වර්ගවාදයෙන් ආගම්වාදයට…?

Feb 25th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

පසුගිය දිනක හික්කඩුව නගරයේ තිබූ ආගමික මධ්‍යස්ථාන දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වූ භික්ෂූන් සහ බෞද්ධ කොඩි රැගෙන පැමිණි කලහකාරී ගිහියන් පිරිසක් එහි සිටි ඇතැම් පුද්ගලයන්ට මරණ තර්ජනය කරමින් හා ගල් මුල්වලින් පහරදී ආගමික මධ්‍යස්ථානයට ද එහි තිබූ ආගමික පොත්පත්වලට ද හානි කළ බව වාර්තා විය. මෙය මෙවන් සිදුවීම්වල මුල් අවස්ථාව නොවීය. දිවයිනේ විවිධ අවස්ථාවල විවිධ ආගමික මධ්‍යස්ථානයන්ට මෙලෙසම පහරදීම් සිදුවිය. ලෝකයේ බොහෝ අනන්‍යතා ගැටුම්වලට හේතු වී ඇති ප්‍රබලතම සාධක දෙක වන්නේ වාර්ගිකත්වය හා ආගමයි.

ලංකාව එවැනි වාර්ගික ගැටලුවකට මුහුණ දී එය නිසි ලෙස නිමා වන්නටත් පෙර නව ප්‍රවණතාවයක් ලෙස ආගම් මුල් කරගත් ගැටුම් හටගනිමින් තිබේ. මෙය ඉබේ සිදුවන්නක්ද යන්න අප විමසා බැලිය යුතුය. බොහෝ අනන්‍යතා ගැටුම්වල දැකිය හැකි එක් ලක්ෂණයක් නම් ජනතාව අතර විවිධාකාරයේ භේද ඇති කිරීමට එම ජනතාවගේ නායකයන් විසින්ම පෙරමුණ ගැනීමයි. එය, දේශපාලනික නායකයන් මෙන්ම ආගමික හෝ වෙනත් ප්‍රභූ යැයි පිළිගත් නායකයන් අතින් ද සිදුවිය හැකිය. ඔවුන් එසේ කරනුයේ තමන්ගේ දුර්වලතා වැරදි අඩුපාඩු ජනතාවගෙන් වසන් කරමින් තම බලය දිගටම පවත්වාගෙන යාමටය. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළද මතුපිටින් ගත් විට මනා ආර්ථික සංවර්ධනයක් කරා යන, නිසි කලට වේලාවටත් පෙර මැතිවරණ පවත්වන ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවයක් දිස්වුවද අභ්‍යන්තරය තුළ කැකෑරෙන දැවෙන ප්‍රශ්න රැසක් ඇති බව සැවොම දනී. දේශපාලනික අසමත්කම් ඇති පාලකයන්ට තම බලය පවත්වාගෙන යාමට සෑම විටම සමාජයේ යම් යම් අර්බුදයන් ඇති කරමින් තම බලය තහවුරු කරගනී.

රටේ පැවති ජනවාර්ගික අර්බුදයට මර්දනයෙන් උත්තර දී සහමුලින්ම ඉවර කර දැමූ අතර දැන් සිංහල බෞද්ධ ජනතාවට ඒත්තු ගන්වමින් තිබෙන්නේ තමන්ගේ සියලු ප්‍රශ්න ගැටලුවලට හේතුව අන්‍යාගමිකයන් බවය. හලාල් ප්‍රශ්නය මෙන්ම, මුස්ලිම් ව්‍යාපාර ඉලක්ක කොටගෙන දියත් වන්නේ ද ඒ පීඩනයේ එක් ස්වරූපයකි. තවත් විටෙක විවිධ ක්‍රිස්තියානි සභාවන්ය, යාඥා මධ්‍යස්ථානයන්ය. ඒවාට බලෙන් ඇතුළු වී කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීම මෙන්ම කතෝලික දේවස්ථානවල පැවති සඳකඩපහණ යනාදී ඓතිහාසික වටිනාකමකින් යුත් සංකේත රැගෙන යාමද එහි ප්‍රතිඵලයකි. මේ ආකාරයට සිංහල බෞද්ධ ජනතාවගේ ගැටලුවලට හේතුව සිංහල වුවද බෞද්ධ නොවන සහ අනෙකුත් සියලු වාර්ගික ආගමිකයන් බවට මතයක් වර්තමාන සමාජය තුළ පතුරුවමින් යන්නේ ලොව අවිහිංසාවාදීම දහම ලෙස සැලකෙන බුදු දහමේ පැවිදි ශ්‍රාවකයන් සහ එහි ආරක්ෂකයන් ලෙස තමන්ම හඳුන්වා ගන්නා ගිහි පිරිස් විසින්මය.

ආගමික නිදහස යන්න මූලික අයිතිවාසිකමකි. ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති දහමක් ඇදහීමට, පිළිගැනීමට නිදහස ඇතිවා සේම, තමාට කැමති නම් කිසිදු ආගමකට නතු නොවී සිටීමට ද හැකියාව ඇත. එහෙත් තමන් විශ්වාස නොකරන, පිළිනොගන්නා හෙයින් අනෙක් ආගම් නොපැවතිය යුතුය යන්න පැවසීමට කිසිවෙකුට නොහැකිය. එක් පුද්ගලයෙකුට තමන්ගේ ආගම උතුම් වන්නේ යම්සේද අනෙකාට ඔහුගේ ආගමද එසේමය. කුමන හෝ ආගමක් මුවාවෙන් යම්කිසි නීති විරෝධී දෙයක් හෝ සමාජයට අහිතකර යමක් සිදුවන්නේ නම් එය නීතිමය මාර්ගයෙන් විසඳාගත යුත්තකි. එසේ නොමැතිව ආගමික නායකයින් මැරවරයින් මෙන් බලෙන් එම ස්ථානවලට ඇතුල් වී ක්‍රියා කරන ආකාරය පිළිගත නොහැක. තමන්ගේ ආගමේ නාමයෙන් අන්‍යාගමිකයන්ට හා අනෙකුත් ජනතාවට පීඩා කරන්නන් අප නම් හඳුන්වන්නේ ආගම් භක්තිකයන් ලෙසින් නොව ආගමික මූලධර්මවාදීන් නැතහොත් අන්තවාදීන් ලෙසිනි.

බුදු දහම ගත් කල එය වඩාත් ප්‍රායෝගික, අවිහිංසාවට නැඹුරු වූ දහමකි. තවද බුදු දහමේ තිබෙන සුවිශේෂත්වය නම් එය එතෙර වීමට මිස අනවශ්‍ය ලෙස ඇලී ගැලී සිටීමට නොවන බව පෙන්වාදී තිබීමය. බුදුරජාණන් වහන්සේ විසින්ම සිය දහම පහුරකට සමාන කරමින් එය සසර ගංගාවෙන් එතෙර වීමට මිස කර තබා ගෙන යාමට නොවන බව පහදා දුන්නේය. එහෙත් වර්තමාන ඇතැම් බුද්ධ ශ්‍රාවකයන් මෙන්ම සිංහල ජාතිය හා බුදු දහම බේරා ගනිමු යනුවෙන් මොරගාන ජාති හා ආගම්ප්‍රේමීන් මෙය නොදන්නේද? ඔවුන් නිරන්තර බියෙන් පසුවන්නේ අන්‍යාගමිකයන් නිසා තමන්ගේ දහම විනාශ වේයැයි කියාය. නමුත් සැබවින්ම සිදුවන්නේ බුදු දහමේ සැබෑ අරුත ඔවුන් අතින්ම විනාශ වී යාමය∎

ජයනි ප්‍රනාන්දු 

srs

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment