ජාත්‍යන්තර බලපෑම වළක්වන්න බැරි ඇයි?

Jan 24th, 2014 | By | Category: LEAD NEWS, sunday1, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

නිසි වගවීමේ රාමුවක් තුළට ශ්‍රී ලංකා රජය ගෙන ඒමේ ජාත්‍යන්තර ප්‍රජාවේ වෑයම ප්‍රති-අර්ථගැන්වී ඇත්තේ ජනාධිපතිවරයාත් සෙසු ආණ්ඩු ප්‍රධානීනුත් කොටි සංවිධානය පරාජය කිරීමේ වරදට දංගෙඩිය වෙත ගෙනයාමට ජාත්‍යන්තරය විසින් දරන වෑයමක් ලෙසය.

දශක 03ක යුද්ධය නමැති ඵලයට ආරම්භය දුන්නේ ජනවාර්ගික අර්බුදය නම් ගැටළුව විසින්ය. ඒ ගැටළුවට දිය හැකි හොඳම විසඳුම නම් සුළුතර වාර්ගිකයන් සමඟ දේශපාලන බලතල බෙදා ගැනීමේ වැඩපිළිවෙළකට එළැඹීමය. මේ වැඩපිළිවෙළට එළැඹෙන්නට ආණ්ඩුවක් අසමත් වනවිට ජාත්‍යන්තර බලපෑමක් නමින් රටට එල්ල වන්නේ අන් කිසිවක් නොව ආණ්ඩුවේ ඒ අසමත්භාවයට නිසි පිළිතුරයි.

ජිනීවා සමය නැවතත් එළැඹෙමින් තිබේ. ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම විෂයෙහි පිට පිට තෙවන වතාවටත් මානව හිමිකම් කවුන්සිලය විෂයෙහි යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කරගැනීමේ අභිලාෂය ඇමරිකා එක්සත් ජනපදය විසින් නිල වශයෙන් දක්වා ඇත. මේ පිළිබඳව ජිනීවාහි සිටින රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙයන්හි නියෝජිතයන් මුණගැසී 2012දී සහ 2013දී මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ යෝජනා සම්බන්ධව ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු දැක්වීම සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ජිනීවා නුවරට ගොස් ඇත. 

ලංකාව විසින් වගවීම සම්බන්ධ ගැටළු ආමන්ත්‍රණය කිරීමේදී ප්‍රගතියක් අතපත් කරගෙන නොමැති තත්ත්වයක් තුළ ඒ සම්බන්ධව ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට වන යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත්වීමේ අවස්ථාවක් පවතී. 

මේ තත්ත්වය ආණ්ඩුව පිළිතුරු දී ඇත්තේ එක් පැත්තකින් තම ඉහළම රාජ්‍ය නිලධරයා ජිනීවා නුවරට යවන අතර බස්නාහිර සහ දකුණේ පළාත් සභා ඡන්දය සඳහා දින නියම කිරීමෙනි. ඒ අතර උතුරු පළාත් සභාවේ ලේකම්වරයා සම්බන්ධව මතුවී ඇති ගැටළුව හමුවෙහිදී ආණ්ඩුව සහ උතුරු පළාත් සභාව හමුවේ ඇත්තේ කඹ ඇදිල්ලකි. 

ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිවිල් සමාජ සංවිධානයක් වන ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා විසින් ‛WHY INTERNATIONAL PRESSURE HAS BECOME NECESSARY’ නමින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනය ඔබ වෙත ගෙන ඒමට මෙවර ‛සමබිම’ ඉරිදා සංග්‍රහය කටයුතු කරයි. ඉංග්‍රීසි බසින් ලියවුණු මෙහි මුල් ලිපිය ජනවාරි 24 වෙනිදා ‛දි අයිලන්ඩ්’ පුවත්පතේද පළවිය. 

පරිවර්තනය: ප්‍රගීත් ලියනාරච්චි – රයිට්ස් නව් 

For English Article Click Here

‛‛තවදුරටත් රට තුළ ජනවාර්ගික වශයෙන් බෙදුණු මහ ජාතියක් හෝ සුළු ජාතියක් නොමැති බවත් මින් ඉදිරියට සිටිනු ඇත්තේ රටට ආදරය කරන දේශප්‍රේමී බහුතරය සහ රටට ආදරය නොකරන දේශද්‍රෝහී සුළුතරයක් පමණක් බවත්” දශක ගණනාවක මෙරට සිවිල් යුද්ධය 2009 වසරේදී අවසානයක් දුටු තැන මෙරට පුරවැසියන් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රකාශ කළේය. දේශපාලන විමතිකයන්ට එරෙහිව මේ ප්‍රකාශයෙන් එල්ල කරන ලද සියුම් ප්‍රහාරය හැරුණු කල කොටි සංවිධානයේ පරාජයෙන් පසු ජනවාර්ගික විවිධත්වය මත පදනම් වූ දේශපාලන විසඳුමක් දැන් තවදුරටත් රටට අවශ්‍ය නොවේය යන පණිවිඩයද මේ තුළම ගැබ්ව ඇත. ජනාධිපති විසින් කළ මේ ප්‍රකාශයේ හරය මෙයයි -‛‛දේශපාලන විසඳුමක අවශ්‍යතාවයක් කෙදිනක හෝ තිබුණා නම් ඒ අන් කිසිවක් නිසා නොව දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින් මෙරට දේශපාලනය තුළ ඇති කළ පීඩනය නිසාවෙනි: කොටි සංවිධානය මුළිනුපුටා දැමූ කළ තවදුරටත් දේශපාලන විසඳුමක් පිළිබඳ වදවීමක් අවශ්‍ය නොවනු ඇත.

යුද්ධයේ අවසානයක් සමඟම පශ්චාත්-යුද වටපිටාවක් තුළ සිය රජයේ අනාගත ප්‍රතිපත්තීන් කවරාකාර වනු ඇතිද යන වග පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා ක්ෂණිකව ඉදිරිපත්වීමෙන් අනතුරුව මේ දක්වා ගතව ඇති කාලය දළ වශයෙන් වසර 05කට ආසන්නය. එහෙත් ජනවාර්ගික අර්බුදය විසඳීමේ රජයේ ප්‍රවේශය තුළ මේ සමස්ත කාලය පුරාම කවර හෝ මූලික වෙනස්කමක් ඇතිව නොමැත. ප්‍රධාන දෙමළ විකල්ප දේශපාලන ප්‍රවාහය – දෙමළ ජාතික සන්ධානය- සමඟ කරන සාකච්ඡාවක් හරහා දේශපාලන විසඳුමක අවශ්‍යතාවය පිළිබඳ ගැටළුව ආමන්ත්‍රණය කිරීම සඳහා වර්තමාන රජය මුලින් ගත් ප්‍රාරම්භකත්වයන්ට සිදුවූ දෙයක් හෝ මේ වන විට දැන ගැනීමට නොමැත.

මේ ඇතිව තිබෙන අසමත්භාවය හුදෙක් රජයේ දුර්වලතාවයක් පමණක්ම නොවේ. රජයට සිය සහයෝගය දක්වන, සමාජය තුළ සැලකිය යුතු දේශපාලන බලපෑමක් ක්‍රියාත්මක කළ හැකි සියළුම තරාතිරම්හි සිංහල මතවාදී ප්‍රවාහයන් විසඳීමට රටේ කිසි ජනවාර්ගික ප්‍රශ්නයක් නැතැයි සිතාගෙන සිටින ජනාධිපතිවරයාගේ උපකල්පනය අනුගමනය කරන වගක් පෙනෙන අතර මේ තත්ත්වයට ඔවුන්ද එක සේ වගකිව යුතුය.

නමුත් දෙමළ සමාජයේ ඡන්දදායකයාගේ ප්‍රතිපත්තිය මේ මොහොතේ පවා ක්‍රියාත්මක වනුයේ මේ ආස්ථානයට විරුද්ධ ස්ථාවරයකය. ජනවාර්ගික දුක්ගැනැවිලි නිසි පරිදි ආමන්ත්‍රණය කර විසඳීමක් ලබා නොදෙන තාක් කල් ඡන්දදායකයා සිය ඡන්දය පාවිච්චි කරනු ඇත්තේද ජනවාර්ගික පදනමක් මත පදනම්වය. දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙනුවට භෞතික ප්‍රතිසංස්කරණයන් සිය ප්‍රතිපත්තිය වශයෙන් වැළඳ ගැනීමේ වර්තමාන ආණ්ඩුවේ ස්ථාවරය දෙමළ ඡන්දදායකයා විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ බවට පසුගිය මැතිවරණ හරහා නිදසුන් සපයා ගත හැකිය. මේ ප්‍රතික්ෂේප කිරීම කොතරම් බරපතළ වීද යත් ජනාධිපතිවරයා සහ ඔහුගේ පාලනයේ ඉහළම මැතිඇමතිවරුන් කිහිපපොළක්ම පුද්ගලිකවම මැතිවරණ භූමියට බැස කළ උතුරු පළාත් ඡන්ද සටනෙන් අනතුරුව පවා උතුරේ ජනතාවගේ ඡන්දය රජයට පක්ෂාග්‍රාහී ස්ථාවරයක් දක්වා වෙනස් වීම සිදු නොවීණි. ඇතැම් විට රජය විසින් ගෙන යන සංවර්ධන ක්‍රියාවලිය උතුර, නැගෙනහිර සහ කොළඹ වැනි දෙමළ ඡන්දදායක ගහණය ඉහළ ස්වභාවයක් ගන්නා ප්‍රදේශ තුළ වුවද ජනතා ඇගයීමට පාත්‍රවනවා වන්නට පුළුවන. එහෙත් එවැනි තත්ත්වයක් තුළ හෝ දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රතිපත්තිය වෙනස් නොවුනු බවට පසුගිය මැතිවරණ ප්‍රතිඵල සාක්ෂි සපයයි.

2014 වසරේ අන්තිම මාස කිහිපය වන තුරුත් බස්නාහිර සහ දකුණු පළාත් සභා විසුරුවා හැරීමක් මැතිවරණ නීතිය හරහා යෝජිතව නොතිබුණි. එහෙත් හදිසියේ විසුරුවා හැරි මේ පළාත් සභා ආයතන දෙකෙහි මැතිවරණ එළැඹෙන මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ශ්‍රී ලංකාව සම්බන්ධ ඡන්ද විමසීමට සමානුපාතව යෙදී ඇත. මේ සමස්ත සංසිද්ධිය තුළම ඇත්තේ එකම එක අරමුණකි. ඒ වර්තමාන රජය සහ එහි නායකයන් වෙත ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දඬුවම් පමුණුවන ආකාරයේ යෝජනාවලියකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මතවීමට ඇති ඉඩකඩ නිශේධනය කර දැමීමේ අවශ්‍යතාවයයි. අනෙක් අතට ජාත්‍යන්තරය දෙසින් මතුවන කවරම හෝ පීඩනයක් වුව ආණ්ඩුව විසින් රට තුළ සිය දේශපාලන වාසිය සඳහා උපරිමයෙන් පාවිච්චි කරනු ඇත. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවකින් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් නැගිය හැකි ඕනෑම අපකීර්තියක් මුළුමනින්ම නොවැදගත් ලෙස පෙන්වා දිය හැකි ජනවරමක් දිනා ගන්නටද ආණ්ඩුව උත්සාහ කරනු ඇත. එසේ හෙයින් ඉදිරි පළාත් සභා මැතිවරණ දෙක සම්බන්ධයෙන් රජයේ ප්‍රචාරණ වැඩපිළිවෙළ කවරක් වනු ඇතිද යන්න පිළිබඳ පූර්වානුමානයක් මේ හරහා ඇති කර ගැනීම පහසුය.

රටේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට එරෙහිව පැන නැගිය හැකියැයි සැලකෙන විවිධාකාර තර්ජන ගණනාවක් රජයේ ප්‍රධානීන් විසින් මැතිවරණ වේදිකාව මතට ගෙන එනු ඇති අතර සෑබෑ අවධානයක් යොමු වීම අත්‍යවශ්‍ය වන සෙසු සියළුම ජනතා ගැටළු ඒ හරහා සාකච්ඡාවෙන් මගහැරී යනු ඇත. ඔඩු දුවා ඇති දූෂණ – වංචාවන්” ඉහළ යන ජීවන වියදම සහ දේශපාලන හෙංචයියන් විසින් ඇති කරගෙන තිබෙන  ඕනෑම අපරාධයක් සිදුකර, දඬුවම් නොලබා නිදහසේ දිවි ගෙවීමේ විශේෂ වරප්‍රසාදය ආදී සෑම ප්‍රශ්නයක්ම රට හමුවේ ඇතැයි ඔසවා පෙන්වනු ලබන ඉහත කී අභියෝග සහ භයානක තර්ජනයන් විසින් නොවැදගත් යැයි සම්මත කර පසෙකට තල්ලු කර දමනු ඇත. නිසි වගවීමේ රාමුවක් තුළට ශ්‍රී ලංකා රජය ගෙන ඒමේ ජාත්‍යන්තර ප්‍රජාවේ වෑයම ප්‍රති-අර්ථගැන්වී ඇත්තේ ජනාධිපතිවරයාත් සෙසු ආණ්ඩු ප්‍රධානීනුත් කොටි සංවිධානය පරාජය කිරීමේ වරදට දංගෙඩිය වෙත ගෙනයාමට ජාත්‍යන්තරය විසින් දරන වෑයමක් ලෙසය. ඒ අනුව එකී වෑයමට විරුද්ධ ජාතිකවාදී බලවේග සිංහල බහුතරය අතරින්ම මතුව ඇත. කොටි සංවිධානය තීරණාත්මක පරාජයකට ලක් කළ යුද්ධයේ අවසාන අදියර තුළ සිදුවූ ඇතැම් ක්‍රියාවන් පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකිරීමේ ජාත්‍යන්තරයේ අවශ්‍යතාවය අර්ථගැන්වී ඇත්තේ රට දෙකඩ කිරීමට ජාත්‍යන්තරයට ඇති වුවමනාව නමිනි.

රජයේ මැති ඇමතිවරුන් විසින් මේ දිනවල තැන් තැන්හි සිදු කරන ජනහමුවලදී ඔවුන්ගේ කතාවන්ට පදනමව ඇත්තේ රටේ ස්වාධිපත්‍යය ඉදිරියෙහි ඇති ජාත්‍යන්තර තර්ජන සහ ඒ තර්ජනයන්ගෙන් රට දෙකඩ නොවී රැකගැනීමට ඔවුන් විසින් දක්වන කැපවීමේ තරමත්ය. රට දෙකඩ කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට සහයෝගය දක්වන්නේ යැයි ඔවුහු විපක්ෂයට චෝදනා කරති. දෙමළ ජනතාවට බලපාන ගැටළු විසඳීමට රජය හා එක්ව ක්‍රියාකරනවා වෙනුවට ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා රට දෙකඩ කරන්නට කටයුතු කරන්නේ යැයි දෙමළ ජාතික සන්ධානයට විශේෂයෙන් චෝදනා කරති.

ඒ අතර 13 වන සංශෝධනය හරහා යෝජිතව ඇති බලතල බෙදීමේ යාන්ත්‍රණයන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු නොකිරීම නිසාවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන උතුරු පළාත් සභාව එහි ජනතාවගේ ගැටළු විසඳාදීමට නොහැකි බලරහිත ආයතනයක් බවට පත්ව ඇත. සැබෑ තත්ත්වය එයයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට උතුර සඳහා පළාත් සභාවක් පිහිටුවාලීමට හැකි වීම දේශපාලන විසඳුමක් සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළෙහි ජයග්‍රහණයකැයි කියමින් රජයේ ප්‍රධානීන් මහත් අභිරුචියකින් ඒ අවස්ථාව වර්ණනා කළ මුත් දැන් දැන් කරුණු කාරණා යෙදී ඇත්තේ එකී ජයග්‍රහණය ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් වෙනුවෙන් නොවේය.

