අහිංසකයන්ගේ ආරාමය තිබූ තැන දැන් තියෙන්නේ කුමක්ද?

Aug 11th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

pdff

දීප්ති කුමාර ගුණරත්න

චන්ද්‍රිකා බණ්ඩාරනායකට රාජ්‍ය බලය ලබා ගැනීමට හැකිවූයේ ‘සූරිය කන්දේ මිනී ඇටකටු හමුවීම’ වික්ටර් අයිවන් මහතා විසින් මැනවින් කළමනාකරණය කිරීම නිසාය. වර්තමානයේ S.B යනු කෙතරම් ජවිපෙ විරෝධියෙකු වුවත් ඔහුටත් බලයට ඒ මේ මාර්ගය වැටී තිබුණේ මෙම ජවිපෙ මිනී ඇටකටුය. සියලූ දෙනා අතරින් මෙම ඓතිහාසික මතකය ගිලිහී ගොස් ඇත. නිමල් සිරිපාල, ජෙයරාජ්, අනුරුද්ධ යනු යූඑන්පියට විරුද්ධව 80 දශකය පුරා ‘හොරකමට’ විරුද්ධව උද්ඝෝෂණය කරන ලද්දවුන්ය. ‘අහිංසකයන්ගේ ආරාමය’ යනු මංගල සමරවීර සහ චිත‍්‍ර ශිල්පී ජගත් වීරසිංහ එක්වී ඇඹිලිපිටිය සිසු ඝාතනය ඇතුළත්ව කරන ලද සිහිවටනයයි. එබැවින් අහිංසකයන්ගේ ආරාමය යනු හුදු ඉදි කිරීමක් නොව ඓතිහාසික මතකයකි. මෙවැනි ඉදිකිරීමක් කොළඹ – මීගමුව පාරේදී අතුරුදහන් වූවන් උදෙසා නිර්මාණය කර ඇති අතර එය ද ඉවත් කිරීමට උත්සාහයක් ඇත.

පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු සංකීර්ණයට යාබදව ඉදිකර ඇති අහිංසකයන්ගේ ආරාමය තිබූ තැන දැන් තිබෙන්නේ නිදහස්කාමී සාප්පු සංකීර්ණයකි. දේශපාලන සන්නද්ධ ගැටුමකදී දුගීන් ස්මරණය කිරීම සඳහා මතක වස්තුවක් අගනුවරක ඉදි කර ගැනීම දේශපාලන ජයග‍්‍රහණයකි. 89 සන්නද්ධ කැරැල්ලට එරෙහිව රාජ්‍ය බලය යෙදවීමේදී එවකට පැවති ආණ්ඩුවේ නායකයෙකු වූ රනිල් වික‍්‍රමසිංහ මහතා මෑතකදී පැවසුවේ තමන් එ් දේ කළේ ‘නිදහස් වෙළඳාම’ (Free Market) බේරා ගැනීමට බවයි.

අහිංසකයන්ගේ ආරාමය කඩා බිඳ එතැන සාප්පු සංකීර්ණයක් ඉදි කිරීමට විරුද්ධව ප‍්‍රබල ජනමතයක් ඉදිරිපත් වූයේ නැත. උතුරේ විශාල ජන ඝාතනයක් සිදු කිරීමට නිහ`ඩ අනුමැතියක් දුන් ජනතාව වැරදිකාර හැ`ගීමකින් පෙළෙන බව ඔප්පු කිරීමට විද්‍යාත්මක තර්ක අවශ්‍ය නැත. සර්බියාවේ තිබෙන ප‍්‍රකට විහිළුවක් දැන් අපට මතකයට නැ`ගිය හැක. සාමාන්‍යයෙන් අප මස් කඩයකට ගොස් මස් ඉල්ලූවිට (විශේෂයෙන් හරක් මස්) සිරිතක් වශයෙන් මස් කපන්නා මෙසේ අසයි. ”මහත්මයා ඔබ මේ මස් ගන්නේ සුප් හදන්නද, නැත්නම් උයල කන්නද?” මෙවැනි ප‍්‍රශ්නයක් ඔහු අසන්නේ සුප් තැම්බීම සඳහා සාරය සහිත විශාල කටු අවශ්‍ය නිසාය. මෙම පසුබිම නිසා සර්බියාවේ ඉඩමක් මිලට ගන්නට යන කෙනෙකුගෙන් එහි අයිතිකරුවන් මෙසේ අසයි. ඔබට අවශ්‍ය කටු සහිත ඉඩමක්ද? කටු නැති ඉඩමක්ද?

