ජෝන් සීනා අපේ පොඩි එකාගේ ඔළුවට ගහලා

Jul 15th, 2014 | By | Category: OTHER NEWS, මාධ්‍ය නිදහස, සමබිම මාධ්‍ය රැකවරණය

පසුගිය වසරේ අග භාගයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව ආවරණය කිරීම සදහා මෙරටට පැමිණි චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදීන් පිරිස උතුරට සංචාරය කරන්නට ගත් අවස්ථාවේදී ඔවුන්ට අමුතු තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවිය. එ් අවස්ථාවේදී මෙරට රජය විසින් චැනල් 4 නාලිකාවට මෙරටට ඇතුළු වන්නට අවසර දී තිබිණි. නමුත් එම මාධ්‍යවේදීන් පිරිස උතුරේ සංචාරය කරන්නට තැත් කළ අවස්ථාවේදී රජයට උභතෝකෝටිකයකට මුහුණ පාන්නට සිදු විය. එ් උතුරේ විපතට පත් ජනයා හමුවී සෘජුවම යුද්ධයේ අත්දැකීම් වීඩියෝගත කරගන්නට ඉඩ ඇතැයි යන සැකයයි. චැනල් 4 මාධ්‍යවේදීන් පිරිසට මෙරටට ඇතුළු වන්නට ඉඩදී උතුරේ සංචාරය කිරීම තහනම් කළහොත් බළලා මල්ලෙන් එළියට පනින නිසා, රජය මේ අවස්ථාවේදී සිදුකළේ හෙංචයියන් පිරිසක් උද්ඝෝෂකයන් ලෙස අනුරාධපුරයේ දුම්රිය ස්ථානය වෙත යැවීමයි. චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදී පිරිස ගමන්ගත් දුම්රිය එහිදී නැවැත්වූ විට ඊනියා උද්ඝෝෂකයින් විසින් එම මාධ්‍යවේදීන් පිරිසට ආපසු හැරී යන ලෙස බල කරනු ලැබිණි. මේ අවස්ථාවේදී එතැන සිටි පොලිස් නිලධාරී පිරිස විසින් සිදුකළේ මාධ්‍යවේදීන්ට ආරක්ෂාව සැපයීම නොව ඔවුන්ට ආපසු යාම සදහා වාහනයක් සපයා දීම පමණකි.

මෙම සිද්ධියට ගොදුරු වූයේ විදේශීය මාධ්‍යවේදීන් පිරිසක් හෙයින් ඔවුන්ට පොලීසියේ ක‍්‍රියාකලාපය අභියෝගයට ලක් කරමින් අධිකරණය ඉදිරියට යාමට ඉඩක් නොවීය. මෙතෙක් මාධ්‍යවේදීන් මර්දනය සදහා රජය යොදාගත් ක‍්‍රමවේදයන් නම් මරාදැමීම, පහරදීම, පැහැරගෙන ගොස් තර්ජනය කිරීම හෝ කුමන්ත‍්‍රණකරුවන් ලෙස හංවඩු ගැසීමයි. මෙහිදී චැනල් 4 මාධ්‍යවේදීන් විදේශීය කුමන්ත‍්‍රණකරුවන් ලෙස ලේබල් කෙරිණි. එ් අනුව මෙම සිද්ධියට ගොදුරු වූවන් විදේශික මාධ්‍යවේදීන් වුවද ඔවුන්ගේ වෘත්තීය කටයුතුවලට රජය මැදිහත් වූ ආකාරයේ එතරම් වෙනසක් නැත. එහෙත් සිද්ධියට සෘජුවම සිවිල් ජනයා දායක වීම විශේෂත්වයකි. සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට දේශපාලනඥයින්, ඝාතකයින්, මැර පිරිස් හෝ සුදු වෑන්වලින් තොරව, සිවිල් වැසියන්ම යොදාගෙන මාධ්‍ය මර්දනය සිදුකළ අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැකිය. එනමුත් රජයේ බළල් හස්තය ඊට පිටුපසින් තිබූ බව පැහැදිලිය.

මෑතක සිට වෙනස් ආකාරයේ මධ්‍ය මර්දනයක් ද ක‍්‍රියාත්මක වෙමින් පවතී. රජයේ සෘජු මැදිහත් වීමක් නොමැතිව සාමාන්‍ය ජනයා විසින්ම මාධ්‍ය මර්දනය කරන ආකාරය පසුගිය දින කිහිපයේ සිදුවූ සිදුවීම් කිහිපයකින් දැක ගන්නට ලැබිණි. විශේෂයෙන්ම උද්ඝෝෂණ සහ වෙනත් උණුසුම් අවස්ථා ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම සාමාන්‍ය වැසියන් විසින් පහරදුන් අවස්ථා කිහිපයක් වාර්තා විය.
පසුගිය පෙබරවාරි මාසයේ දී ෆේස්බුක් පිටුවක පළ වූ ඡායාරූපයක් හේතුවෙන් කුරුණෑගල කොතලාවල විද්‍යාලයේ සිසුවියකගේ සියදිවි නසා ගැනීම පිළිබදව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එම විදුහලේ දෙමාපියන් වෙතින් හිංසා පීඩාවලට ලක් වීමට සිදු විය. අදාළ සිසුවියගේ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් විදුහලේ විදුහල්පතිවරයාට චෝදනා එල්ලවීමෙන් පසුව එම විදුහල වෙත ගිය ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ප‍්‍රබල විරෝධයකට මුහුණ දීමට සිදුවූ ආකාරය අසන්නට ලැබිණි.

