පොලිස් කැටයම්

Jan 13th, 2014 | By | Category: Today Lead News, දේශපාලන

එක් එතකට කැටයම් චින්තකද වීරයෙකි. ඒ නිරායුධව සිටිමින් ආයුධ සන්නද්ධව එන දහ පහළොස් දෙනෙකු සමඟ නොබියව සටනට යන සිනමා වීරයෙකු මෙන් ඔහුද ආයුධ සන්නද්ධව තමා සොයා එන එස්.ටී.එෆ්. භටයන් ඉදිරියට ප්‍රාථමික ගණයේ (ගල් කටස්) අවියක් හා අත් බෝම්බයක් පමණක් අතැතිව සටනට පිවිසි නිසාය. එසේ නොමවී නම් ඔහු පට්ට පල් මෝඩයෙකි. ඒ මීට පෙර ලැබූ චෝදනාවලින් නිදහස් වීමේ හෝ මග හැර සිටීමේ සුවිශේෂී ශ්‍රී ලාංකේය ක්‍රමවේදය මනාව ප්‍රගුණ කර සිටි ඔහු මේ අවස්ථාවේදී එම පහසු ඉලක්කය භාවිතා නොකර අතිශය අවදානම්කාරී මාරාන්තික සටන් ක්‍රමය තෝරාගත් නිසාය.

එපමණක් නොව මාංචු දමා පීනන්නට ගිය ඔහුගේ සගයින්ද ඊට නොදෙවෙනි වීරයින්ය. හරියටම කියනවා නම් ඇස් බැඳගෙන මෝටර් රථයක් පසු පසට ධාවනය කිරීම, කඹයක් ආධාරයෙන් ලෝකාන්තයෙන් පහළ බැසීම වැනි ත්‍රාසජනක වීර ක්‍රියාවන් හදිසියේ කිරීමට පෙළඹෙන අපූරු වීරයන්ය. එසේ නැතිනම් ආයුධ පෙන්වීමට ගිය තම පරපුරේ සගයන්ට අත්වූ ඉරණම පිළිබඳව දැන දැනම (හාස්කමකින් වැනි දෙයකින්) තමන්ට ඒ ඉරණම අත් නොවේ යැයි සිතූ මෝඩයන් පිරිසකි.

එක්කෝ ඔබ මේ අදහස් දෙකෙන් එකක් පිළිගත යුතුය. නැත්නම් ආරක්ෂක අංශ නීතියට පිටින් සැකකරුවන් ඝාතනය කරනවා යන බියකරු සත්‍ය පිළිගත යුතුය. ඔබ හය මාසයෙන් ඇඳෙන් වැටීම වැනි හදිසි ආපදාවකින් මන්ද මානසික තත්ත්වයට පත් වූවෙකු හෝ තමන්ගේ බත් වේල සරිකර ගැනීම වෙනුවෙන් රාජ්‍යයට අවශ්‍ය අසම්බන්ධ බොරු සමාජගත කරන මාධ්‍යකරුවෙකු / මාධ්‍ය ප්‍රකාශකයෙකු නොවේ නම් ඔබ මේ දෙවන අදහස රහසිගතව හෝ පිළිගන්නවා ඇත.

