වෙනසක් සඳහා කාන්තාවන් පෙළගැස්වීමේ අභියෝගය – කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Jan 2nd, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

ජනාධිපතිවරණය සඳහා තව ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු දින ගණනකි. මෙම ජනාධිපතිවරණයේදී විපක්ෂික බලවේගවල ප‍්‍රධාන තේමාව වෙනසක් ඇති කිරීමයි. එහිදී විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල සීමා කොට, ස්වාධීන කොමිසන් සභා නැවත පිහිටුවා යහපාලනය ඇති කිරීම මූලික සටන් පාඨය බවට පත්ව ඇති අතර, පීඩිත පන්තියේ, සුළුතර ජන වර්ගයන්ගේ, සුළුතර ආගමිකයන්ගේ, අනතුරාසන්න සහ ආන්තිකකරණය වූ ජන කොටස්වල මෙන්ම ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්න න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කොට ඇත්තේ ‘ගොනාට පෙර කරත්තය නොයැවිය යුතුය’ යන න්‍යායෙන්ය. ආරම්භයේදී එජාප, ශ‍්‍රී.ල.නි.ප. (මහින්දගෙන් වෙන්ව එන) සහ ජාතික හෙළ උරුමය යන පක්ෂයන්හි එකඟතාවයෙන් යුත් සිංහල ධනපති පාන්තික සභාගයක් ලෙස මතු වූ විපක්ෂ බලවේගයට දෙමළ සහ මුස්ලිම් ධනපති පක්ෂ වන දෙමළ ජාතික සන්ධානය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රසය යන පක්ෂවල කොන්දේසි විරහිත සහයෝගය කල්යෑමේදී ලැබී ඇත. පීඩිත පන්තිය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ, නව සමසමාජ පක්ෂය සහ සමසමාජ කොමියුනිස්ට් පක්ෂවල බහුතර කණ්ඩායම්වල කොන්දේසි සහගත සහයද විපක්ෂයේ පොදු අපේක්ෂකයාට හිමි වේ. එහෙත් ජනගහණයෙන් සියයට 52ක් හෙවත් බහුතරය වන ස්ත‍්‍රීන්ගේ සහයෝගය පොදු අපේක්ෂකයාට ලබා ගැනීම හැකියාව පිළිබඳව කිසියම් කුකුසක් මතුව ඇත. 

ජනගහණයෙන් සියයට 52ක් සමන්විත වන ස්ත‍්‍රීන්ගේ සහයෝගය වෙනසක් සඳහා දිනාගැනීම එක්තරා ආකාරයක අභියෝගයක්ව පවතී. ස්ත‍්‍රීන්ගේ දේශපාලන ඉල්ලීම් න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරගැනීම, ස්ත‍්‍රීන් දේශපාලනයට සම්බන්ධ කරගැනීම සම්බන්ධව වන දේශපාලන එළැඹුම සහ ගම් මට්ටමේ දේශපාලන ආර්ථිකය විසින් පාලක රෙජීමයේ ප‍්‍රවේණි දාසයන් වශයෙන් තබා ගැනීම ආදී ප‍්‍රශ්න රාශියක් විමසමින් කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු විසින් රචනා කරන ලද පත‍්‍රිකාවක් මෙවර ‘සමබිම’ ඉරිදා සංග‍්‍රහය ඔස්සේ අපි ඔබ වෙත ගෙන එමු. මෙම ලිපිය සමබිම වෙබ් අඩවිය ඔස්සේ සංවාදයට විවෘත කොට ඇත. 

nn

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ රැස්වීම්වලට කාන්තාවන් විශාල වශයෙන් සහභාගී කරවන බව අපි දනිමු. මහා වරුසාවද නොතකා එතුමාගේ අත ස්පර්ශ කිරීමත් සිය ඇකයේ සිටින දරුවන් එතුමන් වෙත දිගු කිරීමත් දැන් ජනපි‍්‍රයතාවයේ සංකේතය බවට පත්ව ඇත. මෛත‍්‍රී පිල වටා සිටින පුරුෂයන් සහ කාන්තා කොටස්ද නිරන්තරයෙන්ම අපෙන් අසන්නේ ‘කාන්තාවන් සම්බන්ධයෙන් අප යමක් නොකරන්නේ ඇයිද?’ යන්නයි. (විපක්ෂ දේශපාලනයට කාන්තාවන් සම්බන්ධ කිරීම යන අර්ථයෙන්) එම ප‍්‍රශ්නයට පිළිතුරක් සොයා යන සංවාදයක් ගොඩ නැගීම උචිත යයි මම කල්පනා කළෙමි.

