දෙමළ සමාජයේ අභ්‍යන්තර ප්‍රතිසන්ධානය

Apr 22nd, 2014 | By | Category: LEAD NEWS, උත්තර ධ්‍රැවය, උත්තරධ්‍රැවය

pdff

පශ්චාත් යුද ලාංකේය සමාජයේ ප්‍රතිසන්ධානය (Reconciliation) යන්න බහුලව භාවිතා වන වචනයක් බවට පත්ව ඇත. මෙහිදී ප්‍රධාන තැනක් හිමිව ඇත්තේ සිංහල-දෙමළ ප්‍රතිසන්ධානය යන කරුණ වෙතය. එයට සාපේක්ෂව දෙමළ සමාජයෙහි අභ්‍යන්තරය තුළ සිදුවිය යුතු ප්‍රතිසන්ධානය යන්න අවතක්සේරුවට ලක්ව පවතින්නේය යන්න අතිශයෝක්තියක් නොවේ. යුද්ධය හේතුවෙන් සිංහල-දෙමළ සමාජයන් තුළ පසමිතුරුතා උත්සන්නව පවතී යනුවෙන්ද, එහෙයින් සිංහල-දෙමළ ජනවාර්ගික ප්‍රතිසන්ධානය අත්‍යවශ්‍ය කර්තව්‍යයක් බවට පත්වී ඇතැයිද පැවසීම යුක්ති සහගතය. එහෙයින් සිංහල-දෙමළ වාර්ගික ප්‍රතිසන්ධානය අවධාරණය කිරීම වැදගත්ය. නමුත් ඒ සමඟම පශ්චාත් යුද සමාජ පසුබිමක දෙමළ සමාජය තුළ අභ්‍යන්තරික ප්‍රතිසන්ධානය ද එවන් වැදගත්කමකින් යුක්ත බව අවධාරණය කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

දෙමළ ජාතික සමාජය සහ දෙමළ භාෂක මුස්ලිම් සමාජය
දෙමළ සමාජයෙහි මෙම අභ්‍යන්තරික ප්‍රතිසන්ධානය යන්න ප්‍රධාන වශයෙන් තල දෙකක් තුළ විග්‍රහ කළ හැකිය. එනම් දෙමළ භාවික සමාජය යන පුළුල් අර්ථයෙන් දෙමළ සමාජය අර්ථ නිරූපණයට ලක් කරන තත්ත්වයක් තුළ එහි ප්‍රධාන සංඝටකයන් දෙක වන දෙමළ ජාතික සමාජය සහ දෙමළ භාෂක මුස්ලිම් සමාජය යන තල දෙකය. මෙහිදී දෙමළ මුස්ලිම් ප්‍රතිසන්ධානය යන්න ඉමහත් වැදගත්කමක් හිමිකර ගන්නා නමුත්, ප්‍රායෝගිකව පශ්චාත් යුද වාතාවරණය තුළ දෙමළ-මුස්ලිම් ප්‍රතිසන්ධානය පිළිබඳව දක්වන්නේ අල්ප අවධානයකි. නමුත් යුද්ධමය වාතාවරණය තුළ දෙමළ-මුස්ලිම් සමාජ අතර වර්ධනය වූ පසමිතුරුතාවන් ඉතාමත් දරුණු ගණයට අයත් වන අතර සමාජයන් දෙකටම යුද්ධමය ක්‍රියාවලිය තුළ සිදුවූ භෞතිකමය මෙන්ම ආධ්‍යාත්මික හානිය ඉතාමත් බලවත්ය. පශ්චාත් යුද්ධමය වාතාවරණය තුළ මෙම සමාජ දෙක යළිත් එකම සමාජ ඒකකයක් තුළ ජීවත්වීමේ කොන්දේසියට යටත්ව සිටින්නේ එකී පසමිතුරුතාවන් ජයගත හැකි ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් රහිත සමාජ පසුබිමකය. බොහෝවිට යුදමය වාතාවරණයකින් පීඩාවිඳි පරිසරයක යළිත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් රහිත තත්ත්වයක් තුළ ජීවත්වීමේ අභියෝගය සිංහල-දෙමළ සමාජයන්ට වඩා බලගතු අර්බුදයක්ව පවතින්නේ දෙමළ-මුස්ලිම් සමාජ දෙක අතරෙහිය. එයට හේතුව ඔවුන් උතුරු-නැගෙනහිර පරිසරය තුළ එකම භූමි ප්‍රදේශයක නැවත ජීවත්වීමේ අනිවාර්ය තත්ත්වයක පසු වෙති. යුද්ධය නොමැති වාතාවරණයක මුස්ලිම් ජනයා සහ දෙමළ ජනයා නැවත තම ගම්මානවල ජීවත් වීමට සූදානම් වෙනවා මිස, යුද්ධය හේතුවෙන් සමාජ දෙක තුළ ඇති වූ විභේදනයන් ප්‍රතිසන්ධානය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් නොපවතියි.

කිසිවක් සිදු නොවුණා සේ ජීවත් වීමේ අභියෝගය
මේ අතර සිංහල-දෙමළ වාර්ගික ප්‍රතිසන්ධානය වෙනුවෙන් පෙනී සිටින පිරිස් පවා දෙමළ-මුස්ලිම් ප්‍රතිසන්ධානය පිළිබඳව දක්වන්නේ ඇල්මැරුණු ආකල්පයකි. “සිංහල සහ දෙමළ මිනිසුන් අතර පවතින එකම වෙනස භාෂාව විතරයි” යන්න දෙමළ ජාතික සමාජයේ දේශපාලන අධිකාරිත්වය මඟින් ප්‍රකාශ කෙරෙන්නේ මෙම ආකල්පය යටතේ ය. නමුත් ප්‍රායෝගික ජීවිතයේදී දෙමළ ජනයාට ජීවත්වීමට සිදුව පවතින්නේ දෙමළ බස කතා කරන මුස්ලිම් ජනයා සමඟ භෞතිකමය සම්බන්ධතා ජාලයක් සමඟ ගනුදෙනු කරමින්ය. එහෙයින් ‛පශ්චාත් යුද කාලීන සමාජය තුළ දෙමළ-මුස්ලිම් ප්‍රතිසන්ධානය ඉතාමත් වැදගත් කරුණක් වී ඇතත්, ඒ සඳහා සංවිධානගත යාන්ත්‍රණයක් ඇති කළ හැක්කේ කා විසින්ද’ යන ප්‍රශ්නය පැන නඟියි.

දෙමළ සමාජයෙහි අභ්‍යන්තරික ප්‍රතිසන්ධානයට අදාළ ඊළඟ ක්‍රමය වන්නේ දෙමළ ජාතික සමාජයයි. ජනවාර්ගික ප්‍රශ්නය යුදමය තත්ත්වය දක්වා වර්ධනය වූ තත්ත්වය තුළ සමස්ත දෙමළ සමාජ කණ්ඩායම එකට එක්ව එයට මුහුණ දුන්නේය යන්න මුසාවකි. එය දෙමළ සමාජය තුළ අභ්‍යන්තරික විභේදනයන් බලවත් කළ අතර ආයුධ සන්නද්ධ ව්‍යාපාර රාශියක බිහිවීම සහ පැවැත්ම අවසානයෙහි එකිනෙකා මරාගන්න තත්ත්වයක් දක්වා වර්ධනය විය. දෙමළ සමාජය තුළ සහෝදර ඝාතන ලෙස අර්ථකථනය වන ඝාතන සංස්කෘතිය විසින් දෙමළ ජාතික සමාජය තුළ බලවත් බෙදුම්කාරී තත්ත්වයක් ඇති කරන ලදී. තම පවුල් සාමාජිකයන්ව ඝාතනය කළ, පැහැරගෙන ගිය, වධහිංසාවන්ට ලක් කළ පුද්ගලයන් සමඟ කිසිවක් සිදු නොවුණා සේ ජීවත් වීමේ අභියෝගයට දෙමළ සමාජය මුහුණ දී සිටී. කැකෑරෙමින් නැගෙන පලිගැනීමේ චේතනාව ප්‍රචණ්ඩත්වය බවට පත්වීමේ අනතුර පවතී. මෙය විවිධ සටන්කාමී සංවිධානවල සාමාජිකයන්ව සිට නැවතත් සමාජ ජීවිතයට පැමිණ සිටින්නන් විෂයෙහි බලවත් ප්‍රශ්නයක් බවට පත්ව ඇත. පරම්පරාගතව දිවෙන වෛරයක් බවට යුද්ධමය වාතාවරණය තුළ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගේ ප්‍රතිඵල වර්තමාන සමාජය තුළ දිස්වෙයි.

මේ අනුව බලනවිට ප්‍රතිසන්ධානය යන්න දෙමළ සමාජයේ අභ්‍යන්තරික තත්ත්වයන්ට අදාළව ද අනිවාර්යයෙන් ම ක්‍රියාවට නැඟිය යුතුය යන්න පිළිගත යුතුය. විශේෂයෙන්ම පශ්චාත් යුද්ධ සමාජයක ප්‍රතිසන්ධානය යුද්ධය හේතුවෙන් පීඩාවට පත් සමාජයෙහි සියලුම සංඝටකයන් අන්තර්ගත කරගත්තක් විය යුතු වන අතර දෙමළ සමාජයෙහි අභ්‍යන්තරික ප්‍රතිසන්ධානය යනු එහෙයින් පවතින නොසලකා හැරීමේ වාතාවරණයෙන් මුදවා ගත යුත්තකි.

සිංහල-දෙමළ වාර්ගික ප්‍රතිසන්ධානය යනු ජනවාර්ගික ප්‍රශ්නය යන ගැටලුව තුළින් උපන් දෙයක් වන අතර එම ප්‍රතිසන්ධානය යථාර්ථයක් වන්නේ දේශපාලනික විසදුම් ක්‍රියාවලියක් හරහා ය. නමුත් දෙමළ සමාජයෙහි අභ්‍යන්තර ප්‍රතිසන්ධානය වනාහි යුද්ධයෙහි ප්‍රතිවිපාකයට පිළිතුරු සෙවීමේ වෑයමක් වන අතර පශ්චාත් යුද සමාජයක දෙමළ සමාජයෙහි පැවැත්ම සහ ප්‍රජාතන්ත්‍රවාදී හරයන්ගේ පැවැත්ම සමඟ එය අනිවාර්යයෙන්ම බැඳී පවතියි∎

[සාමිනාදන් විමල්]

frrew36

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment