කිසි රජයක්‌ තනිව වගකීමට බැඳිය නොහැකිය. ඔවුන් පත්කරගත්තේ අප විසින් නිසා ඉන් වැඩි වගකීමක්‌ දැරිය යුත්තේ අපමය.

Jul 28th, 2014 | By | Category: EDITOR'S CHOICE, පුවත්

කළු ජූලියේ මතක මගින් හෘද සාක්‌ෂිය පෑරීම 

1983 ජූලියේදී සමූපකාර දෙපාර්තමේන්තුවේ සිටි මාගේ ගණකාධිවරයා වූ වල්ලිපුරම් මහතා කාසල් වීදියට ආසන්නයේ වාසය කළේය. ඔහුගේ ආසන්නම අසල්වැසියා වූයේ ප්‍රදේශයේ සිටි සිංහල දාමරිකයෙක්‌ය. වාර්ගික ගැටුමක්‌ කෙදිනක හෝ ඇතිවුවහොත් මොහු මුලින්ම වල්ලිපුරම්ට ප්‍රහාර එල්ල කරනු ඇතියයි කලුජුලිය වනතුරු ඔහු සැමවිටම සැකකළ බව වල්ලිපුරම් වරෙක පැවසීය.

කළු ජුලිය දින උදෑසන 3.30 ට පමණ කලහකාරී පිරිස්‌ ඔහුගේ නිවසට පැමිණිවිට ඔහුත්, බිරිඳත් පුතාත් පිටුපස දොරින් දාමරිකයාගේ ඉඩමට පැනගත්තේ වඩාත්ම ආරක්‌ෂාව එහි සැලසෙතයි සිතමිනි. “සිංහල ජාත්‍යාලයෙන් පිරිපුන් මිතුරන්” නික්‌ම යනතුරුම ඔවුහු කෙසෙල් ගස්‌ කිහිපයකට මුවාවී හැංගී සිටියහ.

හදීසියෙම ඔවුන් ඉදිරියේ පෙනීසිටියේ කවුරුන්ද? ඒ දරුණු දාමරිකයාය ඔවුන් අපේක්‌ෂා කළ ගහලයාය. ඒ මොහොතේ ඔවුන් අවසන් හුස්‌ම ගනිතියි ඔවුහු සිතූහ.

ඔවුන් විස්‌මයට පත්කරමින් මැරයා වල්ලිපුරම් හා පවුල ඔහුගේ දුම් බැඳුනු මුඩුක්‌කුවට කැඳවා, තේ කෝප්පයකින් සංග්‍රහ කොට, නිවහනක්‌ හා ආරක්‌ෂාව දුනි. සැනින් මියෑදීමෙන් ඔවුන් ගිලිහුනයි වල්ලිපුරම් සිතීය. එය එසේම වීය. බොරැල්ලෙන් පැමිණි පොලිස්‌ ජීප්රියකින් පැය දෙකකට පසු ඔවුන් රැගෙන යන ලදී. ඔහු සිතා සිටි ඔහුගේ ගහලයාවූ වූ මැරයා මගින් පොලිසියට පණිවුඩය ලද බව පසුව වල්ලිපුරම් දැනගති. ඔහු ගැලවුම්කරු මිස ගහලයා නොවීය.

රිචර්ඩ් පීරිස්‌ හෝ බ්‍රවුන් සමාගමේ හෝ සේවය කළ සිංහල මහත්වරුන් දෙපොලක්‌ විසින් පාමංකඩ පිහිටි මගේ නිවසට කැඳවාගෙන ආ පොන්නදුරේ නම් තරුණියකගේ ජීවිතය බේරා දීමට ඒ ගැටුම් දිනයේදී මැදිහත්වීමට මට අවස්‌ථාවක්‌ එළඹුණි. ඇය ඒ මහතුන් දෙපොළගේ සහෝදර සේවිකාවක්‌ වූ අතර ඇයගේ වැල්ලවත්තේ පිහිටි නිවස ගිනිබත් වෙමින් පැවතුනු හෙයින් එයට ළඟාවීමට නොහැකිව, මගේ නිවසට අනාරාධානයෙන් පෙරකී මහතුන් විසින් භාරකෙරිණ. මරණ බියෙන් තැතිගෙන සිටි ඇය මගේ නිවසේ සිටියදී ජාතිකවාදීහු ‘කුමන තැනක හෝ දෙමළ පිරිස්‌ සැඟවී සිටීදැයි අප දන්නේදැයි’ විමසමින් මා නිවසට පැමිණියහ. ආගන්තුක මෙනවිය හසුවී නම් අප තිදෙනාටම එදින අවසන් හුස්‌ම ගන්නට සිදුවීමට ඉඩ තිබුණි.

මා මේ සිද්ධීන් විස්‌තර කළේ අවදානම් අවස්‌ථාවකදී තම අග්‍රගණ්‍ය හතුරායයි අපේක්‌ෂා කළ පාතාල මැරයෙකු තුළ වුවද අනපේක්‌ෂිත මානව දයාව හා සාධාරණත්වයේ ප්‍රතිබිම්බයන් දක්‌නට හැකිබවත්, මා හා ඉහත සඳහන් කළ සිංහල මහතුන් දෙදෙනා වැනි සිවිල්වැසියන් තුලත් එවැනි ගතිලක්‌ෂණ ඉස්‌මතුවන බව හුවා දැක්‌වීමටය. අද මම වසර 25 තුළින් දිව යන අඳුරු වූ කාලපරිච්ෙච්දයක්‌ තුළ වල්ලිපුරම් හා පොන්නදුරේ මෙනෙවිය අත්දුටු දුක්‌මුසු අප්‍රියජනක සිදුවීම් සිහිපත් කරමි. කොළඹින් බැහරවූ පසු කෙදිනකවත් වල්ලිපුරම්ට මැරයා සමුවූයේයයි නොසිතමි. මට පොන්නතුරේ මෙනෙවිය කෙදිනකවත් සමුවුනේද නැත.

මේ සිද්ධියම අද සිදුවුනහොත් අනුන්ට උපකාරී වීමට අප සිත් වර්ෂ 25 පෙර වූ සූදානමම විදහා දක්‌වනු ඇත්ද? අප එවැනිම ප්‍රතිචාර දක්‌වූවහොත් අපට ගැලවුමක්‌ වේද? මා ත්‍රස්‌තවාදීනට අනුකම්පා දක්‌වන්නෙකුයි හංවඩු නොගසනු ඇත්ද?

වසර විසිපහකට පසු පරිගණකයක යතුරකට තට්‌ටුකළවිට හෝ දුරස්‌ථ පාලකයක බොත්තමක්‌ තදකළ විට මුළු ලොවම විවෘත වන යුගයක, අප ගෝලීය ගම්මානයේ/ පවුලේ සාමාජිකයන්යයි පවසන යුගයක, අපට සිදුව ඇත්තේ කුමක්‌ද? මූලධර්මවාදී ආගමක්‌ අදහන්නවුන් මෙන් අප සමාජය පලිගැනීම්හි යෙදේ. දෙමළ සිවිල් පුරවැසියන් මරණ, පැහැරගන්නා හෝ මරණ විට අපි තැති නොගනිමු. සැබවින්ම, අපගේ අන්තවාදී සමහරු ඔවුන් වැඩිවියට පත්වූවිට කොටින් වන හෙයින් කුඩා කලම මරා දැමීම වටනේයයි සිතනවා වියහැකිය.

බොහොමයක්‌ කොටින් හෝ අන්තවාදී දෙමළ සිවිල් වැසියන්ද මීට නොවෙනස්‌ව සිය දිවි නසා ගන්නා බෝම්බ කරුවන් විසින් දකුණේ පිරිමින්, ගැහැනුන් හා දරුවන් පුපුරවා හරින විට සිංහලයින් ගැන සිතනවාද විය හැකිය. ඔවුන්ට අනුව එසේ පුපුරවා හරින ලද ළමයින් අනාගත හමුදා සෙබළුන් වීමට ඉඩ ඇති හෙයිනි.

යම් හෙයකින් කිලිනොච්චියේදී පෙරකී මැරයා වර්ගවාදීව අභිප්‍රේරණය වූ දෙමළ ජාතිවාදීන් අතින් ජීවිත හානි බියකට පත්වුවහොත් ඔහුට සැලකූ අන්දමින්ම වල්ලිපුරම් ගහලයාට උපකාරීවීමට ක්‍රියා කරනු ඇත්ද? ඔහු හෝ පොන්නදුරේ මෙනෙවිය හෝ එසේ කළහොත් දකුණේ සිංහල වර්ගවාදී රජයේ මුක්‌කුකරුවන් යයි ඔවුන්ව හංවඩු නොගසනු ඇත්ද?

මේ සියලුම තර්ජන අප වැඩිදුරටටත් ධ්‍රැවීකරණ කරනු ඇත. කොතරම් කලක්‌ මෙසේ ධ්‍රැවීකරණ වීමට අප සූදානම්ද? සාතන් විසින් අපගේ මානව දයාව ඔහුවෙත පවරාගෙන ඇත්ද?

වෙනත් ජනවර්ගයක සොයුරන්, සොයුරියන් පසෙක තබමු. අප ජනකොටසේම අයෙකු බෝම්බයකින් මියෑදුනුවිට පවා අපි සසල නොවෙමු. අද, කොටින්ගේ පුපුරවා හැරීමක්‌ අහිංසකයින් 10-15 මරා නොදැමුවේ නම් සිත්ගන්නා සුළු හෝ පුවත් මැවීමට තරම් නොවේ. දමිල සොයුරාගේ වේදනාවට හිරිවැටී සිටින සිතට අපගේ වේදනාවද නොදැනේ·

දශක දෙකක්‌ තුළ නොයෙකුත් අවස්‌ථාවලදී නොයෙක්‌ තරාතිරමේ අසීමිත සංඛ්‍යාවක්‌ දෙනා විවධ මට්‌ටමේ සොවින්, ද්වේශයෙන්, නැතිවීම් සිතා හා ඉච්චාභංගත්වයෙන් කළු ජුලිය සිහිපත් කර ඇත. නිවැරදිව, මේ විනාශය ක්‍රියාත්මක කළේයෑයි පැවසෙන දේශපාලන බලධාරීන්, මැරයන්, පාතාලයන්, පොලිසිය ආදීන් දෝෂදර්ශනයට ලක්‌ව ඇත. එසේ දොස්‌ දැකීම පමණක්‌ ඇත්ද?

කළු ජුලියෙන් වසර 25 පසුව අපි විෂ පිරී, වැඩිමනත්ව උරණ වී, ධ්‍රැවීකරණය වී සිටිමු. එය අප දිවියේ කොටසක්‌ බවට පත්ව ඇත. අපි නිශ්ශබ්දව (සමහර විටක විවෘත්තව) අප සොයුරන්ගේ මරණයන් පිළිබඳව සතුටුවෙමු. මෙයට, එක දේශපාලන බලධාරියෙකුට දොස්‌ නැගීමට නොහැකිය. කිසි රජයක්‌ තනිව මීට වගකීමට බැඳිය නොහැකිය. ඔවුන් පත්කරගත්තේ අප විසින් නිසා ඉන් වැඩි වගකීමක්‌ දැරිය යුත්තේ අපමය.

කලු ජූලිය පසුකළ එක පරම්පරාවක්‌ අදට සනිටුහන් වේ. තවත් පරම්පරාවක්‌ දක්‌වා අපි දෝෂාරෝපණයේ නියෑලෙමුද? දෙටු දේශපාලන බලධාරීන් මෙන්ම ජනරාල්වරුන්ද යුද්ධය පවත්වාගැනීමට අරුචි හෙයින් අපට එක්‌සත්ව සාමය ඇතිකිරීම ඊළඟ පරම්පරාවට හෝ අප පසුගාමිකයන්ට නොපවරා, ධ්‍රැවීකරණයේ යදම් බිඳදමා සාමය ඇතිකරමුයි දෝංකාර කළ නොහේද?