බහුතර ජනතාව මේ දෙවන අදහස ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරයි. ඔවුන් ඒ වෙනුවට ජනමාධ්‍ය විසින් ප්‍රකාශ වන අදහස් පුනරුච්චාරණය කිරීමට වග බලා ගනියි. එසේ කිරීමට නොඑසේ නම් පොලීසිය කරන මනුෂ්‍ය ඝාතනවලට කිසිදු චකිතයකින් තොරව ජනතාව ආවඩන්නේ හේතුවක් ඇතිවය. එනම් පවතින නීතියේ අඩුලුහුඬුකම් ඇතැයි යන විශ්වාසය නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවේය හෝ දේශපාලඥයින්ගේ බලපෑම් මත නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවේ යැයි සිතීම නීතියෙන් පැනවෙන දඬුවම් පිළිබඳව ජනතාව සෑහීමකට පත් නොවීම සහ අපරාධකරුවන් බන්ධනාගාරගත කරනවා විනා ඔවුන් පුනරුත්ථාපනය කිරීමට දියුණු වැඩ පිළිවෙළක් අප සතුව නොතිබීම ආදී සමාජගත වී ඇති මේ රටේ නෛතික රාමුවේ ඇති බිඳවැටීම්ය. තවද බන්ධනාගාරය අපරාධකරුවන් සම්මුඛ කරවන සංවිධානාත්මක අපරාධ මෙහෙයවන මෙහෙයුම් මධ්‍යස්ථානයක්, කුඩු තිත්පලක් වීම නිසා බන්ධනාගාරගත වන වැරදිකරුවන් ඉතා සංවිධානාත්මක සහ සන්නද්ධ නම ගිය අපරාධකරුවෙක් ලෙස පිටතට පැමිණීමත් රාජ්‍ය සමාව ආදියෙන් ඊට ඉඩකඩ සපයා තිබීමත් එලෙස පැමිණ තමාට විරුද්ධව සාක්ෂි දුන් පුද්ගලයන්ගේ සිට නීතිය ක්‍රියාත්මක කරවූවන් දක්වා පලිගැනීම පිළිබඳව මනා අත්දැකීම් ඇති ජනතාව සැකකරුවන් ඝාතනය කිරීමට එකහෙළා කැමති වීම පුදුමයකට කාරණයක් නොවනු ඇත.

අප මෙහිදී සිදුකරන්නේ ළඟම ඇති පහසුම ඉලක්කය තෝරා ගැනීම විය. සමාජයට යහපත් ආකාරයෙන් බලපාන නීතියේ හා යහපාලනයේ උන්නතියට හේතු වන නිවැරදි ක්‍රියාමාර්ගය නොවන බව අවධාරණයෙන් කිව යුතුය. තවද මෙලෙස ආරක්ෂක අංශ සැකකරුවන් ඝාතනය කිරීම නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින්ම කරන්නක් නොවන අතර එය රාජ්‍යයට හෝ ආරක්ෂක අංශවලට තර්ජනයක් වූවන් විනාශ කර දැමීමමද අපරාධකරුවන් පාපෝච්චාරණය කිරීම තුළින් ඒ අපරාධ පිටිපස සිටින පුද්ගලයින් නිරාවරණය වීම (කුඩු බෙදාහරින්නන් ඇල්ලූ විට මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ඔවුන්ගේ දේශපාලන සගයන් ඊට සහය දක්වන ආරක්ෂක අංශ ආ බොහෝ පාර්ශ්වයන් අපහසුතාවයට පත් වීමට හැකිය) සහ පොලීසියේ හෝ දේශපාලඥයෙකුගේ පුද්ගලික පලිගැනීමක් හෝ පොලීසිය බාරගත් ඝාතන කොන්ත්‍රාත්තුවක් විය හැකි බව පසුගිය කාල වකවානුවේ මෙරට ඇති වූ සිද්ධීන් දෙස විචක්ෂණව බැලීමෙන් වටහා ගත හැකිය.

එමෙන්ම නීතියට පිටින් දඩුවම් කිරීම යනු කිසිසේත්ම දියුණු ශිෂ්ට සමාජයට අදාළ කාරණයක් නොවන බව කිව යුතුය. නීතියේ අඩුලුහුඬුකම් ඇත්නම් ඒවා සකසා ගත යුතුය. එසේ නොමැතිව නීතිය පසෙක ලා කටයුතු කිරීම මේ සමාජය ජරාජීර්ණ කර අප රට ලෝකය හමුවේද අපකීර්තියට පත් කරන සුළු අතිශය භයානක කටයුත්තක් බව වටහාගත හැකි කාරණයකි. නීතිය යනු සාධාරණ විනිශ්චයක් ලබා දීමට සකසා ඇති උපකරණයකි. නිර්දෝෂී පුද්ගලයෙකු ඉතාමත් විශ්වාසනීය සාක්ෂි සහිත අපරාධකරුවෙකු ලෙස සමාජය දැකිය හැකිය. (ලාංකික නඩු තීන්දු ගැන හෝ අල්ප ප්‍රමාණ දැනුමක් ඇති අයෙකුට වුවද ඒ පිළිබඳ වැටහීමක් ඇති බව පැහැදිලිය) අධිකරණය (නිවැරදිව නීතිය ක්‍රියාත්මක වේනම්) පැමිණිල්ලේ මෙන්ම විත්තියේද කරුණු සැලකිල්ලට ගෙන යුක්ති සහගතව සහ පවතින පොදු සාධාරණ නීතියට අනුව යුක්තිය පසිඳලන කාර්යය කරන්නකි.
සාමාන්‍ය ජනතාව අපරාධයක් සිදු වූ විට එහි වින්දිතයාගේ පාර්ශ්වය ගන්නවා විනා ඊට හේතු පාදක වූ කරුණු සහ ඊට බලපෑ පරිසරය සහ සමාජීය තත්ත්වය පිළිබඳ උනන්දුවක් නොදැක්වීම සාමාන්‍ය සිරිතය. නීතිය මීට වඩා දියුණු ක්‍රමවේදයක් භාවිතා කරන බව කිව යුතු නොවේ. එමෙන්ම නීතිය නිර්දෝෂී පුද්ගලයෙකු දඬුවම් ලැබීමේ අතිශය ඛේදජනක ඉරණම වැළැක්වීමට නිරතුරු කටයුතු කරන්නකි. මෙලෙස නෛතික පද්ධතියේ ඇති සංකීර්ණ ක්‍රමවේදයෙන් ලබා ගන්නා තීන්දුව පොලීසියට ඇත්නම් එය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවටම ආවේණික විශ්වකර්ම හැකියාවක් විය යුතුය.

කැටයම් චින්තක අපරාධකරුවෙකු නොවීයැයි අපි කිසිවිටකත් නොකියන්නෙමු. ඔහු වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයට නිසි ක්‍රමවේදය නොවන බවත් එය දිගින් දිගටම ව්‍යවහාර වීම තුළින් එය සමාජ සම්මතයක් වීමත් ඒ හරහා ලංකාවේ වෙසෙන ඕනෑම චින්තක කෙනෙකු කැටයම් චින්තක කෙනෙකු කිරීමේ බලයත් ඕනෑම පුද්ගලයෙකු කැමති ආකාරයේ (පොලීසියට කැමති ආකාරයේ) අපරාධකරුවෙකු කිරීමේ බලයක් පොලීසියට ආරෝපණය වීමේ අතිශය බියකරු තත්ත්වයන් උද්ගත විය හැකි බව පමණක් කියන්නෙමු. එපමණක් නොව එවිට අපරාධකරුවන්, කුඩු බෙදාහරින්නන් පිටුපස සිටින ජාවාරම්කරුවන්ට නිදැල්ලේ තම කටයුත්ත කරගෙන යා හැකිය. අගතියට පත් පාර්ශ්වයන්ට තමන් පෙර කළ වැරදි වේ නම් ඒවායින් නිදහස් වී අහිංසක ජාතියක වීරයින් වීමට හැකිය. තවද බොහෝ විට ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වන පොලීසියටද තම කාර්යය පසෙකලා අළුගෝසුවාගේ කාර්යය සිදු කොට ජනතා හරසර මැද කිරිබත් කෑල්ලක් කා උද්දාමයෙන් හැසිරිය හැකිය.

මෙවැනි ඝාතනවලින් ලැබිය හැක්කේ මනුෂ්‍යයෙකු ඝාතනය කිරීම තුළින් ලබන සතුටක් වේ නම් එය පමණක් බව කිව යුතුය. එසේ නොමැතිව එය නීතිය ඉටු වුණා හෝ සාමය ඇතිවුණා හෝ ජනතා ආරක්ෂාව සැලසුනා හෝ යනුවෙන් අර්ථකථනය කරනවා නම් එය ඥානාන්විත නොවන්නේය. මන්දයත් යහපත් සමාජයකට අවශ්‍ය වන්නේ මනුෂ්‍ය ඝාතනයට නොව නීතිය හරි හැටි ක්‍රියාත්මක වීමත් නීතිය යාවත්කාලීන වීමත් ය. එසේ නොමැතිව නීතියක් ඇති රටක අවනීතිය භාවිතා කර මිනී මරා සතුටු වන්නේ නිර්ලජ්ජී ජනතාවක්ය∎

ඉසුරු කරවිට

isiruk

Recent Posts

Tags: , , , , , , , , , , , ,

Leave a Comment