැයි යන විශ්වාසය උතුරෙහි ධනාත්මක ආකල්පයකින් ද දකුණෙහි ප්‍රධාන දේශපාලන ධාරාව තුළ විරෝධාත්මක ආකල්පයකින් ද යුතුව ප්‍රකාශ වෙමින් පැවැතිණ. එහෙත් එම දෙපාර්ශ්වයන්ගේම විශ්වාසය බිඳ වට්ටන අන්දමින් පළාත් සභාවෙහි ක්‍රියාකාරීත්වය සිදුවිය. මුලදී ප්‍රසිද්ධ උත්සවයක් ලෙසින් ගස් සිටුවීමේ අදහසක් පළ කරන ලද අතර පසුව ආරක්‍ෂක අංශවල අනුමැතිය ලබා නොදීම පිළිබඳව කරුණ ඉදිරිපත් කර එය නිල උත්සවයක් වශයෙන් නොපවත්වන බවත් ඒ වෙනුවට තම නිවෙස්වල පහන් දල්වා මහවිරු දිනය සමරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින තත්ත්වයට දෙමළ ජාතික සන්ධානය තම ස්ථාවරයෙහි පසුබැස්සේය. ඇත්තෙන්ම මෙය දැඩි කොටි හිතෛෂී ස්ථාවරයක් දරන අය මෙන්ම දැඩි කොටි විරෝධයක් දක්වන පිරිස්වලද බලාපොරොත්තු සුන් කිරීමට හේතු විය.

මෙහිදී වැදගත් වන්නේ මෙම බලාපොරොත්තු සුන් කිරීමට හේතු වූ සහ හේතු වන දේශපාලනික නිගමනය කුමක්ද යන්නයි. එයට ප්‍රධාන හේතුව දකුණෙහි මෙන්ම උතුරෙහි ද බහුතරය එල්.ටී.ටී.ඊ. සංවිධානය කෝදුවක් බවට පත් කර ගෙන දෙමළ ජාතික සන්ධානය මැනීමට උත්සාහ කිරීමයි, නැතහොත් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි අනුප්‍රාප්තිකයා ලෙස දෙමළ ජාතික සන්ධානය සැලකීමයි. ඒ අනුව දෙමළ සමාජයෙහි දැඩි කොටි හිතෛෂී ස්ථාවරයක් දරන අය එල්.ටී.ටී.ඊ. සංවිධානය කළ දේවල්, සමහර විට එල්.ටී.ටී.ඊ. යට පවා කළ නොහැකි දේවල් දෙමළ ජාතික සන්ධානයෙන් බලාපොරොත්තු වෙයි, බලාපොරොත්තු බිඳ වැටෙන විට කෝප වෙයි. එහිම අනෙක් පැත්ත ලෙසින් කොටි විරෝධයත් එනයින්ම දෙමළ විරෝධයත් සිය මූලික දේශපාලන ආයෝජනය කර ගත් දකුණේ ප්‍රධාන දේශපාලන ධාරාවටද එදිනෙදා පැවැත්ම උදෙසාවත් කොටි විරෝධය අවශ්‍යව ඇත.

උතුරෙහි මෙන්ම දකූණෙහි ද දේශපාලන වේදිකාව අරා ගෙන සිටින හරයෙන් නිකමුන් බලවත් ඇතැමුන් බවට පත් කර ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි ක්‍රියාකාරීත්වය විසින්ය. එහෙයින් ඔවුන්ට අනුව තවමත් සියල්ල තීරණය කරන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින්ය. නමුත් දෙමළ ජාතික සන්ධානයට ඔවුන්ගේ මෙම අපේක්‍ෂා ඉටු කිරීමට නොහැකිය. දේශපාලන පක්‍ෂයක් සහ දේශපාලන ව්‍යාපාරයක් අතරෙහි පවතින වෙනස ඉතාමත් පුළුල් වන අතර එම පුළුල් වෙනස අවබෝධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ දෙමළ ජාතික සන්ධානය දෙමළ සමාජයෙහි දෝෂ දර්ශනයට ලක්වෙයි. එමෙන්ම දකණෙහි ජාතිවාදී දේශපාලනය ද තමන්ගේ ප්‍රතිවාදියා තමන් සමඟ කැත්තට පොල්ල මෙන් කටයුතු නොකිරීම පිළිබඳව කනගාටුවෙන් පසුවෙයි. යුද්ධමය ජයග්‍රහණය යනු මර්දනයෙහිම උච්චත්වය නම් එයට පසුව එන්නේ බහින කලාවයි. මෙහිදී වඩාත් අර්බුදයට ලක් වන්නේ යුද්ධයෙහි ජයග්‍රාහකයායි. මක්නිසා ද යත් ඔහුගේ පැවැත්ම රැඳී පවතින්නේ තම භූමිකාව තවම අවසන් නොමැත යන්නත්, ඒ නිසා දැන්ම වේදිකාවෙන් බැස නොයා යුතුය යන්නත් ඒත්තු ගැන්වීමේ අභියෝගය ජය ගැනීම තුළින්ය. එම අභියෝගය ජය ගැනීම උදෙසා මේ වන විට අවශ්‍ය සහයෝගය ලැබෙමින් පවතින්නේ දකුණු ඉන්දීය දෙමළ දේශපාලනය තුළින් සහ ඩයස්පෝරා දෙමළ දේශපාලන ප්‍රවාහය තුළින්ය. දෙමළ ජාතික සන්ධානයෙහි දේශපාලනය ඒ සඳහා දක්වන්නේ ඉතාමක් අඩු සහයෝගයකි.

යුදමය ජයග්‍රහණ දේශපාලන ජයග්‍රහණ බවට පත් කර ගැනීමට නොහැකි වීම එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි පරාජය කෙරෙහි මහත් ලෙසින් හේතුවිය යන්න එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ විශ්ලේෂණයන් ඉදිරිපත් කරන්නන් ඉදිරිපත් කරන වැදගත් කරුණකි. යුදමය ජයග්‍රහණය දේශපාලන ජයග්‍රහණ බවට පත් කර ගැනීමට රජය සමත්ව ඇති ද යන්න ද ඒ තරම්ම වැදගත් ප්‍රශ්නයකි∎

සාමිනාදන් විමල්

sb

Recent Posts

Tags: , , , , , , , , , , , , , ,

Leave a Comment