ජාතික ප‍්‍රතිසන්ධානය ගැන කථා නොකරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කුමටද? ඒ සඳහා ගත යුතු පියවර එල්.එල්.ආර්.සී. වාර්තාවේ තියෙනවා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

Aug 8th, 2014 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

‘‘ආරම්භයේදී එතරම් අනුග‍්‍රහශීලී සම්බන්ධයක් නොතිබුණත් පසුව 13 වන සංශෝධනය ඉදිරිපත් කිරීමත් සමග දමිළ ප‍්‍රජාව සමග සම්බන්ධය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වුණා. එහෙත් අවාසනාවකට තවමත් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක වී නැහැ. එය මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ක‍්‍රියාත්මකභාවය ගැන අපට අද තිබනෙ එක් වැදගත් ප‍්‍රශ්නයක්. ” යැයිද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

ජාතික ප‍්‍රතිසන්ධානය ගැන කථා නොකරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පැවතිය නොහැකියැයිද, ඒ සඳහා ගත යුතු පියවර ගැන එල්.එල්.ආර්.සී. වාර්තාවේ සවිස්තරව දක්වා තිබේ යැයිද විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු එසේ ප‍්‍රකාශ කළේ අගෝස්තු 4 වන සඳුදා සවස කොළඹ 7, ජාත්‍යන්තර සබඳතා සහ ක‍්‍රමෝපාය අධ්‍යනය පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී පැවති දැක්ම සහ යථාර්ථය නම් ග‍්‍රන්ථය දොරට වඩින ලද අවස්ථාවේ ප‍්‍රධාන දේශනය පවත්වමිනි.

‘දැක්ම සහ යථාර්ථය’ 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ගැන සමීප අත්දැකීම් සහිත පුද්ගලයින්ගේ පිරිසක් විසින් සම්පාදනය කරන ලද කෘතියකි. 1978 ව්‍යවස්ථාව සම්පාදනය කරද්දී පැවැති දැක්ම කුමක්ද? එම අවස්ථාවේ පැවැති ආස්ථානය කුමක්ද? අවසාන වශයෙන් අද අප අත්දකින යථාර්ථය කුමක්ද? පිළිබඳව එය සාකච්ඡා කරන ‘දැක්ම සහ යථාර්ථය’ ස්ටැම්ෆර්ඞ් ලේක් ප‍්‍රකාශනයක් වන අතර එය දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විෂයෙහි ලියැවුණු සාරගර්භ ලිපි එකතුවකි.

මෙම උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන්, කබීර් හෂීම්, විජයදාස රාජපක්ෂ සහ එරාන් වික‍්‍රමරත්න යන මහත්වරු දෙසුම් පැවැත්වූ අතර පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ප‍්‍රියානී විජේසේකර මහත්මිය ස්තුති කථාව කළාය.

මෙම ග‍්‍රන්ථය දොරට වැඞීමේ උත්සවය ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය සහ රයිට්ස් නව් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සාමූහිකය විසින් සංවිධානය කරන ලදී.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය පිළිබඳව මෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක්වෙන මේ මොහොතේ මෙවර ‘සමබිම’ ඉරිදා සංග‍්‍රහය මගින් අප උත්සාහ කරන්නේ එදින ඇතිවූ සංවාදය පිළිබඳව සටහනක් තබන්නටය.

මෙම කෘතියේ අන්තර්ගත ලිපි සලකා බලන විට, විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් ලියන ලද රචනා මෙහි අන්තර්ගතය. විධායක ජනාධිපති ධූරයට පක්ෂව මෙන්ම ඊට එරෙහිවද ගොඩනගන ලද අදහස් මෙහි දක්නට ලැබේ. විධායක ජනාධිපතිධූරය අවශ්‍ය ඇයි? යන්න පිළිබද මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් කරුණු දක්වා තිබේ. අනෙත් අතට ලංකාවේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් සමග විධායක ජනාධිපතිධූරය අනුකූල නොවන බවට වූ අදහස මෙරට වම මුල සිටම දැරූ බව ඩිව් ගුණසේකර මහතා අදහස් දක්වා තිබේ. මෙම කෘතියේ ලිපි සියල්ල දෙස බලන විට, පෙනී යන කරුණ වන්නේ මෙය මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවහාරය හා සම්බන්ධ වූ අය විසින් ලියන ලද ලිපි වලින් සමන්විත වූවක් බවයි. ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට, එය සංශෝධනය කිරීමට, එහි භාවිතය සමග විවිධාකාර ලෙස සම්බන්ධ වූ අය විසින් මේ ලිපි ලියා තිබේ.

