මූලික අයිතිවාසිකම් නඩුකර සහ මානව අයිතිවාසිකම්

Jan 27th, 2014 | By | Category: LEAD NEWS, පුවත්

එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ සහ ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ අඩංගු අයිතිවාසිකම්වලින් සමහරක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් සිවිල් සහ දේශපාලන සම්මුතියේ අඩංගු අයිතිවාසිකම්වලින් සමහරකට පමණක් නෛතිකව අධිකරණය ඉදිරියට ගොස් ආරක්ෂාව සලසා ගැනීම සඳහා ඉඩකඩ සලසා දී ඇති අතර එම අයිතිවාසිකම් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයේ අන්තර්ගත කොට ඇත. නමුත් ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් නෛතිකව බලාත්මක කරවා ගැනීමේ හැකියාවක් ලබා දී නොමැති අතර ඒවා අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් යටතේ දක්වා ඇත.

කෙසේ වෙතත් ප්‍රධානතම සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් වන සිතීමේ, හෘද සාක්ෂියේ සහ ආගමික නිදහස 10 වන ව්‍යවස්ථාව මඟින් පිළිගෙන සුරක්ෂිත කොට ඇති අතර එය මෙරට සිටින සියලු දෙනාටම හිමි වේ. එසේම කෲර වධ හිංසාවලින් නිදහස සහ සමානාත්මතාවයේ නිදහස පිළිවෙළින් 11 සහ 12 වන ව්‍යවස්ථාවලින් ආරක්ෂා කොට ඇත.

මෙහිදී අවධානයට ගත යුතු වැදගත් කරුණක් නම් සමානාත්මතාව ලෙස අපගේ අධිකරණය සලකන්නේ සමානයන් අතර සමානව ලෙස සැලකීම වන අතර අසමාන අය වෙන්කර දැක්වීම සඳහා එය බාධාවක් නොවේ. ඉන්දීය නඩු තීන්දුවක් වන Ram Krishna Dalmia Vs. Justice Tendulkar (A.I.R. 1958 SC 538)  නඩුව මේ පිළිබඳ නීති තත්ත්වය මැනවින් විග්‍රහ කළ නඩුකරයක් සේ අපගේ නීතිය ද පිළිගන්නා අතර එහිදී ඉන්දීය අධිකරණය තීරණය කරන ලද්දේ,

(i)සබුද්ධික වෙන්කර දැක්වීම සඳහා අධිකරණය පිළිගන්නා බවත්,
(ii)එම වෙන්කර දැක්වීම සාධාරණ සහ සහේතුක විය යුතු බවත්ය.

මෙම නීති තත්ත්වය අපගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චිත නඩු තීන්දුවක් වන සමාධි ෆර්ඩිනැන්ඩස් එදිරිව විදුහල්පති, විශාඛා විද්‍යාලය (SC FR 117/2011 විනිශ්චිත දිනය 25.06.2012) හිදී එවකට අගවිනිසුරුවරිය වූ ගරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිණිය විසින් තහවුරු කර ඇත.
අනීතික අත්අඩංගුවට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් වන නිදහස 13 වන ව්‍යවස්ථාවේ අන්තර්ගත කොට ඇති අතර නීතියේ ප්‍රතිපාදනයන්ට පටහැනිව අනිසි ලෙස අත්අඩංගුවට ගැනීමකදී ඕනෑම අයකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට ඉන් අවස්ථාව සැලසේ. 13 වන ව්‍යවස්ථාවේ 5 වන අනුව්‍යවස්ථාව ඉතා වැදගත් නීති සිද්ධාන්තයක් පදනම් කොට ඇත්තකි. ඉන් දැක්වෙන්නේ

Every person shall be presumed innocent until he is proved guilty.

එනම්, සෑම තැනැත්තකුම නීතියේ සඳහන් ආකාරයට වැරදිකරු යැයි දක්වන තුරු නිවැරදි යැයි උපකල්පනය කළ යුතු බවයි.
සිවිල් සමාජයේ ඉතාම වැදගත් අයිතිවාසිකමක් වන භාෂණයේ, රැස්වීමේ සහ සමාගමයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව මඟින් ආරක්ෂා කොට තහවුරු කර ඇත. කෙසේ වෙතත් එම අයිතිවාසිකම් හිමිවන්නේ ‛පුරවැසියන්ට’ පමණක් වීම සීමාවකි.
පුරවැසියන් ලෙස අප හොඳින් මතක තබාගත යුත්තේ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් දක්වා ආරක්ෂා කොට තිබුණ ද ඒවාට අදාළ සීමාවන් එම ව්‍යවස්ථාවේම 15 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති බවයි.
ජාතික ආරක්ෂාව, ආගමික සමගිය වැනි කාරණා සඳහා මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි බව එහි දැක්වේ. 10 සහ 11 වන ව්‍යවස්ථාවල අන්තර්ගත කරුණු ද මෙහි දක්වා ඇති අයිතිවාසිකම් සඳහා කිසිදු සීමා කිරීමක් දක්වා නොමැති අයිතිවාසිකම් වේ.

මූලික අයිතිවාසිකම් අධිකරණය මගින් බලගන්වා ගන්නේ කෙසේද?
ඉහත දක්වා ඇති මූලික අයිතිවාසිකම් රජයේ පරිපාලනමය හෝ විධායක ක්‍රියා මගින් (Administrative and Executive action) කඩවන විට හෝ කඩවීමට අත්‍යාසන්න වන විට එම කඩවීමට අත්‍යාසන්න (imminent) අවස්ථාවේ සිට මසක කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් සහ දිවුරුම් පෙත්සමක් මගින් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ යුතු වේ. මීට අදාළ ව්‍යවස්ථාපිත විධිවිධාන 126 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 17 වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. විධායක හෝ පරිපාලනමය ක්‍රියා යන්න අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා නැත. එහෙත් රාජරත්න එදිරිව එයාර් ලංකා (1987(2) ශ්‍රී.ලං.නී.වා. 1465) හි වාර්තාගත වී ඇති නඩුවේදී සහ රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනවල ක්‍රියාවන් ද එම කාණ්ඩයට අයත් වන බව දක්වා ඇත.

මූලික අයිතිවාසිකම් කඩවීමකදී එම පුද්ගලයාට පමණක් නොව ඔහු මිය ගොස් ඇති විට ඔහුගෙන් යැපෙන්නන්ට ද මූලික අයිතිවාසිකම් නඩුව පවරා පවත්වාගෙන යාමේ හැකියාව අපගේ අධිකරණය විසින් තහවුරු කොට ඇත. වෙනත් රටවල ප්‍රකාශිතවම පිළිගත් ප්‍රධාන මූලික අයිතිවාසිකම් වන ජීවත්වීමේ නිදහස (ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කොට ඇත) පුද්ගලික දේපළවලට ඇති අයිතිය (ඇමෙරිකා එක්සත් ජනපද මූලික අයිතිවාසිකම් පනත මගින් තහවුරු කොට ඇත) යනාදිය අපගේ ව්‍යවස්ථාවේ තවමත් අන්තර්ගත කොට නැත. මෙම අයිතිවාසිකම් චන්ද්‍රිකා රජය සමයේ යෝජිත 2000 ව්‍යවස්ථා කෙටුම්පතේ අන්තර්ගතව තිබිණි.

අපගේ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවලදී රීතියක් ලෙස විශාල වන්දි අනුමත නොකරන අතර එසේ කරනුයේ රජය මගින් ගෙවිය යුතු වන්නේ ජනතාවගේ බදු මුදල් වන බැවිනි.

අපගේ මූලික අයිතිවාසිකම් නඩුකරවලදී දැකගත හැකි දුර්වලතා වන්නේ ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය හරහාම ක්‍රියාත්මක කරගත යුතු වීමත් මසක් ඇතුළත නඩු පැවරිය යුතු වීමත්ය. නමුත් මානව හිමිකම් කොමිසන් සභාවේ පැමිණිලි කොට ඇති විට මූලික අයිතිවාසිකම් නඩු සඳහා කාලය ගණන් ගැනෙනුයේ එම පැමිණිල්ල විභාග කොට අවසන් වීමෙන් පසුව පමණකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමය වැනි රටවල බලාත්මක වන ආකාරයේ සවිස්තරාත්මක සහ පහසුවෙන් බලගන්වාගත හැකි යාන්ත්‍රණයක් සහිත මූලික අයිතිවාසිකම් පනතක් නොමැති වීම බලවත් අඩුපාඩුවකි. අනීතික පැහැර ගැනීම්, වහල්භාවය, ස්ත්‍රී පුරුෂ අසමානතා ආදිය එම පනත්වලින් සපුරා පිටුදැක තිබෙන අතර මානව ගරුත්වය ආරක්ෂා වන යහපත් සිවිල් සමාජයක් සඳහා මූලික අයිතිවාසිකම් මැනවින් ආරක්ෂා වන යාන්ත්‍රණයක් තිබීම අත්‍යාවශ්‍ය වූවක් බව පැවසිය යුතුය.

12 (1) වගන්තිය යටතේ සහන ලබාගත් සහ ඒ පිළිබඳ නීති තත්ත්වය මනාව විග්‍රහ කළ ඓතිහාසික තීන්දුවක් ලෙස අපගේ හිටපු අගවිනිසුරුවරියක වන ගරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මැතිණිය විසින් තීන්දුව ලියූ, Z-Score  නඩුකරය ලෙස ද ප්‍රසිද්ධියට පත් SC FR 29/2012 සහ 25.06.2012 දිනැති විශාල් කවිරත්න සහ තවත් අය එදිරිව විභාග කොමසාරිස් ජනරාල් නඩුකරය දැක්විය හැකිය. මෙම නඩුවේදී 2011 වසරේ නිකුත් කළ අ.පො.ස. උ.පෙළ විභාගයේ Z-Score ප්‍රතිඵල අභියෝගයට ලක් කළ අතර විෂය නිර්දේශ 2 ක් යටතේ සිසුන් කණ්ඩායම් 2 ක් විභාගයට ඉදිරිපත් විය. මෙම කණ්ඩායම් 2 තනි පොදු කණ්ඩායමක් ලෙස සැලකීම සාධාරණීකරණය කළ නොහැකි බවත් මෙම කණ්ඩායම් 2 වෙන් වෙන් වූ කණ්ඩායම් 2 ක් බවත් තීරණය කළ එතුමිය Z-Score ප්‍රතිඵල අත්හිටුවා ඒවා වෙන වෙනම ගණනය කළ යුතු බවට නියෝග කළාය.

එසේම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් පිළිබඳ නඩුකරවලදී එය පැවරීමට පෙර අප හොඳින් සලකා බැලිය යුත්තේ මූලික අයිතිවාසිකමක් කඩ වී තිබේද යන්නයි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත මූලික අයිතිවාසිකම් කඩවීමකදී පමණක් සහන හිමිවන අතර, අනෙකුත් අයිතිවාසිකම් කඩවීමකදී මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය නොහැකිය. මේ පිළිබඳ නීති තත්ත්වය විග්‍රහ කළ නඩුවක් ලෙස 1978, 79, 80 (1) ශ්‍රී ලංකා නීති වාර්තාහි 102 පිටුවේ අන්තර්ගත විජේසිංහ එදිරිව නීතිපති නඩුකරය දැක්විය හැකිය.

1998 (1) ශ්‍රී ලංකා නීති වාර්තාහි 127 වන පිටුවෙහි වාර්තාගත වී ඇති වීරසිංහ එදිරිව ප්‍රේමරත්න නඩුකරය වධහිංසාවට එරෙහිව සහ අයුතු සිරභාරයට එරෙහිව ඇති මූලික මිනිස් අයිතිවාසිකම පිළිබඳව මනා විග්‍රහයක් කළ සහ අපගේ මානව හිමිකම් නීතියේ දිගන්තය පුළුල් කළ අතිශය වැදගත් නඩුකරයක් වේ. එම නිසා ඒ පිළිබඳව සැකෙවින් හෝ විමසා බැලීමත් ඒ පිළිබඳව අවබෝධයක් සාමාන්‍ය ජනයා තුළ පවා තිබීමත් අත්‍යවශ්‍ය වේ.

මෙහිදී සිදු වූයේ පෙත්සම්කාර වීරසිංහ මහතා පන්නල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පොලීසිය තුළ රඳවාගෙන ඔහුට හිංසා සිදු කිරීමය. පොලීසිය තුළදී ඔහුව නිරුවත් කොට අමානුෂික ලෙස වධහිංසාවලට ලක්කර තිබූ අතර ඒ පිළිබඳ වූ මූලික අයිතිවාසිකම් නඩුවේ දී ධීරරත්න විනිසුරුතුමා විසින් පෙත්සම්කරුට අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත 11,13 (2)  ව්‍යවස්ථාවන්ගේ සුරක්ෂණය කඩ වී ඇති බව තීරණය කරමින් ප‍්‍රකාශ කරන ලද්දේ,

1) බරපතළ අපරාධකරුවකුට වුවද දඩුවම් දිය යුත්තේ නීත්‍යනුකූලව පමණක් බව සහ ඔහුට වුව ද මූලික මානව හිමිකම්වල දැක්වෙන ආරක්ෂාව හිමි වන බවත්,
2) අවස්ථානුගත කරුණු සලකා බලන කල වෛද්‍යමය සාක්ෂිවලින් තහවුරු කිරීමක් නොමැති වුවද යම් තැනැත්තකු කෲර වධ හිංසනයට ලක්ව තිබේද නැද්ද යන්න තීරණය කළ හැකි බවත්ය.

අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් තහවුරු කර ඇති සමානාත්මතාවයේ අයිතිය බෙහෙවින්ම මූලික අයිතිවාසිකම් නඩුකර ඉදිරිපත් කිරීමේදී පදනම් කරගනු ලබන්නකි. රැකියාවල උසස්වීම් සම්බන්ධව හෝ විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා වන ඉල්ලීම්වල පදනම් මූලධර්මය වන්නේ සමානාත්මතාවයි. කෙසේ වෙතත් අපගේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩුකරවලදී ගෙන ඇති ස්ථාවරය වන්නේ සමානයන්ට සමානව ලෙස සැලකීමක් පමණක් මින් අදහස් කරන අතර සාධාරණ වර්ගීකරණය (Reasonable classification) අනුමත කරයි. 1978, 79, 80 (1) ශ‍්‍රී ලංකා නීති වාර්තාහි 128 පිටුවේ අන්තර්ගත පෙරේරා එදිරිව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව සහ එහිම 182 පිටුවෙහි වාර්තා වී ඇති සෙනෙවිරත්න එදිරිව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව වැනි නඩුකරවලද මෙම නීති තත්ත්වය මනාව පැහැදිලි කොට තිබේ. එබැවින් සමානාත්මතා මූලධර්මය පදනම් කොට මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේදී අසාධාරණයක් වූ බව පමණක් නොව සමාන පුද්ගලයන් අතර තමාට අසමාන ලෙස සලකා ඇති බව අධිකරණය ඉදිරියේ තහවුරු කළ යුතුය.

පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීමට අදාළ නීති තත්ත්වය මනාව විග‍්‍රහ කළ වාර්තාගත නොවූ නඩු තීන්දු රාශියකි. ඉන් වැදගත් කිහිපයක් වන්නේ SC FR 30/2012, SC FR 492/2011 නඩුකරවලදී දුන් තීන්දු වේ. මෙම තීන්දු සලකා බැලීමේදී පැහැදිලි වන්නේ පාසැල්වලට ළමුන් ඇතුළත් කර ගැනීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවල මූලික අයිතිවාසිකම් කඩවීමක් වී යැයි පෙන්වීම සඳහා අධිකරණය ඉදිරියේ තමා තෝරාගනු ලැබීම සඳහා යෝග්‍ය පුද්ගලයකු බව සනාත කළ යුතු වනවා මෙන්ම බලධාරීන් තමන්ට යම් අයුක්තියක් කළේය යන පදනම මත පමණක් මූලික අයිතිවාසිකම් නඩුකරයක් සාර්ථක කරගත නොහැකි වීමයි. මේ පිළිබඳව නිසි සහ පළපුරුදු නීතීඥවරයකුගේ උපදෙස් ලබා කටයුතු කිරීමෙන් තමාගේ කාලය මෙන්ම මුදලද ඉතිරි කරගත හැකි බව කිව යුතුය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ අඩංගු පුද්ගලික දේපළට ඇති අයිතිය (17(1)) සහ පුද්ගලික දේපළින් අනිසි ලෙස බැහැර නොකිරීමට ඇති අයිතිය (17(2)) අයිතිවාසිකම් සලකා එම වගන්ති යටතේ සහන ලබාදුන් දුර්ලභ අවස්ථාවක් ලෙස Central Finance Co. Ltd. Vs. The Attorney General, BASL News, 4/8/97 (CA No. 671/89) නඩුව දැක්විය හැකිය.

අවසන් වශයෙන් මානව අයිතිවාසිකම් නඩුවක් පැවරීමට පෙර සලකා බැලිය යුතු කරුණු පහත ලෙස සාරාංශ කොට දැක්විය හැකිය.

1) මාසයක කාල සීමාව ඉක්මවා ගොස් තිබේ ද යන්න
2) මානව හිමිකම් කොමිසන් සභාව ඉදිරියේ සහන ලබා ඇත්ද යන වග
3) කඩ වී ඇති අයිතිවාසිකම මූලික අයිතිවාසිකම් කඩවීමක් ද යන්න
4) සමානාත්මතාව යටතේ ඉල්ලීම කරනු ලබන්නේ නම් (12(1)) එය වෙනස් කොට සැලකීමක් හෝ සාධාරණ වර්ගීකරණයක් යටතට නොගෙනෙන්නේද යන වග

මීට අමතරව මානව හිමිකම් නඩුකරවලට අදාළ පෙත්සම් කෙටුම්පත් කිරීමේදී එම කරුණු තහවුරු කරන දිවුරුම් ප‍්‍රකාශයක්ද ඒ සම`ග තිබිය යුතුය. එසේම එම පෙත්සමේ අඩංගු කරුණු මගින් පෙත්සමේ ආයාචනයේ අයැද ඇති මූලික අයිතිවාසිකම් කඩවී තිබීමද සිදු විය යුතුය. එම ආයාචනයේ තමා අයැද සිටින සහන කවරේද යන්නද අන්තර්ගත විය යුතුය. මේ සඳහා පළපුරුදු නීතීඥයකුගේ සේවය ලබා ගැනීම මගින් තාක්ෂණික හේතු මත (technical grounds) පෙත්සම නිෂ්ප‍්‍රභ වීම වළකාගත හැකිය.

මානව අයිතිවාසිකම් නඩු පැවරීම සඳහා නොමිලයේ නීති උපදෙස් සහ සේවය ලබාගත හැකි ආයතන කවරේද යන්න දැන ගැනීම සාමාන්‍ය ජනතාවට මූලික අයිතිවාසිකම් රැකවරණය ලබා ගැනීමට ඉවහල් වන බැවින් ඒ පිළිබඳ ව සඳහන් කිරීම යුතුකමක් වේ. එම ආයතන වන්නේ ශී‍්‍ර ලංකා නීතීඥ සංගමයේ මානව හිමිකම් හා නීති ආධාර කේන්ද්‍රයත්, නීති ආධාර කොමිසන් සභාවේ මානව හිමිකම් නීති අංශයත්ය.
එසේම මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කිරීමද සරල ක‍්‍රියාමාර්ගයක් මෙන්ම අඩු වියදම් සහිත වූවක්ද වන නමුත් එම ආයතනයට ශ්‍රේෂ්ඨාධිකරණය මෙන් පුළුල් බලතල රහිත වීමත් නියෝග දීමේ බලතල නොමැති වීමත් නිසා සහන ලබා දීමට ඇති හැකියාවන් සීමා සහිත වී ඇති බව කිව යුතුය.

නීතිඥ යසස් ද සිල්වා

hhr

Recent Posts

Tags: , , , , , , , , , , , ,

Comments are closed.