ඌවේ ප‍්‍රතිඵලය නිවැරදි අනාගත නිර්ණායකය වේද?

Aug 16th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

 

අද වන විට ඌව පළාත්සභා මැතිවරණය රටෙහි සිදුවිය හැකි අනාගත දේශපාලන චලනයන් සම්බන්ධයෙන් තීරණය කලහැකි තීරණාත්මක මැතිවරණය බවට මතයක් ගොඩනැගෙමින් පවතී. පාලක එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ඌව මැතිවරණ ජයග‍්‍රහණය ඔවුන්ගේ අනාගත මැතිවරණ උපාය මාර්ග තීරණය කළ හැකි මැතිවරණයක් ලෙස සිතන බව දැක ගන්නට ඇත. එසේම විපක්ෂයේ දේශපාලන පක්ෂද මෙම මැතිවරණ ප‍්‍රතිඵලය මත අනාගත බල පෙරළියක් සම්බන්ධයෙන් තීරණය කිරීමේ හැකියාවක් ඇති බවට ද මතයක් ඇතිවී ඇත.

ඌව මැතිවරණ ප‍්‍රතිඵලය සර්වත‍්‍ර කුලකය ලෙස ක‍්‍රියාකරයි ද එම ප‍්‍රතිඵලය රටෙහි අනෙක් ප‍්‍රදේශයන්හි මහජන මතයම වේද යන්න දෙවරක් සිතා බැලිය යුතු කාරණයක් වන්නේය. ඡන්දය ප‍්‍රකාශ කිරීම නම් යම් ආකාරයක දේශපාලන ප‍්‍රවාහයකට තමන්ගේ කැමැත්ත පලකිරීමයි. මැතිවරණ නීතිවලින්ද ප‍්‍රකාශ කර ඇත්තේ ජනමතය නිදහස්ව හා බලපෑමකින්, පෙලඔවීමකින් තොරව ප‍්‍රකාශ විය යුතු කාරණයක් යන්නයි.

මෙසේ ජනමතය නිදහස්ව, ස්වාධීනව, පෙළඔවීමකින් තොරව ප‍්‍රකාශවීම සඳහා සපුරාලිය යුතු ගුණාංග රාශියක් පවතී. එයින් ප‍්‍රධානතම ගූණාංගය වන්නේ ඡන්ද දායකයාගේ ආර්ථික ස්වාධීනතාවයයි. මෙම ආර්ථික ස්වාධීනතාවය රඳා පවතින්නේ ඡන්ද දායකයාගේ ඉපැයීම් ක‍්‍රමවේදය මතය. නිශ්චිත රැකියාවක් හෝ කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් පැවතීම තුල මිනිසා ගේ ආර්ථික වශයෙන් පරාධීන තත්ත්වයකට පත් කිරීම අපහසු කාරණයක් බවට පත්වෙයි. සමාජයක් තුල මෙසේ ආර්ථික ස්වාධිනත්වයක් ඇති කිරීම සඳහා එම සමාජයෙහි රැකියා අවස්ථා ලබා ගැනීමේ අවකාශය ව්‍යාපර වල නියැලීමේ අවකාශය, කර්මාන්ත වල නියැලීමේ අවකාශය සහ කර්මාන්ත පැවතිය යුතුය.

මෙසේ ආර්ථික ස්වාධීනතාවයක් ඇති වීම සඳහා නිශ්චිත රාජ්‍ය ප‍්‍රතිපත්තියක් පැවතිය යුතු අතර ඒ මත උත්පාදනය වන රැකියා ව්‍යාපාර හෝ කර්මාන්ත තුළ වඩා ස්ථාවර ශ‍්‍රම බලකායක් ගොඩනැගීමේ හැකියාවක් පවතී. මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව දේශපාලනය තුළ යැපීමේ හෝ දේශපාලනයෙහි බලපෑමට අවනත වීම යන තත්ත්වයන්ගෙන් ඔබ්බට ගිය ස්වාධීන පුද්ගලයෙකු බවට පත්වනු ඇත.

ඌව පළාතෙහි ඓතිහාසිකව උෘණ සංවර්ධිත ප‍්‍රදේශයක් ලෙස හඳුන්වනු ලබන අතර පළාතෙහි බොහෝ ප‍්‍රදේශවල අධ්‍යාපන මට්ටම, දිළිඳු භාවයෙහි ප‍්‍රතිශතය සහ අනෙකුත් සෞඛ්‍යය තත්ත්වයන් ලංකාවෙහි අනෙක් දිස්ත‍්‍රික්ක වලට වඩා සෘණාත්මක ප‍්‍රතිශතයක පවතී. එසේම දුප්පත් කමේ ජාත්‍යන්තර දර්ශකය වන දෛනික ආදායම ඇමරිකානු ඩොලර් දෙකකට (රුපියල් දෙසිය හැත්තෑ පහක්) වඩා අඩුවෙන් උපයන විශාල ප‍්‍රතිශතයක් මෙම ප‍්‍රදේශවල ජීවත් වෙති.

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ඌව පළාතෙහි මොණරාගල සහ බදුල්ල දිස්ත‍්‍රික්ක කෘෂි කර්මාන්තය මත රඳා පවතින කලාපයන් වේ. වියළි කලාපයට අයත් මොණරාගල දිස්ත‍්‍රික්කයෙහි කෘෂිකර්මාන්තය තීරණය කරනු ලබන ප‍්‍රධාන සාධකයන් වන්නේ ජලය, ඉඩම්, පොහොර, ශ‍්‍රමය සහ තාක්ෂණය වේ. මොණරාගල දිස්ත‍්‍රික්කයෙහි කෘෂිකර්මාන්තයට අදාළව ජලය ඉඩම් සහ පොහොර යන සාධකයන්ට රජයෙහි සෘජු බලපෑමක් පවතින්නේය. මෙම ප‍්‍රදේශයෙහි වාර්ෂික වර්ෂාපතනය සැප්තැම්බර් මස සිට ජනවාරි මාසය දක්වා කාලයට පමණක් සීමා වන අතර ප‍්‍රදේශයෙහි ජල පාලනය සෘජුවම රජය විසින් සිදු කරනු ලබයි. එසේම වගා කරන භූමිවලින් සැළකිය යුතු ප‍්‍රමාණයක් එක්කෝ රජයේ අවසරය සහ ප‍්‍රධානය මත ලබා දුන් භූමිය සහ අනවසරයෙන් වගා කෙරෙන රජයේ ඉඩම් වේ. මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ගොවීන් වෙත ලබාදෙනු ලබන සහනාධාරයක් මත කෘෂිකර්මාන්තය සඳහා පොහොර සැපයීම සිදු වේ. කෙසේ වෙතත් කෘෂි නිශ්පාදන මිලදී ගැනීම සදහා විධිිමත් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් හෝ යාන්ත‍්‍රණයක් නොමැත. යම් හෙයකින් ජල කප්පාදුව හෝ රජය විසින් ඉඩම් නැවත ලබා ගැනීම හෝ වැනි තත්ත්වයක් උද්ගත වුවහොත් මොණරාගල කෘෂිකර්මාන්තයෙහි සමතුලිත තාවය බිඳී යන අතර, මේ සියලු තත්ත්වයන් යටතේ මොණරාගල කෘෂිකර්මාන්තය නිදහස් පරිසරයක පවතින ව්‍යවසායක් බවට තර්ක කළ නොහැකිය. සරළ තර්කය නම් ගොවියාගේ ආර්ථික ප‍්‍රගතිය පවත්වාගෙන යාම සඳහා ඔහු ඉතා ප‍්‍රවේශම් සහගත ගනුදෙනුවක් පාලකයන් සමග කළ යුතු වේ.

ප‍්‍රදේශයේ ගොවියන් යටතේ සිටින ශ‍්‍රමිකයන්ද මෙම චක‍්‍රයේම කොටස් කරුවන් වී ඇති අතර ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාවය පවතින්නේද පාලනය සමග තම ඉඩම් හිමියා විසින් කරනු ලබන ගනුදෙනුවෙහි සුමට භාවය මතය. කෘෂිකර්මාන්තය හැරුණු කල ප‍්‍රදේශයෙහි ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන වෙනත් කර්මාන්ත නොමැත. මේ නිසා ප‍්‍රදේශයේ ජනගහනයෙන් අති විශාල පිරිසක් සම්පත් හීන වූ කෘෂිකර්මාන්තය ආශ‍්‍රිත රැකියා වල යෙදී සිටිනු ඇත්තේ වෙනත් විකල්පයක් නොමැති හෙයිනි.

බදුල්ල දිස්ත‍්‍රික්කය ගතහොත් කෘෂිකර්මාන්තය, තේ වතු කර්මාන්තය ප‍්‍රධාන රැකියා උත්පාදන කර්මාන්ත බවට පත්ව ඇත. තේ වතු කර්මාන්තයේ නියැලි ජන ප‍්‍රජාවගෙන් බහුතරය ඓතිහාසිකව පැවත එන දේශපාලන ප‍්‍රවාහයකට යටත් කොට ඇත. එයින් මිදීමේ හැකියාවක් ඔවුන්ට නෙමැති අතර ඔවුන්ගේ රැකියාව තීරණය කරනු ලබන්නේ ද එම දේශපාලන ප‍්‍රවාහය මගිනි. බදුල්ලේ කෘෂිකර්මාන්තය ගතහොත් මොණරාගල මෙන් ඉඩම් ප‍්‍රශ්නය හෝ ජල ප‍්‍රශ්නය ඔවුනට නොපැවතියද අර්තාපල් වගාව වැනි වගාවන් වලදී ගොවියාගේ අනාගතය තීරණය කිරීමේ හැකියාව රජයේ ප‍්‍රතිපත්තිය මත තීරණය කිරීමේ අවකාශයක් ඇතිව ඇත.

සමස්ථයක් වශයෙන් ඌව පළාතේ ආර්ථිකය මෙහෙයවෙන ආකාරය සැළකීමේදී එය ගොවි ආර්ථිකය වුවද රටෙහි සමහර ප‍්‍රදේශවලට අදාළ කරගත නොහැකි සාධකයන් රාශියකින් එය රාජ්‍යයේ බලය හා බැඳී පවතී. මෙසේ පුද්ගල ආර්ථිකය රජයේ බලපෑමට සෘජුව ලක්වීමෙන් සාමාජයීය වශයෙන් ඌව පළාතේ ජනගහනයෙන් බොහෝ පිරිසක් සාමාජයීය වශයෙන් රටෙහි සිදුවන දේශපාලන චලනයන් වලට ප‍්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් යම් ආකාරයක පසුගාමී තත්වයක් ඇති වීම වැළැක්විය නොහැකි සාධකයක් විය හැකිය.

ඌවේ පවතින ආර්ථික හා සාමාජයීය තත්වයන් තුළ 1993 හි දකුණු පළාත් සභාවෙහි ඇති වූ බල පෙරලියට සමාන තත්ත්වයක් ඌවෙන් බලාපොරොත්තු විිය නොහැකි අතර රටෙහි දේශපාලන දිශානතිය වෙනස් කිරීමේ ගාමක බලවේගයක් වශයෙන් ඌව ක‍්‍රියාකරනු ඇතැයි සිතිය නොහැකිය. එනිසා ඌවේ ඡන්ද ප‍්‍රතිඵලය අද සිදු වෙමින් පවතින දේශපාලන චලනයන් තුල සමස්ථ දේශපාලන විභවයන්ගේ ක‍්‍රියාකාරීත්වය තීරණය කරනු ලබන නිර්ණායකයක් ලෙස සැළකිය නොහැකිය.

|උපුල් කුමරප්පෙරුම

e2

Recent Posts

Tags: , , , , ,

Leave a Comment