358793_Press-Freedomඑම මාසයේ දීම මධ්‍යම පළාතේ සංචාරය කළ සිසුන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම පිළිබද පුවතක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට විදුහලේ සිසුන් පමණක් නොව ගුරුවරුන් ද බාධා කරන ආකාරය දකින්නට ලැබිණි.

මීට දින කිහිපයකට පෙර ශ‍්‍රී ලංකා නීති විද්‍යාල ප‍්‍රවේශයට පෙනී සිටි සිසු සිසුවියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අවස්ථාව ආවරණය කිරීමට ගිය ජනමාධ්‍යවේදීන් ට ද උද්ඝෝෂකයන් විසින් පහරදෙනු ලැබිණි. එපමණක් නොව මාධ්‍යවේදීන්ගේ කැමරා ආම්පන්නවලට ද හානි කරනු ලැබිණි. එ් අතරම මාර්තු 03 වන දින ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විරෝධතා ව්‍යාපාරයක් ආවරණය කිරීමට ගිය ජනමාධ්‍යවේදීන් පිරිසකට ද එහි සිසුන් හා ආදි සිසුන් විසින් පහර දෙනු ලැබිණි.

මෙම සිදුවීම් බොහොමයකට පොදු ලක්ෂණය වී ඇත්තේ එම පහරදීම් සිදුකර ඇත්තේ ශිෂ්‍ය ප‍්‍රජාව විසින් වීමයි. වැඩිහිටියන්ගේ ක‍්‍රියාකලාපය ළමා පරපුර විසින් අනුගමනය කිරීම ඕනෑම සමාජයකට පොදු ධර්මතාවයක් හෙයින්, මෙහිදීද ආණ්ඩුවේ මාධ්‍ය මර්දන සම්ප‍්‍රදාය ශිෂ්‍ය ප‍්‍රජාව විසින් අනුගමනය කරන ආකාරයක් දිස් වේ. උද්ඝෝෂණයක් හෝ විරෝධතාවයක් ආවරණය කිරීම හා එයට ප‍්‍රචාරය ලබාදීම මාධ්‍යවේදියාගේ කාර්යයක් වන අතර, එමගින් වක‍්‍ර මාර්ගයෙන් ජනතා උද්ඝෝෂණවලට සහයක් ලැබීම ද සිදුවන බව නොරහසකි. එසේ වුවත් තමන් හමුවට එන ජනමාධ්‍යවේදියාට පහර දෙන තත්ත්වයට සිවිල් ජනයා පත්වීම තේරුම් ගත හැක්කේ විකෘති තත්ත්වයක් ලෙස පමණි. සමහර විට කැමරාව තුළින් තමන්ගේම රුදුරු ප‍්‍රතිරූපය දැකීමට ඔවුන් අකමැති වීම මීට හේතුව වන්නට ඇත. රජය හෝ එහි ආයතන විසින් සිදුකරන මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට ව්‍යවස්ථාවේ නීතිමය ප‍්‍රතිපාදන ඇතත් මාධ්‍යවල සේවය ලබන සාමාන්‍ය ජනයා විසින්ම මාධ්‍ය මර්දනයට දායක වන විට, සාමාන්‍ය අපරාධ නීතිය හැර ඊට එරෙහිව ගත හැකි ව්‍යවස්ථානුකූල පියවරක් නැත. තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉල්ලමින් සිවිල් සංවිධාන හඩ නගන අවස්ථාවක, ජනතාව විසින්ම තොරතුරු දැනගැනීමේ මාර්ග අවහිර කිරීමෙන් පෙනී යන්නේ අප රටේ සාමාන්‍ය ජනයාට ජනමාධ්‍යවල වටිනාකම දැනෙන්නට තවත් බොහෝ කාලයක් යා යුතු බවද? .

පි‍්‍රයලාල් සිරිසේන

රට යන්නෙ නැතිව,
යට යන්නෙ නැතිව,
පැත්ත ගියත් ඇත්ත ලියන්න

සමබිම මාධ්‍ය රැකවරණය

ඔබ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවේදියෙක්/වේදිනියක්ද? ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්/මාධ්‍යවේනියක්ද? නිදහස් මාධ්‍යවේදියෙක්/වේදිනියක්ද? වෙබ් මාධ්‍යව්දියෙක්ද? බ්ලොග්කරුවෙක්ද? ඔබට ආයතනික හයියක්, රැකවරණයක් අවශ්‍යය වේ යැයි සිතන්නේද එසේ නම් අදම ‛සමබිම මාධ්‍ය රැකවරණය’ යටතේ ලියාපදිංචි වන්න
ලියාපදිංචිය සහ විස්තර සදහා -නීතිඥ ප්‍රියලාල් සිරිසේන – 0777-878579

ඊ මෙල් -rightsnow@gmail.com
වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා www.protectjournalists.blogspot.com බ්ලොග් අඩවියට පිවිසෙන්න.

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment