ලංකාවේ සිදුවුණේ අඩු තීව‍්‍රතාවයක් සහිත විප්ලවයක් – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Mar 23rd, 2015 | By | Category: LEAD NEWS, දේශපාලන

සිරුර පුරා දුවන පිළිකාවක් වගේ
රාජපක්ෂ රෙජීමය විසින් රජය ග‍්‍රහණයට ගෙන තිබුණා

44 වන අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කොට නැවතත් 43 වන අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරට පත්කිරීම සඳහා දියත් වූ ක‍්‍රියාවලිය රට තුළ විශාල සාකච්ඡාවක් ඇති කිරීමට හේතු විය. මෙම ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ එක් විවේචනයක් වූයේ එම ක‍්‍රියාන්විතය නිසි නීත්‍යනුකූල පටිපාටිය අනුව සිදු නොවූවක් යන්නය. නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අය අතින්ම එකී වටිනාකම් උල්ලංඝනය වූ බව මෙහිදී තර්ක කෙරුණි. 2015.01.28 දින ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘සුළඟට පසුව- වෙනස හමුවේ අභියෝග’ සංවාදාත්මක වැඩසටහනේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඉදිරිපත් කළ අදහස් පෙළ අප සමබිම තුළින් ඔබ වෙත ගෙන එන්නෙමු. මෙම සංවාදය සඳහා ජ්‍යේෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ, අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන මහත්වරු ද සහභාගී වූහ. සංවාදය මෙහෙයවන ලද්දේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන යි. මෙම අදහස් දැක්වීම්වලදී අගවිනිසුරු ඉවත් කිරීමේ ක‍්‍රියාවලියේ යුක්තියුක්තභාවය දේශපාලන සහ නෛතික දෘෂ්ටිකෝණයන්ගෙන් විග‍්‍රහ කරනු ලැබේ.

අගවිනිසුරු ඉවත්කිරීමේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් මගේ ෆෙස්බුක් ගිණුමේ දැන්වීමක් දැම්මාම එ්කට විශාල ප‍්‍රතිචාර ප‍්‍රමාණයක් ආවා. එතැනදී ප‍්‍රධාන වශයෙන් මතු කළ තර්කයක් වූයේ යහපාලනය ගැන අපි පෙනී සිටින වටිනාකම්වලට මේ ක‍්‍රියාව එකඟ ද කියන එක. මම හිතන විදිහට යහපාලනය පිළිබඳ ප‍්‍රශ්නය ඉතාම පටු විදිහට තේරුම් ගැනීම නිසයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නෙ. පසුගිය ජනවාරි 08 වෙනි දා ඇති වූයේ මූලික වශයෙන් දේශපාලන ක‍්‍රියාවක්. යම්කිසි දේශපාලන සංස්ථාපිතයක් ඊට විරුද්ධව සෑහෙන කාලයක් තිස්සේ මතු වූ ජන බලවේගයක් විසින් පරාජය කරනු ලැබුවා. එතෙක් තිබුණු පාලනය හුදෙක් ආණ්ඩුවක්ම නෙමෙයි. අපි ‘රෙජිමය’ කියන වචනය පාවිච්චි කළේම මේක හුදු ආණ්ඩුවක් නොවන නිසා. ආණ්ඩුවක සාමාන්‍යයෙන් තියෙන දේ තමයි බලතල බෙදීම. එ් කියන්නේ ව්‍යවස්ථාදායකය වෙනම තියෙනවා, විධායකය වෙනම තියෙනවා, එකිනෙකාගේ වැඩවලට ඇගිලි ගහන්න යන්නේ නැහැ ආදී ලක්ෂණ. දේශපාලන රෙජිමයක තිබෙන ලක්ෂණය තමයි දේශපාලන අධිකාරිය බූවල්ලෙක් වගේ ගමන් කරලා සමස්ත සමාජ දේහය එ් අධිකාරිය යටතට ගන්නවා. මෙතැනදී සිද්ධ වුණු දේ තමයි අධිකරණය පමණක් නෙමෙයි ළදරු පාසල් අධ්‍යාපනය පවා මේ යාන්ත‍්‍රණය යටතට ගැණුනා. මේ දේශපාලන අධිකාරිය විශ්වවිද්‍යාලවල දෛනික කටයුතුවලට පවා අසීමිත ලෙස මැදිහත් වුණා. ක‍්‍රීඩාවලටත් එහෙමයි. ක‍්‍රිකට් විතරක් නෙමෙයි බැඞ්මින්ටන් වොලිබෝල් වගේ ක‍්‍රීඩාවලටත් මැදිහත් වෙන්න පටන් ගත්තා. ශරීරය පුරා දිවෙන පිළිකාවක් වගේ හැම දේම තමන්ගේ ග‍්‍රහණයට අරගත්තා.

