මේ රජය විසින් කළ විශාලතම සංස්කෘතික හානිය අක්ෂරය චිත්‍රපටය තහනමය – ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය

Jan 29th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන, නීතිය, සංවාද

download මෙම ලිපියේ සමබිම පුවත්පත් පිටු මෙතනින් බලන්න

HEMANTHA-WARANAKULASOORIYA

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය 

සාකච්ඡා කළේ තුෂාරා විතාරණ

ඔබ නීතිඥයෙක් වෙන්න හිතුවේ ඇයි?
මගේ පියා විශාල ව්‍යාපාරිකයෙක්. ලංකාවේ වැඩිම ලොරි ප්‍රමාණයක් හිමිවෙලා තිබුණේ ඔහුටයි. ඔහු මිය ගියේ එම ව්‍යාපාර ඉතාමත් දියුණුවෙලා තියෙන අවස්ථාවකදියි. ඒ සමඟම මගේ අධ්‍යාපනය යම්කිසි ආකාරයකින් කඩාකප්පල් වුණා. මට ඔහුගේ ව්‍යාපාරය කරගෙන යන්න හැකියාවක් දක්ෂතාවයක් තිබුණේ නැහැ. එම නිසා ව්‍යාපාරය අඩපණ වුණා. ඒ වනවිට මම ඇතිකරගෙන තිබුණු ප්‍රේම සම්බන්ධතාවයට (ඇය දැන් මගේ බිරිඳ) දෙමාපියන් – විශේෂයෙන්ම මගේ අම්මා – අකමැතිවෙලයි හිටියේ. මම ව්‍යාපාරයෙන් හා ගෙදරින් එළවන තත්ත්වයට පත් වුණා. පියාගේ ව්‍යාපාර හැරුණු කොට මට රස්සාවක් තිබුණේ නැහැ. මට රස්සාවක් නැති හින්දා සහ මම ගෙදරින් පන්නයි කියලා හිතලා තමයි මම නීතිඥවරයෙක් වුණේ. ඊට පස්සේ නීති විද්‍යාලයට ඇතුළත් වෙලා තරඟ විභාගයෙන් සමත් වෙලා තමයි නීතිඥවරයෙක් බවට පත්වුණේ.

අපරාධ නඩු සම්බන්ධ නීතිඥවරයෙක් වෙන්න අවශ්‍ය වුණේ ඇයි?
ලලිත් ඇතුලත්මුදලි මම ඉතාමත් ආදරය කරපු ගුරුවරයෙක්. පළවෙනි වසරේදී ඔහු අපිට නීති විද්‍යාව කියන විෂය ඉගැන්නුවා. මේ නීති විද්‍යාව බොහෝම ගැඹුරු, කෙනෙකුට පහසුවෙන් තේරුම්ගත නොහැකි විෂයක්. එය රස කරන්න ඔහු නොයෙක් නොයෙක් කතා කියනවා. ඔහු දවසක් පන්තියෙන් ඇහුවා කවුද සිවිල් කරන්න කැමති කියලා. සියලු දෙනාම වගේ අත ඉස්සුවා, ඒත් මම අත ඉස්සුවේ නෑ. “මම දැනගත්තා ඔයා අපරාධ නීතියනේ (ක්‍රිමිනල්) කරන්න යන්නේ. අපරාධකාරයන්ට හොඳ අපරාධ නීතිය තමයි” කියලා ලලිත් ඇතුලත්මුදලි කිව්වා. මුළු පන්තියම හිනා වුණා.

ඒ දවස්වල මම පත්තර කියවනවා, හැමතිස්සෙම නොයෙක් නොයෙක් අපරාධ නඩු ගැන කියවනවා. අනෙක් සිවිල් නඩු ගැන පත්තරවල එච්චර ලියවෙන්නේ නෑ. මම හිතුවා ලංකාවේ කීර්තිමත් නීතිඥවරයෙක් වීමට නම් අපරාධ නඩු කළ යුතුයි කියලා. අනෙක් කාරණාව සිවිල් නීතිය හදාරනවා නම් ගුරුහරුකම් දෙන්න ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් අවශ්‍යයි. ඒ කාලේ සිවිල් නීතිය කරපු බොහෝ දෙනෙක් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්වරු යටතේ වැඩ කරනවා. ඒක හුඟක් වෙලාවට සිදුවුණේ පුද්ගලික සම්බන්ධයක් උඩ. නීති විද්‍යාලයට පැමිණිලා සමත් වෙන අයට බොහෝ විට නීතිඥවරු සමඟ සම්බන්ධයක් තිබුණා. මට එහෙම කිසිම කෙනෙක් හිටියේ නෑ. මම තංගල්ලේ ඉඳලා ආවේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තට නීතිඥවරයෙක් සමඟ කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ. ඒ නිසා මම මහේස්ත්‍රාත් අධිකරණයට පිය නැගුවා. එදා පටන් මම අපරාධ නීතිය සම්බන්ධයෙන් කටයුතු කළා.

අපරාධ නඩු නීතිඥවරයකු සම්බන්ධයෙන් සමාජයේ පවතින ආකල්පය හොඳ දෙයක් නෙවෙයි. කවුද මේ අපරාධ නීතිඥවරයෙක් කියන්නේ? ඔහුගේ කාර්යභාරය මොන වගේද?
ඉස්සර කාලේ නඩු ඇහුවේ රජ්ජුරුවෝ. ඉතාම සුළු වේලාවයි යන්නේ නඩු අහන්න. ඊට පස්සේ දඬුවම් කරනවා, බොහෝ වෙලාවට මෙය සිද්ධවෙන්නේ තමන් විසින්ම කරන ලද පාපොච්චාරණයක් මත. මේ පාපෝච්චාරණය ගන්නේ අධික වධබන්ධනවලට ලක්කරලා. අද තියෙන්නේ ඊට වඩා ශිෂ්ට සමාජයක්.

අපිට සමාජයේ පිළිගැනීම මත අපේ විෂය හෝ නඩු තෝරන්න බැහැ. ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම නීතිඥ සංගමයේ යුතුකමක්. නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දුන්නම ඒ සමඟ බැඳී තිබෙන සාරධර්ම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවපු රෙගුලාසි තියෙනවා. නීතිඥවරයකු කෙසේද කටයුතු කළ යුත්තේ කියලා ඔහුව දැනුවත් කෙරෙනවා. එහිදී නීතිඥවරයකු ළඟට ඕනෑම කෙනෙකු නඩුවක් අරගෙන පැමිණියොත් ඒ නඩුවට පෙනී සිටීමට බැහැයි කියන්න පුළුවන් වෙන්නේ ඒ නඩුව හා නීතිඥයා අතර යම්කිසි මතවාදයක් හෝ ප්‍රශ්නයක් තිබුණොත් පමණයි. උදාහරණයක් විදියට පැමිණෙන තැනැත්තාට විරුද්ධ පැත්තේ සිටින තැනැත්තා පවුලේ නෑ කෙනෙක් නම්, පෞද්ගලිකව හඳුනනවා නම් හෝ වෙනත් ප්‍රශ්නයක් ඇතොත් පමණයි. සාමාන්‍ය නීතිය අනුව තමන් පෙනී සිටින අධිකරණයක තමන් නියම කරන ලද ගාස්තුව ගෙවීමට හැකියාවක් ඇති පුද්ගලයකු තමන්ගේ සේවය පැතුවහොත් ජනතාව ඒ නඩුව සම්බන්ධයෙන් මොන ආකල්පයක් දැරුවත් ඒ සේවය කිරීමට නීතිඥයා බැඳී සිටිනවා.

මීට අවුරුදු 15-20 කට පෙර ලංකාවේ තිබුණු ආන්දෝලනාත්මක නඩුවක් තමයි සතාසිවම් නඩුව. එහි පෙනී සිටියේ ලංකාවේ මෙතෙක් බිහි වූ අපරාධ නීතිය පිළිබඳ අග්‍රගණ්‍ය නීතිඥවරයා – කොල්වින් ආර්. ද සිල්වා. එම නඩුවට පෙනී සිටි නිසාම ඔහුට තමන්ගේ පාර්ලිමේන්තු අසුන පවා නැතිවුණා. ඒ අවස්ථාවේ සියලු දෙනාම සැක කළා මේ සතාසිවම් තමයි තමන්ගේ බිරිඳ මැරුවේ කියලා. ඒ කාලේ කොල්වින් ආර්. ද සිල්වාට වැඩියෙන්ම ඡන්දය දුන්නේ දෙමළ මිනිස්සු. ඔහු මේ නඩුවට පෙනී සිටීමෙන් ඔවුන්ගේ විශ්වාසය කඩකරා කියලා හිතලා දෙමළ ජනතාව ඔහුට ඡන්දය නොදී හිටියා. අන්තිමේදී එම නඩුවෙන් සතාසිවම් නිදහස් වුණා. ඇත්තටම දැන් ඉතා පැහැදිලිව පේනවා සතාසිවම් කියන්නේ ඉතාමත් අහිංසක මනුස්සයෙක් කියලා. ඒ මනුස්සයා මිනීමැරුමට සම්බන්ධයි කියලා මුලින්ම තීරණය කළේ ඒ කාලේ හිටිය නීතිපතිතුමා – අලුවිහාරේ මහත්මයා. එතුමගේ වැරදි ආකල්පය නිසා මේ නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණය කරපු ඉතා විශිෂ්ට අග්‍රගණ්‍ය පොලිස් නිලධාරියෙක් වන ඇල්බට් සිල්වා මහත්මයා ඒ නඩුවෙන් අයින් කරලා සතාසිවම් වැරදිකාරයා වන අන්දමට නඩුව කරගෙන ගියා. අන්තිමට මොකද උනේ? සතාසිවම්ගේ බිරිඳ මරලා දූෂණය කරලා රත්තරන් බඩු හොරකම් කරගෙන ගිය විලියම් කියන තැනැත්තාට ආණ්ඩුවේ සාක්ෂිකරුවෙකු කරලා ඔහුට සමාව ලැබුණා. එහිදී සමාජ ආකල්පය වුණේ කොල්වින් ආර්. ද සිල්වා සල්ලි වෙනුවෙන් මේ නඩුවට පෙනී සිටියා කියලා.

ඒ වගේම තමයි ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සම්බන්ධයෙන් සක්සුදක් සේ පැහැදිලි සාක්ෂි තියෙද්දීත් ජනාධිපති කොමිසමක් මගින් සුදු මහත්තයා කියලා කෙනෙක් වැරදිකාරයා කළා. මුළු ලෝකයම ඒ කතාව පිළිගත්තා. මට සිද්ධ වුණා ඒ අවස්ථාවේ මගේ ගුරුතුමාව ඝාතනය කළා යැයි සැක කළ ප්‍රියංකර ජයමාන්න නොහොත් සුදු මහත්තයා වෙනුවෙන් පෙනී සිටින්න. ගොඩක් දෙනෙක් මට දොස් කිව්වා. මට බැනලා ලියුම් ආවා තමන්ගේ ගුරුවරයාගේ මිනීමරුවා වෙනුවෙන් පෙනී ඉන්නේ ඇයි කියලා. නමුත් ඒ නිගමනය සම්පූර්ණයෙන් වැරදියි කියලා ඔප්පු වුණා. ඔහු මරලා තියෙන්නේ LTTE එකෙන් බව ඔප්පු වුණා. ඒ නිසා නීතිඥයකු ජනතාවගේ ඉල්ලීම මත තමන්ගේ කාර්යභාරය තීරණය කරනවා නම් කොයි අපරාධයද හරි කියලා කියන්න පුළුවන්?
ජනතාව ඉදිරියේ මිනීමැරුමක් තියෙනවා. කවුරුහරි කියනවා නම් ඒ වෙනුවෙන් පෙනී ඉන්න එපා කියලා අපට පෙනී ඉන්න පුළුවන් අපරාධය කුමක්ද? සියලුදේම අපරාධ. රටක ශිෂ්ටත්වය තෝරන ඉතාම ඉහළම මිනුම් දණ්ඩ තමයි තමන් ඒ රටේ මිනිස්සුන්ට, ස්ත්‍රීන්ට, දරුවන්ට හා අපරාධකරුවන්ට සලකන අන්දම. ස්ත්‍රීන්ට සලකන්නේ නැත්තම් දරුවන්ට සලකන්නේ නැත්තම් ඒ රට ශිෂ්ට රටක් වෙන්නේ නෑ. ඒ වගේම අපරාධකරුවන්ව තමන්ගේ පාපෝච්චාරණයක් උඩ එල්ලා මරා දමනවා නම්, උල හිඳුවනවා නම් ඒ රට ශිෂ්ට වෙන්න බෑ. අපි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන නිසා තමයි සතාසිවම් සහ ජයමාන්න කියන මිනිස්සු ඒවායින් නිදහස් වුණේ.

Aksharaya N Asoka Handagamaඔබ එක මොහොතක ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේදී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම ‛අක්ෂරය’ චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති වූ නඩුවේදී අශෝක හඳගම වෙනුවෙන් පෙනී සිටියා. අපි දකින විදියට දුමින්ද සිල්වා වැරදියි, අශෝක හඳගම නිවැරදියි. ඒ වගේම තවත් පිරිසකට හඳගම කියන්නේ අපේ සංස්කෘතිය විනාශ කරන්න හදන මනුස්සයෙක්. දුමින්ද සිල්වා කියන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ කෙනෙක්. ඔය වගේ ආකල්පයක් තියෙන්නේ. ඔබ ඒක දකින්නේ කොහොමද?
මම අක්ෂරය චිත්‍රපටය වෙනුවෙන් පෙනී සිටියා. ‛අක්ෂරය’ චිත්‍රපටය කියන්නේ මං හිතන විදියට මේ රටේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිංහල චිත්‍රපටය. ඒක තහනම් කරපු එක තමයි මේ රජය විසින් කරපු විශාලතම සංස්කෘතික හානිය. ඒක අධිකරණය ගත්ත නරකම තීරණයක්. ඒ වගේම දුමින්ද සිල්වාට විරුද්ධව එවැනි මතයක් ඇති කළේ ඔහුට විරුද්ධව තියෙන දේශපාලන ප්‍රවාහයන්.

ජනතාවගෙන් බහුතරය කියන්නේ අක්ෂරය හොඳ නැති චිත්‍රපටයක් කියලා. මේ බටහිර මිෂනාරි සංස්කෘතියක් අපේ කර පින්නාගෙන හිතන අය තමයි හඳගමගේ චිත්‍රපට කලාව නැති කරන්න කටයුතු කළේ. හේතුව මොකක්ද? එහි කතානායකවරයා මහාධිකරණ විනිශ්චයකාරවරයෙක් නිසා. එහෙම බැලුවොත් නීතිඥවරු හරි වෛද්‍යවරු හරි පූජක පක්ෂය හරි සම්බන්ධයෙනුත් චිත්‍රපට හැදීම තහනම් කරන්න වෙනවා නේද?
දැන් ‛ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය තහනම් කළා. ඒ චිත්‍රපටය ලිංගිකත්වය මුදුනට තියාගෙන හදපු චිත්‍රපටයක්. ඒක කිසිසේත්ම සුදුසු චිත්‍රපටයක් නෙවෙයි, නමුත් ඒක තහනම් කළ එක වැරදියි. මිනිස්සුන්ට ඒක බලන්න ඉඩ දුන්නා නම් දවස් 4-5 ක් වත් දුවන්නේ නෑ ලංකාවේ. කවුරුත් බලන්නෙත් නෑ. ඊළඟට ‛සුළඟ එනු පිණිස’ චිත්‍රපටය ගැන බලමු. විමුක්ති ජයසුන්දර මේ රටේ චිත්‍රපටයක් සඳහා දිනපු ඉහළම සම්මානය දිනපු කෙනා. කිසිම කෙනෙක් ඒක අගය කළේ නෑ. ඒ ළමයාට යම් විෂයක් ගැන කියන්න කැමති නම් ඒකට සම්පූර්ණ නිදහස තියෙන්න ඕනෑ. ඒ විෂයේ දී අපේ යුද හමුදාව ගැන හෝ සිංහල ජාතිය ගැන හෝ දොස් පවරනවා නම් ඒක ඔවුන්ගේ මතය. අපිට පස්සේ ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඊළගට දුමින්ද සිල්වාගේ නඩුව දිහා බලපුවාම මේ රටේ සාධාරණ නීතියක් තියෙනවා නම් පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා දුමින්ද සිල්වාට තමයි මුලින්ම වෙඩි තිබ්බේ කියලා. දැන් වෙලා තියෙන අසාධාරණය මොකක්ද? ඒ වෙඩි තිබ්බ තැනැත්තා අද හොයා ගන්නත් නෑ. දෙන්නා අතර බහින්බස්වීමක් ඇති වුණා, බහින්බස්වීමක් ඇති වෙලා දුමින්ද සිල්වා මොහුට ගහන්න ගියා. බහින්බස් වීමක් ඇතිවෙන්න ඕනේ නෑනේ මරන්න ආවා නම්. බහින්බස් වීමක් ඇති වෙන්නේ ඇයි? එහෙම කිසිම අදහසක් තිබුණේ නැති නිසා. ගහගෙන ඉවරවෙලා වැටෙනකොට දැනට නිදහස් වෙලා ඉන්න ගාමිණී නමැත්තා වෙඩිල්ලක් තිබ්බා ඔළුවට. ඒ වෙඩිල්ල තියලා වැටුණට පස්සේ තමයි අනෙක් සේරම සිද්ධ වුණේ. ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය නිසා දුමින්ද සිල්වා අපරාධ වින්දිතයෙක්. කුඩු අරවා මේවා ගැන මිනිස්සු කියන කතා නිසා දුමින්ද සිල්වාට සාධාරණ නඩුවක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා තියෙන්නේ.

නීතිඥවරයකු වශයෙන් ඔබේ කාර්යය පැහැදිලියි. නමුත් මම ඔබට චෝදනාවක් එල්ල කළොත් මේ ඉන්න අපරාධකාරයෝ නිදහස් කරන්න කටයුතු කරන ගමන් සමාජයේ යහපත ප්‍රාර්ථනා කරගෙන ඔබ පත්තරවලට ලිපි ලියනවා කියලා?
මේ රටේ නීතියේ තියන විදියට අපරාධයක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඕනෑ. ඔප්පු කිරීමේ භාරය තියෙන්නේ පැමිණිල්ලට. විත්තියට තියෙන්නේ සාධාරණ සැකයක් තියෙනවා කියන එක පෙන්වීමයි. මම වුණත් මේ නඩුවට පෙනී සිටින්න පෙර ඉඳලා හිතන් හිටිය දේ නෙවෙයි මෙතන තියෙන්නේ. මහේස්ත්‍රාත්වරයා කිව්වා මේක නඩු දෙකක්. එකක් තමයි දුමින්ද සිල්වාට වෙඩි තැබීම, අනෙක තමයි භාරත ලක්ෂ්මන් ඝාතනය. දුමින්ද සිල්වා ඒ ඝාතනයට කිසිසේත්ම සම්බන්ධ නැහැ, ඔහු වෙඩි වැදිලා සිහි නැතුව හිටියේ. එතකොට මගේ කාර්යභාරය දිහාවට නැවත හැරුණොත් නීතිඥවරයෙක් වශයෙන් මගේ ළඟට කවුරුහරි ආවම මට පුළුවන්ද ඒ නඩුවට පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන්න? මම ඒ නඩුවට පෙනී සිටිද්දී මම බලන්නේ නීතිඥවරයාගේ කාර්යභාරය. එහෙම නැත්තම් නීතිඥ වෘත්තිය මේ රටෙන් ඉවත් කරන්න ඕනෑ. අපි නැවත වරක් වනචාරී යුගයට යන්න ඕනෑ. මම ඉතා පැහැදිලිව කියනවා අපි තාම අර්ධ වනචාරී මිනිස්සු. ශිෂ්ටත්වයට ළඟා වෙන්න නම් ප්‍රජාතන්ත්‍රවාදී උරුමයන්, ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම්, මත ප්‍රකාශ කිරීමේ නිදහස තව තවත් ව්‍යාප්ත වෙන්න ඕනෑ. 60 දශකයේ මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා, දිගින් දිගටම හැම රජයක් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැති කළා. මොකද ඒ අයිතිවාසිකම් නැති කිරීම ඔවුන්ගේ පාලනයට, ඔවුන්ගේ හොරකමට ආධාර අනුබල දෙනවා. නමුත් ඉන්දියාවේ කොච්චර දූෂණ, හොරකම් තිබුණත් තවමත් ඒ රටේ සිවිල් සමාජය ඉතා වැදගත් ස්ථානයක සිටිනවා. නමුත් අපේ මිනිස්සු හිතන්නේ හෙණ ගහලා ගියත් කමක් නෑ එදා වේලට මොනව හරි කාලා ඉන්න තියෙනවා නම් එච්චරයි කියලා∎

download මෙම ලිපියේ සමබිම පුවත්පත් පිටු මෙතනින් බලන්න

Recent Posts

Tags: , , , , , , , , , , ,

One Comment to “මේ රජය විසින් කළ විශාලතම සංස්කෘතික හානිය අක්ෂරය චිත්‍රපටය තහනමය – ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය”

  1. කොටා says:

    මේ මනුස්සයා හැමවෙලාවෙම පෙනී ඉන්නෙ චූදිතයා ( බොහෝ විට ඔහු අපරාධකරුවෙකි) නිදහස් කිරීම වෙනුවෙන් මිසක් මට මතක ඇති කිසිම නඩුවක වින්දිතයා වෙනුවෙන් පෙනී ඉදලා නෑ…. මගේ මතය වැරදිනම් නිවැරදි කරනු මැණවි………

Leave a Comment