1978 ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපතිධූරයක් ස්ථාපිත කොට අර්ධ-ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් මේ රට තුළ ස්ථාපනය කළා. මෙම ව්‍යවස්ථාවේ සුවිශේෂී ලක්ෂණ කීපයක් තිබෙනවා. පළමුව පරමාධිපත්‍යය බලය ජනතාව අත රදවා තිබෙනවා. පාර්ලිමේන්තුව සිය ආසන සංඛ්‍යාව වැඩි කරගැනීමට උත්සාහ දරන ලද අවස්ථාවේදී, එනම් කලවාන නඩුවේදී අධිකරණය ජනතා පරමාධිපත්‍යය පිළිබද වගන්තිය පාවිච්චි කොට පාර්ලිමේන්තුව එය කිරීමෙන් වළක්වනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ මගින් පාර්ලිමේන්තුවේ බලය මෙලෙස සීමා කළ අවස්ථා ගණනාවක් තිබෙනවා.

එසේම විධායක ජනාධිපති ධූරය තුලනය කිරීම සදහා සමානුපාතික නියෝජන ක‍්‍රමය හදුන්වා දී තිබෙනවා. ආරම්භයේදී ජයවර්ධන මහතා අදහස් කළේ මනාප රහිත ලැයිස්තු ක‍්‍රමයක් මැතිවරණය සදහා අනුගමනය කිරීමටයි. ඒ අවස්ථාවේ වාමාංශයත්, ශ‍්‍රීලනිපයත් දෙකම මැතිවරණය වියදම් අඩු එකක් විය යුතු බවට පොදු අදහසක සිටියා.

ඒ වගේම මූලික අයිතිවාසිකම් පිළිබද ව්‍යවස්ථාව තුළ සදහන්. මූලික අයිතිවාසිකම් කඩ වූ විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමේ අවස්ථාව පුරවැසියන්ට ලබාදී තිබෙනවා. මෙය එවකට අලූත් තත්ත්වයක්. බොහෝ රටවල ඒ වනවිට මෙවැන්නක් හදුන්වා දී තිබුණේ නැහැ. විධායකය විසින් ගනු ලබන ක‍්‍රියාමාර්ග නිසා ඇති විය හැකි මූලික අයිතිවාසිකම් කඩවීම්වලට ප‍්‍රතිකර්ම ලබාදීම සදහා මේ අනුව අවස්ථාව හිමි වුණා.
පසුව ව්‍යවස්ථාවේ ස්වරූපය වෙනස් කිරීමට හේතු වූ විවිධ සංශෝධන ඉදිරිපත් වුණා. 13 වන සංශෝධනය විසින් පළාත් සහ මධ්‍යම ආණ්ඩුව අතර බලය බෙදාහරිනු ලැබුවා. එය සම්මත කරන ලද්දේ 1983 සිට ඉදිරියට සිදුවූ සාකච්ඡා සමුදායක ප‍්‍රතිඵලයක් ලෙසයි.

ඒ වගේම 17 වන සංශෝධනය සම්මත කොට ස්වාධීන කොමිෂන් සභා පිහිටුවනු ලැබුවා. එය සම්මත කෙරුණේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයෙත් පක්ෂ අතර ඇති වූ සංවාදයකින් පසුවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සවිමත් කිරීමෙහිලා දායක වූ, මනා සංවාදයකින් පසු ඉදිරිපත් කරන ලද සංශෝධන ලෙස මේවා හැදින්විය හැකියි.

ඒ වගේම නිශේධනාත්මක සංශෝධනත් ව්‍යවස්ථාවට එක්වුණා. 1988 ජනාධිපතිවරණයට පෙර, හදිසියේ, අප මනාප ඡන්ද ක‍්‍රමය හදුන්වා දුන්නා. එවකට අගමැති පේ‍්‍රමදාස, ලලිත් ඇතුලත්මුදලි මහතා සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායකතුමා සමග කළ සාකච්ඡාවල ප‍්‍රතිඵල ලෙස මෙය එකතු කරනු ලැබුවා. මේ සංශෝධනය අවාසනාවන්ත ලෙස ‘මුදල් දේශපාලනය’ සදහා පාර කපා තිබෙනවා. පක්ෂයට ලැබෙන ඡන්ද වලින් වැඩිම සංඛ්‍යාවක් දිනාගැනීමට පක්ෂයේ ඡන්ද සදහා පක්ෂයේම අය මරා ගන්නා තත්ත්වයක් මේ තුළින් උදා වූවා. මෙවැනි තත්ත්වයක් ඇති වේ යැයි එවකට පුරෝකථනය කළ නොහැකි වුණා. මේ තත්ත්වය විසින් මහජන නියෝජන ආයතනවල ගුණත්මකභාවය අඩු වීමටත් මහා පරිමාණයෙන් මුදල් දේශපාලනය දේශපාලන ක්ෂේත‍්‍රය තුළට ගෙන ඒමටත් හේතු වුණා.

දෙවැන්න 18 වන සංශෝධනයයි. එය විසින් ආණ්ඩුවේ ශාඛා තුන අතර තුලනය දුර්වල කොට එය විසින් විධායක ජනාධිපතිධූරය සර්වබලධාරී මට්ටමකට ඔසවා තබනු ලැබුවා.
අවසානයේ 1978දී විධායක ජනාධිපතිධූරය හදුන්වා දුන් එජාපයම විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු බවට අදහස් ඉදිරිපත් කළා.

මෙතැනින් අප යා යුත්තේ කොයිබටද? විධායක ජනාධිපතිධූරය පැවතිය යුතුද? එය අහෝසි කළ යුතුද? යනුවෙන් පවතින විවාදය මේ සදහා ප‍්‍රමාණවත් යැයි මා සිතන්නේ නැහැ. මේ රටේ ජනතාව අද වනවිට පවතින දේශපාලන ක‍්‍රමය නිසා වෙහෙසට පත්වී සිටිනවා. දේශපාලකයින් සතුව බලතල වැඩි යැයි ඔවුන් සිතනවා. ජාතික ප‍්‍රතිපත්තීන් ඇති කරගැනීමට අප අසමත් වී ඇති බව ඔවුන් සිතනවා. අප මේ ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කිරීමට අසමත් වන තුරාවට ජනතාවට සෑහීමට පත්විය හැකි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් අපට සම්පාදනය කරගැනීමට නොහැකියි.

සියල්ලට පළමුව ජනතාවට නිදහස තිබිය යුතු බවට සහතික විය යුතුයි. මූලික අයිතිවාසිකම් අව්‍යාජ ලෙසම බලාත්මක විය යුතුයි. භාෂණයේ නිදහස, සමාගමයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් සියලූ ජනතාවන්ට භුක්ති විදීමට හැකි විය යුතුය. එජාපයේ අප අධ්‍යාපනය සදහා වූ සර්වජන ප‍්‍රවේශය මූලික අයිතියක් ලෙස තහවුරු විය යුතු බවට නිර්දේශ කොට තිබෙනවා. තමාට අභිමත භාෂාවක් භාවිතා කිරීමටත්, තමාට අභිමත සංස්කෘතියක් ආස්වාදනය කිරීමටත්, තමාට අභිමත ආගමක ඇදහීමටත් සියලූමදෙනාට අයිතිවාසිකම් තිබෙනවා. මේ අයිතිවාසිකම් තහවුරු විය යුතුයි. සෑම ලාංකිකයෙක්ම සමානයි කියා අපට කිව හැක්කේ එතකොටයි.

මේ රාමුව තුළ ජාතික ප‍්‍රතිසන්ධානය සදහාත් අවස්ථාව තිබිය යුතුයි. ජාතික ප‍්‍රතිසන්ධානය ගැන කථා නොකරන නව ව්‍යවස්ථාවක් තිබිය නොහැකියි. එහිදී ගත යුතු පියවර ගැන එල්.එල්.ආර්.සී. වාර්තාවේ සවිස්තරව දක්වා තිබෙනවා.

ආණ්ඩු ක‍්‍රමය පරිපාලන රටාව කවරක් විය යුතුද? දේශපාලනය විසින් අප සියලූදෙනා ධ‍්‍රැවීකරණය කර තිබෙනවා. අද අපට පොදු සම්මුතියක් වෙත එළැඹිය හැකි එදිරිවාදීකම් අඩු ක‍්‍රමයක් අවශ්‍යයයි. ජාතික ප‍්‍රතිපත්ති තිබිය යුතුයි. මූලික මූලධර්ම ගැන එකගතා තිබිය යුතුයි. බලය සදහා සටන් කළ යුත්තේ ඒ එකගතා ඇතුලේ හිදිමිනුයි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඒ වගේම ඉන්දියාව වැනි රටවල දේශපාලනය ක‍්‍රියාත්මක වෙන්නේ ඒ විදිහට. ඒත් අපගේ ක‍්‍රමය තුළ තිබෙන්නේ ජයග‍්‍රාහකයා සියල්ල භුක්ති විදිය යුතුයි කියන තර්කය. මෙය දැඩි එදිරිවාදී ක‍්‍රමයක් ගොඩනගා තිබෙන අතර ජනතාවගේ අයිතිවාසිකම්වලට එය අහිතකර ලෙස බලපා තිබෙනවා.

ජයවර්ධන මහතාගේ අදහස වූයේ වෙස්ට්මිනිස්ටර් ක‍්‍රමයක් මත ප‍්‍රංශ ජනාධිපති ආකෘතිය බලාත්මක කිරීමයි. ඩිගෝල් විසින් ප‍්‍රංශ ව්‍යවස්ථාදායක ක‍්‍රමය මත ජනාධිපති ක‍්‍රමයක් ආදේශ කිරීම ඔහු එතැනදී ආදර්ශයට ගත්තා. වෙස්ට්මිනිස්ටර් ක‍්‍රමය යටතේ කටයුතු පාලනය වන්නේ ව්‍යවහාරයන් හා සම්මුතීන් මතයි. ඒ සම්මුතීන් සියල්ල අලිඛිතයි. දේශපාලන පක්ෂ අතර සබදතා පාලනය වන්නේ ඒවා මගින්ය. ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු අනෙත් බොහෝ රටවල ව්‍යවස්ථා ලිඛිතව සංගෘහිත කොට තිබෙනවා.

අප පසුගිය දශක ගණනාව පුරා සිදුකර ඇත්තේ මේ සම්මුතීන් නොසලකා හැරීම සහ අමතක කිරීමයි. ඒ සම්මුතීන් තවදුරටත් ලංකාව තුළ බලාත්මක වන්නේ නැහැ. එයින් කීපයක් පාර්ලිමේන්තුව තුළ ක‍්‍රියාත්මක වෙනවා. එපමණයි. ඒ නිසා රට තුළ තිබෙන්නේ සම්මුතීන්ගෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්. මේ විදිහට තව කොතරම් කාලයක් අපට යා හැකි වේදැයි මා දන්නේ නැහැ. ඒ නිසා එවැනි සම්මුතීන් පද්ධතියක් අපි ගොඩනගා ගත යුතුයි.

අප එය කරන්නේ කෙසේද? මීට වඩා එදිරිවාදීත්වය අඩු කරගන්නේ කෙසේද? එහි පළමු පියවර වන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනගා ගැනීමයි. පාර්ලිමේන්තුව විධායකය විසින් පාලනය නොවිය යුතුයි. පාර්ලිමේන්තුවේ එක් කමිටුවක් වන කැබිනෙට්ටුව විසින් සියල්ල පාලනය කරන බි‍්‍රතාන්‍යය ක‍්‍රමයෙන් අප ඉවත් විය යුතුයි. කැබිනෙට්ටුව සිය ප‍්‍රතිපත්ති ඉදිරිපත් කරන අතර ඒවාට පක්ෂ අය ඊට පක්ෂවත්, විරුද්ධ අය විරුද්ධවත් තර්ක කරනවා. ජර්මානු හෝ ඇමරිකානු ක‍්‍රමයන් මෙතැනදී වැදගත්. ඇමරිකානු ක‍්‍රමය යටතේ ඕනෑම නීති කෙටුම්පතක් කමිටුවක් විසින් විමර්ශනය කරනවා. කමිටුවේ සභාපතිවරයා ප‍්‍රබලයි. ඇමරිකාව තුළ ආරම්භ වූ මේ ක‍්‍රමයට සමාන ක‍්‍රමයක් ජර්මනිය තුළත් තිබෙනවා. ජර්මනිය තුළ කමිටු සභාපතිවරයා ඇමතිවරයා තරම්ම බලවත්.

දෙවනුව ප‍්‍රතිපත්ති සම්පාදන රාමුව තුළ අප සම්මුතීන් ගොඩනගාගන්නේ කෙසේද? අප සියලූදෙනා එකග වන මූලික මූලධර්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ සදහන් විය යුතු යැයි මා සිතනවා. ආර්ථික හා සමාජයීය කරුණු පිළිබද මූලධර්ම එහි තිබිය යුතුයි.

කැබිනෙට්ටුව එවැනි පොදු සම්මුතියක් ඇතිකරගත හැකි තැනක් යැයි මා සිතන්නේ නැහැ. මන්ද කැබිනෙට්ටුව සමාන අදහස් දරන්නවුන්ගේ පර්ෂදයක් වන නිසා. ඒ සදහා පක්ෂවල නායකයින්ට මුණ ගැසිය හැකි වෙනත් පර්ෂදයක් තිබිය යුතුයි. රටට දේශපාලන මගපෙන්වීම එම පර්ෂදයට කළ හැකි විය යුතුයි. මූලික මූලධර්ම ප‍්‍රතිපත්තිමය රාමුවක් දක්වා වර්ධනය කිරීමට එම පර්ෂදයට හැකි විය යුතුයි.
ජාතික එක්සත්කම පිළිබද ප‍්‍රශ්නය දෙසත් අපි එලෙස බැලිය යුතුයි. දකුණු අප‍්‍රිකාවේ මෙන් අන්තර්වාර කමිටුවක් හෝ රාජ්‍ය කමිටුවක් ඒ සදහා ඇති කරගත හැකියි.

යහපත් ආණ්ඩුකරණයක් සදහා වූ අයිතිය ඡන්දය දීම සදහා තිබෙන අයිතිය වාගේම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව තුළ ඇතුලත් කළ යුතුයැයි මා සිතනවා. මේ කරුණු ගැන අප අවධානය යොමු කළහොත් නව විධායකය කෙබදු විය යුතුද යන්න ගැන අපට අදහසක් පාදා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති. පවතින ක‍්‍රමය අසතුටුදායක බවට අපි සියලූදෙනා එකග වෙනවා. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම ගැන සමහරු අදහස් දක්වනවා. එය නවීකරණය කළ යුතු බවට තවත් ඇතැමුන් අදහස් පළ කරනවා. මේවා ගැන අපි කථා කල යුතුයි. ඒත් ඒ හුදෙකලාව වෙන් කොට නෙමෙයි. සැබෑ ව්‍යවස්ථාවක් කෙසේ විය යුතුද යන පුළුල් පසුබිම තුළ තබා අපි මේවා ගැන කථා කළ යුතුයි.

එම අවස්ථාවේ ඡායාරෑප මෙතනින් බලන්න

ii

Recent Posts

Tags: , , , , , , , , , , , ,

Leave a Comment