නිදහස් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සිවිල් සමාජය ක‍්‍රියාත්මකයි

Jan 8th, 2015 | By | Category: LEAD NEWS, නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

pdff

ජනවාරි 08 වනදා ශ‍්‍රී ලාංකික මහජනතාව සමූහයක් වශයෙන් තම අදහස් හඬ නගා ප‍්‍රකාශ කරන දිනයයි. එ් වැදගත් අවස්ථාවේදී මෙතෙක් විවිධ අයුරින් හඬ නැගූ අන් සියළු පාර්ශ්වයන් නිහඬ විය යුතුය. එ් ජනතාවට නිදහසේ තීරණය ගැනීමට අවස්ථාව සැලසීම පිණිසය.
මැතිවරණ සමය තුළ දේශපාලන පක්ෂ සහ ක‍්‍රියාකාරීහු තම හඬ අවදි කරමින් ජනතාව ඇමතූහ. විපක්ෂයේ පොදු අපේක්ෂකයාද ඇතුළුව එ් අය අතුරින් බොහෝදෙනෙකු ඉතා මෑත අතීතයක වර්තමාන රෙජීමයේ කොටස් කරුවන්ව සිටි අය වෙති. පසුගිය දුෂ්කර සමය තුළ විවිධ තර්ජන මැද්දේ තම හඬ අවදි කළ සිවිල් සමාජ සංවිධාන ක‍්‍රියාධරයන් හෙවත් එන්.ජී. ඕ.කාරයන් මැතිවරණ සමය තුළ නිහඬ විය. එසේ කරන ලද්දේ වේදිකාව දේශපාලන ක‍්‍රියාධරයන්ට භාරදී තම සාම්ප‍්‍රදායික භූමිකාවට පණ පෙවීම පිණිසය. ලංකාවේ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන පෙළේ සිවිල් සමාජ සංවිධාන සහ ක‍්‍රියාධරයන් රාශියක් ජනාධිපතිවරණය නිදහස්ව සහ සාධාරණව පවත්වා ගැනීම සහතික කිරීම පිණිස මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලට සහභාගී වෙති. එම කාර්යය වනාහි මැතිවරණ කොමසාරිස් ඇතුළු මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුමැතියද, පොදු මහජනතාවගේ සහයෝගයද සහිත තර්කානුකූල ක‍්‍රියාවලියකි. මෙම පුරවැසි මැතිවරණ නිරීක්ෂණ වැඩපිළිවෙළ සඳහා අන්තර් ජාතික වශයෙන්ද පිළිගැනීමක් ලැබේ.

ජනාධිපතිවරණය නිදහස්ව සහ සාධාරණව පැවැත්වීම සඳහා සියළුම පියවර ගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා සහ ඔහුගේ නිලධාරීන් සහතික වී තිබේ. පුරවැසි නිරීක්ෂණ සංවිධාන විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි නිරීක්ෂකයන් යොදවා තිබේ. පැෆරල් සහ සී.එම්.ඊ.වී. සංවිධානවලට ඡන්දපොළ ඇතුළේ ස්ථිතික නිරීක්ෂණ කටයුතු සදහා නිරීක්ෂකයන් යොදවා ඇති අතර සියළුම නිරීක්ෂණ සංවිධාන ජංගම නිරීක්ෂණ ඒකක යොදවා ඇත. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඡන්ද ගණන් කිරීමේ ශාලා සහ පරිශ‍්‍ර නිරීක්ෂණය සඳහාද දේශීය නිරීක්ෂකයන් 300ක් යෙදවීමට දේශීය නිරීක්ෂණ සංවිධාන වෙත මැතිවරණ කොමසාරිස්වරයාගේ අවසරය ලැබී ඇත. දැන් උදාවී ඇත්තේ මහජනයා තම අදහස එනම් ඡන්දය ප‍්‍රකාශ කොට, රාජ්‍ය පාලනයට හවුල් වීම සඳහා වන තම පුරවැසි වගකීම ඉටු කළ යුතු මොහොතයි. එය මග හැර යා නොහැකි වගකීමක් වන අතර එය පැහැර හැරීම වෙනුවෙන් නිදහසට කාරණා නැත.

ලංකාවේ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන පෙළේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් ජනාධිපතිවරණයේ අවසන් අදියරේදී එනම් ජනවාරි 07 වනදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන ලද්දේය. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක‍්‍රියාකාරීත්වයේ (පැෆරල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (සී.එම්.ඊ.වී.) කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳා ජනතා ව්‍යාපාරයේ (කැෆේ) විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්, නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ (එම්.එෆ්.එෆ්.ඊ.) ලේකම් නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ (ටී.අයි.එස්.එල්.) විධායක විධායක අධ්‍යක්ෂ එස්.රනුග්ගේ සහ ලක්බිමේ මවුවරු සහ දියණියෝ (එම්.ඞී.එල්.) සංවිධානයේ කැඳවුම්කාරියන් වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු සහ දයා හේරත් යන සිවිල් සමාජ සංවිධාන නායක නායිකාවන් මේ නිවේදනයට අත්සන් තබා ඇත. මෙවර ‘සමබිම’ ඉරිදා සංග‍්‍රහය තුළින් එම ඒකාබද්ධ නිවේදනය අපි ඔබ වෙත ගෙන එමු.

fr43

දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ඒකාබද්ධ ප‍්‍රකාශනය

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක‍්‍රියාකාරීත්වයේ (පැෆරල්)
විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (සී.එම්.ඊවී.) කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ව්‍යාපාරයේ (කැෆේ)
විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්

නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ (එම්.එෆ්.එෆ්.ඊ.)
ලේකම් නීතිඥ සුදර්ශන ගුණවර්ධන,

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ (ටී.අයි.එස්.එල්.)
විධායක විධායක අධ්‍යක්ෂ එස්. රනුග්ගේ

ලක්බිමේ මවුවරු සහ දියණියෝ
(එම්.ඞී.එල්.) සංවිධානයේ කැඳවුම්කාරියන් වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

අතිශය උණුසුම් තරගයක් ලෙස පැවැති ජනාධිපති මැතිවරණ සටනේ අවසාන හෝරා කිහිපය උදා වී තිබේ. 2015 ජනවාරි 05 වනදා මධ්‍යම රාත‍්‍රී 12.00න් පසු සියලූම දේශපාලන පක්ෂ ස්වකීය ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු නතර කළ යුතු විය. ඒ අනුව මැතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන දේශපාලන පක්ෂ තම තමන්ගේ අවසාන මහජන රැළි 05 වනදා පවත්වා අවසන් කළේය. ප‍්‍රචාරණය සදහා අනුමැතිය දී තිබූ කාලය තුළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ අදහස් සලකා බලා අවසාන තීරණය ගැනීම සදහා මහජනතාවට හෝරා කිහිපයක් ඉතිරි වී ඇත. ජනතාවගේ නිදහස් කැමැත්ත ප‍්‍රජාතාන්ත‍්‍රික ලෙස ප‍්‍රකාශවීමට නම් ස්වකීය තීරණය නිදහසේ ගැනීම සදහා මහජනයාට අවකාශ තිබිය යුතුය. එවැනි අවකාශයක් සහතික කිරීම සදහා ආණ්ඩුව, විරුද්ධ පක්ෂ බලවේග සහ රජයේ ආයතන – විශේෂයෙන්ම මැතිවරණ කොමසාරිස් කාර්යාලය සහ පොලිස් සේවය නිදහස්ව ක‍්‍රියා කළ හැකි තත්ත්වයක සිටිය යුතුය.

එම නිදහස් හා සාධාරණ වටපිටාවට බාධාකාරී විය හැකි අවධානම් කිහිපයක් අනුමාන කළ හැක. මේ අවදානම් වළක්වා ගැනීමට ඉහත කී ආයතන වගකීම් සහගතව ක‍්‍රියා කළ යුතුව තිබේ.

1) ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල පැතිරී යාමක් නිසා ජනතාවට නිදහස්ව ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව අහිමි විය හැක. ඉලක්ක කළ ප‍්‍රදේශවල ඡන්දදායකයින්ගේ ජාතික හැඳුනුම්පත් බලහත්කාරයෙන් උදුරා ගැනීම ආදී නීති විරෝධී කටයුතු මගින් ජනතාව ඡන්දය භාවිතා කිරීම වැළැක්වීමට ඇතැම් පිරිස් කටයුතු කළ හැක. මෙය වළක්වාගත යුතු තත්ත්වයකි.

2) ඉලක්ක කළ ඡන්ද මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ නිලධාරීන්ට එරෙහි අයුතු බලපෑම් සිදුවිය හැක. ප‍්‍රචණ්ඩත්වය යොදාගෙන ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයින් ඡන්ද මධ්‍යස්ථානවලින් පළවා හැරීමද මීට අයත්ය. මෙවැනි ක‍්‍රියා ඡන්ද ප‍්‍රතිඵල ශුන්‍යවීමට හේතු විය හැක.

3) ජනතාවට නිදහස්ව ඡන්ද අයිතිය භාවිතා කිරීමට නොහැකි වන ලෙස මැතිවරණ දිනයේ සන්නද්ධ හමුදා ප‍්‍රසිද්ධියේ පෙනී සිටීමද අයථා බලපෑමකි. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වලට අදාළව මෙය සිදුවිය හැක. මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීමට පොලීසිය ප‍්‍රමාණවත් නොවන්නේ නම් හමුදාව කැඳවීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට තිබේ. ඔහු එම බලය යොදාගන්නේ නම් හැර අන් කවර හෝ තත්ත්වයක් යටතේ මැතිවරණ දිනයේ හමුදාව අනවශ්‍ය ලෙස පෙනී සිටීම නතර කළ යුත්තකි. හමුදාව එලෙස හැසිරෙන තත්වයක් යනු ඡන්දදායකයාගේ ස්වාධීනත්වයට බාධාකාරී විය හැකි වක‍්‍ර මැතිවරණ අවභාවිතාවකි.

4) මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් කළ යුතු දිනයෙන් පසු දේශපාලන පක්ෂ පෞද්ගලික හා රාජ්‍ය ජනමාධ්‍ය යොදාගෙන තවදුරටත් ප‍්‍රචාරක කටයුතු කිරීම නතර කළ යුතුය. විශාල වශයෙන් මුදල් වියදම් කොට ජනමතයක් ‘නිර්මාණය’ කිරීමේ හැකියාව මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම් සතුව තිබේ. තරගකාරී මැතිවරණ සංස්කෘතියක් තුළ විවිධ ප‍්‍රචාරක කටයුතු දෙස ඡන්ද අපේක්ෂකයින් යොමුවීම වැළැක්වීමටද නොහැක. එහෙත් මැතිවරණ දිනට පෙර යම් කාලයක් ප‍්‍රචාරක කටයුතු තහනම් කරනු ලබන්නේ ඡන්ද අපේක්ෂකයින්ගේ එම හැසිරීම යම් ප‍්‍රමාණයකින් සීමාකොට නිදහස්ව සිතීමට මහජනායට අවස්ථාවක් ලබා දෙනු පිණිසය. එහෙත් අවාසනාවකට මෙන් අප අත්දුටු පසුගිය මැතිවරණ ගණනාවකදී මෙම තහනම නිසි ලෙස ක‍්‍රියාත්මක වූයේ නැත. මාධ්‍යවල ප‍්‍රදර්ශනය වෙන සෘජු දැන්වීම්වලට අමතරව විවිධ වැඩසටහන් නිෂ්පාදනය කොට වක‍්‍ර ලෙස මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදෙනු ඒ අනුව දැකගත හැකි විය. රජය ඒ සඳහා මහජන මුදලින් නඩත්තු කෙරෙන රජයේ ජනමාධ්‍ය යොදාගන්නා අතර වෙනත් දේශපාලන පක්ෂ සඳහා ඒ අවකාශය විවෘත නැත. මෙය අසමාන තරගයක් සඳහා හේතු වන්නකි. මැතිවරණ ප‍්‍රචාරක නීති එලෙස කඩවීම වැළැක්වීම නිදහස් මැතිවරණයක් සඳහා අත්‍යවශ්‍ය තත්ත්වයකි.

5) පොදු දේපළ, මහජන මුදල්, රජයේ සේවකයින්, රජයේ ගොඩනැගිලි, රජයේ ජනමාධ්‍ය ආදිය මහා පරිමාණයෙන් අවභාවිතා කිරීම යනු සිදුවිය හැකි තවත් අවදානමකි. විධායක බලය සහිත ජනාධිපතිවරයා මැතිවරණයට සහභාගී වන එක් අපේක්ෂකයෙක් වී තිබෙන තත්ත්වයක් තුළ රජයේ සම්පත් ස්වකීය පුද්ගලික ප‍්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීමේ නෛසර්ගික හැකියාවක් ඔහුට තිබේ. පොදු සම්පත් එලෙස පුද්ගලික ව්‍යාපෘතියකට යොදාගැනීම ආචාරධාර්මික වශයෙන් නිවැරදි නොවන්නා සේම නිදහස් හා සාධාරණ මැතිවරණයකට අදාළව අයෝග්‍ය තත්ත්වයකි.

අවසාන වශයෙන් සියලූම පාර්ශ්වයන් මැතිවරණයෙන් පසු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇතිවීම වැළැක්වීම කෙරෙහි වගකිම් සහගතව ක‍්‍රියා කළ යුතුය. තියුණු තරගයක් වී තිබෙන ජනාධිපතිවරණය සියලූම දේශපාලන පක්ෂවල ආධාරකරුවන් තුළ ඉමහත් හැඟීම්බර තත්ත්වයක් ජනනය කිරීමෙහිලා හේතු වී තිබේ. මෙය පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ලෙස පුපුරා යාමේ අවදානමක් තිබේ. මැතිවරණ යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් පාලනය කරන ජනතා නියෝජිතයින් සාමකාමීව තෝරා ගැනීම සඳහා යොදාගන්නා ශිෂ්ට සම්පන්න ක‍්‍රමවේදයක් මිස ගෝත‍්‍රික බල අරගලයක් නොවේ. ජනතාවගේ කැමැත්තට හිස නැමීම සියලූම දේශපාලන පක්ෂවල වගකීමය. පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා විශාල ප‍්‍රමාණයක් මෙම මැතිවරණය තුළ වාර්තා විය. මරණ කිසිවක් වාර්තා නොවූවත් මහජනයා ඉදිරියේ සිදුකළ හිංසාකාරී ක‍්‍රියා ගණනාවක් මැතිවරණයට පෙර සිදුවිය. මැතිවරණයට පසුවත් එවැනි ක‍්‍රියා සංවිධානාත්මකව හෝ සංසිද්ධිකව හටගැනීම කවර තත්ත්වයක් යටතේ හෝ වළක්වා ගත යුතුව තිබේ. නීතිය සියතට ගෙන දේශපාලන විරුද්ධවාදීන්ට හිංසා කිරීමෙන් තම තමන්ගේ පක්ෂ සාමාජිකයින් වළක්වා ගැනීම සෑම දේශපාලන පක්ෂයකම වගකීමකි. පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාකාරී වන්නේ යම් සේද පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩකාරීත්වය නිදහස් හා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජයක පැවැත්මට බාධාකාරී වන්නේය.

ඉහත කී තත්ත්වයන් මනාව වටහා ගෙන ඒවා වළක්වා ගැනීම සඳහා ක‍්‍රියාකිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තක්ව පවතී. කවර දේශපාලන මතයක් දැරුවත් ඒ දේශපාලන මත නිදහසේ ප‍්‍රකාශ වීම සඳහා අවශ්‍ය ප‍්‍රජාතාන්ත‍්‍රික වටපිටාව නිරවුල්ව පවත්වාගැනීම සියලූ පුරවැසියන්ගේ වගකීමය. නිදහස් හා සාධාරණ සමාජයක නාමයෙන් යුක්තිසහගත මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලූම ආකාරයේ මැතිවරණ අවභාවිතාවන්ට එරෙහිව කල්පනාකාරීව පෙළ ගැසීමට මෙරට පුරවැසියන්, පුරවැසි සංවිධාන, රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ක‍්‍රියා කළ යුතු යැයි ඉල්ලා සිටිය යුත්තේ ඒ නිසාය.

Recent Posts

Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Leave a Comment