මම හිතුවෙ නැහැ ලේසියෙන් මේක වෙනස් කරන්න පුළුවන් කියලා. මම බලාපොරොත්තු වුණේ ඉන්දුනීසියාවේ සුහර්තෝ බලයට ආවට පස්සෙ ඇති වූ තත්ත්වය සහ 1996 දී මහජනයා අතරින් සිදු වූ විශාල නැගිටීමක් වගේ තත්ත්වයක්. මේ විදිහට උනේ නැතිනම් සිද්ධ වෙන්න තිබුණේ එ් වගේ කැලඹීමක් තමයි. කොහොම හරි ඉන්දුනීසියාවට, මැද පෙරදිග රටවලට වඩා වෙනස්ව අපි වගේ රටක එක්තරා විදිහක ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක් තිබුණා. එ්ක යටත් විජිත යුගයේ ඉඳලම තිබුණු දෙයක්. දේශපාලන සාක්ෂරතාවය සාපේක්ෂව වැඩියි. එ් වගේම යම් දේශපාලන සංවාදයක් 19 වන සියවසේ ඉඳලම බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය, අමද්‍යප ව්‍යාපාරය ආදිය හරහා සමාජයේ පහළට ගමන් කරලා තිබුණා. ගම්වල මිනිස්සු පවා කඩමණ්ඩිවල දේශපාලනය ගැන කතා කරනවා. දේශපාලනය ගැන මෙන්න මේ උනන්දුව නිසා අපි වගේ රටවල හමුදා කුමන්ත‍්‍රණ වගේ දේවල් කරන එක එච්චර ලේසි නැහැ.

එ් නිසා මේ වෙච්ච පරිවර්තනය මම දකින්නේ පහළ තීව‍්‍රතාවය සහිත විප්ලවයක් කියලා. ප‍්‍රංශ විප්ලවය, රුසියානු විප්ලවය වගේ එ්වා ගත්තාම එ්වා ඉහළ තීව‍්‍රතාවයක් තිබෙන විප්ලව. මේ වගේ විප්ලවයක තියෙන අවාසිය තමයි පරාජයට පත්වෙන අපේ විවේචනයට ලක්වෙන යාන්ත‍්‍රණය මුළුමනින්ම විනාශ වෙන්නෙ නැහැ. අර විප්ලවවලදී එහෙම නෙමෙයි. ප‍්‍රංශයේදී ගිලොටිනයට දාලා මුළු ප‍්‍රභූ තන්ත‍්‍රයම විනාශ කළා. එක්කෝ එ් අයව මැරුවා. නැතිනම් රටින් පිටුවහල් කළා. රුසියානු විප්ලවයේදීත් එහෙමයි. අර කියනවානේ සාර් පවුලේ බල්ලා පවා මැරුවා කියලා. මෙතැන වෙනසක් වුණාට සමස්ත යාන්ත‍්‍රණය විසුරුවා හැරියේ නැහැ. අඩුවල උඩ එ්වා කැපුවාට යාන්ත‍්‍රණය මුළු එකක් විදිහට වෙනස් වුණේ නැහැ. අගවිනිසුරුගේ සිද්ධියෙන් මේක පැහැදිලිව පේනවා.

ශිරානි බණ්ඩාරනායකගෙන් පස්සෙ අගවිනිසුරු කියන්නේ සාම්ප‍්‍රදායික අගවිනිසුරු නෙමෙයි. එ් මේ යාන්ත‍්‍රණයේ එක අණ්ඩක්. මේ අණ්ඩ කපලා දාන්නේ නැතිව ඉස්සරහට යන්න බැහැ. මේක එක්තරා විදිහකට ට්‍රෝජන් යුද්ධයේ සංකල්පය ක‍්‍රියාත්මක වෙන තැනක් කියලා අපිට කියන්න පුළුවනි. පරාජයට පත්වෙලා යද්දී ග‍්‍රීකයන් ලීවලින් අශ්වයෙක් හදලා ට්‍රෝයි නගරයේ තිබ්බා. ‘මේගොල්ලන්ට අමතක වෙලා මේ අශ්වයා දාලා ගිහින්, මේක හොඳයි යුද්ධය සමරන්න’ කියලා සතුරු පාර්ශ්වය එ්ක අරගෙන ගියා. හැබැයි අර අශ්වයා ඇතුළේ සොල්දාදුවෝ දාලා තිබුණා. අරගොල්ල ජයග‍්‍රාහීව හොඳට කාලා බීලා නිදා ගන්නකම් ඉඳලා සොල්දාදුවෝ අශ්වයාගෙන් එළියට ඇවිත් මුළු නගරයම විනාශ කළා. දැන් පසුගිය දවස්වල සුදර්මන් රදලියගොඩ මහත්තයාගේ හඩ පටයක් එහෙම ඇවිත් තිබුණා අගවිනිසුරු තාම අපේ කෙනෙක් කියන. මේක තමයි ට්‍රෝජන් අශ්වයාගේ ආචරණය. මේ නිසා මේ යාන්ත‍්‍රණය සමස්තයක් ලෙස විසුරුවා හැරීම, කඩා බිඳ දැමීම අවශ්‍යයයි. යහපාලනය කියන්නෙ මහජනයාගේ සුබසිද්ධිය. පහුගිය කාලයේ තිබුණේ පුද්ගලික අවශ්‍යතා උදෙසා පවත්වාගෙන ගිය සාපරාධී යාන්ත‍්‍රණයක්. එ්ක කඩලා බිඳලා දාන්න ඕනෙ. එ්ක එහෙම කඩලා දාන්නෙ නැතිව අපිට ඉදිරියක් ගැන හිතන්න බැහැ.

අග‍්‍රවිනිශ්චයකාරවරු ඉවත් කරන එක සංකීර්ණ ක‍්‍රියාවලියක්. එ් සඳහා දෝෂාභියෝග යෝජනා ආදිය ඕනෑ කරනවා. එ්ක හරියට කරනවා නම් සංකීර්ණයි. එ්ක කලින් කළෙත් හරියට නෙමෙයි. ඇත්තටම මෙතැනදී මහජනයාගේ වරමක් ලැබුණා මේ යාන්ත‍්‍රණය විසුරුවා හරින්න. එතකොට පළවෙනියටම එතුමාගෙන් ඉල්ලීමක් කළා ඉවත් වෙන්න කියලා. පැහැදිලිවම බැලූ බැල්මටම මේක දේශපාලන පත්වීමක්නෙ. මේක සාධාරණව ලැබුණු, ජ්‍යේෂ්ඨත්වය අනුව ලැබුණු එකක් නෙමෙයි කියන එක ඕනෑම කෙනෙක් දන්නවනෙ. බැලූ බැල්මටම පේනවා මෙතන ප‍්‍රශ්නයක් තිබෙනවා කියලා. එතකොට හරිනම් වෙන්න ඕනෙ එතුමා මේක දාලා යන එක. එහෙම යන්නෙ නැතිනම් මොකද කරන්න ඕනෙ? එ්ක අපිට අකමැති කෙනෙක් අයින් කරලා අපිට කැමති කෙනෙක් තනතුරකට දාගන්නවා වගේ වැඩක් නෙමෙයි. එක්තරා විදිහකට මහජනයාගේ දේශපාලන අභිලාෂයන්ගේ දිගුවක් ලෙසයි මේක සිදු වෙන්නෙ. එ් නිසයි මම මේක දේශපාලනිකවයි දකින්නේ. මම හිතන විදිහට මේක නීතියෙන් පැහැදිලි කරන්න බැහැ.

සුළගට පසුව සම්පූර්ණ වැඩසටහන මෙතනින් බලන්න

gnir

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment