රීට් ආඥා

Feb 17th, 2014 | By | Category: OTHER NEWS, අධ්‍යාපන, අධ්‍යාපනය

pdff

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ පිළිගත් මූලධර්මය අනුව රාජ්‍යයක් යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නිර්මාණයක් වන අතර ඒ අනුව රාජ්‍ය යන්න ප්‍රජාතන්ත්‍රවාදී අර්ථ ගැන්වීම අනුව විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලිකාංග තුනකින් සමන්විත වේ. එම රාජ්‍යයේ රාජ්‍ය අංශය විධායකයේ කොටසක් වන බැවින් එම රාජ්‍ය සේවකයන්ට සිය බලතල ලැබෙනුයේ නිරන්තරයෙන්ම යම් විධිමත් නීතිමය රාමුවකට යටත්වය. කෙසේ වෙතත් බොහෝ රාජ්‍ය ආයතන හෝ විධායකයේ ඉහළ නිලධාරීහු තමන් මහජනතාවගේ බදුවලින් යැපෙන හා නියමිත නීති රාමුවක් තුළ ජනතාවට සේවය සැපයීමට පත්කරනු ලැබූ බව අමතක කරති. මෙසේ යම් රාජ්‍ය ආයතනයක් තම බලය ඉක්මවා ගනු ලබන තීරණයක දී සිවිල් පුරවැසියා සතු නීතිමය රැකවරණය වන රීට් ආඥා පිළිබඳ සැකෙවින් දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

16 වන සියවස වන විට බ්‍රිතාන්‍යයේ මනාව ස්ථාපිත වූ රීට් ආඥා අප රටට ද දායාද වන්නේ ඉංග්‍රීසි පොදු නීතියේ කොටසක් ලෙසය. රීට් ආඥාවක් පරිපාලනමය නීති ආධාරකයක් ලෙස පුද්ගල නිදහස (Personal liberty) ආරක්ෂා කිරීමේ බලගතුම ආරක්ෂාව වශයෙන් ඉංග්‍රීසි පරිපාලනමය නීතියේ කතුවරයෙකු වන ස්මිත් පවසා ඇත. රීට් ආඥාවක් මූලිකවම සර්ෂියෝසාරි, ප්‍රොහිබිෂන්, මැන්ඩාමුස්, ප්‍රොසිඩෙන්ඩෝ, ක්වෝ වොරන්ටෝ සහ හබයාස් කෝපූස් ලෙස වර්ග 06 ක් ඉංග්‍රීසි පොදු නීතිය තුළ විකාශය වී ඇත. ශ්‍රී ලංකාවේදී රීට් ආඥාවක් ක්‍රියාත්මක කරවා ගැනීමට අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන 1978 ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 140, 141 වන ව්‍යවස්ථාවලත්, පළාත්වලට පමණක් අදාළව 154 (q) 4 ව්‍යවස්ථා තුළත් අන්තර්ගතව ඇත. ඉහත සඳහන් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව මූලිකවම රීට් ආඥා ලබා ගත හැකි අධිකරණ ලෙස අභියාචනාධිකරණය සහ 13 වන සංශෝධනයට පසුව 154 (q) 4 ව්‍යවස්ථාවට අදාළව පළාත්බද මහාධිකරණ දැක්විය හැකිය.

හබයාස් කෝපූස් රීට් ආඥාවන් යම් පුද්ගලයකුගේ ආරක්ෂාවට අදාළ සුවිශේෂී   රැකවරණයක් ලෙස හඳුනාගත හැකිය. මෙම රීට් ආඥාව මගින් යම් පුද්ගලයකු නීතිය ඉදිරියට ඉදිරිපත් කරන ලෙස පුද්ගලික හෝ රාජ්‍ය ආයතනයට විධානය කෙරේ. (You must have the body) යම් අනීතික රඳවා තබා ගැනීමකදී මෙම රීට් ආඥාව බෙහෙවින් වැදගත් වෙයි. In re Mark Anthony Lyster Bracegirdle (39 NLR 193) යන නඩුකරයේදී අග්‍රාණ්ඩුකාරවරයා විසින් බ්‍රෙස්ගර්ඩ්ල් යන අය රඳවා තබා රටින් පිටුවහල් කිරීමට ගත් තීරණය නීතිය ඉක්මවා ගත් තීරණයක් ලෙස තීරණය කළ අධිකරණය අග්‍රාණ්ඩුකාරවරයාගේ එම තීරණය බලාතික්‍රමණයක් (ultra vires) ලෙස සලකා බලශූන්‍ය කරන ලදී. එහිදී අධිකරණය දක්වා සිටියේ “යම් විධායකයකට ක්‍රියා කළ හැක්කේ එයට නීතියෙන් ලබා දී ඇති බලතල අනුව පමණක්” බවයි.

හබයාස් කෝපූස් ආඥාවකදී යම් අයෙකු අනීතික ලෙස රඳවා තබා ගෙන ඇද්දැයි පරීක්ෂා කිරීමේදී අධිකරණය අසද්භාවය (mala fide), ප්‍රමාදීභාවය (Belated order), නිසි බලය ඇති ආයතනයක් නොවීම, නොපැදිලි වීම (vague) වැනි ක්ෂේත්‍ර රාශියක් සලකා බලයි. හබයාස් කෝපූස් ආඥාවක් යම් අනීතික ලෙස රඳවා ගැනීමට ලක්ව ඇති අයට ඔහු විසින්ම හෝ සමීප ඥාතියෙකු මගින් හෝ යම් සම්බන්ධයක් ඇති පාර්ශ්වයක් මගින් ලබා ගත හැකි නමුත් සම්පූර්ණ විධායකයකුට (Total stranger) එවැනි හිමිකමක් නැත.

ක්වෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් (By what authority) මගින් සිදු කරනුයේ යම් රාජ්‍ය නිලධාරියෙකුට එම ධුරය දැරීමට ඇති සුදුසුකම ප්‍රශ්න කිරීමය. මෙවැනි රීට් ආඥාවක් අයැදීමකදී ඔහුගෙන් අගතියට පත් පාර්ශ්වයක් වීම අවශ්‍ය නැත. එහෙත් එම ධුරය ව්‍යවස්ථාපිත හෝ පොදු ආකෘතියේ එකක් විය යුතු ය. කෙසේ වෙතත් මෙම රීට් ආඥාවක් අයැදීමකදී සද්භාවීව සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම අයිතිය මගින් පාර්ලිමේන්තුවක, පළාත් සභාවක හෝ ප්‍රාදේශීය සභාවක ධුර දරන්නෙකුට එම ධුරය දැරීමට ඇති අයිතිය ප්‍රශ්න කළ හැකිය. Bandaranayake Vs. De Alvis 82 (2) SLR 664 හිදී ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කටයුතු කිරීම වළකාලමින් එහි විනිසුරුවරයෙකුට එරෙහිව ක්වෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලදී.

මෙම දෙවර්ගයම පොදු නීතියේදී එකම කුලකයක් ලෙස වර්ග කරන අතර සර්ෂියෝරාරි ආඥාවක් මගින් යම් විධායක ආයතනයක් හෝ පුද්ගලයෙක් සිදු කළ අනීතික ක්‍රියාවක් බල රහිත කරවා ගත හැකි අතර තහනම් ආඥාවක් මගින් එවන් ක්‍රියාවක් මතුවට එනම් අනාගතයේදී සිදු කිරීම වළක්වන ලෙස අයැද සිටිනු ලැබේ. බන්දුල එදිරිව අල්මේදා සහ තවත් අය 95 (1) SLR 309 නඩුවේදී ජනාධිපතිවරයා විසින් පුද්ගලික දේපළක් පවරා ගැනීමට කළ නියෝගය සර්ෂියෝරාරි ආඥාවක් මගින් අධිකරණය විසින් බල රහිත කරන ලද්දේ එම නියෝගය නිසි නීතිමය උපචාරයන්ට අනුකූලව සිදු කරනු නොලැබීම මතය. එසේම Phool Chand vs. Regional Transport Authority (AIR 1986 SC 119) යන ඉන්දීය නඩුකරයේදී ඉන්දීය අධිකරණය ප්‍රාන්ත රාජ්‍යයක් විසින් ආරම්භ කළ මෝටර් රථ ව්‍යාපෘතියක් බල රහිත කරන ලද්දේ එම ව්‍යාපෘතිය ඇරඹීම සඳහා විශාල කාලයක් ගත කිරීම මතය.

මැන්ඩාමුස් රීට් ආඥා යම් විධායක අධිකාරයක් හෝ පුද්ගලයකු විසින් නෛතිකව ඉටු කිරීමට බැඳී සිටින නීතිමය වගකීමක් හෝ යුතුකමක් පැහැර හැරීමකදී සිවිල් පුරවැසියන්ට එම නෛතිකමය අයිතිය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ඇති නෛතික ආරක්ෂණය ලෙස මැන්ඩාමුස් රීට් ආඥා හඳුන්වා දිය හැකිය. මැන්ස්ෆීල්ඩ් සාමිවරයාට අනුව මැන්ඩාමුස් රීට් ආඥා අනීතික ලෙස සිය වගකීම් පැහැර හැරීමක දී සිවිල් පුරවැසියන්ට සිය අයිතීන් රැක ගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කරන්නකි. කෙසේ වෙතත් අධිකරණය මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන්නේ වෙනත් පරිපාලනමය සහායක් නොමැති අවස්ථාවක පමණි. එසේම Mani Subrat vs. State of Haryana (1977 -1 SCC 486) තීරණය අනුව මැන්ඩාමුස් රීට් ආඥාවක් ලබා ගැනීම සඳහා එය අයදින පාර්ශ්වයට නීතිමය අයිතියක් තිබිය යුතුය.

රීට් ආඥා නිකුත් කිරීම සඳහා අධිකරණය මූලිකව පදනම් කරගන්නා මූලධර්ම ලෙස ස්වභාවික යුක්ති මූලධමය Natural Justice හඳුනාගත හැකිය. මේ අනුව නිසි ඇහුම්කන් දීමකින් තොරව (audi alteram partem) ලබා දෙනු ලබන විධායකමය (Executive) තීන්දු රීට් ආඥා මගින් බල රහිත කිරීමට අධිකරණය නොපැකිළේ. මෙයට හේතුව වන්නේ Schmidt vs. Secretary of State for Home Affaires හිදී දක්වා ඇති පරිදි යම් අයෙකුට තම අයිතීන් කියා පෑමට ඇති හිමිකම ස්වභාවික යුක්තියේ අනිවාර්ය මූලිකාංගයක් වන හෙයිනි. මොරිස් සාමිවරයා ස්වභාවික යුක්ති මූලධර්මය පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වමින් Furnell vs. Whangarai High School Board නඩුවේදී ප්‍රකාශ කරන ලද්දේ ස්වභාවික යුක්තිය යනු සාධාරණත්වය මිසෙක අනෙකක් නොවන බවත් එය ඕනෑම තීරණයක සාධාරණත්වය සඳහා තිබිය යුතු අනිවාර්ය මූලිකාංගයක් වන බවත්ය. රණරාජා විනිසුරුතුමා Multinational Property Development Ltd vs. Urban Development Authority (1996 (2) SLR 51) නඩුවේදී දක්වන ලද්දේ ඇහුම්කන්දීමක් සිදු කළද ප්‍රතිපත්තිමය වෙනසක් නොවන්නේය යන පදනම මත යම් අයෙකුට ඇති නීතිමය අපේක්ෂාවක් (Legitimate expectations) උල්ලංඝනය කිරීමකදී ඒ සඳහා මැදිහත් විය හැකි බවත් මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතන සතුව එවන් සවන් දීමේ යුතුකමක් ඇති බවත්ය.

රජයේ ඉඩම්වලට අදාළව රීට් ආඥා ලබා ගැනීමකදී එම ඉල්ලීම අභියාචනාධිකරණය වෙත කළ යුතු වන අතර මේ බව SC SP 26/2003 10.12.2013 දරණ ඉඩම් හිමිකම් පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශ කිරීමේදී තහවුරු කර ඇති අතර මේ බව රාජපක්ෂලාගේ ප්‍රේමජයන්ත එදිරිව ප්‍රාදේශීය ලේකම්-රාජාංගනය, SC No 04/ 2011, 16.01.2012 දරණ තීරණයේ දී තහවුරු කර ඇත. මේ අනුව රාජ්‍ය ඉඩමක් විෂය වස්තුව වී ඇති නඩුවක රීට් ආඥා අයැද සිටිය හැක්කේ අභියාචනාධිකරණයේදී පමණි.

කෙසේ වෙතත් සහන ලබා දීම නිෂ්ඵල යැයි හැඟෙන අවස්ථාවලදී අධිකරණය රීට් ආඥා නිකුත් නොකරයි. මේ බව Credit Information Bureau of Sri lanka vs. Jeffergee (pvt) Ltd 2005 (1) SLR 89 හිදී දක්වා ඇත. එසේම රාජ්‍ය සේවා කොමිසන් සභාවක් මගින් ගත් තීරණයකට එරෙහිව පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියක් මගින් ලබා දුන් අභියාචන තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයේදී රීට් ආඥා ගොනු කළ හැකි බවට A.M. Rathnayake vs. AAT and others SC SPL LA 173/20111 යන නඩුවේ දී තහවුරු කොට ඇත.

එසේම රීට් ආඥා සඳහා කරනු ලබන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ විට එම තීරණයට එරෙහිව ශේෂ්ඨාධිකරණයේ විශේෂ අභියාචනා ඉල්ලීමක් (Special leave to appeal) සති 06 ක් ඇතුළත සිදු කළ යුතු වේ. එම සති 06 ක කාලය ගණන් ගනු ලබන්නේ අභායාචනාධිකරණ තීන්දුව පාර්ශ්ව ඉදිරියේ ඉදිරිපත් කළ (Pronounce) දින සිට බව Municipal Council of Moratuwa vs. Fernando SC SPL 122-123/ 2011, 31.10.2012. යන තීරණය මගින් තහවුරු කර ඇත. එසේම විශේෂ අභියාචන අවසර ඉල්ලීමකදී නිසි පාර්ශ්වයන්ට නොතීසි නිකුත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රේෂ්ඨාධිකරණ රීති 8(3) පිළිනොපැදීම මත අවසානාත්මක ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අවස්ථාවක් උදය සමන්ත එදිරිව ජීවන් කුමාරතුංග, ඉඩම් අමාත්‍ය සහ තවත් අය නඩුවේදී (SC SPL LA No 49/2010, 29/03/2012) සිදු වූ අතර මේ අනුව නිසි සැලකිල්ලෙන් කටයුතු කිරීම අදාළ නීතිඥවරුන්ගේ වගකීම වේ. කෙසේ වෙතත් සාමාන්‍ය තාක්ෂණික හේතු මත පමණක් අපගේ අධිකරණය එසේ අභියාචන ඉල්ලීම් ඉවත නොදමන බව සමන්ත නිරෝෂණ එදිරිව සෙනරත් (SC SPL LA 145 / 2006 02/08/2007 iy A.H.M. Fauzi vs. Vehicle Lanka SC 286/2007 27/02/2008) නඩුවලදී තීරණය කොට ඇත.

ඉහත කරුණු සාකච්ඡා කිරීමේදී අවධාරණය කළ යුත්තේ යම් රජයේ ආයතනයක් හෝ බලධාරියකු කරන අනීතික ක්‍රියාවකට එරෙහිව රැකවරණය ලබා ගැනීම මගින් පුද්ගලයන්ට ඇති අයිතිය ක්‍රියාත්මක කිරීම මුළු සමාජයටම කරනු ලබන මහඟු සේවාවක් වන බවයි∎

නීතීඥ යසස් ද සිල්වා

සැබැදි ලිපි

මූලික අයිතිවාසිකම් නඩුකර සහ මානව අයිතිවාසිකම්

rit

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment