ආගම තියෙන්නේ මනුෂ්‍යයා සදහද, නැත්නම් මනුෂ්‍යයා ඉන්නේ ආගමට බිලිවෙන්නද?

Aug 5th, 2014 | By | Category: LEAD NEWS, පුවත්

2014 මැයි 27 වන දින එක්සත් සමාජවාදී පක්‍ෂයේ රතු තරුව පුවත්පතෙහි සියවන සංවත්සරය පිරීම නිමිත්තෙන් පැවති සංවාදයේදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් සිදු කළ දේශනය

”ලාංකේය සමාජය තුළ අධ්‍යාපනය, සංස්කෘතිය, කලාව, මාධ්‍ය වැනි සියලූම ක්‍ෂේත‍්‍ර සම්පූර්ණයෙන් පිරිහිලා තියෙන්නෙ. දැන් අපි ඉන්නේ බින්දුවටත් වඩා පහළ තැනක. මේ වගේ වෙලාවක මිනිස්සු දකින හීන මොන වගේද, අපේක්ෂා මොනවද කියන දේවල් ඉතාමත්ම බරපතළ ප‍්‍රශ්න. මෙහෙම තත්ත්වයක වාම කි‍්‍රයාවලියක් සංකල්පගත කරන්නේ කොහොමද? පොදු ජන සමාජය අතිශය අශිෂ්ට එකක් බවට පෙරළෙමින් ඇති මේ මොහොතේ වාමාංශික සන්නිවේදකයන් නව පර්යාවලෝකනයක් ගොඩනගා ගන්නෙ කොහොමද කියන ගැටලූව අපිට තියෙනවා. මොකද පුනරුදයක් කියන්නේ මිනිස්සුන්ගේ පරිකල්පනය මාරු කරන එකට.”

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පළ කරන ‘‘රතු තරුව’’ පුවත්පතෙහි සිය වන සංවත්සරය නිමිත්තෙන් පැවති සංවාදයේදී අප තාක්‍ෂණික වශයෙන් නවීකරණය වී ඇති මුත්, නූතන ගෝලීය තත්ත්වය අර්ථකථනය කරගත හැකි පර්යාවලෝකනයක් ගොඩනගා ගැනීමට තවමත් අසමත්ව සිටින බව පෙන්වමින් සුනිල් විජේසිරිවර්ධන මේ ආකාරයෙන් ඔහුගේ කතාව ගොඩනැංවීය.

”රුසියානු විප්ලවයේ ඉතිහාසය ගැන කතා කරද්දි ඉස්ක‍්‍රා, ප‍්‍රව්ඩා වැනි පුවත්පත් සන්ධිස්ථානයක් විදිහට බොහෝ අය සලකනවා. නමුත් මෙතනදි මඟ ඇරෙන කාරණය තමයි ඒ දැවැන්ත සමාජ පෙරළිය පිටුපස අවුරුදු සියයක විතර පුනරුද කි‍්‍රයාවලියක් තිබුණා කියන එක. සාහිත්‍යය, අධ්‍යාපනය වගේ හැම ක්ෂේත‍්‍රයකම විශාල පිම්මක් ඇති වුණා. ලෙනින්ගේ තාත්තත් අධ්‍යාපනඥයෙක්. විප්ලවයට ආසන්න කාලය වන විට මොස්කව් නගරයේ පමණක් විකල්ප ධාරාවට අයත් සංස්කෘතික, දේශපාලන, සාමාජයීය සඟරා හාරසියයකට වැඩි ප‍්‍රමාණයක් මුද්‍රණය වුණා. ඒ සියල්ල මැද තමයි ඉස්ක‍්‍රා, ප‍්‍රව්ඩා වැනි පුවත්පත් තිබුණෙ. එහෙම නැතුව සංස්කෘතික කාන්තාරයක නෙමෙයි. යුරෝපය, බෙංගාලයෙහි ඇති වූ පුනරුදයත් මීට සමාන ය. මේ හැමතැනකදිම ඒ පුනරුදය පිටිපස්සෙ අධ්‍යාපනය, කලාව, ජන සන්නිවේදන මාධ්‍ය වගේ කර්තෘකයො ගණනාවක් වැඩ කරනවා. මේ හැම එකක්ම සදාචාර පෙරළියක්. මනුෂ්‍යයා වඩා මානුෂික වෙන්න කරන උත්සාහයේ ප‍්‍රතිඵල.”

1990 ගණන්වල තරුණ රැඩිකල් කණ්ඩායම් සාකච්ඡාවකදී බූතෝ කිචෝ කියන තරුණයා කියනවා වාමාංශිකයන් හැටියට අපි දැනටමත් පැරදිලා ඉවරයි කියලා. මේ නව ලිබරල් කි‍්‍රයාවලියේ ආකර්ෂණයෙන් මිනිස්සු නිලංකාර වෙලා ඉන්නේ කියලා. ඉතින් අපි කියන සරල බව, චාම් බව වගේ දේවල් දිහා එයාලා හැරිලවත් බලන් නැහැ. අපි හැමෝම මොහොතකට ගල් ගැහුණා. ඒ කතාව ඇත්ත. ඒත් ටික වෙලාවක් යද්දි මම කල්පනා කරන්න ගත්තා ඇයි අපි එහෙනම් මෙතන ඉන්නෙ. අපි කොහොමද ඒ සාමාන්‍ය ජනතාවගෙන් වෙනස් වුණේ. ඇයි අපි ඒ ආකර්ෂණයට නතු නොවුණේ.. අපි ඒ වෙනස් වුණ විදිහ තේරුම් ගත්තොත් අපිට අනිත් අයවත් වෙනස් කරන්න පුළුවන්.

Untitledඅපි මේ අරගල කරන තැන වැරදියි. අපි අරගල කරන්නේ ආර්ථික කරුණු ඇතුළෙ විතරයි. ඒ වෙනුවට අපි මනුෂ්‍ය ජීවිතයේ වෙනත් පැති කරා අපේ අරගලය ගෙනියන්න ඕනෙ.

ලතින් ඇමරිකාවේ ප‍්‍රකට ආර්ථික විශේෂඥයෙක් වන මැක්ස් වෙල් 1970-80 කාලයේදී පර්යේෂණාත්මකව ඔප්පු කරනවා මේ පවතින සංවර්ධන මොඩලය වැරදියි කියල. ඔහු නගන ප‍්‍රශ්නය තමයි මේ සංවර්ධනය කුමක් සඳහාද කියන එක. ඕනෑම දේකදි මූලික වෙන්න ඕනෙ මනුෂ්‍යයයි. මනුෂ්‍යයා ඉන්නෙ සංවර්ධනය සඳහා ද, නැත්නම් සංවර්ධනය තියෙන්නේ මනුෂ්‍යයා සඳහාද? වෙළඳපොළ තියෙන්නෙ මනුෂ්‍යයා සඳහාද නැත්නම් මනුෂ්‍යයා ඉන්නේ වෙළඳපොළ සඳහාද? ආගම තියෙන්නේ මනුෂ්‍යයා සඳහාද, නැත්නම් මනුෂ්‍යයා ඉන්නේ ආගමට බිලිවෙන්නද? රාජ්‍යය තියෙන්නෙ ජනතාව සඳහාද, නැත්නම් ජනතාව ඉන්නේ රාජ්‍යය සඳහාද? මේ විදිහට අපට ප‍්‍රශ්ණ කරන්න පුළුවන් මේ දේවල්වල කේන්ද්‍රයේ මනුෂ්‍යයා ඉන්නවද කියලා. නමුත් මැක්ස්වෙල් පෙන්වා දෙන්නේ මේ ආර්ථික මොඩලය සහ සංවර්ධන මොඩලය මනුෂ්‍යයා කේන්ද්‍ර කරගත් ඒවා නොවන බවයි. දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනයට සමපාතිකව ආර්ථිකයේ යහපැවැත්ම වැනි දර්ශකයක් තුළින් යුරෝපය, ඇමරිකාව වැනි රටවල 1970 ගණන්වලින් පසු මෙම දර්ශකයන් අවපාතයකට ගමන් කරන බව ඔහු දක්වයි.

මනුෂ්‍යයකු වීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා මොනවාද යන ප‍්‍රශ්නය මෙහිදී ඔහු ගොඩනගයි. එසේම හේගලියානු රචනා (Hegalian essay) වලදි මාක්ස් විසින් අහන ප‍්‍රශ්නයක් තමයි මනුෂ්‍යයා මනුෂ්‍යයකු වීමට සැපරිය යුතු අවශ්‍යතා මොනවාද යන්න.

