‛ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ’ (ධම්මො හවේ රක්ඛති ධම්මචාරී) රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් මානව හිමිකම් රුකවලුන් නිදහස ලැබූ වගයි

Mar 21st, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

සුදර්ශන ගුණවර්ධන

ඔබ ‛සුපර් මෑන්’ හෙවත් සුපිරි මිනිසාගේ වීර චරිතාපදානය කියවා නැත්නම් අඩු ගණනේ නරඹා ඇතිවාට සැකයක් නැත. සාමාන්‍ය මිනිසෙකු වන ක්ලාර්ක් කෙන්ට් යනු ‛ඩේලි ප්ලැනට්’ පුවත්පතේ මාධ්‍යවේදියෙකි. එකී සාමාන්‍ය මිනිසාට අසාමාන්‍ය බලයක් ලැබී ඇත. මේ අසාමාන්‍ය ශක්තිය ක්ලාර්ක් කෙන්ට් හට ලැබී ඇත්තේ විපතට පත්වූවන්හට හෙවත් වින්දිතයන්හට පිහිටවීම පිණිසය. මේ අසාමාන්‍ය ශක්තිය ක්ලාර්ක් කෙන්ට් හට වරප්‍රසාදයක් නොව වගකීමක් වන්නේය. එයට හේතුව තමන් ජීවිතයේ කෙතරම් වැදගත් අවස්ථාවක් ගත කරමින් සිටියා වුවද වින්දිතයකු ගලවාගැනීම වෙනුවෙන් ඒ සියල්ල අතහැර වහා පිටත්ව ගොස් මැදිහත් වී රැකවලකුගේ භූමිකාව රඟපෑමට ඔහුට සිදුවන නිසාය.

සුපර් මෑන් මෙන් විශේෂ බලයක් සතුවන්නාවූද වින්දිතයන්ගේ රැකවලුන් සේ ක්‍රියාකරන්නාවූද මිනිසුන් සහ ගැහැනුන් තවමත් ලෝකයේ ජීවත් වෙතියි කිවහොත් සමහර විට දැන් වැඩිහිටි වයසට පත්ව සිටින ඔබ මවිතයට පත් වන්නට හෝ එකී ප්‍රකාශය අවඥාවෙන් හෙළා දකින්නට හෝ ඉඩ ඇත.
නමුත් අප කියන්නේ සැබෑවකි. එවන් රැකවලුන් අදත් අප අතර සිටිති. සාමාන්‍ය මිනිසුන් වන ඔවුන් තමා වෙත ලැබී ඇති සුවිශේෂ බලය භාවිතා කරමින් වින්දිතයන් වෙනුවෙන් මැදිහත් වෙති. එසේ කරද්දී තම පෞද්ගලිකත්වය අහිමි කරගන්නා අතරම තම ආරක්ෂාවද නිරතුරුවම අනතුරෙහි හෙළා ගනිති.

මේරියස් රුක්ෂාන් ප්‍රනාන්දු හෙවත් රුකී ප්‍රනාන්දු යනු එවන් සාමාන්‍ය මිනිසෙකි; අසාමාන්‍ය රැකවලෙකි. තම තරුණ ජීවිතය සම්පූර්ණයෙන්ම වින්දිතයන් වෙනුවෙන් කැප කළ මිනිසෙකි. යුද ගැටුමට මැදිවූ සාමාන්‍ය මිනිසුන් සහ ගැහැනුන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් යුද්ධය උග්‍ර වූ සමයේ මෙන්ම පශ්චාත් යුද සමයේද එකසේ මැදිහත් වුණු ඔහු යුද වැදී සිටි දෙපාර්ශ්වය – එනම් ලංකා ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය- අතින්ම සිදු වූවා යැයි චෝදනා ලබා ඇති අතිකරණයන් සහ මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව දේශපාලනික පක්ෂපාතීත්වයකින් තොරව සහ වාස්තවිකව කටයුතු කළ අව්‍යාජ මානව හිමිකම් රැකවලෙකු විය.

මාර්තු මස 16 වන ඉරු දින කිලිනොච්චියේදී රුකී ප්‍රනාන්දු නමැති සාමාන්‍ය මිනිසා ආණ්ඩුවේ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නේය. උතුරු පළාතේ මානව හිමිකම් රැකවලෙකු වන ප්‍රවීන් මහේසන් පියතුමාද ඔහු සමඟම අත්අඩංගුවට පත් විය. රුකීගේ වියපත් දෙමව්පියන් හමුවට පැමිණි පොලිස් නිලධාරීහු රුකී අත්අඩංගුවට ගත් බව දැක්වෙන කුවිතාන්සියක් ඔවුනට භාරදෙන ලද්දේ මාර්තු 17 වන සඳුදාය. රුක්ෂාන් ප්‍රනාන්දු ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ කොළඹ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තු මූලස්ථානයෙහි රඳවනු ලැබූ බව එයින් කියැවිණි.

මානව හිමිකම් වෙනුවෙන් ක්‍රියා කළ රැකවලුන් දෙදෙනෙකු නීතියේ රැකවලුන් අත සිරකරුවන් බවට පත්වීමට සහ ඊනියා ත්‍රස්තවාදීන් ලෙස අපවාදයට ලක්වීමට ගතවූයේ නිමේෂයකි. ශිෂ්ට සම්පන්න රටක පුරවැසියකුට නීතිය හමුවේ ලැබිය යුතු සමාන ආරක්ෂාවටවත්, වරදකරුවෙකු යයි නීතිය මගින් ඔප්පු වන තුරු නිවැරදිකරුවෙකු ලෙස පූර්වානුමාන කරනු ලැබීමට ඇති අයිතියත්, නීතිඥයකු හමුවී කරුණු සාකච්ඡා කිරීමටවත් ඔවුනට අවස්ථාව අහිමි කරනු ලැබිණි. එසේ කරන ලද්දේ ශිෂ්ට සම්පන්න ලෝකය විසින් පිළිකෙව් කරන කැකිල්ලේ නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමිනි.

ලංකාවේ සාමාන්‍ය මිනිසුන් වන රුකී සහ ප්‍රවීන් යන රැකවලුන් දෙදෙනා ත්‍රස්තවාදී චෝදනා යටතේ රඳවා ගැනීම පිළිබඳව ලොව පුරා සිටින මානව හිමිකම් රැකවලුන්ගේ විරෝධය කොන්දේසි විරහිතව මතුවීමට ගත වූයේ පැය ගණනක කාලයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ජිනීවා සිටද, මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශකයා නිව්යෝක් සිටද ඔවුන් වෙනුවෙන් හඬ නැගූ අතර ලොව බලවත් රටවල ආණ්ඩුද ඒ සමඟ එක් විය. සාමාන්‍ය රැකවලුන් දෙදෙනෙකු සතු අසීමිත බලය ලොවට මෙන්ම රටටද නිරාවරණය විය. දින දෙකක් ඇතුළත සියළු පරීක්ෂණ අවසන් කළ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව ඔවුන්ට විරුද්ධව කිසිදු චෝදනාවක් නැගීමට සාක්ෂියක් නැති බැවින් ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මාර්තු 18 වනදා අළුයම් යාමයේ මානව හිමිකම් රැකවළුන් දෙදෙනාට නිදහස ලබිණි.

‛ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ’ (ධම්මො හවේ රක්ඛති ධම්මචාරී) යන්න බුදු වදනයි. මානව හිමිකම් යනුද සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ජාති, කුල, මල භේදයෙන් තොරව සලකනු ලබන එක්තරා ආකාරයක සනාතන ධර්මයකි. එකී මානව හිමිකම් ධර්මයෙහි හැසුරුණු අව්‍යාජ මානව හිමිකම් රැකවලෙකු වූ රුකී ප්‍රනාන්දුද ධර්මය විසින්ම ආරක්ෂා කරන ලද්දේය∎

ruki

Recent Posts

Tags: , , , , , , , , , , ,

One Comment to “‛ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ’ (ධම්මො හවේ රක්ඛති ධම්මචාරී) රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් මානව හිමිකම් රුකවලුන් නිදහස ලැබූ වගයි”

  1. Kithsiri says:

    එතකොට Richardh De Soysa ලා ප්‍රගීත් එක්නැලිගොඩ ලා පව් කාරයෝද ??????

Leave a Comment