කටු සහිත ඉඩමක් මිලට ගෙන එහි ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කළ චන්ද්‍රිකා විශාල ලාභයක් හිමි කරගත් බව රාජපක්ෂලා හොඳින් දනිති. ගැටලූව වන්නේ රටෙහි ඉඩම්වල ඇට කටු වර්ග දෙකක් පැවතීමයි. දකුණේ ඉඩම්වල පවතින්නේ සිංහල මිනී ඇටකටුය. උතුරේ ඉඩම්වල පවතින්නේ දෙමළ ඇටකටුය. දකුණට අදාළව ඇටකටු සහිත ඉඩම් මිලට ගෙන ව්‍යාපාරික කටයුතු කර ලාභ ලබා ඇති තත්ත්වයක් තුළ එය උතුරටත් දිගු කළ හැකිද යන්න තවත් ප‍්‍රහේළිකාවකි. රාජපක්ෂලා ඇටකටු සහිත ඉඩම්වලින් රසවත් සුප් කෝප්ප පිළියෙල කළ හැකි බව හොඳින් දන්නා නිසා එම ඉඩම් වටේට කටු කම්බි ගසා ඇත. එසේ නම් කොළඹ තිබෙන අහිංසකයන්ගේ ආරාමය බිමට සමතලා කරන ලද්දේ ඇයි?

‘අහිංසකයන්ගේ ආරාමය’ ම`ගින් සංකේතවත් වන්නේ යම්කිසි යුගයක අරගලකාරී විඥානයක් පිළිබඳ ඓතිහාසික මතකයකි. එය හුදු ගොඩනැ`ගිල්ලක් නොව පන්ති අරගලය ද්‍රව්‍යාත්මකව කළ කලාත්මක නිෂ්පාදනයකි. එවැන්නක් කඩා බිඳ දැමීම යනු අරගල විඥානයේ භෞතික සාධක මකා දැමීමකට සමාන වන කි‍්‍රයාවකි. ධනවාදයට, සමාජ අසාධාරණයට විරුද්ධව මිනිසුන් අතීතයේ අරගල කළ යුතු බවට සංකේතවත් වන ගොඩනැ`ගිල්ලක් කඩා බිඳ දැමීම ම්ලේච්ඡත්වයේ සංකේතයකි.

රාජපක්ෂලාගේ පවුල් පාලනය (මෙය දැන් රෙජීමයක් හෝ බල හවුලක් නොවේ. මෙවැනි වර්ගයේ පාලන ක‍්‍රමයක් සාම්ප‍්‍රදායික දේශපාලන විද්‍යාවේ නැත. රාජපක්ෂ පවුල් පාලනය අතීතයට නොව අනාගතයට යොමුවන්නක් නිසා එය වැඩවසම් පාලනයක් ද නොවේ. අවශ්‍ය නම් අපට එය මෙසේ නම් කළ හැක. ‘ආසියාතික හර පද්ධතිය අනුගමනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය රහිත, කොන්ෆියුසියානු නිලධාරී තන්ත‍්‍රයක් සහිත රොඬේසියානු ධනවාදය’) ඉඩම් සම්බන්ධයෙන් ඉතා සංවේදීය. ඔවුන් බණ්ඩාරනායකලාගේ ඉඩම්වල සුප් විභවය හොඳින් දැන සිටි පිරිසකි. රාජපක්ෂලා පාලන බලයට එනතුරු කොළඹ නගරයේ ඉඩම් පැවතියේ ස්වාභාවික වටිනාකම තුළය. එනම් ප‍්‍රයෝජ්‍ය වටිනාකම තුළය. රාජපක්ෂලා හමුදාවේ බලය යොදා මෙතෙක් කල් ප‍්‍රයෝජ්‍ය වටිනාකම තුළ හිර වී තිබූ ඉඩම් ‘හුවමාරු වටිනාකම්’ (Exchange Value) තලයට තල්ලූ කරන ලදී. සරලව කිවහොත් රාජපක්ෂලා කොළඹ සොබාවික ඉඩම් විකිණිය හැකි මට්ටමට ඔසවා තැබුවේය. ඉතාම සරල ලෙස කිවහොත් ඔවුන් සොබාදහම විකිණීම ප‍්‍රමිතියක් දක්වා සංවර්ධනය කරන ලදී. එය ඔවුන් ඉගෙන ගත්තේ නැගෙනහිර මුහුදු තීරය විකිණීම නිසා ලබාගත් අත්දැකීමෙනි.

‘ඉඩම්’ සොබාවික පරිසරයෙන් ඉවත් කර හුවමාරු භාණ්ඩයක් බවට පරිවර්තනය කළ විට මිනිසාගේ ඥානයට සිදුවන විපර්යාසය කුමක්ද? අපි උදාහරණයක් ගමු. යුද්ධයට ප‍්‍රථම කොළඹට දුර ප‍්‍රදේශයකින් එන මනුස්සයෙක් දන්නවා පෙට්ටි කඩයකින් තේ බොන හැටි, එතන හැසිරෙන විදිහ. එ් කියන්නේ ඒ මනුෂ්‍යයා දන්නවා තමන්ගේ අවට පරිසරයට ප‍්‍රතිකි‍්‍රයා කරන විදිහ. මිනිහෙක් තමා අවට ‘යථාර්ථය’ අර්ථයක් හැටියට විඥානය ඇතුළට අවශෝෂණය කරන කොට ඔහුගේ ශරීරයේ ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංවේදන ඥානනය සඳහා අත්‍යාවශ්‍යයි. දවසේ ජීවිතයේදී බාහිර පරිසරය සහ අපගේ ශරීරය අතර පරිපථමය සම්බන්ධයක් තියෙනවා. මේ නිසා චරිතයක් තමා අවට පරිසරය තුළ ප‍්‍රතිකි‍්‍රයා කළ යුත්තේ කෙසේද කියා දන්නවා.

නමුත් 2009 වර්ෂයේ අවසන් වූ යුද්ධයට අවුරුදු 2 කට පමණ පසු කොළඹ එන දුර ගමක වැසියෙක් තමන්ගේ පරණ පුරුද්දට තේ බොන්න පෙට්ටි කඩයක් සොයාගෙන ගියා කියලා මොහොතකට අනුමාන කරමු. දැන් එතන ඒ පෙට්ටි කඩය නැහැ. එතන තියෙන්නේ එ් වෙනුවට ස්ටාර්බක්ස් කෝපි අවන්හලක්. මෙම අවන්හලත්, ප‍්‍රජාව ගැන ආශාවෙන් නිර්මාණය කරපු එකක් තමයි. නමුත් එතන හැසිරිය යුතු ආකාරය අර ගැමියා පමණක් නෙවි කොළඹ අවට මධ්‍යම පාන්තිකයෙක්වත් දන්නෙ නැහැ. තමන්ගේ ඔඩොක්කු පරිගණකය මේසය මත තබාගෙන wi-fi තාක්ෂණයේ මහිමය පාවිච්චි කරමින් ගූගල් සෙවුම් යන්ත‍්‍රය හරහා facebook සමාජ ජාල වෙබ් අඩවියට ගමන් කිරීම නව ඥානන සන්තතියක්. මෙම හේතුව නිසා අලූත් වර්ගයක මිනිස්සු කොටසක් බිහි වෙනවා. ඒ තමයි තමන් අවට පරිසරයට, තමන්ගේම සමීප හිතවතාට, හිතවතියට කෙසේ ප‍්‍රතිචාර දැක්විය යුතුද කියල නොදන්න මිනිස්සු කොට්ඨාසයක් බිහි වීම. මේ අයට කලින් පැවති පෙට්ටි කඩය ගැන හැ`ගීමකුත් නැහැ. අලූත් ස්ටාර්බක්ස් කෝපි අවන්හල ගැන හැ`ගීමකුත් නැහැ. එබැවින් ඔවුන්ගේ ප‍්‍රතිකි‍්‍රයාවන් අසම්මතයි. විකාර සහගතයි. අනාගතවාදීයි.

මේ සඳහා අපට සෞන්දර්යය අත්දැකීමක්ද අරගෙන සාකච්ඡුා කරන්න පුළුවන්. පසුගිය දිනක ජනතා විමුක්ති පෙරමුණට අතීතයේ දේශපාලන සම්බන්ධතාවයක් තිබූ, පසුව ඉන් ඉවත් වූ ‘බේකරිය කට්ටිය’ නම් සෞන්දර්යය කුලකය විසින් චිත‍්‍රපට උලෙළක් සංවිධානය කරල තිබුණා. එ්කට විවිධ අය සහභාගි වුණා. ඉන් දෙදෙනෙක් අනික් අයට වඩා විශේෂ වුණා. ඔවුන් එතන හිටියේ ‘ලොලිපොප්’ දෙකක් ලෙව කකා. මේ අයව අනිත් අයට ඇහැට ගිය රොඞ්ඩක් වුණා. ඔවුන්ට මේ දෙන්නව සංකල්පීයකරණය කරගන්න බැරිවුණා. යුද්ධයෙන් පසුව තමන්ගේ සංජානන සිතියම නැතිවෙච්ච අය තමා අවට පරිසරයට ප‍්‍රතිකි‍්‍රයා කරන විදිහ දන්නෙ නැහැ. මේ අයට තියෙන්නේ ”චල්‍ය වන-ප‍්‍රතිරූපයක්” (Movement image) නෙවි ”සිතන – ප‍්‍රතිරූපයක්” (Thought – image). දෙවන ලෝක යුද්ධයට පසු බිහි වූ ඕර්සන් වෙල්ස්ගේ ‘Citizen Kane’ යසුජිරෝ ඕසු, ඉතාලි නව-තාත්විකවාදයේ සිනමා කෘති සංවිධායකයන් කලින් නරඹල තිබුණා නම් මේ ලොලිපොප් චරිත වටහා ගන්න තිබුණා. මේ අය හිතන්නේ දේශපාලනය, කලාව ගැන නෙවි. ඒ අය හිතන්නේ මේ වගේ තැන්වල (පෙට්ටි කඬේ හැසිරෙන්න දන්න කෙනා කොහොමද Starbuks කෝපි බොන්නේ?) හැසිරෙන්නේ කොහොමද කියල. ඥානය පිළිබඳ පිළිතුරු නැති ප‍්‍රශ්නයට උත්තර නැති නිසා ගැටළුව විලාසිතාවක් වෙනවා.

මෙහෙම හිතන්න -අල්ටෝ මෝටර් රථයකින් එන, Dialog සමාගමේ විධායක නිලධාරියෙක් තමන්ගේ පුංචි පවුල සමග අහිංසකයන්ගේ ආරාමය තිබූ තැන අද තියෙන ස්ටාර්බක්ස් කෝපි කඩයට ඇතුළු වෙනවා. එයාට සූරියකන්ද ගැන ඥාන සිතියමක් නැහැ. ඒ විතරක් නෙවේ දේශපාලන අරගලයකින් තොරව ඔහු පසු ජාතික කෝපි කඩයකට ඇතුළු වෙලා. ඉතින් කටේ හැම තැනම අයිස්කී‍්‍රම් ගාගෙන කෝපි බි බී පාරේ යන අනිත් මිනිස්සුන්ට විරිත්තන එක හැර වෙන මොනව කරන්නද? කොළඹ සුන්දර වීම මේකද? පෙට්ටි කඩයකට ආපු මිනිහ එතන හැසිරෙන විදිහවත් දන්නවා. මධ්‍යම පාන්තික ඊර්ෂ්‍යාව. එහෙම නේද ඔබ හිතන්නේ?.

ss11 fg12

 

Recent Posts

Tags: , , ,

Leave a Comment