කාන්තා නියෝජනය වැඩිකිරීමේ අවශ්‍යතාව

Mar 8th, 2014 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS, කාන්තා

ලෝක කාන්තා දිනය අදයි

තවත් එක්‌ කාන්තා දිනයක්‌ එළඹෙමින් තිබේ. වසරකට වරක්‌ කාන්තා දිනය එළඹෙනවිට පමණක්‌ අපේ සමාජය තුළ බොහෝ මෙහෙවරක යෙදෙන කාන්තාවන් පිළිබඳව කතා කිරීම සහ ඇගයීම සෑහේදැයි අප විමසා බැලිය යුතුය. කෙසේ නමුත් මාර්තු 08 වැනිදාට එළඹෙන කාන්තා දිනයන්හිදී හෝ වාර්තමාන කාන්තාව ලබා ඇති ජයග්‍රහණයන් සහ ඈ සමාජය වෙනුවෙන් ඉටු කරනා නිහඬ කාර්යභාරය පිළිබඳව සියලු දෙනාගේ ඇස්‌ අරවීම කතා නොකර සිටිනවාට වඩා අගනේයෑයි සිතේ.

ශ්‍රී ලංකාවේ සමස්‌ත ජනගහණයෙන් හරි අඩකට වඩා සිටින කාන්තාව අපේ රටේ ආර්ථික ජයග්‍රහණයන් වෙනුවෙන් විවිධ ක්‍ෂේත්‍රවල සිට සෘජුව සහ වක්‍රව ශ්‍රමයෙන් සහ දැනුමෙන් ලබා දෙන දායකත්වය සුළුපටු නොවන බව ඔබ පිළිගැනීමට සූදානම්ද? එය සත්‍ය තත්ත්වයකි. ශ්‍රී ලංකාවට වැඩි විදේශ විනිමයක්‌ සපයන ගෘහ සේවිකාවන්. තේ දලු නෙළන්නියන් සහ ඇඟලුම් සේවිකාවන් යන භූමිකා තුනම නියෝජනය කරන්නේ අපේ රටේ කාන්තා පරපුරයි. තවත් ආකාරයකට පෙන්වා දෙන්නේ නම් මෙකී ක්‍ෂේත්‍ර ත්‍රිත්වය තුළම කාන්තාව විවිධ වූ නිලතල දරමින් ශ්‍රමය සහ දැනුම එම ක්‍ෂේත්‍රවල ප්‍රගමණය සඳහා ලබාදෙමින් කාර්යක්‍ෂම සේවාවක්‌ ඉටු කරයි. මෙවර කාන්තා දින තේමාව වන්නේද “ඇගේ ශක්‌තිය දැයේ ශක්‌තියයි” යන්නයි. මෙහි ඇති ප්‍රශංසනීය සහ ඇගයිය යුතු තත්ත්වය වන්නේ මෙම ක්‍ෂේත්‍ර තුනෙහිම සේවය කරන කාන්තාව විටෙක දියණියක, සොයුරියක, බිරිඳක, මවක සහ මිත්තණියක ලෙසත් තමන්ගේ පවුල් සංස්‌ථාවට මෙන්ම සමාජයට, රටට සහ ලෝකයට යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමයි. වගකීම් තම උර දරා ඉටු කිරීමට අසීමිතව වෙහෙසීමයි. භූමිකා රැසක්‌ එකවිටම වඩාත් නිරවුල්ව දැරීමේ අපූර්ව ශක්‌තියක්‌ ඈ තුළ තිබේ. මෙය කාන්තා පෞරුෂත්වය තුළ ඇති ආශ්චර්යයක්‌ ලෙස හැඳින්වීම වටී.

ගැහැනියකට වඩා සෑම අතින්ම ශක්‌ති සම්පන්නයෑයි, සෑම අතින්ම ඉදිරියෙන් යෑයි කියා ගන්නා පිරිමියාට වඩා කාන්තාව සතුව දරා ගැනීමේ ශක්‌තියක්‌ සහ ඉවසීමේ මහා ගුණයක්‌ තිබේ. එයට ලබාදිය හැකි සරල සහ කදිම උදාහරණය වන්නේ දරුවකු මාස නවයක්‌ කුස දරා අසීමිත වේදනාවන් විඳිමින් කිරි කැටියාට ජීවය ලබා දෙන්නේ මවක්‌ තම ජීවිතය ද පරදුවට තබා වීමයි. තමා ලබා ගන්නා පෝෂණයන් සියල්ල එම කාලය තුළ දරුවා වෙනුවෙන් වන අතර ඇයට ආස කරන කිසිම ආහාරයක්‌ හෝ පානයක්‌ වුවද කෑමට හෝ බීමට නොගන්නේ සහ කැමැති යම් දෙයක්‌ නොකරන්නේ දරුවාට ඇති සෙනෙහස සහ දයාව නිසාම නොවන්නේද? මාස නවයක කාලයක්‌ දරුවා කුසේ වැඩෙන කාලය තුළ ඇගේ ශරීරයේ වෙනස්‌කම් රැසක්‌ සිදුවූවත් සහ වේදනා රැසක්‌ අසීමිතව දැනුණත් ඒ සියල්ල ඉන්ද්‍ර‚ලයක්‌ ලෙස නොසැලී ඉවසීමෙන් ඈ පෙන්වන අපූර්වත්වය මෙලොව කවර ජීවියෙකුට හෝ සමකළ හැකිද? මෙයයි කාන්තාව සතු අපූර්වත්වය. දරුවා ඉපදීමෙන් පසු රුහිරු කිරට හරවා පොවා කැත කුණු අත ගා දරුවා උගතෙකු කරන්නට ඈ තරම් වෙහෙසෙන කෙනෙකු මිහිපිට ඇත්ද? උදේම අවදිවී රාත්‍රියේ අවසානයේ නින්දට යන්නේ එම නිවසේ අම්මාය. ඈ අතින් දෛනිකව ඉටුවන කාර්යභාරය වචනවලින් පවසා අවසන් කළ හැකිද? මේ සියලු වගකීම් සහ යුතුකම් ඇය ඉටු කරන්නේ නිවස තුළ දී හෝ තම පවුල තුළදී වේ.

සංවර්ධන ක්‍රියාවලියේ දී ගෙවිලියක්‌ සහ කම්කරු ලෙස ගම්මානයේ දී ශ්‍රමය කැප කරන කාන්තාව අධ්‍යාපනය ලබා නගරයට පැමිණෙන විට සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්‍ෂක, පරිපාලන, ගුවන් සේවා, කර්මාන්ත, ව්‍යාපාර, මාධ්‍ය, ධීවර, දේශපාලනය වශයෙන් මෙකී නොකී ක්‍ෂේත්‍ර රැසක ජය කෙහෙළි නංවා හමාරය. නමුත් ඇතැම් ක්‍ෂේත්‍රවලට කාන්තා නියෝජනය අවශ්‍යම වුවත් ඒවායේ ඇය රැඳී සිටින්නේ සුළු වශයෙන්වීම කනගාටුවට කරුණකි. උදාහරණ ලෙස ඈ අද වනවිට නිල් අහස ජයගෙන තිබුණද එම අභියෝගය භාර ගෙන ඇත්තේ අතේ ඇඟලි ගණනටත් වඩා අඩු කාන්තාවන් පිරිසකි. තව තවත් මෙවන් ක්‍ෂේත්‍රවලට කාන්තා නියෝජනය අත්‍යවශ්‍ය වන්නේ ඇය මෙම ක්‍ෂේත්‍රය දෙස බලන අයුරු සහ එම ක්‍ෂේත්‍රය තුළ ඇති වන ගැටලු විසඳන ක්‍රමය හාත්පසින්ම වෙනස්‌ වන නිසාය. ඇය සැබැවින්ම පිරිමි පාර්ශ්වයට වඩා බොහෝ සේ වෙනස්‌ වනු ඇත.

තවද දේශපාලන සහ කර්මාන්ත ක්‍ෂේත්‍රවල කාන්තා නියෝජනය ඉතාමත් අවම වේ. දේශපාලනය යනු පිරිමින්ට හුදෙක්‌ම අයත් ක්‍ෂේත්‍රයක්‌ ලෙස සිතිය යුතු නැත. අපේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රයට කාන්තා නියෝජනය සිය දහස්‌ ගුණයකින් අවශ්‍ය වී ඇත. සාමාන්‍යයෙන් නිවසක ගෘහමූලිකයා පියා වුවත් දරුවන් පියාගෙන් ඕනෑම දෙයක්‌ ඉල්ලන්නේ මව හරහාය. ඈ තම දරුවන් වෙනුවෙන් එය පියාගෙන් ඉටුකර දීමට කදිම උපායන් යොදයි. පියා වුවත් අපේ සමාජ රටාව තුළ නිවසේ සහ දරුවන් පිළිබඳ තීරණ ගන්නේ මවගෙන් දෙවරක්‌ම අසා සාකච්ඡා කරමිනි. මෙකී න්‍යාය බහුතර පිරිමින් කොටසක්‌ නියෝජනය කරන අපේ රටේ දේශපාලන සංස්‌කෘතියට වලංගු කළ හැකි නම් මේ සමාජය කාන්තා දේශපාලනය නියෝජනය නිසා සුන්දර වනු ඇත. ජනතා ප්‍රශ්න, තරුණ ගැටලු සහ ළමා ප්‍රශ්න සංවේදී කාන්තා ඇසින් මනාව ස්‌පර්ශ කරනු ඇත. දේශපාලනයේ යෙදෙන පිරිමි පාර්ශ්වය සංවේදී කරවන්නට අලුත් ඇසකින් ලොව දැකීමට කියා දීමට ඇයට අත්වැලක්‌ විය හැකිය. දේශපාලන ලෝකය අදට වඩා ශිෂ්ට සම්පන්න වීමට කාන්තා නියෝජනය වැඩිවීම හේතු වීම බව මාගේ අදහසයි. ඇයට ඕනෑම ක්‍ෂේත්‍රයක ඇති බාධක සහ අභියෝග ජයගැනීමේ ශක්‌තිය උපතින්ම ලැබී ඇත. කළ යුත්තේ එය තැනට ගැලපෙන ලෙස භාවිත කිරීමට පුරුදුවීමක්‌ පමණකි.

කාන්තාව දේශපාලන ක්‍ෂේත්‍රයට පැමිණීම තුළ අද අපේ රටේ බහුලව වාර්තා වන ළමා අපයෝජනය, කාන්තා ප්‍රචණ්‌ඩත්වය, කාන්තා හිංසනය වැනි තත්ත්වයන් පිටු දැකීම සඳහා සහ එවැනි තත්ත්වයන්ට ලක්‌ වූ කාන්තාවන්ට සර්ව සාධාරණය ඉටු කිරීමට මීට වඩා හොඳින් පෙළ ගැසීමට පුළුවනි. තවද එසේ හිංසනයට පත්වන කාන්තාව අපේ පවතින සමාජ වටපිටාව තුළ සහ නීති පද්ධතිය තුළ බියෙන් වෙළී පිළිසරණක්‌ පතා ඉදිරියට නොඑන්නේ සමාජයේ දී ගැරහුමට සහ නීතියේ දී ඈ නිරුවත් වීම නිසාය. ඔවුන් වෙනුවෙන් යුක්‌තිය ඉටු කිරීමට පෙළ ගැසීමේ ශක්‌තිය කාන්තාව තුළම ඇති විය යුතුය. අපේ රටේ කාන්තා සාක්‍ෂරතාව සියයට අනූනවයක්‌ ලෙසින් ඇතැම් සංවර්ධිත රටවලට වඩා ඉහළින් පැවතුණද ශ්‍රී ලාංකීය වනිතාව තවමත් පිරිමින්ගේ මුසාවන්ට සහ තාඩන පීඩනවලට ලක්‌වීම ඇගේ බුද්ධිමත්භාවයට ද නිගාවෙකි. මෙය ඉක්‌මනින්ම වෙනස්‌ විය යුතු තත්ත්වයකි.

එමෙන්ම දේශීය කර්මාන්ත ක්‍ෂේත්‍රය තුළ ද ඇත්තේ මෙවන්ම කනගාටුදායක තත්ත්වයකි. පිරිමින් බහුල මෙම ක්‍ෂේත්‍රය තුළට ද කාන්තා දායකත්වය තව තවත් වැඩි විය යුතුය. කාන්තාවක සතු පිළිවෙළ, අපරිමිත ධෛර්යය සහ උත්සාහය අත් නොහරිමින් අභියෝගාත්මක ව්‍යාපාර ක්‍ෂේත්‍රය ජය ගැනීමට මහත් අත්වැලක්‌ වනු ඇත. පිරිමින් සමඟ ගැටෙමින් තරග කරමින් කටයුතු කිරීමේ හැකියාව ඔබට හොඳින් ඇති බව පසක්‌ කර ගත යුතු කාන්තාවන් තමන් යම් කර්මාන්තයක හෝ ව්‍යාපාරයක ස්‌වාමි දියණියක වීමෙන් එම ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ නියෑළී සිටින පිරිසගේ ගැටලුවලට කන්දෙන්නේ ද හදවතට ස්‌පර්ශ කරමින් වීම දැයේ භාග්‍යයක්‌ නොවන්නේද?

මේ නිසා දැනට යම් යම් හේතූන් නිසා කාන්තා නියෝජනය සැළකිය යුතු ලෙස අවම සියලු ක්‍ෂේත්‍රයන්ට බුද්ධිමත් කාන්තාවන්ගේ සම්ප්‍රාප්තිය වැඩි කිරීමට යම් සාර්ථක වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව ඇති බව මතක්‌ කරදීම කාන්තා දිනය වෙනුවෙන් කළයුතු හොඳම මතක්‌ කිරීමයි. මෙය රාජ්‍ය අනුග්‍රාහකත්වය ඇතිව රාජ්‍ය සහ පෞද්ගලික මට්‌ටමේ ජයග්‍රහණයන් තම කැපවීමෙන් සහ බුද්ධිමත්භාවයෙන් ලබා ගත් අපේ රටේ කාන්තාවන් එක්‌ රැස්‌ කරගනිමින් කළ යුතු කදිම ආයෝජනයකි. එක්‌ පැත්තකින් මෙය යුගයේ අවශ්‍යතාවක්‌ ලෙස හැඳින්වුවත් කම් නැත.

දීපානි සමරසිංහ
(පසුගිය වසරේ කර්මාන්ත සහ වාණිජ මණ්‌ඩලය මගින් පැවැත් වූ “2013 වසරේ හොඳම ව්‍යවසායකයා” තේරීමේ සම්මාන උළෙලදී මහා පරිමාණ කර්මාන්ත කාණ්‌ඩය යටතේ ජාතික සම්මානයෙන් සහ බස්‌නාහිර පළාත් සම්මානයෙන් පිදුම් ලැබූ එකම කාන්තාව).

උපුටා ගැනීම දිවයින වෙබ් අඩවියෙනි.

http://www.divaina.com/2014/03/08/feature01.html

women

Recent Posts

Tags: , , , ,

Leave a Comment