රිදී තිරංගනාවියන්ගේ දේශපාලනය

Jan 31st, 2014 | By | Category: LEAD NEWS, ඇන්ටිගනී, කාන්තා, දේශපාලන, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

[මෙහි PDF පිටුව මෙතනින් බලන්න]

සමස්තයක් ලෙස ගත් විට, දේශපාලනික වශයෙන් කාන්තාවන්ගේ තිබූ බලය අතිශය පහළ මට්ටමක පවතිනවා. ලාංකීය දේශපාලන භූමිකාව තුළ කාන්තාවන්ගේ් නියෝජනය අඩු මට්ටමක පැවතීමට ඔවුන් පිළිබඳව මෙරට මුල් බැසගෙන පවතින ආකල්පයන්ද බලපවත්වන්නට විය. ඒ නිසාම දේශපාලනික චරිතයක් ලෙස සමාජය තුළ ඉස්මතු වීමට නම්, කාන්තාවන්ට නොයෙකුත් කඩඉම් පසුකරන්නට සිදුවිය. වර්තමානමානයේදීද පාර්ලිමේන්තුවේ තිබෙන කාන්තා නියෝජනය 5%ක ප්‍රමාණය නොඉක්මයි. මේ සඳහා පසුගිය වකවානුව තුළ කාන්තා නියෝජනය වැඩි කළයුතු බවට නොයෙකුත් දේශපාලන පක්ෂ, දේශපාලනඥයින්, සිවිල් සංවිධාන වලින් සහ කාන්තා ව්‍යාපාර තුළින් දැඩි මතවාදයන් සහ විවේචනයන් ඉදිරිපත් වීය. කෙසේ වෙතත් මෙවර පැවැත්වෙන ඡන්දයේදී කාන්තා නියෝජනයෙහි නව ප්‍රවණතාවයන් සහ වර්ධනයක් දැකිය හැකිය. මේ සාකච්ඡාව අලුත් වූයේ මැතිවරණය සමඟ නිළියන් කිහිපදෙනෙකුගේ නම් ඉදිරියට පැමිණීමක් සමඟය. මේ වන විට ඔවුන් කිහිපදෙනෙකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේපවීමට නියමිත බවද සඳහන් වී ඇත. ඒ කෙසේ වූවද ඒ තුළින් මතුවූ සමාජ කතිකාව පිළිබඳව කාන්තා ක්‍රියාකාරිනියන් කිහිපදෙනෙකුගෙන් අපි අදහස් විමසීමු.

download

7 වන වගන්තිය – ස්ත්‍රීන්ගේ දේශපාලන අයිතිය තහවුරු කරමු

  • රටේ දේශපාලන සහ ජන ජීවිතයෙහි ස්ත්‍රීන්ට එරෙහිව වෙනස්කම් පිටු දැකීමට යෝග්‍ය සියලු පියවර
  • පුරුෂයන් හා සමානව දේශපාලනයේදී ස්ත්‍රීන්ටද සියලු ඡන්ද විමසීම්වලදී සහ ජනමත විචාරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම.
  • ජනතා ඡන්දයෙන් නියෝජිතයන් තෝරා ගන්නා ආයතනවලට තේරී පත්වීම
  • රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහි සහ ක්‍රියාත්මක කිරීමෙහිලා සහභාගී වීම.
  • රාජ්‍ය නිලතල හෙබැවීමට හා රාජ්‍ය පාලනයේ සියලු මට්ටම්වල පොදු කාර්යයන්හි නිරතවීම.
  • රටේ දේශපාලන සහ ජන ජීවිතයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානවලට හා සංගම්වලට සහභාගීවීම

ඇතුලු සමාන අයිතිවාසිකම් සහතික කළ යුතුය.

(ස්ත්‍රීන්ට එරෙහිව සියළු වෙනස්කම් පිටු දැකීමේ ජාත්‍යන්තර සම්මුතිය -CEDAW)

KUMIමේ ජනප්‍රියත්වය පෙන්නල ඡන්ද ගරා ගැනීමක් මිස කාන්තාවන්ට නියෝජනයක් දීමක් නෙවෙයි.

කුමුදිනී සැමුවෙල්
කාන්තාව හා මාධ්‍ය සාමුහිකයේ අධ්‍යක්ෂිකා

අපි කාන්තාවන් දේශපාලනයට ඉදිරිපත් කළ යුතුයැයි කියන සටන් පාඨය ඉදිරිපත් කළේ දේශපාලනයෙ නියැලෙන, විශේෂයෙන්ම ප්‍රජා මට්ටමින් කාන්තා සංවිධාන හරහා නැත්නම් දේශපාලන පක්ෂවලම බිම් මට්ටමින් වැඩකරන කාන්තාවන් අතුරින් දේශපාලන පක්ෂ කාන්තාවන්ට නියෝජනය දිය යුතුයි කියන ස්ථාවරයේ ඉඳගෙනයි. අපි කාන්තා දේශපාලන නියෝජනය ගැන කතා කළේ කන්තාවන්ගෙ සංඛ්‍යාත්මක වැඩිවීමක් පමණක් නොවේ ගුණාත්මක වැඩිවීමක්ද සලකා බලන්න ඕන කියන ස්ථාවරයෙනුයි. විශේෂයෙන්ම මේ විෂය පිළිබඳව අපි දේශපාලන පක්ෂ සමඟ වැඩ කළේ පක්ෂ හරහා පක්ෂ තුළ ඉන්න කාන්තාවන්ගෙන් පක්ෂය විසින් කාන්තාවක් තෝරා ගත යුතුය කියන පදනමෙනුයි. දේශපාලන පක්ෂ අපිට හැමදාම කිව්වෙ පිටස්තර කාන්තාවන් අපිට නිකම් ගේනන බෑ, පක්ෂ තුළ ඉන්න අයට යම් තැනක් දෙන්න ඕනි කියලයි.

නමුත් අද නිළියන්ට නියෝජනය දෙන ප්‍රවණතාවක් තියෙනව. මේක කාන්තා දේශපාලන නියෝජනය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන්නෙ පුද්ගල ජනප්‍රියත්වය හා ඡන්ද කොපමණක් ගතහැකිද කියන පදනමෙන් නාම යෝජනා දීමයි. අපි පක්ෂ එක්ක වැඩ කරන කොට හැමදාමත් කිව්වෙ, ජනප්‍රියත්වය නෙමෙයි ප්‍රජාතන්ත්‍රිකරණය, යම්කිසි ප්‍රමාණයකට දේශපාලනයේ වැඩක් කරන්න පුළුවන් විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණවාදී විදිහට වැඩක් කරන්න පුළුවන් නම් ඒ වගේ අය පක්ෂ වලින් තෝරාගත යුතු බවයි. ඒ වගේම පක්ෂ වලින් තේරීමේදී ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්න ඕනි කියලත් අපි ප්‍රකාශ කළා. අද සිදුවෙලා තියෙන්නෙ අපේක්ෂකයන් පැරෂුට් කිරීමක්. මෙතනදි ගැහැණු පිරිමි භේදයකින් තොරව සියළුම අපේක්ෂකයන්ට පක්ෂ විසින් ඒ පදනමෙන් තමයි නියෝජනය ලබල දෙන්නෙ. ජනප්‍රියත්වය, වැඩි ඡන්ද ගන්න පුළුවන් අය, මුදලක් වැය කරන්න පුළුවන් අය, තමයි මේ ක්‍රමයෙදි ඉස්සරහට යන්නෙ. එහෙම නැතිව නිශ්චිතව දේශපාලනයේ නියැලෙන පිරිස් නෙමෙයි. ඇත්තටම මේක සමාන නියෝජනයක් ලබාගැනීමට, ගුණාත්මක සමානාත්මතාවක් ඇති කරන විදිහෙ නියෝජනයක් ලබාගැනීමට සිදුකරන පිළිවෙතක් නොවේ.

SIGERAමේක කාන්තා දේශපාලන නියෝජනය බාල්දු කිරීමට කළ වැඩක්

සුලෝචනා සිගේරා
කාන්තා කළමනාකරණ ආයතනයේ සභාපතිනි

කාන්තා නියෝජනය අවශ්‍යයි කියල කාන්තා සංවිධානවලින් කථා කළා තමයි. නමුත් නිළියො කියන්නෙ කාන්තාවන්, කාන්තාවන් කියන්නෙ නිළියො කියන එක පරස්පර විරෝධයක් වෙනවා. අපි කිව්වෙ ළමයින්ගෙ අපයෝජනය වැළැක්වීමට, කාන්තාවන්ගෙ අයිතිවාසිකම් රැකගැනීමට, කාන්තාවන්ට වෙන අසාධාරණය අඩු කර ගැනීමට, කාන්තාවන් වෙනුවෙන් හඬ නැගීමට කාන්තා නියෝජනයක් අවශ්‍යයි කියලයි. අපි තේරුම් ගන්න ඕන මෙතන නළුවොත් ඇවිත් ඉන්නවා නිළියොත් ඇවිත් ඉන්නව, නමුත් කාන්තාවක් වීම තුළම නිළියන්ගෙ චරිතයට හානි වෙන දේවල් කිරීම තුළින් නිළියන් පමණක් නෙමෙයි මුළු කාන්තාවටම අගෞරවයක් කරනවා. හොඳ නිළියන් ඉන්නව, හොඳ ජය්ර්ජඑදර තියෙන නිළියන් ඉන්නව, එහෙම තියෙද්දි මේ තෝරාගත් නිළියන් ප්‍රමාණයක් එළියට දැම්මෙ කාන්තාවන් ලැඡ්ජාවට පත්කිරීමටද කියන එකත් මට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනව.
අනෙත් එක තමයි කාන්තාවන්ටම මඩ ගහන්නෙ, ඒ කියන්නෙ ඔය ෆෙස් බුක් අනං මනං මාධ්‍ය වලින් බැලුවම කාන්තාවන්ම තමයි ඒවා ිය්රු කරන්නෙ. නිළියන්ගෙ පින්තූර දානවා ගොන්නුන්ගෙ පින්තූර දානව, නිළියයි ගොන්නුයි එක සමාන නම්, අපෙ අම්මත්, අපේ සහෝදරියත්, අපේ බිරිඳත් සමානයි. නිළියක් කියන්නෙත් කාන්තාවක්. නිළිය කියන්නෙ එයාගේ රැකියාවක් පමණයි. එයාගෙ ඇඟ ඇතුලෙ ඉන්නෙ කාන්තාව. නමුත් කාන්තාවන්ට හඬක් නැගීමට කාන්තාවන් පාර්ලිමේන්තුවට ඕනෑ පමණින් හැම කාන්තාවක්ම ඒකට අවශ්‍ය වෙන්නෙ නෑ. කාන්තා දේශපාලන නියෝජනය බාල්දුවට ලක්කිරීමටද මේ දේ කළේ කියන එක ගැන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා.

ANOMAමේ තත්ත්වයට ලංකාවේ කාන්තා ව්‍යාපාරයත් වගකිව යුතුයි.

14 සඟරාවේ සංස්කාරිකා – අනෝමා රාජකරුණා

සංඛ්‍යාලේඛන අනුව බැලුවම ලංකාවේ 53%කට ආසන්න ප්‍රමාණයක් ඉන්නෙ ඡන්ද බලය හිමි වැඩිහිටියන්. හැමදාමත් ඒ සංඛ්‍යාව සන්සන්දනාත්මක මට්ටමෙන් බැලුවොත් කාන්තා නියෝජනය අඩුයි. පාර්ලිමේන්තුවේ 5%කට එහා ගියෙ නෑ. ප්‍රාදේශීය හා පළාත් මට්ටම්වල ඊටත් වඩා අඩුයි. කාන්තා නියෝජනය අඩු නිසා නියෝජනයක් සඳහා එක්තරා විදිහක සලාක ක්‍රමයක් හෙවත් කෝටාවක් ලබා දෙන්න කියලා ලංකාවේ ස්ත්‍රී ව්‍යාපාරයෙන් යෝජනා කළා. ලංකාවේ දේශපාලනයේ හැමදාම සැමියා වෙනුවෙන් බිරිඳ, සහෝදරයා වෙනුවෙන් සහෝදරිය, පියා වෙනුවෙන් දුව ඡන්දදායකයන් විසින් පිළි අරගෙන තියෙනවා. ඒ කියන්නෙ තමන් දන්න අහවලාගේ අහවලා කියලයි ඡන්දය දෙන්නෙ.

දැන් විශේෂයෙන්ම දේශපාලන පක්ෂ විසින් අළුතෙන් හොයාගෙන තියෙන ‛මේ දන්න කෙනා’ හැමදාමත් ගෙදර රූපවාහිනියෙන් උදේ හවස දකින කෙනෙක්. මෙතනදි නිළියක් දේශපාලනයට පැමිණීම මට එච්චර වැදගත් හෝ නොවැදගත් කාරණාවක් නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තම අපේ කලාපයේ දේශපාලනයෙ නිළියො ඉඳල තියෙනවා, ඉන්දියාවේ ශබානා අස්මි (Shabana Azmi) ගත්තම ඇය පාර්ලිමේන්තුව නියෝජනය කරන කාලේ විවාදවලදී බොහෝ දේවල් සම්බන්ධයෙන් කතා කළා. ඇය පාර්ලිමේන්තුවෙන් එළියට බැහැලත් තවමත් ක්‍රියාකාරීයි. මේ ළඟදි කලාපයටම බලපාන ප්‍රශ්නයක් වන සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කරන විට ඇය ප්‍රකාශ කළා ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මුස්ලිම් ජාතිකයාට අවාසිදායක තත්ත්වයක් කියන එක. ඇයත් නිළියක්. නිළියක් කියන එක එක්තරා වෘත්තියක්. රඟපෑමෙන් එහා පැත්තෙ කාර්යභාරය මොකක්ද කියන එකයි වැදගත් වෙන්නෙ. නිළියකටත් හොඳ නියෝජිතවරියක් වෙන්න පුළුවන්. හැබැයි හැම නිළියකටම හොඳ නියෝජිතවරියක් වෙන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නෙ.

මම මෙතන දකින්නෙ තත්ත්වයන් දෙකක්, එකක් තමයි දේශපාලනයට එනකොට ලංකාවේ ස්ත්‍රිය පිළිබඳව සමාජයෙ තියෙන ආකල්පය තවමත් වෙනස් වෙලා නෑ, ඊළඟට ස්ත්‍රීන්ගේ ශරීරය පිළිබඳව තියෙන විද්‍යාත්මක සත්‍යය අපි අවබෝධ කරගෙනත් නෑ. ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලංකාවේ දේශපාලනයත් එක්ක හැමදාම රැඳිල තිබුණ දෙයක්. ඒක හැමදාම එයාගෙ ශරීරයත් එක්ක පැටලෙනවා. මහ මඟ නිරුවත් කිරීමේ ඉඳල ඔවුන්ගෙ පෞද්ගලික ජීවිතයට එබෙන තැන වෙනකම් සමාජය ඔවුන්ගේ ශරීරයත් එක්ක යනවා, ඊළඟට ඒ ශරීරය නිසාම ප්‍රචණ්ඩත්වයට විශේෂයෙන්ම ලිංගික බලහත්කාරයට පවා ලක්වීමේ හැකියාව තියෙනවා, ඒක අපි සයිබර් අවකාශයේ පවා දකිනවා. ලංකාවේ මේ කෝටාවක් ඉල්ලපු ස්ත්‍රී ව්‍යාපාරය කවදාවත් සැබෑවටම නායකත්වයට සුදුසු ස්ත්‍රීන් තෝරා ගැනීම පිළිබඳව වැඩිපුර වැඩකරල නෑ. ඉතාම ජනප්‍රිය ප්‍රචාරකවාදී අකෘතියක් ඇතුලෙ දේශපාලන ක්ෂේත්‍රයේ ස්ත්‍රී නියෝජනයක් නෑ කියන බෝඩ් ලෑල්ල උස්සගෙන කෝටාවක් කෝටාවක් කිය කිය ගියා ඇරෙන්න සැබෑවටම නායකත්ව ගති ලක්ෂණ සහිත කාන්තාවන් නායකත්වය කරා ගෙන ඒමේ ව්‍යාපාරයට ඔවුන් උර දීල නෑ. ඔවුන් ඒක මඟ ඇරල තියෙනව. උදාහරණයක් විදිහට කාන්තා ව්‍යාපාරය මැදිහත් වීමෙන් යම් යම් අවස්ථාවල මැතිවරණයට ලැයිස්තු ඉදිරිපත් කළත් කවුද ඒ කාන්තාවන් කියල ඡන්දදායකයන් දන්නෙ නෑ. ඡන්දදායකයාට යම්කිසි විදිහක බලාපොරොත්තුවක් ඇති කළහැකි කාන්තාවන් ඉදිරිපත් කරන්න ඔවුන් අසමත් වුණා. මේ නිර්මාණය වෙලා තියෙන තත්ත්වයට එක්තරා විදිහකට කාන්තා ව්‍යාපාරයත් වගකිව යුතුයි.

මේ මොහොතේ මේ තියෙන තත්ත්වයන් යටතේ ලංකාවේ කාන්තා නියෝජනයට අවස්ථාවක් තියෙනවා නම් තියෙන්නේ ප්‍රාදේශීය දේශපාලනයට. මොකද නැවත එන්නෙ අපි දන්න කෙනෙක්, දේශපාලනයට වැඩක් කරපු අපි දන්න කෙනෙක් කියන තත්ත්වය යටතේ කෙනෙක් තෝර ගන්න ප්‍රාදේශීය සභාවක තියෙන අවකාශය සුළුයි. අද අපි මේ කතා කරන්නෙ පළාත් මට්ටමෙන්. උදාහරණයක් විදිහට බස්නාහිර පළාත ගත්තම ඉමක් කොණක් නැති ඉතා විශාල මුදල් ප්‍රමාණයක් කැම්පේන් සඳහා වියදම් කරන මහා විශාල ප්‍රදේශයක්. එවැනි සම්පත් නැති, හැකියාව පමණක් ඇති කාන්තාවකට පුළුවන්ද මෙතන රැකෙන්න. ඒ නිසාම අපි මේ කෝටා යෝජනා කරනකොට, කාන්තා නියෝජනය ඇති කරන්න උත්සාහ කරන කොට සැබෑ ප්‍රශ්නය කෙහෙද තියෙන්නෙ කියන එක ගැන අපි සොයා බැලිය යුතුයි. කාන්තාවන් නායකත්වයට ඒම පිළිබඳ හිස්තැනක් තියෙනවා. ඒත් ඒ හිස්තැන පුරවාලිය හැක්කේ කෙසේද කියන එක ගැන හරි උත්තරය හොයා නොගෙන කැම්පේන් කිරීමට යාම නිසා තමයි මේ තත්ත්වය නිර්මාණය වෙන්නෙ. ඒ නිසා දේශපාලන පක්ෂ ඇත්තටම උත්සාහ කරනව දන්න කෙනෙක් දාලා, පක්ෂයේ භාෂාවෙන්ම කියනව නම් දිනන අශ්වයෙක් දාලා මේ ප්‍රේක්ෂකයො දිනා ගන්න.

මෙහි PDF පිටුව මෙතනින් බලන්න

votew

Recent Posts

Tags: , , , , , , , ,

Leave a Comment