ගැටුම් හෝ යුද්ධයට ජාතික වටිනා කමක්‌ ඇත්තා සේම සාමයටද ජාතික වටිනාකමක්‌ ඇතියයි අප සාක්‌ෂාත් කළ දිනෙක මෙය සිදුවිය හැකිය. සැම පාටකම දේශපාලන අධිකාරීන්, රාජ්‍ය සේවය, අධිකරණය, මාධ්‍යය හා ශ්‍රී ලංකා සංසිද්ධියේදී එල්ටීටිය මේ මහා අවශ්‍යතාවය මත දිවුරුම් දෙන තුරු මේ පණිවුඩය ජනතාවගේ උගුරු දණ්‌ඩෙන් පහතට නොබසිනු ඇත. එය මගේ සිහිනයයි.

අප ආත්මයන් සෝදාපාලුවට වගකිවයුත්තේ දේශපාලන බලධාරීන් පමණක්‌ද? නැත්නම් බිඳ වැටෙන ක්‍රම පද්ධතියද? අප ජාතිය අපගේම හෘද සාක්‌ෂිය සමග සම්බන්ධතා බිඳුණු එකක්‌ද? මා සිතන්නේ අප සැම පුද්ගලිකවම එකාසේ දොස්‌ ලැබිය යුතුය. අපි ජාතියක්‌ ලෙස මුළුමනින්ම මානව සත්‍යතා හදුනා ගැනීමට අපොහොසත් වී ඇත්තෙමු. මෙලොව සභ්‍ය සබඳතා ඇති දර්ශනීය දේශපාලන හා වාර්ගික සත්‍යතාවයන් හඳුනා ගැනීමට තෝරාගත නොහෙන පිරිමින් හා ගැහැනුන්ගේ ජාතියක්‌ බවට අප පත්වී ඇත. සහජීවනය හා ඉදිරියට යාම පිළිබඳ පිරුණු දැනුම් සම්භාරයක්‌ ඇති ලොවක ද්වේශය අත්හරින්ට සූදානම් නැති හිතුවක්‌කාර පිරිමින් හා ගැහැනුන් බවට අප පත්ව ඇත.

අශෝක අධිරාජයා සිහසුන ලබාගැනීම සඳහා තම සොහොයුරන් 99 දෙනෙකු හා ඔවුන්ගේ පිරිමි දරුවන් මරා චණ්‌ඩාශෝක වීය. ඔහුගෙන් බේරුණු එක බැනනුවෙකුවූ නීග්‍රෝධ තෙරණුවෝ උසස්‌ දහම් දේශනයෙන් ඔහුව ධර්මාශෝක කළෝය. සියවස්‌ ගණනකට පසුව අප හදවත් තවමත් “චණ්‌ඩය”. අප සිතිවිලි, ක්‍රියා, වදන් මගින් අප සහෝදරයන් මරා දැමීම නතර කර, ජාතියක්‌ ලෙස උස සිහසුනක අසුන් ගන්නේ කෙදිනකද? අප දේශපාලන බලධාරීන්ට වරද පටවමින් සිටිමුද – නැතහොත් මේ පාපකාරී හැසිරීමට සදාචාරාත්මකව වගකීම භාරගන්නේද?

අප මේ බොදු දර්ශනයට ගරුත්වයක්‌ දක්‌වන්නේනම්, 1983 ජුලි 23 දින ජරාජීර්ණ සිද්ධීන් නැවත සිහිපත් කිරීමේ වරදක්‌ නැත. එසේ නොවේනම් මතක සටහන් අවදි කිරීම නිශ්ශබ්දව පාපකාරී ක්‍රියා සිහිපත් කිරීමක්‌ වනු ඇත.

ඔස්‌ටින් ප්‍රනාන්දු

උපුටා ගැනීම දිවයින වෙබ් අඩවියෙනි.

www.divaina.com

Recent Posts

Tags: , , ,

Leave a Comment