ජනාධිපතිවරණය සහ උතුරේ දේශපාලනයෙහි සක්‍රීයත්වය

Jan 6th, 2015 | By | Category: OTHER NEWS, උත්තර ධ්‍රැවය, උත්තරධ්‍රැවය

තවත් එක් ජනාධිපතිවරණයක මුවවිටට පැමිණ සිටින්නෙමු. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ අනාවැකිකීමට තරම් තවම තත්ත්වය මෝරා නොමැති හෙයින් එළඹෙන මෙම ජනාධිපතිවරණය ආශ‍්‍රිතව උතුරුකරයෙහි දේශපාලන සංස්කෘතිය තුළ ඇතිවිය හැකි වෙනස්කම් පිළිබඳව යම් කිසි අදහසක් ගොනු කිරීමට මෙම සටහන තුළින් උත්සහ කරමි.

වඩාත්ම වැදගත් කාරණයක් වන්නේ උතුරුකරයට මෙම ජනාධිපතිවරණය වැදගත් වන්නේ කුමන අංශයකින්ද යන්න සලකා බැලීමයි. අනෙකුත් මැතිවරණවලට සාපේක්‍ෂව බලන විට ජනාධිපතිවරණය යනු උතුර සහ දකුණ වශයෙන් ලංකාවෙහි සමාජය දේශපාලනික තලයෙහිදි ධ‍්‍රැවීකරණයට ලක්ව පවතින බවත් එය දීර්ඝ කාලීනව දිග්ගැස්සුන ජනවාර්ගික ගැටුමෙහි සහ යුද්ධයෙහි අනිවාර්ය ප‍්‍රතිඵලයක්ය යන්නත් පිළිගැනීමට අපි අවංක විය යුතුය. එසේ නොමැතිව දැන් එවැනි ධ‍්‍රැවීකරණයක් නොමැත යැයි හෝ එවැනි තත්ත්වයක් ගැන කතා කිරීම පවා සමගියට බාධාවක් ඇති කරන බෙදුම්වාදී අදහසක්ය යනුවෙන් වහසිබස් දෙඞීම වනාහි යථාර්ථයට පිටුපෑමක් මිස සැබෑ අභියෝගයට මුහුණදීමක් නොවෙයි.

එහෙයින් එලෙසින් ධ‍්‍රැවීකරණයට ලක් ව පවතින සන්දර්භයක් තුළ ජනාධිපතිවරණය වනාහි උතුරට අතිශයින්ම දකුණේ මැතිවරණයක් බවට පත් වෙයි. එයට හේතුව මෙය තමන්ගේ නියෝජිතයෙකු තෝරා ගැනීමක් නොව දකුණට තමන්ගේ පාලකයාව තෝරා ගැනීමට දකුණේ පැවැත්වෙන මැතිවරණයක්ය යන අදහස මෙම ධ‍්‍රැවීකරණයට ලක් වූ සන්දර්භය තුළ උතුරෙහි රජයන ජනප‍්‍රිය මතය ලෙසින් පවතින වන හෙයින්ය. නමුත් දකුණට නම් ජනාධිපතිවරණය වනාහි තම නියෝජිතයා තෝරා ගැනීමේ මැතිවරණයක් වෙයි. මක් නිසා යත් ලංකාවෙහි ජනගහනයෙන් ද සමස්ත ඡන්ද දායක සංඛ්‍යාවෙන්ද බහුතරය වන දකුණේ සිංහල ජනතාවට තම නියෝජිතයා තෝරා ගැනීමට අවස්ථාව සැලසෙන ඡන්දයක් ලෙස මෙම ඡන්දය පවතියි. ඒ අනුව සමස්තයක් වශයෙන් එය දකුණේ ඡන්දයක් වන අතර උතුරට කැමැතිනම් එයට තම දායකත්වය දැක්විය හැකිය. අකැමැතිනම් ගණන් නොගෙන සිටිය හැකිය. එසේ දායකත්වය දැක්වීම හෝ නොදැක්වීම තීරණාත්මක බලපෑමක් කරන බවට වන සාධක තවමත් මෑත ඉතිහාසයෙහි ජනාධිපතිවරණ ඡන්දවලදී දක්නට ලැබුණේ නැත. මෙයට පෙර පැවැති එක්තරා ජනාධිපතිවරණයකදී කොටි සංවිධානයට මුදල් ගෙවා උතුරේ ඡන්දය වර්ජනය කෙරුවේය යන අදහස යමෙකුට මෙහිදී ඉදිරිපත් කළ හැකිය. ඇත්තෙන්ම යුද්ධමය වාතාවරණයත් සමග වර්ධනය වූ උතුරේ වර්ධනය වූ දේශපාලන සංස්කෘතිය තුළ ප‍්‍රායෝගිකව කළ හැකිවන්නේ මුදල් ලබා ගෙන හෝ හෝ නොගෙන ඡන්දය වර්ජනය කිරීමට සැලැස්වීම වැනි දේශපාලනික ක‍්‍රියාමාර්ගයක් පමණි. එයට එරෙහිව යමින් ඡන්දය ප‍්‍රකාශ කිරීමට ජනතාව යොමු කිරීම හෝ ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම හෝ අතිශයින්ම අසීරු කාර්යයක් වෙයි. මක්නිසා යත් ඡන්දය වර්ජනය කිරීම යනු විරෝධතා දේශපාලනයෙහි සටන් ක‍්‍රියා මාර්ගයක් වන අතර සටන් පාඨයක් ලෙසින් එය ජනප‍්‍රිය කරවීමට හෝ ක‍්‍රියාත්මක කරවීමට මහත් ශ‍්‍රමයක් දැරිය යුතු නොවෙයි. උතුරේ ජනයා තුළ පවතින ආණ්ඩු විරෝධී ප‍්‍රවනතාවට පොඩි තල්ලූවක් දීම පමණක් එයට සෑහෙයි. නමුත් ඡන්දය භාවිතා කිරීම සඳහා ජනතාව පෙළඹවීම, ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සහ සංවිධානත්මකව කටයුතු කිරීමට ප‍්‍රයත්න දැරීම වනාහි ඇත්තෙන්ම ඉතාමත් අසීරු වන නමුත් මෙම අවස්ථාවෙහි උතුරේ දේශපාලනයට අත්‍යවශ්‍යව පවතින ක‍්‍රියාමාර්ගයක් බවට එය පත් වී ඇත.

මෙයින් අදහස් කරන්නේ උතුරේ ජනයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට ඇතුළත් කර ගැනීම වැනි විසුළු සහගත අදහසක් ඉදිරිපත් කිරීම නොවෙයි. ප‍්‍රවාහයක් නොව දෝතින් ගත හැකි පමණකටවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරයක් ලංකාවෙහි පවතින්නේද යන්න ගැටලූවක්ව පවතියි. එයට වෙනස්ව යමින් උතුර මේවන විට මුහුණ දෙන ප‍්‍රශ්නවලට විසදුම් ලබා ගත හැක්කේ මුළුගැන්වී ගොළුවී සිටීමෙන් නොව තම ප‍්‍රජාතන්ත‍්‍රිය අයිතිවාසිකම් දිනා ගැනීමට සෑම මාර්ගයක්ම භාවිතයට ගැනීමට උපක‍්‍රමශීලි වන දේශපාලනික ක‍්‍රියාකාරිත්වයක් මගින්ය. එහෙයින් උතුරේ ඡන්දදායකයෝ පොදුවේ ජනාධිපතිවරණයක් කෙරෙහි දක්වන නිෂ්ක්‍රීය ආකල්පයෙන් බැහැරව මෙවර කටයුතු කිරීමට කටයුතු කරන්නේ නම් එය තම ප‍්‍රතිචාරය සාම්ප‍්‍රදායික නිෂ්ක්‍රීය ආකල්පයෙන් බැහැරව ක‍්‍රියාත්මක වීමක් වනු ඇත. එහෙයින් වාර්ගික ධ‍්‍රැවිකරණයට ලක් වූ සමාජයක්ව පවතින උතුරු සමාජය දේශපාලනිකව නිෂ්ක්‍රීය සහ උදාසීන ආකල්පයෙන් යුතු කොටස්කරුවෙකු යන තත්ත්වයෙහි සිට සක්‍රීය සහ ගතික දේශපාලනික බලවේගයක් බවට පත් කිරීමේ අභියෝගය ජය ගැනීමේ ක‍්‍රියාමාර්ගයක් ලෙස මෙවර ජනාධිපතිවරණය භාවිත කිරීම වැදගත් වෙයි. එවැනි තත්ත්වයක් තුළ ඡන්දය දෙන්නේ කාටද යන්න පවා ද්විතීය පැනයකි. එහෙත් වඩාත් ප‍්‍රමුඛ කරුණ වන්නේ ඡන්දය භාවිතයයි.

|සාමිනාදන් විමල්

gh

Recent Posts

Tags: , , , , , , , ,

Leave a Comment