මිනිසාට මූලික අවශ්‍යතා නවයක් ඇති බව මැක්ස්වෙල් (Maxwell) කියනවා. ඒ තමයි පැවැත්ම, ආරක්ෂාව, ලෙන්ගතුකම, අන්‍යෝන්‍ය අවබෝධය, සහභාගිත්වය, විවේකය, නිර්මාණය, අනන්‍යතාවය, නිදහස. එසේම ගැටුම් නිරාකරණය ගැන අධ්‍යයනය කරපු ජොහාන් ගල්තුංග් (Johan Galtung) විසින් අවුරුදු 15ක් විතර කරන ලද අධ්‍යයනයකින් අනතුරුවද මූලික මිනිස් අවශ්‍යතා කියන අදහස ඉදිරිපත් කළා. ජාතිකවාදි ව්‍යාපාරය නැඟීමත් සම`ග ‘මානව හිමිකම්’ කියන සංකල්පය සම්බන්ධයෙන් ඇති වූ ගැටලූවේදී ඊට විකල්පයක් ලෙස, ලෝකයේ සියලූ මිනිස්සුන්ට පොදු මෙම මූලික මිනිස් අවශ්‍යතා පිළිබඳ සංකල්පය ඔහු දක්වා සිටියා. මේ මානව හිමිකම් කියන්නේ සමාජ සාධාරණත්වය ගැන ප‍්‍රශ්න කිරීමට හා වැඩ කිරීමට තියෙන උපකරණයක් ලෙසයි ඔහු දැක්කේ. පැවැත්ම, යහපැවැත්ම, අනන්‍යතාවය හා නිදහස වශයෙන් මනුෂ්‍යයෙකුට මනුෂ්‍යයෙකු වීම සඳහා මූලික වන මිනිස් අවශ්‍යතා හතරක් ඔහු විසින් ඉදිරිපත් කළා.

සමාජ ගැටුම්, සමාජ ප‍්‍රචණ්ඩත්වය වැනි සියල්ල ඇති වෙන්නේ මේ අවශ්‍යතා ඉටු කරගන්න බැරි වූ විටයි. මේ අදහස තුළින් සන්නිවේදකයන්ට විශාල පර්යාවලෝකයක් විවර කරගන්න පුළුවන්. සමාජයේ ඕනෑම ප‍්‍රශ්නයක් දිහා මේ පර්යාවලෝකයෙන් බැලූවහම අපිට ඒ ප‍්‍රශ්නය අහුවෙනවා. අපිට මනුෂ්‍යයෙක් බවට පත්වෙන්න ඉඩනොදෙන කාරණා පේන්න පටන් ගන්නවා.

මිනිස්සුන්ට සම්බන්ධතා වර්ග තුනක් තියෙනවා. බර්ට‍්‍රම් රසල් කියනවා මනුෂ්‍ය ස්වභාවය අරගල තුනකට බෙදා දක්වන්න පුළුවන් කියලා. ඒ, තමා තමා සමඟ ඇති අරගලය, අනෙකා සමඟ ඇති අරගලය සහ පරිසරය සමඟ ඇති අරගලය වශයෙන්. මෙතනදි අපට දැනට තියෙන වාම පර්යාවලෝකනයේ අඩුව මට පේනවා. ප‍්‍රංශ විප්ලවයේ ඉඳන් මේ දක්වා සෑම විටම කතා කරන්නේ මිනිසුන් අතර සම්බන්ධතාවය යහපත් කරගන්න විදිහ ගැන. සාමය, සහෝදරත්වය, සාධාරණත්වය වගේ හැමතැනදිම කතා වෙන්නේ මේ අනෙකා සමඟ තියෙන සම්බන්ධතාවය පිළිබඳව. ඒක තමයි අපේ වාම පර්යාවලෝකනය. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ මේ අනෙකා සමඟ තියෙන සම්බන්ධතාවයට අමතරව අපට තවත් සම්බන්ධතා වර්ග දෙකක් තියෙන එක. අපි ඒ දෙක අතඇරල එකක් විතරක් හරිගස්වන්න හැදුවට ඒක හරියන්නෙ නැහැ. මේ හැමදේම අතර අන්තර් සම්බන්ධතා තියෙනවා. එක දෙයක් විතරක් වෙනමම අරං විසඳන්න බැහැ.

ඉට්ටි කියල රෝගයක් ගැන බුදුන් සඳහන් කරල තියෙනවා. ඒක ඇහේ ලෙඩක්, සමහර විට මාක්ස්ටත් ඒක තිබුණ වෙන්න පුළුවන්. විභේදනය එහෙමත් නැත්නම් පන්ති, කුල, ලිංග වගේ භේදත් එක්ක තමයි මේ රෝගය පහල වෙන්නේ. මනුෂ්‍යයෙකුට අනෙක් මනුෂ්‍යයා තමන් වගේම මනුෂ්‍යයකු ලෙස නොපෙනීම තමයි මේ රෝගය. අදටත් තියෙන ප‍්‍රශ්නය තමයි අපි මේ විදිහට බෙදිලා ඉන්න එක. එතකොට අපි ගහන්නේ මරන්නේ දේශද්‍රෝහීන්්ව, ත‍්‍රස්තවාදීන්ව, මිනිස්සුන්ව නෙමෙයි.දූෂණය කරන්නේ ගැහැනියක්, මනුෂ්‍යයෙක් නෙමෙයි. අපි හිංසා කරන හැම මොහොතකම මේ නාමකරණය පාවිච්චි කරල අනෙක් පැත්තෙ ඉන්න මනුෂ්‍යයව මකල දානවා. එතකොට විතරයි හිංසා කරන්න පුළුවන්, මනුෂ්‍යයෙකුට තවත් මනුෂ්‍යයෙකුට හිංසා කරන්න බැහැ.

මනුෂ්‍යයෙක් විදිහට ජීවත්වීමේ අර්ථය මොකක්ද? මම මොකටද ඉපදුණේ? මම මොනවාද කරන්නේ? ලංකාවේ මිනිස්සුන්ගෙන් මේ ප‍්‍රශ්නෙ ඇහුවොත් 99%කටම මේකට දෙන්න උත්තරයක් නැහැ. ඇයි ප‍්‍රයිවට් බස් ඔච්චර හැප්පෙන්නේ, ඒ අයට තමන්ගෙ ජීවිතේවත් වටින්නේ නැහැ. මේක ලොකු ආත්මීය අර්බුදයක්. ඊට වඩා ගෙයක් හෝ වාහනයක් වටිනවා. අපේ තියෙන ලෙඩ හැම එකකම මුල මේ අර්බුදයයි.

නව ලෝක මුදලාලි සිංහරාජෙට එක්ක ගියොත් එයාට ගස් පේන්නේ නැහැ. එයාට පේන්නෙ ලෑලි සහ ගෘහ භාණ්ඩ. අපිට තියෙන අභියෝගය තමයි මේ ඇහේ ලෙඬේ සුවපත් කරන එක. ඒකට අපට මිනිසුන්ව යම්තාක් දුරකට පුහුණු කරන්න වෙනවා. ඊට අවශ්‍ය ආධ්‍යාත්මික, සමාජයීය, සංස්කෘතික, දේශපාලනික පරිණතභාවය සමාජයට ගේන්න අපි කරන්නෙ මොකක්ද… ගැටලූව ඒකයි. මම යෝජනා කරන්නේ අපි ලෝකය දිහා බලද්දි අපට මේ සම්බන්ධතා පෙනෙන්න ඕනි කියලයි. මේ හැම ප‍්‍රශ්නයක්ම සම්බන්ධතාවල ගැටලූවක්. ඒ විදිහේ පර්යාවලෝකනයක් තුළින් බලන්න ගත්තහම මේ හැමදෙයක්ම වෙනස් විදිහකට පේන්න පටන් ගන්නවා. හැම දෙයක්ම අහුවෙනවා.

මේ විදිහට සමාජ පුනරුදයක් සඳහා අවශ්‍ය පරිකල්පනය, විඥනය මාරු කිරීම තමයි වමේ කාර්යභාරය. ඒ සඳහා මම යෝජනා කරන ප‍්‍රවේශ දෙක තමයි මිනිස් අවශ්‍යතා දිහා බැලීම සහ සම්බන්ධතා දිහා බැලීම. මුළු රටම හදන්න අවශ්‍ය නැහැ, සමහර විට ප‍්‍රබල ව්‍යාපාරයක් හදන්න 10%-15%ක් ප‍්‍රමාණවත්.

මාක්ස්වාදය තුළ ඇති පංති අරගලයේදී බලය ලබාගන්න භාවිතා කරන ප‍්‍රචණ්ඩත්වය හා මනුෂ්‍ය ආදරය අතර තිබෙන පරස්පරය පිළිබඳව කතා කළොත්, මාක්ස්ගේ ලියවිලි දිහා බලන විට ඔහු තුළ තියෙන්නේ පන්ති විරෝධයක් මිස මනුෂ්‍ය විරෝධයක් නෙවෙයි කියන දේ අපිට හොඳින් පේනවා. ඒක ඊර්ෂ්‍යාවක් හෝ ක්‍රෝධයක් නෙවෙයි. පන්තිය යනු මනුෂ්‍යයා විසින් හදාගත් ව්‍යුහයක්. ව්‍යුහයත් එක්කයි ප‍්‍රශ්නේ තියෙන්නේ.
”උදාහරණයක් හැටියට මහින්ද රාජපක්‍ෂ සමග පුද්ගලික තරහක් තියාගන්න අපට උවමනා නැහැ. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ඕන, ඒ නිසා එයාව අයින් කරන්න ඕන කියන එක වෙනමම තලයක බේරගන්න දෙයක්. ඒක ඒ ක‍්‍රමයත් එක්ක තියෙන ගැටලූවක්. එහෙම නැතුව මහින්ද රාජපක්‍ෂට වෙඩිතිබ්බා කියලා ඒ ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ.”.

සකස් කළේ චතුරිකා ධර්මදාස

??????????????????

Recent Posts

Tags: , , , , , , , ,

Leave a Comment