මගේ ජීවිතයේ කි‍්‍රයාකාරීත්වයේ හරි අඩක් ගතව ඇත්තේ ලංකාවේ කාන්තා අයිතිවාසිකම් සහ කාන්තා විමුක්තිය සම්බන්ධයෙන් දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් කරන ලද මැදිහත්වීම් වෙනුවෙනි.  ස්ත‍්‍රිවාදය සහ කාන්තා විමුක්තිය අතර ඇතිවූ කතිකාව එම යුගයේ බිහිවුනු කාන්තා සංවිධාන කෙරේ ඇති කළ යුතුවන දේශපාලන බලපෑම ඔවුන් මත දැනවීමට 1980 දශකයේදී අපි කාන්තා ක‍්‍රියාකාරී කමිටුව හරහා උත්සාහ කළෙමු. එය තරමක සාර්ථක ව්‍යායාමයක් විය. එදා ගොඩනැගුණු දේශපාලන සංවාදය නිසාම පසු කලක ලංකාවේ විවිධ ක්ෂේත‍්‍රවල එම මාතෘකාව නන් අයුරින් සංවාදයට සහ විග‍්‍රහයට පාත‍්‍ර වූවා පමණක් නොව දේශපාලන පක්ෂ ඇතුළාන්තයටද අභියෝගයක් වූ බව මම විශ්වාස කරමි. එසේම (කම්කරු) පන්ති දේශපාලන බලයක් සම්බන්ධයෙන් ගොඩ නැගුණු ප‍්‍රගතිශීලි ධාරාවෙහි දේශපාලනය කෙරේ අපගේ ප‍්‍රවාදය විසින් එල්ල කෙරුණේ බරපතළ විවේචනයකි.

අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ සහ ගැහැනු මායම්:

වාමාංශික සහ ඇතැම් ප‍්‍රගතිශීලි කොටස් අප කෙරේ දැක්වූයේ වඩාත් සතුරු ආකල්පයකි. අප පන්ති බලවේගය දෙකඩ කිරීමට වෙර දරන්නියන් ලෙසත්, කාන්තා මායම් බන්ධනයන් හරහා අධිරාජ්‍යවාදීන් සිය කුමන්ත‍්‍රණය දියත් කරන වන බවත් දක්වමින් ඇතැම් වාමාංශික සහෝදරවරු මෙම තත්ත්වය විග‍්‍රහ කළහ. මේ සම්බන්ධව යු.ඇන්.පීය මුල් කාලයේ නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බවක් පෙනේ. එයට හේතුව ධනේශ්වරය තුළ තිබූ ලිබරල් ගතිකත්වය නිසාම තමන්ගේ ස්ත‍්‍රීන් වඩා නිදහසක් ඇතිව විවිධ සමාජ සංවිධානවල නියැලී සිටීම ඔවුන් ලද එක්තරා විමුක්තියක් වශයෙන් තේරුම් ගැනීම නිසා විය හැකිය.

1980 දශකයේ ලංකාවේ විවිධ දිස්ති‍්‍රක්කයන්හි කාන්තා කණ්ඩායම් බිහිවූ අතර ඒ හරහා යම් පිබිදීමක් ක‍්‍රමයෙන් ගොඩ නැගිණි. මෙම පිබිදීම හා ගොඩනැගීම 1989 වසරේදී එවක පැවැති යූ.ඇන්.පී. ආණ්ඩුව විසින් පුද්ගලයන් අතුරුදහන්කරවීමට එරෙහිව ගොඩනැගුණු මවුවරුන්ගේ පෙරමුණ විසින් ‘හයිජැක්’ කරන ලදී. මෙම සංවිධානයේ පියවරුන් වූයේ පුරුෂයන්ය. ඒ අතර අද බලයේ සිටින මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛය. ඒ ඊනියා ප‍්‍රගතිශීලි ප‍්‍රවාහය විසින් හයිජැක් කරන ලද කාන්තා මෙහෙයවීම ගැන කතා නොකර අද මහින්ද වටා පෙළ ගස්වන කාන්තා ගතිකත්වය තේරුම්ගත නොහැකි වනු ඇත. කාන්තාවන් වෙනත් දේශපාලනයක් වෙනුවෙන් ඉදිරියට නොඑන්නේ ඇයි යන ප‍්‍රශ්නයට පිළිතුරුක් සපයා ගත නොහැකි වනු ඇත. පිළියමක් යෙදීමට පෙර ලෙඬේ තේරුම්ගත යුතු යැයි මම විශ්වාස කරමි.

සිරිමාවෝ සහ චන්ද්‍රිකා:

ප‍්‍රගතිශීලි ප‍්‍රවාහයේ නායකත්වයට පත් සිරිමාවෝ සහ චන්ද්‍රිකා යන ප‍්‍රතාපවත් කාන්තාවන්ද කාන්තා නායකත්වයක් ගැන කතා කළේ නැත. එවැනි අවශ්‍යතාවයක් ඇතැයි ඔවුහු පිලි නොගත්හ. පුරුෂාධිපත්‍යයික දේශපාලන රටාවත්, ඔවුන් විසින් නියෝජනය කරනු ලබන අධිරාජ්‍ය විරෝධී කුලකයත් පෙර සඳහන් කළ පරිදි සුවිශේෂ කාන්තාවාදයක් සිය බලවේගයට එක්කාසු කර ගත්තේ නැත. පැරණි වාමාංශිකයන් සමග ගොඩ නැගුන එම ප‍්‍රගතිශීලි යැයි විග‍්‍රහ කරන ලද බලවේගය මෙම කාන්තාවාදී ප‍්‍රවාහය ප‍්‍රතික්ෂේප කළ බව දනිමු. කාන්තා සංවිධාන සහ එම නායිකාවන් ඔවුන් සැලකුවේ පිළිල වශයෙනි. මන්ද එක් අතකින් එම කාන්තාවාදී ප‍්‍රවාහය සඳහා නායකත්වයක් දුන්නේ මධ්‍යම පන්තික ස්තී‍්‍ර නායිකාවන් වන නිසාය. මා කම්කරු පන්තියෙන් නැගී ආ කෙනෙක් බව නිරන්තරයෙන්ම අපගේ සහෝදරයන්ට මතක් කරදීමට මට සිදුවිණි. ඒ අරගලය තවමත් එසේම පවතින බවද කිව යුතුය. චන්ද්‍රිකා සහ සිරිමාවෝ වටා එක්වූ කාන්තාවන් රොක් වුනේ හෝ රොක් කළේ ‘අපේ අම්මා’ යන තේමාව උඩය.  ඝාතනය වූ ස්වාමි පුරුෂයන්ගේ අනුවේදනීය ගැහැනිය එම දේශපාලන චරිත බවට පත් කෙරෙන රැුස්වීම්වලට කාන්තාවන් ගියේ අනේ අපොයි යන ආවේගයෙනි. පුරුෂ දේශපාලනය විසින් කළේ එම ස්ත‍්‍රීන්ගේ කඳුළු ‘මාකට්’ කොට බලය තහවුරු කර ගැනීමයි.

එම කාන්තාවන් අතර කිසි දිනෙක  ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් හෝ පුරවැසි යුතුකම් සම්බන්ධයෙන් හෝ දේශපාලන කතිකාවක් ඇති නොවූ බව අපි දනිමු. අම්මාගේ චරිතයත්, අම්මාගේ කුස්සියට බලපාන ජීවන තත්ත්වයත් අපගේ දේශපාලනයේ ප‍්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයන් විය. මීට සමගාමීව ගොඩ නැගුන එක්සත් ජාතික පක්ෂ කාන්තා දේශපාලනය වඩා ප‍්‍රභූ තත්ත්වයක පැවතිණි. ඒවා පරම්පරාගත යු.ඇන්.පී. කාරයින් වශයෙන් කණ්ඩායම් ගතව පෝෂණය විය. එක්සත් ජාතික පක්ෂය දිනන විට ධනපති සහ කුලවත් ස්ත‍්‍රීන් තමන් යටතේ සේවය කරන සේවිකාවන් සහ පිරිස් ඒ වෙනුවෙන් යෙදවීම චාරිත‍්‍රයක් මෙන් කෙරිණි. උඹලා අපේ මහත්තයාට ඡන්දෙ දාපන්. උඹලා අපේ හාමුට ඡුන්දෙ දීපන්. මේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මෙහෙයවීම වූ අතර එම`ගින් ලාංකීය දේශපාලනයේ වැඩවසම් ස්වරූපය මනාව පෙන්නුම් කරන්නේය.

විවෘත ආර්ථිකය:

1977 විවෘත ආර්ථිකය ලංකාවට සපැමිණීමත් සමගම මෙම කාන්තා දේශපාලනයට සිදුවූයේ කුමක්ද? අද අප මුහුණදී තිබෙන අභියෝගය තේරුම් ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සංවාදයක් ඇරඹීමට ඔබට ආරාධනා කරන්නේ මෙතැන් සිටය.

1977 වසරේදී යු.ඇන්.පී. රජය ආයෝජන කලාප සහ සංචාරක ව්‍යාපාර හරහා දියත් කරන ලද විවෘත ආර්ථිකය නිසා පුහුණු සහ නුපුහුණු කාන්තාවන් විශාල පිරිසක් වශයෙන් අපගේ ශ‍්‍රම හමුදාවට එක්විණ. එසේම ඉතාමත් නුපුහුණු කොටසක් ගෘහ සේවිකාවන් වශයෙන් 80 දශකයේ අගභාගය වන විට විදේශයන්ට සංක‍්‍රමණය වීම ඇරඹිණි. අනිත් අතට කෘෂි ආර්ථිකයේ කඩා වැටීමත් සමගම ඇතිවුනු අවතැන්වීමක් වශයෙන් මෙය අපට පෙන්වා දිය හැක. එම යුගයේදී ගම දිළිදු වූ බව අපි දනිමු. ඒ දිළිදුභාවයේ කැඩපත වුයේ ස්ත‍්‍රීන්ය. විවෘත ආර්ථිකයේ ඵල නෙළා ගැනීම සදහා ඉතා අඩු මුදලට විකිණුනේද කාන්තාවන්ය. මේ ගැන අමුතුවෙන් විස්තර කිරීම අනවශ්‍යය යැයි මම කල්පනා කරමි. අද වන විට නිදහස් වෙළඳ කලාපයේ සේවය කරමින්, සංචාරක ව්‍යාපාරයේ යෙදෙමින් හෝ විදේශ සේවා නියුක්තියේ යෙදෙමින් උපයන මුදලත් ලංකාවට ගෙනැත් දෙන්නේ කාන්තාවන් බව හැම දෙනාම පිලිගත් කරුණකි.

1977දී යු.ඇන්.පීය පටන් ගත් වැඩ පිළිවෙළ චන්ද්‍රිකා (1994) හෝ මහින්ද (2005) වෙනස් කළේ නැත. ඔවුන් කාන්තාවන් විවෘත ආර්ථිකය තුළ හිරකාරියන් බවට පත් කළා පමණක් නොව ඒ ශ‍්‍රමයේ උපරිමය නෙළා ගැනීමට සමත්ව ඇත. විශේෂයෙන්ම මැද පන්තියක් ප‍්‍රසාරණයවීමට හැකි වුනේ මෙම ආර්ථිකය නිසා බව අපි දනිමු. මහින්ද රාජපක්ෂ මේ මැද පන්තික ප‍්‍රසාරණයෙන් අද වන විට උපරිම ඵල නෙළා ගන්නේ සුපිරි යැයි දක්වන විනෝද උයන් සහ මැද පන්තියට අවශ්‍ය අලංකෘතියෙන් ඔවුන් සිටින නගර සහ ප‍්‍රදේශ සැරසිලි කිරීමෙනි. පිටරට සිට පැමිණෙන ශ‍්‍රමිකයන්ට ගෝඨාභය අවන්හල් පහසුකම් සපයන්නේය. මේ නිසාම මැද පන්තික කාන්තාවන්ට අවශ්‍ය දේ සැපිරීමක් මහින්දගෙන් සිදුව ඇත. විශේෂයෙන්ම ආටෝපය සහ බොලිවුඞ් සිහිනය මෙම කාන්තාවන්ගේ යෞවනයේ චමත්කාර සිහිනය බවට පත්කිරීමට රාජපක්ෂවරුන් සිය දරුවන් හරහා සල්මන් ඛාන්ව දේශපාලන කරළියට ගෙනැවිත් ඇත.

යුද්ධය නිසා ගමට රැකියා:

යුද්ධය සමග රැකියා උත්පාදනයක් ඇතිවිණි. ගම්මානය යුද්ධ ආර්ථිකයත් සමග පිබිදුණි. තරුණ තරුණියන්ට හමුදාවේ රැකියාව ලැබීමත් තවත් කොටසක් සිවිල් ආරක්ෂාවට එක්වීමත් සමගම ගමට මුදලක් ගලා ආවේය. එසේම සටන්බිමේදී මියගිය සොල්දාදුවන් වෙනුවෙන් පවුලට ලැබුනු මුදලද එම ආර්ථිකය පෝෂණය කිරීමට එක්වේ. විශේෂයෙන්ම අම්මලාගේ දිළිදුකම යම් තරමක් හෝ නැසුනේ යුද්ධ ආර්ථිකයට පිහිට වන්නටය. ඒ නිසාම මහින්ද ගම ජයගත් බව එක් අතකින් පෙනේ. අද කාන්තාවන් මෙම යුද්ධ රාජයා වෙත ඇද ගන්නේ යුද්ධය එළිදක්වමින් බව අපි දනිමු.

ජනසවිය, සමෘද්ධිය සහ දිවි නැගුම:

විවෘත ආර්ථිකයෙන් ඇතිවන බලපෑම් මැකීමට 1989දී ජනාධිපති පේ‍්‍රමදාසගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ‘ජනසවිය’ ව්‍යාපෘතිය දියත් කෙරිණි. ජනසවිය ගමේ දිළිදුකම නැති කිරීමට නිර්මාණය කරන ලද්දකි. එහි හරය වුයේ ගමේ ශ‍්‍රමය මුදා හැරීමත්, ඉතිරි කිරීමක් කරා ගැමි ජනතාව යොමු කිරීමත්ය. නිදහස් ආර්ථිකයේ පීඩාවට පිළිතුරක් සැපයුණේ එසේය. එසේම එම ව්‍යාපෘතිය ප‍්‍රජා මූලගතව දියත් විණ.

n1994 බලයට පත් පොදු පෙරමුණ ‘සමෘද්ධි’ ව්‍යාපාරය ගොඩ නංවමින් ක‍්‍රමයෙන් ගමේ බලය සියතට ගත්හ. විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය සාර්ථකව කරගෙනයාමට එවකට යු.ඇන්.පී. විරෝධී ස්ථාවරයක සිටි රාජ්‍ය නොවන සංවිධාන ආණ්ඩුව හා එක්වූ බව කිව යුතුය. එතැන් පටන් ස්වාධීනව මෙහෙයවුනු ප‍්‍රජාමූල කණ්ඩායම් සහ කාන්තා සංවිධාන සමෘද්ධි අධිකාරිය සමගත් ප‍්‍රගතිශීලි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සමග එක්ව එකට වැඩ කිරීම ඇරඹුවේය. ගම් මට්ටමෙන් සිවිල් සමාජය ආණ්ඩු පාලනය සමග එක්වීම 1994දී එසේ ඇරැඹිණ. එක් අතකින් සිවිල් සමාජය සභාග දේශපාලනයක නිරත වුනේ මේ අයුරිනි. පසු කලක සමෘද්ධිය මැතිවරණ දිනවන මැෂිමක් බව එස්.බී. දිසානායක  සහතිකයක් දුන් බව අමතක කළ යුතු නැත. ඇත්තෙන්ම ආණ්ඩූ පාලනය විසින් ගමේ ස්වාධීනත්වය යටපත් කළේ මේ අයුරිනි. අපගේ කාන්තා සංවිධානද ආණ්ඩුවෙන් වරදාන ලබා ගන්නා තැනට පත්විය. ඇමතිවරියගෙන් මහන මැෂින් ලබා ගැනීම අවශ්‍ය නිසා ‘සාමය’ සඳහා වූ උද්ඝෝෂණවලට සහභාගී නොවී සිටීමට තීරණයක් ගන්නට ගම් මට්ටමේ කාන්තා නායිකාවන්ට සිදුවිණ. ගමේ බලය දේශපාලනඥයා පැහැර ගත්තේ මේ දිළිදු බව නැති කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීමෙනි. ගමට ලැබිය යුතු සියලූ දේවල්වල අධිකාරය එසේ  පාලන බලයේ සිටින තැනැත්තන් විසින් හැසිරවීමත් සමගම ගමේ දිළින්දා පාලන තන්ත‍්‍රයේ ඉත්තෙක් බවට නිතැතින්ම පත්විය. මේ ගමේ දිළින්දා වුයේ කාන්තාවන්ය. මේ වන විට ගමේ සංවර්ධන ව්‍යාපෘති යැයි හුවා දක්වන වැඩසටහන්වල ප‍්‍රධාන දායිකාවන් වන්නේ කාන්තාවන්ය. දිළිදුභාවය කවුරුන් හෝ දෙන  ඕනෑම දෙයක් ලබා ගන්නට පුද්ගලයා පොළඹවන බව සාමාන්‍ය තේරුම් ගැනීමයි. මේ වන විට මෙම චර්යාව සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. පෙර පාලකයන් විසින් අරඹන ලද මෙම වරදාන සහ දීමනා සංස්කෘතිය මහින්දගේ පාලන සමයේ දී බරපතළ වහල් මානසිකත්වයක් ඇති කිරීමට සමත්ව ඇත.  ප‍්‍රාදේශීය සභා අද බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවන ආයතන බවට පත්වී ඇති අතර තෝරාපත් වන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා සන්ධානයේ වරදාන සහ බඩු බෙදන්නා බවට පත්ව ඇත. ගම්වල කාන්තාවන් සමිතියෙන් සමිතියට යන්නේ මේ බෙදන දේවල් ලබා ගන්නටය. ඔවුන් දිළින්දන්ය. ඇත්තෙන්ම නැතිබැරි ඔවුන් වෙන කුමක් කරන්නද? මා දන්නා තරමින් කාන්තාවන් නිරන්තරයෙන්ම සොයන්නේ ණයක් ගත හැකි ක‍්‍රමයකි. බොහෝවිට රාජ්‍ය නෙවන සංවිධානද මෙම තත්ත්වයට වගකිව යුතුය. අපගේ කාන්තා කණ්ඩායම් ගොඩ නැගු සංවිධාන ශෛලිය දැන් ප‍්‍රදේශයේ දේශපාලනඥයා අතට අප විසින් පත්කර ඇත.

රාජපක්ෂ පාලනය සිවිල් සමාජය සමග ගැටෙන්නේ ඇයි?

මහින්දගේ දේශපාලනය සහ රාජපක්ෂ පාලනය සිවිල් සමාජය සමග ගැටෙන්නේද මෙම යථාර්තය ඔවුන් තේරුම් ගත් නිසාය . ගමේ බලය ඩැහැ ගත් ඔවුන් රටේ සිවිල් සමාජයද සියතට නතු කරගැනීමට නොගත් උත්සහයක් නැත. ගමේ රාජ්‍ය නොවන සංවිධානයට එම ප‍්‍රහාරය දරාගත නොහැකි වූ නමුත් දීමනා මානසිකත්වයක් නොමැතිව ගොඩ නැගුන ප‍්‍රතිපත්ති ප‍්‍රවර්ධනය කළ සිවිල් සමාජයට ඊට මුහුණ දීමට හැකිවිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, මානව අයිතිවාසිකම් සහ වගවීම සම්බන්ධයෙන් මැදිහත් වන සිවිල් සමාජයේ කාන්තාවන්ද මහින්ද වටා  රැස්වන කාන්තාවන් අතර ද වෙනසක් මතුව ඇත්තේ මෙසේය. ගමේ කාන්තාවන් කාන්තා හිංසනය අත් වින්දත් ඊට එරෙහි වන විට ගමේ දේශපාලනඥයාට එරෙහිව නැගී සිටින්නට සිදුවන බව දන්නා නිසාම බඩු බෙදන්නාට එරෙහිව කතා කරන්නට ඔවුන් බියව ඇත.

මෙය සම්ප‍්‍රදායයන් අතර ගැටුමක් නොවේ:

සමහරවිට මෙම වෙනස අප තේරුම් ගන්නේ සාම්ප‍්‍රදායන් අතර ගැටුමක් වශයෙනි. එය එසේ නොවන බව මගේ තේරුම් ගැනීමයි. අද මහින්ද යශෝදරාවත දිග හරින්නේ බල අධිකාරියට එරෙහි වන කාන්තාවන්ගේ නැගී සිටීම යටපත් කරන්නය. මහින්ද ඇත්තෙන්ම ජන බලයට බය පුද්ගලයෙකි. අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන මෙහෙයුමකින් 1994 දී යු.ඇන්.පී.ය පරාජය කළ අයුරු ඔහු හොඳාකරවම දනියි. එදා සිවිල් සමාජය ඒ වෙනුවෙන් දුන් නායකත්වයද ඔහු අත්දැක ඇත. අයිතිවාසිකම් පිළිබඳ කතාව කුමණ්ත‍්‍රණයක් වශයෙන් විග‍්‍රහ කරන්නේ මේ බය නිසාමය. එදා මවුවරුන් නැගී සිට පාලකයා පරාජය කළ අයුරු දන්නා ඔහු අද අපට ගෙදර කුස්සියේ වැඩ කරන්නත් යශෝධරා චරිතයක් වන්නටත් උපදෙස් දෙන්නේ මේ නිසාවෙනි. මේ පිරිමි කුහකත්වයේ තවත් පැතිකඩකි.

කාන්තාවන් මේ දීන මානසිකත්වයෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය වන දේශපාලනයක් සහ කතිකාවක් ශී‍්‍ර ලංකාව තුළ ගොඩ නැගීමේ භාරධූර කර්තව්‍යය අප අත පවතියි. කාන්තාවන් සමාන පුරවැසියන් වන්නේ මෙම දීමනා සංස්කෘතියෙන්ද සාම්ප‍්‍රදායික කුස්සියේ දිරිය කත නැමැති හිර ගෙදරින් මුදා ගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයේ සමපංගුකරුවන් බවට පත් කෙරෙන දේශපාලනයක් සහ ක‍්‍රියාකාරී ව්‍යුහයක් ගමතුළත් රටේත් නිර්මාණය කිරීමෙන් යැයි මම කල්පනා කරමි. සැබෑ වෙනසක් කරා අප රට ගමන් කරන මොහොතක කාන්තාවන්ගේ ජීවිතද නව වෙනසක් ඇති කිරීමට උරදීම දේශපාලන නායකයන්ගේ වගකීම වන්නේය.

Recent Posts

Tags: , , , , , , , ,

Leave a Comment