බලය බෙදාහැරීමේ රටේ පරිපාලන යාන්ත්‍රණයෙහි සැබෑ ස්වභාවයේ ඇති වියවුල් සහගත භාවය උතුරු පළාත් අණ්ඩුකාරවරයා සහ එහි පළාත් මහ ලේකම්වරයා සම්බන්ධයෙන් මේ වනවිට උද්ගතව තිබෙන සංකූලතා හරහා පැහැදිලිවම දෘෂ්‍යමාන වේ. උතුරේ වර්තමාන ආණ්ඩුකාරවරයා ධුරයෙන් ඉවත් කළ යුතුයැයි ආරම්භයේදී දෙමළ ජාතික සන්ධානය දරමින් සිටි ස්ථාවරය මේ මොහොත වන විට මඳක් ලිහිල්ව ගොස් ඇති බවක් පෙනෙන්නට ඇත. පසුගිය සැප්තැම්බරයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් ලබාගත් දැවැන්ත ජනවරමකින් උතුරු පළාත් සභාව සියතට ගන්නට සමත්වූ වහාම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ජනතා ඡන්දයෙන් පත්වූ පළාත් සභා නියෝජිතයන්ගේ මතය ඉක්මවා කටයුතු කරන හෙයින් ඔහු ඉවත් කිරීම අත්‍යවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානය බල කරමින් කියා සිටියේය. පළාත් සභාවකට ආණ්ඩුකාරවරයෙක් පත් කිරීම හෝ ඉවත් කිරීම මුළුමනින්ම සංස්ථාපනයව ඇත්තේ ජනාධිපතිවරයාගේ පරමාධිකාරී බලයට මුළුමනින්ම යටත්වය. නමුත් උතුරු පළාත් ලේකම්වරයා සම්බන්ධයෙන් දැන් මතුව ඇති අර්බුදයට ජනාධිපතිවරයාගේ බලතල ව්‍යූහයන් පිළිබඳ සංකීර්ණතා අදාළ වන්නේ නැත. ඔහු හුදෙක් පළාත් රාජ්‍ය සේවයෙහි ප්‍රධානියා වේ. කිසියම් පළාතක් සඳහා ලේකම්වරයෙකු පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරන මුත් ඔහු විසින් එය සිදු කළ යුත්තේ මුළුමනින්ම අදාළ පළාතේ මහ ඇමතිවරයාගේ එකඟතාවය සහිතව බව 13 වන සංශෝධනය පැහැදිලි කර කියා සිටියි.

උතුරු පළාත් සභාවේ ලේකම්වරයා ඒ තනතුරට පත්වනු ලැබූයේ උතුරු පළාත් සභා මැතිවරණයට කලකට පෙරය. අන් ලෙසකින් කියනවා නම් එකඟතාවය ලබා ගැනීම සඳහා උතුරේ මහ ඇමතිවරයෙකු නොසිටි කාලයකය. නව පළාත් සභාවක් සහ නව මහ ඇමතිවරයෙකු පත්වූවායින් පසු ධූරයෙන් ඉවත්ව ගොස් මහ ඇමතිවරයාගේ  එකඟතාවය හිමිවන නව ලේකම්වරයෙකු පත් කරගැනීමට දැන් සිටින ලේකම්වරිය ඉඩ සැලසිය යුතුයැයි කිසිවෙකු කල්පනා කරන්නේ නම් එය බොහෝ සේ සාධාරණ කල්පනාවකි. දැනට සති දෙකකට පමණ ඉහතදී මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ ජනාධිපතිවරයා අතර නිල හමුව තුළ සිදුවූ සංවාදයෙහි මේ වාතාවරණයද කොටසක් විය. සංවාදයට පසුදිනම මේ සම්බන්ධයෙන් කටයුතු කර උතුරේ නව පළාත් සභාවට එය අපේක්ෂා කරන ආකාරයේ විසඳුමක් දෙන්නට කටයුතු කරන්නෙමියි ජනාධිපතිවරයා එකඟව තිබිණි. එහෙත් ඒ සම්බන්ධයෙන් කවර හෝ ක්‍රියාමාර්ගයක් මෙතෙක් ක්‍රියාවට නැංවී නොමැත. සිය කාර්යභාරයන් පවත්වාගෙන යාමට රටේ සෙසු  ඕනෑම පළාත් සභාවකට ඇති නිදහස උතුරු පළාත් සභාවටත් හිමි බව සහතික කිරීම රජයේ වගකීම වේ. එක්ව කටයුතු කිරීමට තමන් අපේක්ෂා නොකරන පළාත් ලේකම්වරයෙකු සමඟ කටයුතු කරන්නට සිදුවන තැනට හා හා පුරා කියා පිහිටුවාගත් නව උතුරු පළාත් සභාව පත්ව ඇත්නම් එයද රජයේ ක්ෂණික අවධානය යොමුවිය යුතු තත්ත්වයකි.

යෝග්‍ය පරිදි බලතල බෙදා හරින ලද රාජ්‍ය යාන්ත්‍රණයක් ප්‍රමාදයකින් තොරව සහ සුදුසු කලට ක්‍රියාත්මක කිරීමට තමන් කැපවී ක්‍රියාකරන බව පෙන්වා සිටින්නට රජයට මේ මොහොත සුබදායී අවස්ථාවකි. උතුරේ ජනයාගේ ගැටළු සම්බන්ධයෙන් යමක් කරන්නට දෙමළ ජාතික සන්ධානය පළාත් සභාව විසින් දරන වෑයම ශක්තිමත් කරන්නට මෙන්ම සැබෑ දේශපාලන ප්‍රතිසන්ධානයක් රට තුළ ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තරයට පෙන්වා සිටීමටද මේ අවස්ථාව භාවිතා කළ හැකිය. එසේ නොමැති වුවහොත් රජය සහ උතුරු පළාත් සභාව එකිනෙකින් දුරස්ව යනු ඇති අතර මේ එක් එක් ආයතන සඳහා සිය ඡන්දය භාවිතා කළ ඒ ඒ ජනතාව අතරටද එකී දුරස්භාවය ගමන් කරනු ඇත. එවැනි විරසකයක් දක්වා පවතින තත්ත්වය වර්ධනය වුවහොත් ජාතික ඒකාග්‍රතාවයේ පැවැත්ම සම්බන්ධයෙන් එය බරපතළ අවාසි තත්ත්වයක් ඇති කරනු ඇති අතරම රටේ අභ්‍යන්තර ප්‍රශ්න සඳහා ඉක්මන් මැදිහත්වීමක් සිදු කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට එයම හේතුවක් වනු ඇත. තමන් බලරහිත තත්ත්වයකට පත්ව ඇති බවත් තමන් පත් කර එවූ ජනතාව වෙනුවෙන් කිසිවක් කරගත නොහැකි තත්ත්වයකට තමන් පත්ව ඇති බවත් උතුරු පළාත් සභාව පැමිණිලි කළ කල්හි ඒ සම්බන්ධයෙන් වහාම මැදිහත්වීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුය. එහෙත් ආණ්ඩුවේ ප්‍රධානීන් මැතිවරණ කිහිපයක්ම නිසාවෙන් කාර්ය බහුලව ඇති සමයක එවන් මැදිහත්වීමකට නම් ඒ මැතිවරණ සියල්ලම අවසන් වන තුරු සිටින්නට සිදුවන බව පැහැදිලිය.

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණවලින් අනතුරුව මේ වසර අවසානයේ හෝ ඊළඟ වසරේ මුල් කාලය තුළ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් හෝ යෙදෙනු ඇතැයි මතයක් පැතිර ඇත. සුළුතර ජනවර්ගවලට ප්‍රබලව බලපාන ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම සඳහා දේශපාලන විසඳුමක් ගෙන ඒමට තමන් කටයුතු කළහොත් ඉදිරියට එළැඹෙන මැතිවරණවලදී සිංහල බහුතරයේ සහාය තමන්ට අහිමිවනු ඇතැයි රජය කල්පනා කරමින් සිටියි. සුළුතර වාර්ගිකයන්ට බලපාන ගැටළු කවර තරම් බරපතළ වූවද රජය ඒ සියල්ල නෑසූ කන්ව සිටීමට ආසන්නතම හේතුව රජයේ මේ කල්පනාවයි. තමන්ට අහිමිව නොයන තාක් කල් දකුණ යනු සිය බහුතර බලයේ සහ තම පාලනයේ පැවැත්ම තහවුරු කරන කොඳු නාරටිය බව ආණ්ඩුව දනී. සුළුතර ජනවර්ග විෂයෙහි බලතල බෙදා හැරීමේ උත්සාහයකින් එය කැඩී යන්නට බොහෝ සේ ඉඩකඩ ඇත. එසේ හෙයින් සුළු ජන කොටස් සම්බන්ධයෙන් හෝ 13 වන සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෝ මේ වනවිට ක්‍රියාත්මක සිය ප්‍රතිපත්තිවල කවර හෝ වෙනසක් ඇති කිරීමට ආණ්ඩුව තුළ කිසිදු වුවමනාවක් නැත.

මැතිවරණ ජයග්‍රහණය සඳහා ආණ්ඩුව විසින් නිර්මාණය කරගෙන ඇති සූත්‍රය ආණ්ඩුවට යහපත්ය. එහෙත් රටට කිසිසේත්ම යහපත් නැත. රටක් අභ්‍යන්තර වශයෙන් බෙදී ඉරිතලා ගොස් ඇත්නම් එවැනි බෙදුණු අභ්‍යන්තරයක් සහිතව රටකට කිසිදා සමෘද්ධියට පත්විය නොහැකිය. රජය පැවති යුද්ධයේ බියකරු බව ගැන නිරතුරුවම කතා කරයි. රටේ ඒකීයත්වයට ඇතැයි ඒ විසින්ම කියන තර්ජන ගැනද කතා කරයි. රටේ එකිනෙක ජනවර්ග දිනෙන් දිනම එකිනෙකාගෙන් ඈත්වන තැනට කටයුතු සලසමින් සිටියි. උතුරේ තමන් භාවිතා කළ මිලිටරිමය විසඳුම සිංහල බහුතරයට නැවත නැවත මතක් කර දෙන්නටත් 13 වන සංශෝධනය ඉදිරියට ගෙන යන්නට තමන් අසමත්වීම ගැන නොයෙකුත් හේතු දක්වන්නටත් ඒ විසින් කාලය වැය කරමින් සිටයි. බලතල බෙදා හැරීම සම්බන්ධයෙන් නිසි යාන්ත්‍රණයකින් තොරව

මේ රටේ සියල්ලන්ගේම හදවත් දිනා ගැනීමට තමන්ට නොහැකි වන බවත් ජාතික ඒකාග්‍රතාවය ළඟා කර ගැනීම සඳහා මේ මොහොතේ අත්‍යවශ්‍ය වන මූලිකම කොන්දේසිය එය බවත් මෙතෙක් රජයේ අවධානයට ලක්ව නැත.

බහු-වාර්ගික රටක මතුවන දේශපාලන අර්බුදයක් තුළ දේශපාලන බලය බෙදා හැරිය යුත්තේ කවරාකාරයෙන්ද යන්න පිළිබඳ පොදු එකඟතාවයක් නොමැති නම් එවැනි මොහොතක සාධාරණ විසඳුමක් සඳහා ප්‍රධාන ජාතියෙහි එකඟතාවය අනිවාර්ය සාධකයකි. ප්‍රධාන ජාතියෙහි අනුමැතිය සාධාරණ දේශපාලන විසඳුමක් කෙරෙහි දිනා ගැනීම රජයේ වගකීමයි. රජය සිය වගකීම ඉටු නොකරන්නේ නම් සිදුවනු ඇත්තේ ජනවාර්ගික අර්බුදය තවත් සංකීර්ණ වීම සහ තව තවත් දරුණු වෙමින් දිග් ගැස්සීමයි. එහෙත් මැතිවරණයක් හෝ දෙකක් ජයග්‍රහණය කිරීම සඳහා රජය දැන් ගෙනයන බල ලෝභී සහ ප්‍රශ්න දිග්ගස්සන සුළු ප්‍රවේශය අද රට හමුවේ ඇති දැවෙන අර්බුදය විසඳනු තබා ඒ සඳහා ආරම්භයක් හෝ සපයන්නේ නැත. දශක 03ක යුද්ධය නමැති ඵලයට ආරම්භය දුන්නේ ජනවාර්ගික අර්බුදය නම් ගැටළුව විසින්ය. ඒ ගැටළුවට දිය හැකි හොඳම විසඳුම නම් සුළුතර වාර්ගිකයන් සමඟ දේශපාලන බලතල බෙදා ගැනීමේ වැඩපිළිවෙළකට එළැඹීමය. මේ වැඩපිළිවෙළට එළැඹෙන්නට ආණ්ඩුවක් අසමත් වනවිට ජාත්‍යන්තර බලපෑමක් නමින් රටට එල්ල වන්නේ අන් කිසිවක් නොව ආණ්ඩුවේ ඒ අසමත්භාවයට නිසි පිළිතුරයි. 

ආචාර්ය ජෙහාන් පෙරේරා 

mahindaa

Recent Posts

Tags: , , , , , , , , , , , , ,

Leave a Comment